Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාවේ ජූරි ක්‍රමය අහෝසි කිරීමට මුල් වූ නානාවතී සිදුවීම

“කවාස් නානාවතී එදිරිව මහාරාෂ්ට්‍ර රජය” කියන්නෙ 1959 දී මුළු ඉන්දියාවම කැළඹූ නඩුවක්. සිය බිරිඳගේ අනියම් පෙම්වතාට වෙඩි තබා ඝාතනය කළ කොමදෝරු නානාවතී ජනතා අනුකම්පාව නොමඳව ලැබ, අවසානයේ නිදහස ලැබුවා. මේ නඩුව අවසන් වුණේ ඉන්දියානු අධිකරණ පද්ධතියේත් විශාල වෙනසක් ඇතිකිරීමට මුල් වෙමින්.

නානාවතී, සිල්වියා, සහ අහුජා

කවාස් මානෙක්ෂව් නානාවතී ඉන්දියානු නාවික හමුදාවේ සේවය කළ 36 හැවිරිදි කොමදෝරුවරයෙක්. ඔහු බොම්බේ (අද මුම්බායි) නගරයේ වාසය කළේ එංගලන්තයේ ඉපිද හැදී වැඩුණු තැනැත්තියක වූ ඔහුගේ බිරිය සිල්වියාත්, දරු තිදෙනාත් සමග යි.

කොමදෝරු කවාස් මානෙක්ෂව් නානාවතී, 1960 පෙබරවාරි 29 දා  (Hindustan Times)

කොමදෝරු නානාවතීගේ ‍රැකියාවේ ස්වභාවය නිසා ඔහුට නිතරම වාසය කරන්නට වුණේ නිවසෙන් පිට යි. එනිසා ඔහුගේ බිරිඳ තනිකමින් පෙලුණු බව කියැවෙනවා. මේ හේතුව නිසාම සිල්වියා, නානාවතීගේ සමීප මිතුරෙකු හා ධනවත් ව්‍යාපාරිකයෙකු ද වුණු ප්‍රේම් අහුජා හා පෙම් සබඳතාවක් අරඹනවා. ඔහු හා විවාහ වීමේ අරමුණෙන් සිටි ඇය තමාට දික්කසාද විය යුතු බවට නානාවතීට දැනුම් දුන්නත්, ඔහු මෙයට එකඟ නොවූ බවයි කියැවෙන්නේ.

1959 දිනෙක

1959 අප්‍රේල් 27 වන දා නානාවතී නිවෙසට පැමිණෙන්නේ බොහෝ දිනක් සයුරේ ගත කිරීමෙන් පසුව යි. සිය බිරිඳගේ ස්වභාවයේ වෙනසක් දකින ලදුව, ඒ ගැන ප්‍රශ්න කිරීමේ දී සිල්වියා තමාට අහුජා සමග තිබූ පෙම් සබඳතාව ගැන හෙළි කරනවා. කෙසේ නමුත්, තමා බලාපොරොත්තු වූ ආකාරයට ප්‍රේම් අහුජා තමාව විවාහ කර නොගනු ඇතැයි ද ඈ ප්‍රකාශ කරනවා.

කවාස් සහ සිල්වියා නානාවතී  (bombaywalla.org)

එදිනම සිල්වියා හා දරු තිදෙනාව චිත්‍රපටයක් නැරඹීම සඳහා මෙට්‍රෝ සිනෙමාහල වෙත හැරලන නානාවතී ඉන්පසු යන්නේ නාවික හමුදා මූලස්ථානයට යි. අසත්‍ය හේතුවක් පවසා ස්මිත් ඇන්ඩ් වෙසන් වර්ගයේ ගිනි අවියකුත්, උණ්ඩත් ලබා ගන්නා ඔහු පළමුව ප්‍රේම් අහුජාගේ ව්‍යාපාරස්ථානය වෙත යනවා. අහුජා එහි නොසිටි හෙයින් ඔහුගේ නිවෙස වෙත යන නානාවතී එහි දී අහුජා මුණගැසී, සිල්වියා විවාහ කරගෙන දරු තිදෙනා ද බාරගැනීමට කැමැතිදැ යි අහුජාගෙන් විමසූ බව කියැවෙනවා. අහුජා එය ප්‍රතික්ෂේප කළ නිසා ඔහුට තෙවරක් වෙඩි තබා මරා දමන නානාවතී නැවත නාවික මූලස්ථානයට ගොස්, එහි ප්‍රධානියාට පාපොච්ඡාරණය කරනවා. ඔහු පසුව නියෝජ්‍ය පොලිස් කොමසාරිස්වරයා වෙත බාරවෙන්නේ ප්‍රධානියාගේ උපදෙස් මත යි.

