රෝග සුව කරන ඖෂධීය ගුණැති කන්නියා උණුවතුර ළිං

ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත් අතර ප්‍රකට ම ස්ථානයක් වන කන්නියා (වැඩි දෙනෙක් කියන්නේ කින්නියා කියලයි) දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් ප්‍රිය කරන තැනක්. ත්‍රිකුණාමලයේ සංචාරය කරන කවුරුත් මේ උණුදිය උල්පත්වලින් නා ගන්න උනන්දු වන්නේ ඉන් රෝග සුවවේ යන විශ්වාසයත් නිසා යි.

පසුගිය කාලෙ මේ ස්ථානයේ කළ පුරාවිද්‍යා කැණීමක දී හෙළි වුණේ පුරාණ ආරාම සංකීර්ණයක් ද මෙහි පැවති බව යි.

 උණුදිය ළිං පිහිටි පරිශ්‍රය- Ishara S. KODIKARA/AFP via Getty Images

 

උණුදිය ළිංවලින් නා ගන්න

ත්‍රිකුණාමල අනුරාධපුර මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ දුරකින් හමුවන කන්නියාව හන්දියෙන් වමට හැරී තවත් මීටර් දෙසීයක් පමණ යන විට ප්‍රකට උණුදිය උල්පත් සහිත භුමියට පිවිසීමට පුළුවන්. උණු දිය උල්පත් නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට විවිධ භාණ්ඩ අලෙවි කිරීමට තැනූ තාවකාලික කඩ කාමර රාශියක් ද අවට දැක ගත හැකි යි. දශක තුනක් පුරා පැවති යුද ගැටුම්වලින් අනතුරුව සංචාරක කර්මාන්තය ක්‍රමික ව ගොඩනැඟෙමින් පවතින අතරවාරයේ 2019 පාස්කු ඉරුදින ප්‍රහාරය නිසා මේ ව්‍යාපාර නැවත බිඳ වැටුණා. පසුව පැමිණි කොවිඩ් වසංගතය නිසා වෙළෛන්දන්ට යළිත් සිදු වුණේ වෙළෙඳාම අත්හැරීමට යි. දැන් යළිත් විවිධ අර්බුද හමුවේ වුව ද සංචාරකයන් උණුදිය ළිං නැරඹීමට පැමිණීම සිදුවෙනවා.

උණුදිය උල්පත් ඇති ගම්මානය කන්නියාව යි. කින්නියාව කියන්නේ ත්‍රිකුණාමලය ආසන්නයේ ඇති වෙනත් නගරයක්. පන්සලක්, මුස්ලිම් පල්ලියක් සහ හින්දු කෝවිලක් ද උණු දිය ළිං පිහිටි භූමියෙන් පිටත ඉදි කර තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රක්ෂිත බිමක් වන අදාළ භූමියට ඇතුළුවීමට දේශීය සංචාරකයන්ගෙන් රුපියල් දහයක් ද විදේශීය සංචාරකයන්ගෙන් රුපියල් පනහක් ද පසුගිය කාලයේ අය කෙරුණත් අධිකරණ නියෝගයක් නිසා එම කටයුතුවලින් ඉවත්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිදු වුණා.

උණු දිය ළිං හතක්- www.dailynews.lk

 

සුළු වෙළෙඳුන් වෙළෙඳසල් පවත්වාගෙන යන්නේ කෝවිලට සහ පල්ලියට අයත් ඉඩම්වල යි. එම වෙළෙඳසල් සඳහා බිම් කුලිය කෝවිල සහ පල්ලියෙන් අය කර ගැනෙනවා. පුරාවිද්‍යා බිමක් නිසා වෙළෙන්දන්ට එහි ස්ථීර ගොඩනැඟිලි ඉදිකරන්නට අවසර නැහැ.

ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත් ඇති තැන් 10ක් පමණ තිබෙනවා. ඒ අතරින් වැඩි ම සංචාරකයන් පිරිසක් පැමිණෙන්නේ කන්නියාවට යි. මේ නිසා කන්නියාව උණුදිය උල්පත් පසුගිය අර්බුද කාලවලට පෙර හැම විට ම සංචාරකයන්ගෙන් පිරී පැවතුණා. මෙහි ජලයේ ඇති ඖෂධීය ගුණය පිළිබඳ විශ්වාසයක් සමහරුන්ට තිබෙනවා. විශේෂයෙන් ම චර්ම රෝග ආදියට ඒ ජලය ගුණදායක බවට විශ්වාසයක් පවතිනවා.

