අතීතයේ රාජ්‍යයන් පාලනය කෙරුණේ රජවරුන් විසිනුයි. ප්‍රජාතන්ත්‍රවාදය වැනි සංකල්ප නම් රාජාණ්ඩු තුළ නොතිබුණු තරම්. රජෙකු පාලනය කිරීමට කිසිවෙක් නොවූ අතර රාජ්‍යයේ වූ නීති ඔහුට බල නොපෑ තරම්. මේ නිසාම ඉතිහාසයේ රාජ්‍ය පාලනයෙහි යෙදුණු රජවරු ඇතැමෙක් විවිධාකාරයේ උමතු පුද්ගලයින් ලෙස එදා මෙන්ම අදත් ජනප්‍රියයි. මේ, එවැනි රජවරු ගැන ලියැවුණු ලිපියක්.
පරාජය භාරගැනීමට සූදානම් නොවූ මහරාජා ජායි සිංග් (1882 – 1937)
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී ඉන්දියාවේ අල්වාර් ප්‍රාන්තයේ පාලනය භාරව සිටි මේ මහරාජාවරයා අයහපත් සහ අවිධිමත් පාලනය හේතුවෙන් පසු කලෙක බ්‍රිතාන්‍යයන් විසින් සිය ධුරයෙන් පහ කර දමන ලද්දෙක්. නමුත් තමාගේ පාලන සමය තුළ ප්‍රශ්නසහගත සහ තර්කානුකූල නොවන කටයුතු වල යෙදුණු පුද්ගලයකු ලෙස ඔහු ප්‍රසිද්ධව සිටියා.
මහරාජා ජායි සිංග් කිසි විටෙකත් කිසිදු ක්‍රීඩාවකින් පරදින්නට කැමැත්තක් දැක්වූයෙක් නොවෙයි. දිනක් ඔහු සහභාගී වූ පෝලෝ ක්‍රීඩාවෙන් ඔහු පරාජය වුණා. කිසි විටෙකත් පරාජය භාරගැනීමට සූදානම් නොවූ මහරාජා ජායි පරාජයට හේතුව ලෙස පැවසුවේ තම අශ්වයා නිසි පරිදි දිවීමෙහි නිරත නොවූ බවයි. අශ්වයා ඊට දඬුවම් ලැබිය යුතු බව තීරණය කළ මහරාජාවරයා සියලු දෙනා ඉදිරිපිට එම අශ්වයා මතට භූමිතෙල් වක්කර අශ්වයාව පුළුස්සා මරා දැමුවා.
සතුන්ට පමණක් නොවෙයි, මිනිසුන්ට පවා අසීමිත ලෙස කෲරකම් පෑ මේ රජතුමා මහ මගදී දකිනා සිත් ඇදගන්නා සුළු තරුණියන් තම මාලිගයට බලෙන්ම ගෙනැවිත් ඔවුන්ට විවිධ කෲර වධ බන්ධනයන් පමුණුවන්නට කටයුතු කොට තිබෙනවා. ඇතැම් විට එම තරුණියන් මරණයට පවා පත්ව තිබෙනවා.
ඔපෙරා සංගීතඥයින් ලවා මාලිගා තැනවූ දෙවන ලුඩ්විග් රජු (1845 – 1886)
ජර්මනියේ පිහිටා ඇති නිදහස් රාජ්‍යයක් වන බවේරියාවේ පාලකයකු වූ මොහු කාලගුණය කෙසේ වෙතත් එළියට ගොස් ආහාර ගැනීමට ප්‍රිය කළ පුද්ගලයෙක්. එමෙන්ම, දවස පුරාම නින්දෙන් පසුවන ඔහු අවදි වී තම වැඩ කටයුතු වල නිරත වන්නේ රාත්‍රී කාලයටයි. ඔහු සමලිංගික ඇසුර ප්‍රිය කළ අයෙකු වන්නට ඇතැයිද පැවසෙනවා. වර්තමානයේ එය අමුත්තක් ලෙස නොසැලකුණත් දහ නවවන සියවසේදී පාලකයකු සමලිංගික පුද්ගලයකු වශයෙන් හඳුනා ගැනීම විශාල ගැටළු රැසකට මූලික වන්නට ඉඩ තිබූ කරුණක්.