නානාවතී (වම් කෙලවර) එංගලන්තයේ දී, මිතුරන් සමග  (Firstpost)

ජූරිය සහ ජනතා මතය

එදා ඉන්දියාවේ නඩුවක් අසද්දී ජූරියක් මඟින් අවසන් තීරණය ගැනීමේ ක්‍රියාවලියක් තිබුණා. ජූරිය සමන්විත වුණේ නීතිවේදීන්ගෙන් නොව සාමාන්‍ය වැසියන්ගෙන්. මෙහි දී සාක්ෂ්‍ය සියල්ල සලකා, චූදිතයා වැරදිකරු හෝ නිවැරදිකරුදැ යි තීරණය කරන්නේ අට දෙනෙකු හෝ දොළොස්දෙනෙකුගෙන් සමන්විත ජූරිය යි. නානාවතීගේ නඩුව ඇසුණේ ද මෙවන් ජූරියක් ඉදිරිපිට යි.

විභාගයේ දී, තමා අහුජාට වෙඩි තැබුවේ හදිසි කෝපය මත බව කියන නානාවතී, තමා චෝදනාවට නිවැරදිකරු බව ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් අහුජාගේ සොයුරිය වූ මැමී අහුජා සහ එම පාර්ශවයේ නීතීඥයින් තර්ක කරන්නේ එය හදිසි කෝපය මත සිදු වූ මිනීමැරුමක් නොව සැලසුම් කළ ඝාතනයක් බව යි. මේ වන විට නානාවතී හා සමාදාන වී සිටි ඔහුගේ බිරිඳ වූ සිල්වියා නානාවතී නිවැරදිකරු බවට සාක්ෂ්‍ය දෙනවා.

නානාවතී සිදුවීම 1959 ඔක්තෝබර් 17 දා බ්ලිට්ස් පුවත්පතේ වාර්තා කර තිබූ අයුරු  (Outlook India)

නානාවතී එකල නාවික හමුදාවේ කොමදෝරුවරයෙක් පමණක් නොවෙයි, දේශප්‍රේමියෙකු සහ සෘජු නිලධාරියෙකු ලෙස ද ප්‍රසිද්ධියක් ලබා සිටියෙක්. ඔහුට පෙර වැරදි තිබුණේත් නැහැ. එම දිනවල බොහොමයක් පුවත්පත් මෙම සිදුවීම වාර්තා කළේත් අහුජාගේ ඝාතනය වක්‍රව සාධාරණීකරණය වන ආකාරයට යි. විවාහක කාන්තාවක වරදට පොළඹවාගැනීම මරණය ලැබිය යුතු වරදක් බවට එකල සමාජයේ විශ්වාසයක් වුණා. මේ සියලුම හේතූන් නිසා නානාවතීට අනුකම්පාව දක්වන ජූරිය, ඔහු මෙම අපරාධයට වරදකරු නොවන බවට 8 – 1ක ඡන්දයකින් ප්‍රකාශයට පත්කළා.

කෙසේ නමුත් එම නඩුව විමසූ විනිශ්චයකාරවරයා මෙම තීරණයට එකඟ වුණේ නැහැ. ජූරිය අපක්ෂපාතී නොවන බවත්, නොමඟ ගොස් ඇති බවත් සඳහන් කරන ඔහු මෙම නඩුව මහාධිකරණයට යොමු කරනවා.

 “දේශය කැළඹූ වෙඩි පහර තුන – නානාවතී සිදුවීමේ සම්පූර්ණ රූපමය වාර්තාව”  (outlookindia.com)

මහාධිකරණයේ තීන්දුව

බොම්බේ මහාධිකරණය වෙත නානාවතීගේ නඩුව යොමු කරන ලදුව, ඔවුන් නානාවතීට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනවා. 1961 නොවැම්බරයේ දී නානාවතී ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළත්, ඔවුන්ගේ තීන්දුව වන්නේත් එයම යි.

එම දිනවල ප්‍රසිද්ධ සතිපතා ටැබ්ලොයිඩ් සඟරාවක් වූ බොම්බේ ඩේලි බ්ලිට්ස්, දිගින් දිගටම නානාවතීව උත්කර්ෂයට නඟමින් මෙම පුවත වාර්තා කළා. ඔවුන් නානාවතී යනු තම ළඟම මිත්‍රයාගේ සහ ප්‍රිය බිරිඳගේ ‍රැවටීමට ලක්වූ අවංක ස්වාමි පුරුෂයෙකු හා සෘජු නාවික නිලධරයෙකු ලෙස පෙන්වා දුන්නා. නානාවතී මධ්‍යම පාන්තිකයින්ගේ පුරුෂාර්ථයන් හා සංස්කෘතිය රකින්නෙකු සේ චිත්‍රණය කෙරෙන අතරේ, අහුජා සෙල්ලක්කාර, වංචනික ධනවතෙකු ලෙස ජනතාවට පෙනෙන්නට හැරුණා. මෙය කෙතරම් සාර්ථක වූවා ද කිවහොත්, සාමාන්‍යයෙන් පෛසා 25කට අලෙවි වූ පුවත්පත රුපියල් 2ට පවා මිළට ගැනීමට ජනතාව පෙළඹුනා.