ත්‍රිකුණාමල අනුරාධපුර මාර්ගයේ හමුවන කන්නියාව හන්දිය -Shifaam @meShifaam

ජනප්‍රවාද

කන්නියාවේ උණුදිය උල්පත් හා සබැඳි ජනප්‍රවාදය රාවණා යුගය තෙක් දිව යනවා. ජනප්‍රවාදයට අනුව රාවණා රජ්ජුරුවන්ගේ මවට කුෂ්ඨ රෝගයක් වැලඳී තිබෙනවා. මවගේ කුෂ්ඨයට පිළියම් සොයා වෙහෙසෙන රාවණාට දිනක් සිහිනයක් පේනවා. සිහිනයෙන් කියැවුණු තැනට පැමිණ උල්පත සොයා ගත් රාවණා රජු ළිඳක් බඳවා, එතැන ම දේවාලයක් ඉඳිකොට උල්පතේ උණුදියෙන් මව නාවනවා. ඇගේ කුෂ්ඨ රෝගය ඉක්මනින් ම සුව වී ලු. එතැන් පටන් උණුදිය ළිඳ හා දෙවොල පූජනීයත්වයට පත් වුණු බවයි පැවසෙන්නේ. කෙසේ වුවත් මේ ජනප්‍රවාදයට ඓතිහාසික පදනමක් නම් නැහැ.

කන්නියාවේ උණුදිය උල්පත් පිළිබඳ ව රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ වෛද්‍යවරයා ව සිටි වෛද්‍ය ජෝන් ඩේවි සිය ග්‍රන්ථයේ අගනා විස්තරයක් සඳහන් කරනවා. ඩේවි කන්නියාවට ගියේ දේවගැති ජෝර්ජ් බිසට් සමඟ 1817 ඔක්තෝබර් 19 වනදා යි. ඩේවි යන විට ද එහි උණු ළිං හත ගඩොළු බැම්මෙන් බැඳ තිබුණු බව පවසනවා. වටේට බැඳි උස් ගඩොළු තාප්පය අඩි 36 ක් දිග හා අඩි 16 ක් පළල බව ඩේවි කියනවා. ඔහු එක් එක් ළිඳේ උෂ්ණත්වය අද මෙන් සෙල්සියස්වලින් නො ව ෆැරන්හයිට්වලින් මැන දක්වනවා. එසේ ම ළිංවල ගැඹුර හා පළල වෙන වෙන ම මනිමින් විස්තර පවසනවා. ජෝන් ඩේවිගේ නිරීක්ෂණයට අනුව සියලු ම ළිංවල උෂ්ණත්වය ඔහු මුලින් ම උෂ්ණත්වය මැනීමෙන් පැය තුනකට පසු නැවත වෙනස්ව තිබෙනවා.

සංචාරකයන් පිරුණු අවස්ථාවක්- Ishara S. KODIKARA/AFP via Getty Images

 

කොටින්ගේ තර්ජන

කින්නියාවලට නුදුරින් පිහිටා ඇත්තේ කොටි ත්‍රස්තවාදී තර්ජනවලට ලක්වූ වෙල්ගම් වෙහෙර රජමහා විහාරය යි. වෙල්ගම් විහාරවාසී ශීලවංශ හිමියන් පවසන අන්දමට කොටි සංවිධානය බුල්ඩෝසර් යොදා කෝවිලක් තැනීමට කන්නියාවල මේ ස්ථානය 1992 දී හාරද්දී පැරණි දාගබක සලකුණු මතු වී තිබෙනවා. පසුව ශීලවංශ හිමියන් යුද හමුදාවට දැනුම් දී එම ස්ථානය වසා ආරක්ෂා කර තිබෙනවා. කොටි තර්ජන සමයේ දී කින්නියා උණුවතුර ළිං පරිශ්‍රයේ නරඹන්නන්ට ටිකට් කැඩුවේ කොටි සාමාජිකයන්. යුද්ධයෙන් පසු උප්පුවේලි ප්‍රාදේශීය සභාව මඟින් ටිකට් නිකුත් කෙරුණා. ඒ සමයේදී ම එහි කුඩා කෝවිලක් ඉදිකිරීම ද ආරම්භ වී තිබෙනවා.

