පෙරදිග ආසියාවේ ඉතිහාසය පරීක්ෂාවේ දී කොරියාව අතීතයේ සිටම චීනය හා ජපානයට වඩා ඉතා දුර්වල රාජ්‍යයක් වශයෙන් පැවතිනි. එහෙත් දෙවන ලෝක යුද්ධයෙන් පසු චීනය, ජපානය සේම කොරියාව ද වේගයෙන් දියුණු වන්නට විය.
වර්ෂ 1600 – 1910 අතර කාලය කොරියාවේ ඉතා අසීරු කාලයක්. මක් නිසා ද යත්, මේ කාලය කොරියාවට වැඩිපුරම බටහිර ආක්‍රමණ එල්ල වූ කාලය යි. මෙම විදෙස් බලපෑම් ඉදිරියේ කොරියාවට තම ස්වාධිපත්‍යය රැකගැනීම අතිශය අසීරු විය.
විශාල රටවල් අතර පිහිටි කුඩා රාජ්‍යයක් මුහුණ දෙන සියලුම ආකාරයේ ගැටළුවලට කොරියාවට ද මුහුණ දීමට සිදුවිය. චීනය, ජපානය, හා රුසියාව නිතරම බලවතුන් අතර සිටි හෙයින් ඒ රාජ්‍යයන්ට මැදිව සිටි කොරියාව නිතර ඔවුන්ගේ බලපෑම්වලට මුහුණපෑවෙ ය.
වර්ෂ 1592 දී ජපානය, කොරියාව හරහා චීනයට යාමට අවසර පැතු අතර, විශාල ජපන් සේනාවක් කොරියාවේ දකුණු වෙරළට ඇතුළු විය. මේ හේතුවෙන් ජපන් හා කොරියානු හමුදාවන් අතර දරුණු ගැටුම් ඇතිවිය. නැවතත් 1597 දී ජපන් ආක්‍රමණයකට මුහුණ දීමට කොරියාවට සිදු වූ අතර, මෙහිදී කොරියාව චීන හමුදා සහාය ලබා ගන්නා ලදී. චීන සහාය මත ජපන් හමුදා මැඬ පවත්වන්නට කොරියාවට හැකි විය.
ජපානය දිගින් දිගටම කොරියාව ආක්‍රමණය කරන ලද හෙයින් කොරියාව තුළ ජපන් විරෝධී සංවිධානයන් බිහිවිය. 1876 පමණ වන විට මෙවැනි සංවිධාන රාශියක් කොරියාව තුළ ස්ථාපිත වී තිබුණි.
මෙම 1876 වර්ෂයෙන් පසු ජපානය කොරියානු ආර්ථිකයට වඩා විශාල වශයෙන් බලපෑම් කරනු පෙනේ. මේ හේතුවෙන් නගරයට සීමා වී තිබු ජපන් විරෝධී ආකල්ප ග්‍රාමීය ප්‍රදේශ දක්වා විහිද යන්නට විය. ඒ අනුව ග්‍රාමීය ජනයා විශාල වශයෙන් මෙම කැරලි වටා එකතුවන්නට විය. 1882 දී ඇති වූ ජපන් විරෝධී හමුදා කැරැල්ල මේ අතර වැදගත් තැනක් ගනී.
කොරියාවේ වර්තමාන ඉතිහාසය පටන් ගන්නෙ 1910 දී ය. ඒ ජපන් අධිරාජ්‍යය විසින් කොරියාව යටත් කර ගැනීමෙන් පසුව ය. ජපානයේ පාලනය ඉතාමත් කෲර එකක් විය. නමුත් ඔවුන් කොරියාව නවීකරණයට ඉඩ ලබා දුනි. විශේෂයෙන්ම ප්‍රවාහන පද්ධතිය ගත් කල, මේ නවීකරණය කැපී පෙනෙන ලෙස සිදුව ඇත. නමුත් එසේ සිදු කෙරුනේ කොරියාවේ යහපතට නොවන, කොරියානු සම්පත් ජපානයට ගෙන යෑම පහසු කරලීමට ය.