සුරංගනා කථාවන් වල මාලිගාවන් විස්තර කෙරෙන ආකාරයටම මාලිගාවන් තනන්නට ප්‍රිය කළ ලුඩ්විග් රජු රාජ්‍ය පාලනය පසෙක ලා වැඩි වැඩියෙන් මාළිගා තනන්නටත්, ඒවායේ සිරි නරඹමින් කල් ගත කරන්නටත් පෙළඹී තිබෙනවා. මේ සඳහා ඔහු යොදාගෙන ඇත්තේද රාජ්‍ය භාණ්ඩාගාරය සතු මුදලු යි. ඔහු මෙම මාළිගා තනන්නට අණ කර තිබෙන්නේද ඔපෙරා සංගීතඥයින්ට මිස සැබෑ ගෘහනිර්මාණ ශිල්පීන්ට නොවෙයි.
යහන්ගත වන කාන්තාවන්ගේ කෙස් රොදක් තබාගත් සිව්වන ජෝර්ජ් රජු (1762 – 1830)
මහා බ්‍රිතාන්‍යය පාලනය කළ සිව්වන ජෝර්ජ් රජු අදටත් හැඳින්වෙන්නේ බ්‍රිතාන්‍යය පාලනයේ දුර්වලම රජු ලෙසිනුයි. රාජ්‍ය පාලනයට කාලය කැප කරනවාට වඩා ලිංගික තෘප්තිය ලබා ගැනීමට සිය කාලය කැප කළ මොහු අධික ණය බරින් රාජ්‍ය භාණ්ඩාගාරය පීඩිත කළ රජෙකු ලෙසත් හැඳින්වෙනවා. ඔහු ද්වි විවාහය නැමති වරදෙහිත් බැඳුණෙක්.
තමාට කළ හැකි ඕනෑම දෙයක් කිරීමෙන් කාන්තාවන් සිය යහන වෙත ගෙන්වා ගැනීමට දක්ෂයෙකු වූ ජෝර්ජ් රජු කිසි දිනෙක කාන්තාවන් දූෂණය කර නම් නැහැ. කාන්තාවක් තමා සමග යහන්ගත වන්නට අකමැති වුවහොත් ජෝර්ජ් රජු ඇය වෙත මුදල් දීමෙන් ඇයව කැමති කරගෙන ඇති අතර, එසේත් කළ නොහැකි විටෙක එම කාන්තාව නොලැබේ නම් තමා සියදිවි නසාගන්නා බව පවසමින් පොඩි දරුවකු මෙන් හැසිරෙන්නටත් පෙළඹී සිට තිබෙනවා. තමා යහන්ගත වන සෑම කාන්තාවකගෙන්ම කෙස් රොදක් කපා ගන්නට ඔහු අමතක කර නෑ. ජෝර්ජ් රජු මියගිය පසු ඔහුගේ සිරියහන් ගැබ වෙත ගිය ඔහුගේ සහෝදරයින්ට කෙස් රොදවල් දමන ලද ලියුම් කවර හත්දහසක් හමු වී තිබෙනවා.
උසින් අඩු පුද්ගලයින්ට ඇලුම් කළ මහා පීටර් රජු (1672 – 1725)
රුසියානු සාර් වංශික පාලකයකු වන පීටර් රජු උසින් අඩු පුද්ගලයින්, විශේෂයෙන් අඟුටුමිට්ටන් යැයි හඳුන්වාදිය හැකි උසින් යුත් පුද්ගලයින් කෙරෙහි විශේෂ ඇල්මක් දක්වා තිබෙනවා. ඔවුන්ගේ විවාහ මංගල්‍යයන් වෙනුවෙන් පීටර් රජු විශේෂ රාජ්‍ය අනුග්‍රහය දක්වා ඇති අතර, ඔවුන්ගේ අවමංගල්‍ය උත්සවද පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකොට තිබෙනවා. ඔවුන් වෙනුවෙන්ම සාදවන ලද කුඩා මිනී පෙට්ටිවල එම මළ සිරුරු භූමදානය කිරීමේ අවස්ථාව මෙහෙයවීම සඳහා මිටි පූජකයකු යොදා ගන්නටත් පීටර් රජු අමතක කොට නැහැ.