පුරාවිද්‍යා කැණීම්

උණුදිය ළිං පිහිටි භූමියෙන් බෞද්ධ ස්මාරකවල නටබුන් හමු වූ බැවින් 2011 සැප්තැම්බර් 9 දින අංක 1723 දරන ගැසට් පත්‍රය මඟින් එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට පවරා ගත්තා. ඒ අනුව එම ප්‍රදේශයේ අක්කර පහක් පුරාවිද්‍යා භූමියට අයත්. මෙම භූමියේ පිහිටි නටබුන් දාගබ, පිළිම ගෙය හා උණුදිය ළිං හත පුරාවිද්‍යා ස්මාරක වශයෙන් ගැසට් කර තිබෙනවා.

 පුරාවිද්‍යා නටබුන් – nethnews.lk

 

උණුදිය උල්පත් වටා පිහිටි ළිං මුලින් ම ක්‍රිස්තු වර්ෂ 143 – 167 කාලයේ රජකළ භාතිකතිස්ස රජු සමයේ දී ඉදි කෙරුණු බවට සාධක හමු වී තිබෙනවා. නුදුරින් පිහිටි වෙල්ගම් රජමහා විහාරය ආරම්භ කළ සමයේ එහි වාසය කළ භික්ෂූන්ගේ පැන් පහසුව පිණිස මේ ළිං සාදන ලදැයි ද ජනප්‍රවාදවල පැවසෙනවා. උණුදිය ළිං සහිත ප්‍රදේශයේ මුලින් ම පුරාවිද්‍යාත්මක කැණීමක් සිදු කළේ 2012, 2013 අවුරුදුවල යි.

එහිදී පුරාණ දාගබක හා ප්‍රතිමා ගෘහයක නටබුන් සහ තවත් පුරාවිද්‍යාත්මක වැදගත්කමින් යුතු අවශේෂ රාශියක් ද හමුවුණා. කැණීම් කර ඇති දාගබ සහිත ප්‍රදේශයේ යුග දෙකකට අයත් නටබුන් මතු වුණා. එම නෂ්ටාවශේෂ අනුරාධපුර යුගයේ මුල් භාගයට එනම් ක්‍රිස්තු වර්ෂ 2-3 සියවස්වලට අයත් බවට සෙල්ලිපි සාධකවලින් හෙළිවෙනවා. සිරිපතුල් ගල්, ගල්කණු ආදිය ද ඉන් හමු වී තිබෙනවා. කෙසේ වුවත් කොටි පාලනය පැවති සමයේ තවත් බොහෝ නටබුන් විනාශ කළ බවද පැවසෙනවා.

ළිඳක උණුදිය – www.tripadvisor.com

 

දාගබේ සංරක්ෂණ කටයුතු අත්හිටුවයි

2013 දී ද ප්‍රතිපාදන නොමැති වීම නිසා දාගබේ සංරක්ෂණ කටයුතු අත්හිට වූ අතර 2019 දී එය යළිත් ආරම්භ වුණා. හින්දු කෝවිල ඉදිකර තිබුණේ දාගබ පිහිටි ස්ථානය මත කොන්ක්‍රීට් ලෑල්ලක් අතුරා ඒ මත දේවරූප තැන්පත් කිරීමෙන්. කෝවිලක් යැයි පැවසුව ද එය දේව රූපයක් තබා වැඳුම් පිදුම් කිරීමට තනා ගත් ස්ථානයක් පමණ යි. කැණීම් ආරම්භ කළ විට දේවරූපය එම ස්ථානයෙන් ඉවත් කරගෙන තිබුණා.

දැනට දක්නට ලැබෙන දාගබට හා පිළිම ගෙයට අමතර ව සංඝාරාමයක් ද පැවති බව සෙල්ලිපියෙන් තහවුරු වන කරුණක්. කැණීම්වලින් අනුරාධපුර යුගයට අයත් ආසන, යුප ගල්, ප්‍රතිමා ශේෂ, මැටි බඳුන් කොටස් ද හමු වී තිබෙනවා. කැණීම්වලින් මතු කර ගෙන තිබෙන ස්මාරක කඩිනමින් සංරක්ෂණයට ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සැලසුම් සකස් කර තිබුණත්, පවතින තත්ත්වය යටතේ එම කටයුතු ඇනහිට තිබෙනවා. භූමියේ ඇති පොකුණු හා වෙනත් ගොඩනැඟිලි ද කැණීම් කිරීම ද ඒ සමඟ ද නැවතී තිබෙනවා.

