මල්වතු ඔය, ලාංකීය ශිෂ්ටාවාරයෙහි වැදගත් සන්ධිස්ථානයක්. මේ ලිපියෙන් ඔබට ගෙන එන්නේ මල්වතු ඔයේ සැඟවුණු අමුණු පිළිබඳ තොරතුරු යි.
මල්වතු ඔය උපත ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාවට නුදුරින් ඉහළ නගින මී. 766ක් උස රිටිගල කඳුවැටියේ බටහිර බෑවුම්වලින්. එම ජල ප්‍රවාහය උතුරුමැද පළාත සරුසාර කරමින් ගලා ගොස් උතුරු පළාතේ මන්නාරම් දිස්ත්‍රික්කයේ මහාතිත්ථ වරායට මඳක් දකුණින් මුහුදට ගලා බසිනවා. එහි දිග කිලෝමීටර 164ක්. එය ලංකාවේ දිගින් දෙවැනි තැන ගන්නා නදියයි. ‘කදම්භ නදිය’ ලෙස මහාවංශයේ සඳහන වන මෙම නදියට මන්නාරම අවට දෙමළ ජාතිකයන් කියන්නේ ‘අරවි ආරු’ කියලයි. ගංගාවේ ජල පෝශක ප්‍රදේශය වර්ගකිලෝමීටර 3246 ක් වෙනවා. එය ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් පෝෂණය වෙනවා. නාච්චාදූව, අනුරාධපුරය, තන්තිරිමලේ හරහා මල්වතු ඔය ගලා බසිනවා. ඉන් මුහුදට ගෙනයන ජල ප්‍රමාණය වසරකට ඝන මීටර මිලියන 560ක්. පැරණි බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ සටහන්වල මේ ගංගාව හඳුන්වා තිබෙන්නේ ‘අරිප්පු ගඟ’ කියලයි. ‘මුසලි ආරු’ කියලත් සමහරුන් එය හඳුන්වා තිබෙනවා. ගම්භීර නදී යනුවෙන් වංශකතාව හඳුන්වන කන්දර ඔයත් අනුරාධපුරයට තරමක් නුදුරින් මල්වතු ඔයට එක්වී එය පෝෂණය කරනවා.
රජරට ශිෂ්ටාචාරයේ උපත
නයිල් නිම්න, ඉන්දුනිම්න වැනි පුරාණ ලෝකයේ ශිෂ්ටාචාර බිහිවීම සඳහා ගංගා මුල්වී පැවතුණා. ලංකාවේ ඒ සඳහා ප්‍රධාන උදාහරණයක් සපයන්නේ මල්වතු ඔයයි. මහාවංශය සඳහන් කරන අන්දමට විජය කුමරු ක්‍රිස්තු පූර්ව 544 දී තම රාජධානිය කරගත්තේ තම්මැන්නාව ප්‍රදේශයයි. ඔහුගේ පිරිවරේ සිටි අනුරාධ නම් ඇමතියා ප්‍රථම වතාවට මල්වතු ඔය අසබඩ තැනිතලා පෙදෙසක අනුරාධ නම් ගමක් නිර්මාණය කරනවා. මුල්ම අගනුවර ලෙස මහාවංශයේ සඳහන් උපතිස්සගාමය පිහිටා තිබුණේ ද මල්වතු ඔය අසබඩයි. ක්‍රිස්තු පූර්ව 437 දී ලංකා රාජාවලියේ පළමු ක්‍රමානුකූල රජු ලෙස සැලකෙනන පණ්ඩුකාභය රජු මල්වතුඔය බඩ පිහිටි අනුරාධ ග්‍රාමය මෙරට පළමු අගනුවර ලෙස සංවිධානාත්මකව සකස් කරනවා. නාච්චාදූව වැව, තිසාවැව , නුවර වැව, මහකනදරාව වැව, අකතිමුරුප්පු වැව, යෝධ වැව කියන මෙම වැව් සියල්ලටම ජලය සපයන වැදගත්ම ජල සම්පාදකයා වන්නේ ද මල්වතු ඔයයි.
මල්වතු ඔය අමුණ
අනුරාධපුරය ආශ්‍රිතව ජීවත්වූ මධ්‍ය ශිලා යුග මානවයා අදින් අවුරුදු 5900කට පෙර ( ක්‍රිස්තු පූර්ව 3900) ජලය හා ගනුදෙනු කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ, ප්‍රදේශයේ ප්‍රධාන ජල මූලාශ්‍රය වූ මල්වතු ඔයෙන්. අනුරාධපුර නගරයේ ජල අවශ්‍යතා සැපිරීමට ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසේ දී සේන, ගුත්තික යන වෙළෙඳුන් දෙදෙනා මල්වතු ඔය හරස් කර නගරයට ජලය ගෙන යාමට ඇළක් තැනූ බව මහාවංශය සඳහන් කරනවා.
මේ අමුණ ඉසුරුමුණිය වත්මන් පාලම අසලින් වම්පසට ගොස් මල්වතු ඔයට ළඟාවන විට හඳුනාගත හැකියි. අද එය නටබුන් වී ගොසින්.
