ලංකා ඉතිහාසයෙන් හමුවන ජාතික ව්‍යාපාරය

යටත් විජිත යුගයේදී ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාරය විවිධ මුහුණුවරවලින් මතුව ආවා. මේ අතර ප්‍රධාන වූ අංශ කිහිපයක් පිළිබඳ අප මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනවා.

ආගමික හා සංස්කෘතික පුනර්ජීවනය

en.wikipedia.org

ලංකාව බ්‍රිතාන්‍යන් විසින් පාලනය කරන වකවාණුවල දී මිෂනාරි සමාගම් විසින් අධ්‍යාපන කටයුතු සිදු කරනු ලැබුවා. ස්වභාෂා අධ්‍යාපනයට ආධාර කිසිවක් හිමි නොවුන හෙයින් ස්වභාෂා පාසල්, ආගම් මෙන්ම සංස්කෘතියට තර්ජනයක් වෙනු ඇතැයි බියක් ඇති වුණා. මේ හේතුවෙන් 1860 දී පමණ ආගමික හා සංස්කෘතික ව්‍යාපාර ආරම්භ වුණා. මිගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි, රත්මලානේ ධර්මාලෝක නා හිමි හා වලානේ සිද්ධාර්ථ නා හිමි ආදී හිමි වරුන් 19 වන සියවස අග භාගයේදී බෞද්ධ ආගමික ප්‍රබෝධයට පුරෝගාමී වුණා. එමෙන්ම පංච මහා වාද පැවැත්වීම, ඉරුදින දහම් පාසල් ඇරඹීම, සරසවි සඳරැස පුවත්පත ඇරඹීම, කාන්තා අධ්‍යාපනය සඳහා බාලිකා විද්‍යාල පිහිටුවීම ආදිය මෙලෙස සිදු කළ කටයුතු අතර කිහිපයකි. එමෙන්ම වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා, අනගාරික ධර්මපාල තුමා, පියදාස සිරිසේන ආදී නායකයන්ද මෙම ව්‍යාපාරයේ නායකත්වය ලබා ගත්තා.

හින්දු ආගමික ව්‍යාපාරය

nunavil.com(ආරුමුග නාවලර් තුමා)

මේ සඳහා ආරුමුග නාවලර්තුමා නායකත්වය දරනු ලැබුවා. ක්‍රිස්තියානි මිෂනාරි සමාගම් විසින් පාසල් පවත්වා ගෙන යනු ලැබුවා. එමඟින් ලබා දුන් අධ්‍යාපනය හේතුවෙන් හින්දු සංස්කෘතිය හා පාරම්පරික සිරිත් විරිත් විනාශ වෙනු ඇතැයි හින්දු භක්තිකයන් අතර භයක් තිබුණා. මේ හේතුවෙන් මෙම අධ්‍යාපන රටාවට එරෙහිව ව්‍යාපාර බිහි වීමක් සිදු වුණා. නාවලර්තුමා හින්දු ජාතිකයන්ගේ ශ්‍රේෂ්ඨ උරුමයන් හා හින්දු ආගමේ වැදගත්කම ආදිය පෙන්වීමට කටයුතු කරනු ලැබුවා. යාපනයේ 1897 වසරේදී එතුමා ආරම්භ කළ පාසලයි හින්දු විද්‍යාලය ලෙස පසු කලෙක ප්‍රසිද්ධ වී තිබෙන්නේ. මිට අමතරව ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් ද හින්දු ආගමික පුනර්ජීවන උදෙසා දැඩි කැපවීමක් කල අයෙකි. පරමේශ්වර විද්‍යාලයත්, රාමනාදන් විද්‍යාලයත් මෙතුමා පිහිටුවන ලද්දේ තම පුද්ගලික ධනයෙනි.

ඉස්ලාම් පුනර්ජීවනය

youtube.com

එම්.සී. සිද්ධි ලෙබ්බේ මහතා මේ සඳහා පුරෝගාමී වූවා. මෙතුමාගේ ක්‍රියාවන් හේතුවෙන් මුස්ලිම් ජනතාව අතර අධ්‍යාපනය පිළිබඳව පිබිදීමක් ඇති වීම සිදු වුණා. අරාබි මෙන්ම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට උනන්දු කිරීම, 1882 වසරේදී මරදානේ සහිරා විද්‍යාලය ආරම්භ කිරීමට මූලිකත්වය සැපයීම, කොළඹ මුස්ලිම් අධ්‍යාපන සංගමය පිහිටුවීම ආදියට තම දායකත්වය ලබා දුන්නා. මීට අමතරව ටී. බී. ජයා මහතාද මුස්ලිම් අධ්‍යාපනය හා නවෝදයට පුරෝගාමී වූ වැදගත් චරිතයකි. 1921 සහිරා විද්‍යාලයේ විදුහල්පති ධූරය භාර ගත් මෙතුමා පිරිහෙමින් පැවති පාසැල නගා සිටුවීමට කටයුතු කළා. එමෙන්ම 1947 වසරේදී කම්කරු හා සමාජ සේවා ඇමති ලෙසද, සිලෝන් මුස්ලිම් රිවීව් සඟරාවට සැපයු ලිපි මඟින් අධ්‍යාපනයේ වැදගත්කම පැහැදිලි කරමින් මුස්ලිම් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා කටයුතු කරනු ලැබුවා.