 කැණීම්වලින් හමුවුණු සෙල්ලිපිය – nethnews.lk

 

සෙල්ලිපියක්

කැණීම්වලදී හමුවූ සෙල්ලිපිය කොටස් තුනකට කැඩී තිබුණු එකක්. එහි මෙසේ සඳහන්:

“මහරජ කුජවිය… මරුදවිය හා බොජියපති… බොජියපති… හ ච පල… මෙ එතක තනහි… සගයහ දිනි”

එහි අක්ෂර ක්‍රිස්තු වර්ෂ 1-2 සියවස්වලට අයත් වෙනවා. මේ සෙල්ලිපියට අනුව යම් මහරජ කෙනෙක් කුරුවිය, මරුදවිය ආදී වැව් කිහිපයක දියබද්ද මෙම විහාරයට පූජා කළ බව දැක්වෙනවා. එවකට විහාරවලට ආදායම් ලබා ගැනීමට වැව්වල දියබද්ද පූජා කිරීම ප්‍රධාන වතාවතක් වූ බව සෙල්ලිපි රාශියකින් හෙළි වී තිබෙනවා. එවකට කින්නියා විහාරයටද මහරජ කෙනකු මැදිහත් වී දියබද්ද පූජා කිරීමෙන් පෙනෙන්නේ එය ප්‍රදේශයේ ප්‍රකට පුදබිමක් වශයෙන් පැවති බව යි.

 නටබුන් බිමේ මෑතක දී ඉදිකළ ශිව කෝවිල – srilankatravelnotes.com

 

පිරිසකගෙන් විරෝධතා

2019 දී පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු ආරම්භ වූ පළමු දිනයේ ම හින්දු භක්තිකයන් පිරිසක් එම ස්ථානයට පැමිණ එයට විරෝධය පාන්නට පටන් ගත්තා. විරෝධය පෑ එක් කාන්තාවක් පැවසුවේ පුරාවිද්‍යා භූමියේ අයිතිය තමන් සතු බව යි. එම ස්ථානයේ හින්දු කෝවිලක් තිබූ බවත්, එය කඩා දමා බෞද්ධ සිද්ධස්ථානයක් ගොඩනඟනවාට තමන් විරුද්ධ බවත් පවසමින් එහි පැමිණි හින්දු පූජකවරයකු ඇතුළු පිරිසක් පුරාවිද්‍යා නිලධාරීන්ට විරෝධය පෑම සිදුවුණා. පසුව පොලීසිය හා ප්‍රාදේශීය ලේකම්වරයා මැදිහත් වී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා බලන තෙක් සංරක්ෂණ කටයුතු දින කිහිපයකට නැවැත්වීමට පියවර ගත්තා.

සංචාරකයන්ට විවිධ භාණ්ඩ අලෙවි කිරීමට තැනූ තාවකාලික කඩ කාමර -www.tripadvisor.com

 

අධිකරණ නියෝගයක්

ත්‍රිකුණාමලය කන්නියා උණුදිය ළිං පුරාවිද්‍යා පරිශ්‍රයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව චෛත්‍යයක් සංරක්ෂණය කිරීම හා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නවතන ලෙස නියෝග කරමින් නැගෙනහිර පළාත් බද මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් අතුරු තහනම් නියෝගයක් 2019 ජූලි මාසයේ දී නිකුත් කළා.

ත්‍රිකුණාමලය මානික්කවාසල පාරේ පදිංචි කෝකිල රමණි නමැති පෙත්සම්කාරිය නැඟෙනහිර පළාත් බද මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයායි අතුරු තහනම් නියෝගය නිකුත් කළේ. මීට අමතරව පෙත්සම්කාරියට අයත් ඉඩම්වල ප්‍රතිසංස්කරණ කටයුතු නොකරන ලෙසත් එම නියෝගයේ සඳහන් වෙනවා. අනුරාධපුර යුගයේ දී බෞද්ධ සිද්ධස්ථානයක් ව පැවති මෙම ප්‍රදේශය එල්.ටී.ටී.ඊ. සමයේ පාලනය වූයේ අසල පිහිටි මාරි අම්මාන් හින්දු කෝවිලෙන්.

කවරයේ ඡායාරූපය- උණුදිය ළිංවලින් නාන සංචාරකයෝ - itsalltriptome.com

මූලාශ්‍ර:
ඩේවි දුටු ලංකාව පරි. ඇල්ලේපොළ එච්. එම්. සෝමරත්න
Deshsya.lk
Dinamina.lk
Bbc.com

Related Articles

Exit mobile version