ප්‍රේම් අහුජාගේ “සෙල්ලක්කාර හැසිරීම” ගැන ඉඟි කරමින් බ්ලිට්ස් සඟරාවේ පල වූ පුවතක් – 1960 මාර්තු 19  (The Jaggernaut Blog)

එසේම මෙම වාර්තාකරණය නිසා බොම්බේහි විසූ ධනවත් පාර්සි හා සින්ධි ප්‍රජාවන් අතර උණුසුම් වාතාවරණයක් හටගත්තේ, මියගිය ප්‍රේම් අහුජා සින්ධි ජාතිකයෙකුත්, නානාවතී පාර්සි ජාතිකයෙකුත් වූ නිසා යි. බොම්බේ පාර්සි ප්‍රජාව නානාවතී නිවැරදිකරු බව කියනා අතරේ, සින්ධි ප්‍රජාව ඔහුට දඬුවම් ඉල්ලා සිටියා. බොහෝ දෙනෙකු නොදත්තා වුවත්, බොම්බේ ඩේලි බ්ලිට්ස් සඟරාවේ අයිතිකරු වූයේ ද පාර්සි ජාතිකයෙක්.

නානාවතීට නිදහස

නානාවතී පවුල, නේරු සහ ගාන්ධි පවුල් අයත් සමාජ කවයටම අයත්වූවක්. මෙම පවුල්වල සාමාජිකයින් බොහෝ කලෙක සිට එකිනෙකා දැන හැඳිනූ අය වුණා. නානාවතීගේ නඩුව විමසුණු කාලයේ ඉන්දියාවේ අගමැති වුණේ ජවහර්ලාල් නේරු යි. ඔහුගේ සොයුරියක වූ විජයලක්ෂ්මී පන්ඩිත් බොම්බේ වෙත පත්කෙරුණු නව ආණ්ඩුකාරවරිය වුණා. ජනතාව නානාවතිගේ ක්‍රියාව සාධාරණ බව දු‍ටු නිසා රජයේ සමාවකින් ඔහුට නිදහස ලබාගැනීමට හැකියාව තිබුණු නමුත්, අහුජා පවුල ද අයත් සින්ධි ප්‍රජාව මෙයට කෙසේ ප්‍රතිචාර දක්වත්දැ යි ගැටළුවක් පැන නැඟුනා. නමුත් නානාවතී බන්ධනාගාරයේ වසර 3ක් ගෙවූ තැන සමාවකට අවස්ථාවක් එළැඹුනා.

නඩු වාරයකින් අනතුරුව බොම්බේ, ආතර් පාරේ බන්ධනාගාරය වෙත නානාවතීව (වම්පස) ‍රැගෙන යමින්  (The Hindu)

සිය ආනයන බලපත්‍රය අවභාවිතය කිරීම නිසා සිර දඬුවම් විඳිමින් සිටි භායි ප්‍රතාප් නම් සින්ධි ව්‍යාපාරිකයෙකු මේ දිනවල රජය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන ලදුව ඔහුට සමාව ලැබිය යුතු බව රජය තීරණය කළා. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත් පණ්ඩිත්, නානාවතීට ද සමාව ලැබිය යුතු බවත්, එයින් සින්ධි හා පාර්සි ප්‍රජාවන් දෙකම සැනසෙනු ඇති බවටත් අදහසක් ඉදිරිපත් කළා. මියගිය ප්‍රේම් අහුජාගේ සොයුරියගේ කැමැත්ත ද ඇතිව, පණ්ඩිත් විසින් මෙම යෝජනාව රජයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, භායි ප්‍රතාප් හා කවාස් නානාවතී යන දෙදෙනාටම එකම දිනයේ රජයේ සමාව හිමි වුණා.

නානාවතී 1964 දී නිදහස් වූ පසු ටාටා සමාගමේ ‍රැකියාවක් ලැබ, සිල්වියා හා දරු තිදෙනාත් සමග කැනඩාවට සංක්‍රමණය වුණා. ඔහු 2003 දී මියයන තෙක් එහි විසුවේ එහියි.

නානාවතී සිදුවීම පදනම් කරගෙන සිදු වූ සිනමා නිර්මාණයන්  (The Indian Express)

1960 දී ඉන්දියාවේ ජූරි මඟින් තීරණ දීමේ ක්‍රියාවලිය අහෝසි කෙරුණා. ජූරියේ සාමාජිකයින් ජනතා මතය හා ප්‍රසිද්ධ මාධ්‍යයන් මඟින් පෙළඹවීමට හැකි බව නානාවතීගේ සිදුවීමෙන් පැහැදිලිවම ඔප්පු වීම එයට හේතු වූ බව කියැවෙනවා. නානාවතීගේ නඩුව ඉන්දියාවේ ජූරියක් මඟින් තීරණය ගත් අවසන් නඩුව යි.

මූලාශ්‍රයයන්:

Hindustan Times

India Today

India Times

The Indian Express

The Hindu

Cover image:සිදුවීම බ්ලිට්ස් පුවත්පතේ වාර්තා කර තිබූ අයුරු  (The Jaggernaut Blog)

Related Articles