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් රෝහලේ සිදු කෙරුණු ශල්‍යකර්ම නරඹන්නටත් දැඩි උනන්දුවක් දැක් වූ මේ රජු රෝහලේ ශල්‍යකර්මයක් සිදු කෙරෙන සෑම විටකම පාහේ රෝහල වෙත ගොස් ශල්‍යාගාරයට වී එය නරඹන්නට පුරුදූ වී සිට තිබෙනවා. ඇතැම් අවස්ථාවන් වලදී ඔහුද ශල්‍යකර්මයට දායක වී තිබෙනවා. තම පාලකයාගේ කැමැත්තට ඉඩ දෙනු හැර වෙනත් කිසිවක් කළ නොහැකි වූ වෛද්‍යවරුද රජුට ශල්‍යකර්මයට සහභාගී වීමට අවසර දී ඇති අතර ඔහුගේ නුපුහුණු බව නිසා බොහෝ රෝගීන් මිය ගොස්ද තිබෙනවා.
දන්ත වෛද්‍ය ශිල්පයටත් මේ සාර් වංශික රජු කැමැත්තක් දක්වා තිබෙනවා. රටවැසියකුට රජුගේ කරුණාව ලබා ගන්නට අවැසි නම් කළ යුතුව තිබුණේ තමාගේ දතක් ගැලවීමට රජු හට අවසර දීම පමණයි. ඔහු විසින් උගුල්ලන ලද දත් වලින් පිරුණු බෑගයක් අදටත් කෞතුකාගාරයක තබා තිබෙනවා.
යෝධයින්ට ඇල්මක් දැක් වූ ෆ්‍රෙඩ්‍රික් විලියම් රජු (1688 – 1740)
රුසියාවේ පීටර් රජු අඟුටුමිටි පුද්ගලයින්ට ඇල්මක් දැක්වූවා සේම, ජර්මනියේ ප්‍රසියානු රාජ්‍යය පාලනය කළ ෆ්‍රෙඩ්‍රික් රජු ඇල්මක් දැක්වූයේ යෝධයින් හෙවත් උසින් සහ මහතින් වැඩි පුද්ගලයින් වෙතයි. උසින් අඩි පහයි අඟල් පහක් තරම් වූ ෆ්‍රෙඩ්‍රික් රජු යෝධ මිනිසුන් දැකබලා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානමින් සිටි රජ කෙනෙක් ලෙසයි හැඳින්වෙන්නේ.
උස අඩි හයට වැඩි පුද්ගලයින් ඔහු විසින් තනන ලද හමුදා බලකායක් සඳහා බඳවාගත් මේ රජු එම පුද්ගලයින්ගේ උස අනුව ඔවුන්ට වැටුප් නියම කොට තිබුණා. තම උස වැඩි වන්නට තමාට ලැබුණු වැටුපද වැඩි වුණා. එපමණක්ද නොවෙයි, උසින් වැඩි දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් මිලට ගැනීමට මෙන්ම, මහමගදී තමාට මුණගැසෙන උස පුද්ගලයින් බලහත්කාරයෙන් ඔහු යටතට ගැනීමටත් ඔහු පෙළඹී සිට තිබෙනවා. විදේශික රාජ්‍ය තාන්ත්‍රිකයින් ෆ්‍රෙඩ්‍රික් රජුගේ හොඳහිත දිනා ගත්තේ ඔහු වෙත උස සහ විශාල මිනිසුන් තෑගි කිරීමෙනුයි.
සෑම විටම මරණ බියෙන් පෙළුණු ක්වින් ෂී හ්වෑන්ග් (ක්‍රි.පූ. 259 – 210)
එක්සත් චීනයේ පළමු පාළකයා වූ මොහු ඉතා දැඩි සටනකින් අනතුරුව මුළු චීන දේශයම එක්සේසත් කළත්, ඉන් අනතුරුවත් නිතර දෙවේලේම මිනිසුන් ඝාතනය කරන්නට පෙළඹුණා. උගත් ප්‍රාඥයින් කොයි වෙලේ හෝ තමා මරණයට පත් කරනු ඇතැයි බියෙන් පසු වූ ඔහු එවැනි පුද්ගලයින් සොයා යමින් ඔවුන් මරණයට පත් කළා. වරක් චීනය වෙත උල්කාෂ්මයක් කඩා වැටීම අසුබ සලකුණක් ලෙස සැලකූ ඔහු “කෝකටත් කියා” මිනිසුන් පිරිසක් මරා දැමුවේ එම අසුබ ලකුණින් බේරීමටයි.