කම්කරු ව්‍යපාරය

serendib.btoptions.lk (ආචාර්ය. එන්. එම් පෙරේරා)

දේශීය ජනතාව ශක්තිමත් තත්ත්වයකට පැමිණ සිටිනු දැකීමට බ්‍රිතාන්‍යයන් අකමැති වුවා. උඩරට සිංහලයන් වතුවල වැඩ කිරීමට කැමැත්තක් දැක්වුවත් එයට ඉඩ නොදී ඉන්දීය කම්කරුවන් ගෙන්වීමක් සිදු කළා. මේ අනුව 19 වන සියවස අවසානයේ සිංහලයන්ගෙන් යුත් කම්කරු පන්තියක් බිහි වීම සිදු වුණා. කොළඹ කේන්ද්‍ර කොටගෙන බිහි වූ ඔවුන් කොළඹ නගරය තුළ උද්ඝෝෂණ පැවැත් වූවා. මධ්‍යම පන්තියේ ද සහයෝගය ලබා ගනිමින් කරත්තකරුවන්ගේ වැඩවර්ජන, වැල්ලවත්ත රෙදි මෝලේ වැඩවර්ජන ආදිය මෙහෙය වූවා. 20 වන සියවසේ දෙවන දශකයේ උද්ඝෝෂණ සඳහා ඒ. ඊ. ගුණසිංහ මහතා නායකත්වය ලබා දුන් අතර, 1935 දී පමණ ලංකා සම සමාජ පක්ෂය බිහි වුණා. මේ සඳහා ආචාර්ය. එන්. එම් පෙරේරා, පිලිප් ගුණවර්ධන, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ යන අය මූලික වුණා.

අමද්‍යප ව්‍යාපාරය

news.lk (අනගාරික ධර්මපාලතුමා)

අමද්‍යප ව්‍යාපාරය යනු ජාතික පුනරුද ව්‍යාපාරයේ සංස්කෘතික නවෝදයට හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ ව්‍යාපාරයටද විශාල ලෙස දායකත්වය ලබා දුන් ව්‍යාපාරයකි. ඉංග්‍රීසින් විසින් පවත්වාගෙන ගිය මත්පැන් ප්‍රතිපත්තිය හේතුවෙන් ලක්දිව සංස්කෘතික පරිහානියක් ඇති වෙමින් තිබුණා. එමෙන්ම 1912 දී නව සුරා බදු පනතක්ද නීති ගත කෙරුණා. මේ හේතුවෙන් එයට එරෙහි වෙමින් උද්ඝෝෂණ ව්‍යාපාරද දියත් කෙරුණා. ඩි. එස් සේනානායක, එෆ්. ආර් සේනානායක, අනගාරික ධර්මපාලතුමා, පියදාස වැනි ප්‍රභු මහත්වරුන් මේ සඳහා නායකත්වය ගනු ලැබුවා. දේශීය ආගම් වලින් පදනම් වූ පරිපූර්ණ සමාජ සංස්කෘතියක් යළි ගොඩනගා ගන්නා ආකාරය මොවුන් විසින් පෙන්වා දෙනු ලැබුවා.

ලංකා ජාතික සංගමය පිහිටුවා ගැනීම

youtube.com

යටත් විජිත පාලනය හමුවේ ලාංකිකයන්ට අසාධාරණ මර්දනකාරී ක්‍රියාවන් වලට මුහුණ පෑමට සිදු වුණා. මේ හේතුවෙන් මෙවැනි ක්‍රියා වලට විරුද්ධ වීමට ප්‍රබල ජාතික සංවිධානයක අවශ්‍යතාවය ලාංකිකයන්ට දැඩිව දැනුණා. මෙහි ප්‍රතිපලයක් ලෙස 1919 දී ලංකා ජාතික සංගමය පිහිටුවා ගනු ලැබුවා. මෙය ආරම්භ වුණේ විවිධ සංගම් වල නියෝජිතයන්ගෙන් වූ අතරම කම්කරු සංගමයද ඒ අතර වුණා. පොන්නම්බලම් අරුණාචලම් මහතා ප්‍රථම සභාපතිවරයා වූ අතරම පොන්නම්බලම් රාමනාදන්, ජේමිස් පීරිස් වැනි නායකයන්ද එහි වූවා. මොවුන්ගේ අරමුණ වූයේ නිත්‍යානුකුලව හා සාමකාමිව අයිතිවාසිකම් දිනා ගැනීමයි. ඒ අනුව මෙම සංගමය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලා ගෙන යනු ලැබූ ජාතික ව්‍යාපාරයේ නායකත්වය ගනු ලැබුවා.

කවරයේ පින්තූරය: (Charaka Ranasingha / Wikemedia Commons)

Related Articles

Exit mobile version