රිටිගල සිට නාච්චදූව වැව දක්වා වූ කිලෝමීටර 35 ක් පමණ දුර මල්වතුඔය ගලා යන්නේ කිසිවකුගේ අවධානයට ලක්නොවෙමින්. මල්වතුඔය වඩාත් ජලයෙන් පෝෂිතව ගලා යාම ආරම්භ වන්නේ නාච්චාදූව වැවේ සිටයි. නාච්චාදූව වැවේදී කලාවැව හරහා යෝධ ඇළ දිගේ පැමිණෙන මහවැලි දියවරත් මල්වතු ඔය සමඟ එකතුවීම එයට හේතුවයි. එතැන් සිට තවත් කිලෝමීටර 17 කින් පසු මේ ජල ප්‍රවාහය අනුරාධපුර නගරයට ඇතුළු වෙනවා.
හල්පන් ඇළ
අනුරාධපුර නගරය ආසන්නයේදී මල්වතු ඔය හරහා කුඩා අමුණක් බැඳ මල්වතු ඔය වම් ඉවුරෙන් කුඩා ඇළක් නිර්මාණය කරනවා. එය හඳුන්වන්නේ “හල්පන් ඇළ’ නමින්. හල්පන් ඇළ ඉදිකරන්නේ අනුරාධපුර ප්‍රධාන නගරයේ පිහිටි කුඹුරු ඉඩම් සඳහා ජලය ලබා ගැනීම පිණිසයි. කිලෝමීටර 20 ක් පමණ දිගකින් ගලාබසින හල්පන් ඇළ අනුරාධපුර ප්‍රදේශයේදී මල්වතුඔයට සමාන්තරව ගලා බසිමින් මල්වතුඔයේ වම් ඉවුරේ පිහිටි කුඹුරු සඳහා දියවර සැපයීම සිදු කරනවා. මල්වතුඔය හරහා තැනූ”අනුරාධපුර ගල් පාලම” පිහිටා තිබෙන්නේද හල්පන් ඇළට නුදුරින් පෙරිමියන්කුලම ගම්මානයේ .
අදත් දැකගත හැකි මේ ඇළ සියවස් 20කට අධික කාලයක් තිස්සේ ගොවිතැනට ජලය සපයා තිබෙනවා.
හාල්පන් ඇළ අමුණට අමතර ව අනුරාධපුර නගරයේ උතුරු දෙසින් තවත් අමුණක් මල්වතු ඔය හරස් කර ගල්කඩවල ඉදි කර තිබෙනවා. මීටර් 30 x 30 පමණ විශාලත්වයෙන් යතු එහි කාලය පැහැදිලි නැති බව මහාචාර්ය තුසිත මැන්දිස් පවසනවා. මුල් අමුණ ඉදි වූ කාලයට සමකාලීන ව හෝ මඳ කලකට පසුව හෝ මෙය සංවර්ධනය කර ඇති බවයි පේන්නේ.
මල්වතු ඔය ගල් පාලම
අනුරාධපුරයේ සිට උතුරට ගමන් කළ මහා මාර්ගය, මල්වතු ඔය තරණය කළේ මේ ගල්පාලම ඔස්සේයි. පා ගමනින් මෙන්ම අශ්ව රථවලින් ද මේ ඔස්සේ ගමන් කළ හැකිවුණා. වර්තමානයේදී එහි නටබුන් පමණක් ශේෂව පවතිනවා. ඒ පූජා නගරයේ සිට කි. මී. 2ක් පමණ දුරින් පෙරිමියන්කුලම වෙල්යායක් අසලයි. මෙය අසල දී හල්පන් ඇළ හරහා ඉදිකළ ගල්පාලමක් ද දැකගත හැකියි. මේ ගල්පාලම අඩි 10 ක් පමණ පළලකින් ඉදිකර තිබෙනවා. දැනට ඔය මැද තරමක් දුරට යනතෙක් ඉතිරිව පවතින එහි ගල්පුවරු රැසක් ඔය පතුලේත් තිබෙනවා. ඔයෙහි ගල් කණු තුන බැගින් සිටුවා ඒ මත තිරස්ව ගල් බාල්ක තබා ඒ මත ගල්පුවරු ඇතිරීමෙනුයි පාලම තනා තිබෙන්නේ. මෙහි සංරක්ෂණ කටයුතු පසුගිය කාලයේ ආරම්භ කළත් එය අතරමග නැවතී තිබෙන බව පේනවා.