1937 දි ජපන්-චීන යුද්ධය පටන් ගැනීමත් සමග ජපන් පාලනය තවත් දරුණු වන්නට විය. එහිදී කොරියානු සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක විය. ඒ යටතේ කොරියානු භාෂාව කතා කිරීම තහනම් කිරීම සිදුවුණු අතර, ඒ වෙනුවට ජපන් බස භාවිතා කළ යුතු විය. කොරියානු නාමයන් ජපන් නාමයන්වලට මාරු කරන ලදී. බුද්ධාගම ඇදහීම තහනම් කළ අතර, ඒ වෙනුවට ෂින්ටෝ ආගම ඇදහීම අනිවාර්‍ය විය. පාසැල්වල කොරියන් ඉතිහාසය ඉගැන්වීම තහනම් කිරීම ද මෙකල සිදුවිය.
මෙකල කොරියානු ජාතිකයන් ලක්‍ෂ හතරක් පමණ වහල් ශ්‍රමිකයන් ලෙස ජපානයට ගෙනගොස් ඇත. ඔවුන්ගෙන් පැවත එන අය ලක්‍ෂ පහක් පමණ නූතනය වන විටත් ජපානයේ සිටිති. ඔවුන්ව අද හැඳින්වෙන්නෙ “සයිනිචි” වශයෙනි. ඊට අමතරව කොරියානු කාන්තාවන් ලක්‍ෂ පහක් පමණ ජපන් හමුදා සෙබළුන්ට ගණිකාවන් ලෙස යොදාගැනීම සඳහා බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබේ.
ජපන් පාලනයෙන් කොරියාවට ඉමහත් විනාශයක් අත් වෙද්දී කොරියානු ජනතාව ජපන් පාලනයට විරුද්ධව සටන් කිරීමට තීරණය කරන ලදී. මේ සටන්කාමී ගරිල්ලා කණ්ඩායම් බොහොමයක් ස්ථානගත වෙන්නෙ චීන-කොරියන් දේශසීමාව ආසන්නයේ ය. ඔවුන්ට චීන සහ සෝවියට් සහාය ලැබුණි. දෙවෙනි ලෝක යුද්ධයේ ආරම්භයත් සමග කොරියානු විමුක්ති අරගලය ප්‍රධාන ධාරාවන් දෙකකට බෙදුණි.
පළමු කොටස සමන්විත වෙන්නෙ චීනයට පලා ගිය පිරිසක් විසින් එහිදී පිහිටුවා ගන්නා ලද දේශපාලන සංවිධානයකිනි. ඔවුන්ට චීනයේ සහ බටහිර රටවල සහාය ලැබුණි. ඔවුන් කොරියාවේ විකල්ප රජයක් ඇති කර ගති. මේ සංවිධානයේ මිලිටරි අංශය හැදින්වෙන ලද්දේ “කොරියානු විමුක්ති හමුදාව” වශයෙනි.
දෙවෙනි කොටස සමන්විත වුයේ කොරියන්-චීන දේශසීමාවේ ස්ථානගතව සිටි ගරිල්ලන්ගෙනි. ඔවුන්ට සෝවියට් දේශයේ සහ මාඕ සේදොංගේ චීන කොමියුනිස්ට් පක්‍ෂයේ සහාය ලැබුණි. එනිසා මේ කොටස සමාජවාදයට නැඹුරු විය. ඔවුන්ගේ මිලිටරි අංශය හඳුන්වන ලද්දේ “කොරියානු ස්වේච්ඡා හමුදාව” වශයෙනි.
කෙසේ වෙතත් මෙම ගරිල්ලා සටන්වලින් ජපන් හමුදාවට වූ බලපෑම අවම ය. විශේෂයෙන්ම කොරියානු විමුක්ති හමුදාවට කොරියාව තුළ තීරනාත්මක යමක් කිරීමට හැකියාවක් ලැබුනේ නැත.