අමරණීයත්වය ලබා ගන්නට ද විවිධ බෙහෙත් වර්ග සහ පානයන් අත්හදා බැලූ ඔහු ඒවායේ අඩංගු වූ රසදිය හේතුවෙන්ම මිය ගියා. ඔහු වෙනුවෙන් ඔහු විසින්ම සාදා තිබූ සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් තුළ ඔහුව භූමදානය කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.
වින්ස්ටන්ට් චර්චිල්ගේ ඔරලෝසුව සොරාගත් ඊජිප්තුවේ ෆාරුක් රජු (1920 – 1965)
දසවන ෆාරුක් ලෙසින්ද හැඳින්වෙන මේ රජු ඊජිප්තුවේ අවසාන රජු වනවා. ඔහුගේ මව මුලින් සිතා ඇත්තේ රජකම හිමි වූ විට ඔහුගේ මෙම පුරුදු මගහැරී යනු ඇති බවයි. නමුත් සිදු වූයේ බලය සමග මේ උමතුව මුසු වීමයි. රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් සමග භෝජන සංග්‍රහයන්ට සහභාගී වෙමින් සිටියදී ඔහු තම පිඟාන මත වූ ආහාර අනෙක් අමුත්තන් වෙත දමා ගැසීම ඔහුගේ පුරුද්දක්. එසේ දමා ගසන ආහාර යමෙකුගේ ඇඟේ වැදුණ විට ප්‍රීතිඝෝෂා නැගීමටද ඔහු පුරුදු වී සිට තිබෙනවා.
ගැට කපන්නෙකුගෙන් ගැට කැපීමට උගත් ඔහු වරක් බ්‍රිතාන්‍ය අගමැතිවරයකු වූ වින්ස්ටන්ට් චර්චිල්ගේ සාක්කු ඔරලෝසුව සොරාගෙන තිබෙනවා. ෆාරුක් සතුව එය ඇති බවට පිරිසට හැඟී යත්ම ඔහු තමා විසින් එය අහම්බෙන් සොයාගත් ලෙසට රඟපා තිබෙනවා.
සියල්ලටම වඩා තමාටම ඇල්මක් දැක්වූ ඩෙන්මාර්කයේ සත්වන ක්‍රිස්ටියන් රජු (1749 – 1808)
මේ රජු නම් රජකම් කරන්නට හා රට පාලනය කරන්නට වැඩි කැමැත්තක් දැක්වූවෙකු නොවෙයි. ඊට හේතුව තමා සතු වූ ආශාවන් රිසි සේ විඳීමට රජකම බාධාවක් වූ නිසයි. ඔහු ගණිකාවන් වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය දැක්වූ රජ කෙනෙක්. නමුත් ඔහු ඊටත් වඩා ප්‍රිය කළේ වෙලාවක් කලාවක් නොමැතිව ස්වයං වින්දනයේ යෙදීමටයි. ඔහු කුඩා කලදී ඔහුගේ සේවකයින් විසින් ඔහුට එය උගන්වා ඇති අතර ඔහු ඊට ඉතා තදින් ඇබ්බැහිව සිට තිබෙනවා. ඔහුගේ මේ ඇබ්බැහි වීම පිළිබඳ දැන උන් අය බිය වූයේ ක්‍රිස්ටියන් රජු මේ පුරුද්ද නිසාම නොබෝ කලකින් මිය යනු ඇති බවටයි.
කවරයේ ඡායාරූපය – www.grunge.com
තොරතුරු උපුටා ගැනීම – www.grunge.com වෙබ් අඩවියේ “Kings who were really weird” ලිපිය ඇසුරිණි.