ජල දූෂණය
නාගරිකව ගලායන කැලණි, කළු වැනි ගංගා පමණක් නොව රජරට හරහා ගලන මල්වතු ඔයේ ජලය ද දූෂණය වී තිබෙන බව පසුගියදා කළ පර්යේෂණයකින් අනාවරණය වුණා. අනුරපුර නගරය අවට දී මෙහි ජලයේ හානිකර බැක්ටීරියා බහුලව පවතින බව හෙළිවූ කරුණක්. නගරයේ අපද්‍රව්‍ය එකතු කරගෙන ගොස් මල්වතු ඔයට වැටෙන ඇළමාර්ග තුනෙහිම මෙම බැක්ටීරියා බහුලව අන්තර්ගතයි. ස්වභාවික වනාන්තරය හරහා ගලා නදියේ මෙවැනි ව්‍යාධිජනක බැක්ටීරියා හමු වන්නේ නැහැ. නගරය හරහා ගලන ජලයේ ඒවා පැවතීමෙන් පැහැදිලි වන්නේ නගරයේ මලද්‍රව්‍ය බැහැර කිරීමේ දුර්වලතායි. කිලෝමීටර් 40 ක් පමණ දුරක් කෘෂිකාර්මික ප්‍රදේශ හරහා මල්වතු ඔය ගලා යනවිටදී නයිට්‍රජන් අන්තර්ගතය දෙගුණයක් පමණ වැඩිවෙනවා. එයට ප්‍රධාන හේතුව රසායනික පොහොර බව හෙළි වී තිබෙනවා.
තේක්කම අමුණ
මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි යෝධ වැව හෙවත් මානාමතු වැවට ජලය ලබාගෙන ඇත්තේ මල්වතු ඔය හරහා ඉදිකළ අමුණකින්. මෙම අමුණ ඉංග්‍රීසි පාලන කාලයේ දී යළිත් ප්‍රතිසංස්කරණය කෙරුණා. තේක්කම සිට කිලෝමීටර 25ක් දිග යෝධ ඇළ නමින් හඳුන්වන ඇළ මාර්ගයකින් වැව දක්වා ජලය ගෙන යනවා.
පැරණි අමුණට තරමක් පහළින් තවත් අමුණක් බඳවා වම් ඉවුරේ සැතපුම් දාහතරක් දිග තවත් ඇළක් නිර්මාණය කරමින් මල්වතු ඔයට පහළින් ‘අකාති මුරුප්පු’ නමින් වර්තමානයේ හඳුන්වන වැවට ජලය ගෙන ගිය බවත් සඳහන් වෙනවා.
ධාතුසේන රජු ( ක්‍රිස්තු වර්ෂ 455-474) මානාමතු වැව කරවූ බව පූජාවලියේ සඳහන් වෙනවා. යෝධ වැවට ජලය සැපයූ ඇළ මාර්ගය සහ ඒ සඳහා ජලය ලබාගැනීමට මල්වතු ඔය හරස් කර ඉදි කළ අමුණ ද බොහෝ විට ධාතුසේන රජුගේම ව්‍යාපෘති වන්නට ඇති බවට අනුමාන කරනවා.
මල්වතු ඔයේ පිහිටි ස්වභාවික ගල් තලාවක් මත කළුගලින් කවාකාරව ඉදිකර ඇති මෙම අමුණ දිගින් මීටර 150-200ක් පමණ ද පළලින් මීටර 4.8ක් ද වෙනවා. එහි උස මීටර 4.3ක්. අමුණේ එක් කොනක විශාල දොරටු තුනක් දැකිය හැකි අතර ඒවා අතිරික්ත ජලය පිටකිරීමට ලී දොරටු යොදා එකල භාවිතා වූ පිට වාන ලෙස අනුමාන කිරීමට පුළුවන්.
එල්ලෙන පාලම සහ ආරුක්කු පාලම
ඉංග්‍රීසි පාලන සමයේ ඔය තරණය කිරීමට ඉදිකළ මෙම සංගිලි පාලම අදත් භාවිත වෙනවා. මැදවච්චියේ සිට මන්නාරමට යන මාර්ගයේ මඩු පල්ලි පාරට කිලෝමීටරයකට පමණ පෙර හැරී යාමෙන් පාලමට පිවිසිය හැකියි. පාලමේ දිග මීටර් 100ක්. ඉතා අලංකාර වටපිටාවක් මේ අවට දැකගත හැකි වෙනවා. මෙම පාලමට නුදුරින් ඉංග්‍රීසින් විසින් තැනූ යකඩ ආරුක්කු පාලමක් ද පිහිටා තිබෙනවා.
පහළ මල්වතු ඔය ජලාශය
අනුරාධපුර උතුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක තුළ දීර්ඝකාලීනව බලපා තිබූ පිරිසුදු පානීය ජල හිඟයෙන් මෙන්ම වාරි ජල හිඟයෙන් දැඩි පීඩා විදි ජනතාවට සිය ජල ගැටලුවලට විසඳුම් ලබාදීමට පසුගියදා ආරම්භ කළ ව්‍යාපෘතියක්. තන්තිරිමලේට නුදුරින් වේල්ලක් බැඳ ජලාශය ඉදිකරනවා. මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියෙන් සහල් නැලිය ලෙස ප්‍රසිද්ධ මන්නාරම යෝධ වැව සහ අකිතමුරුප්පු ආශ්‍රිතව අක්කර 32680 ක කුඹුරු ඉඩම් දෙකන්නයම වගා කිරීමට මේ මගින් ජල පහසුකම් ලැබෙනවා. නව වගා බිම් ලෙස හෙක්ටයාර 2600 ක් අස්වැද්දීමටත් නියමිතයි. මේ ජලාශයේ විශාලත්වය අක්කර අඩි 170,000 ක්. මුළු වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 12 ක් වෙනවා.