1945 අගෝස්තු 6 ඇමරිකාව ජපානයේ හිරොෂිමාවට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීය. අගෝස්තු 8 සෝවියට් දේශය ජපානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන ලදී. අගෝස්තු 9 නාගසාකි නගරයට දෙවෙනි පරමාණු බෝම්බ ප්‍රහාරයත් එල්ල විය. එදිනම සෝවියට් යුධ ටැංකි චීන-කොරියන් දේශසීමාව හරහා කොරියාවට ඇතුල් විය. ඇමරිකාව මේ අවස්ථාවේ දී කලබලයට පත්වූයේ මුළු කොරියාවම සෝවියට් ග්‍රහනයට නතු වෙතැ යි සිතූ හෙයිනි. ඔවුන් සැලසුම් කරන ලද්දේ කොරියාව තාවකාලිකව කොටස් දෙකකට බෙදා, කොටසක් සෝවියට් දේශයේ ආරක්‍ෂාව යටතේත්, අනෙක් කොටස ඇමරිකාවේ ආරක්‍ෂාව යටතේත් තබා ගැනීමට ය. මෙහිදී ඔවුන් සීමාව ලෙස තෝරා ගන්නා ලද්දේ 38 වෙනි දේශාංශ රේඛාව යි. ඊට හේතු වෙන්නෙ ඒ සීමාවෙන් කොරියාව දළ වශයෙන් සමාන කොටස් දෙකකට බෙදෙන අතරම, විශාලම නගරය වන සියොල් නගරය ඇමරිකන් කොටසට හසුවීම යි. සෝවියට් දේශය මේ සැලසුමට එකඟ වූ අතර, කොරියාව තාවකාලිකව කොටස් දෙකකට කඩා, අවුරුදු හතරකට පසු එක්සත් කොරියාවකට නිදහස දීමට එකඟ විය.
මේ වෙද්දී කොරියාවේ ප්‍රධාන දේශපාලන ධාරාවන් තුනක් තිබුණි.
- ඇමරිකන් හිතවාදී දක්‍ෂිනාංශිකයන්
- සෝවියට් හිතවාදී කොමියුනිස්ට්වරු
- සමාජවාදී නැඹුරුවක් සහිත ජාතිකවාදීන්
ඇමරිකානු හිතවාදී දක්ෂිණාංශිකයන් ප්‍රධාන වශයෙන්ම සමන්විත වන ලද්දේ චීනයේ පිහිටවන ලද කොරියානු විකල්ප රජයේ සහ කොරියානු විමුක්ති හමුදාවට සම්බන්ධ කොටස්වලිනි. කොමියුනිස්ට්වරුන්, සෝවියට් ආධාර ලබන කොමියුනිස්ට්වාදීන්ගෙන් සමන්විත විය. ජාතිකවාදීන් සමන්විත වුයේ කොරියාව තුළ සහ චීන-කොරියන් දේශසීමාවේ සිට ක්‍රියාකාරී වු අරගලකරුවන්ගෙනි. මොවුන්ට සෝවියට් සහ මාඕගේ සහාය ලැබුන හෙයින් මොවුන් අතර සමාජවාදී අදහස් ස්ථාපිත වී තිබුණි. මේ අය අතරින් වඩාත්ම බලවත් වුයේ ජාතිකවාදීන් ය. අනිත් කොටස් කොරියානු ජනතාව දුටුවේ විදේශිකයන්ගේ ඒජන්තවරුන් වශයෙනි.
වර්තමාන කොරියාව නිර්මාණය වීමෙහිලා අතීතයේ සිටම ජපානයෙන් කෙරුණු බලපෑම විශාල ය. කොරියානු ආර්ථික, සමාජ, හා දේශපාලන ආදී වූ සියලු ප්‍රවාහයන්ට ජපානය මැදිහත්ව ඇත. මහා රාජ්‍යයන්ට මැදිව පිහිටි එක් කුඩා රාජ්‍යයක් වශයෙන් කොරියාව නිතරම පාහේ තාඩන පීඩනයන්ට ලක් වූවත්, අද වන විට කොරියාව ස්වාධීන රාජ්‍යයන් දෙකක් ලෙස නැගී සිටියි.