Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උතුරු කොරියානුවන්ගේ අමරණීය​ පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය

එංගලන්තයේ මිඩ්ල්ස්බ්‍රෝ නගරයේ එක්තරා නිවාස ව්‍යාපෘතියක එක් ස්ථානයක, නෙවිල් ගැබී නම් නිර්මාණකරුවා විසින් කරන ලද ලෝකඩ අඩි සටහන් දෙකක නිර්මාණයක් වනවා. මෙය 1966 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ දී ලොවක් මවිත කළ සිද්ධියක් සිහි වීමට කරන ලද්දක්. ලෝක පූජිත ඉතාලි පාපන්දු කණ්ඩායම කිසිදු ලෙසකින් හෝ බලාපොරොත්තු නොවූ ලෙස උතුරු කොරියාව හමුවේ පරාජය වීම එම සිද්ධිය යි.

1966 උතුරු කොරියානු පිළ නියෝජනය කළ පක් ඩෝ-ඉක් නෙවිල් ගැබීගේ නිර්මාණය අසළ 2002 දී (Gazette Live)

1930 දී ඇරඹි පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය එම ක්‍රීඩාවේ නිජබිම සේ සැළකෙන එංගලන්තයෙහි පවත්වන ලද පළමු සහ මෙතෙක් එකම අවස්ථාව වූයේ 1966 වසර යි. කණ්ඩායම් 16ක් මෙම තරඟාවලිය සඳහා සුදුසුකම් ලද අතර ඉන් වඩාත්ම කතාබහට ලක් වූ කණ්ඩායමක් වූයේ උතුරු කොරියාව යි.

දේශපාලන ගැටුම්

උතුරු කොරියාව මෙම තරඟාවලියට සුදුසුකම් ලද්දේ ආසියා-අප්‍රිකා කලාපයෙන්. මෙහි දී අප්‍රිකානු රටවල් 31ක් තරඟාවලිය වර්ජනය කළා. ඊට හේතු වූයේ අප්‍රිකානු කලාපයට එක් ස්ථානයක් හෝ අනිවාර්යයෙන් හිමි විය යුතු බවට එහි රටවල් කරන ලද ඉල්ලීමක් ලෝක පාපන්දු ෆෙඩරේශනය විසින් ප්‍රතික්ෂේප කිරීම යි. ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරඟවලින් දකුණු කොරියාව ද ඉවත් වුණා. මේ අනුව ඔස්ට්‍රේලියාව සමඟ වූ සුදුසුකම් ලැබීමේ තරඟවලින් පසු උතුරු කොරියාව ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවා. ඔස්ට්‍රේලියාව උතුරු කොරියාවේ දී තරඟ වැදීමට අකමැති වූයෙන් මෙම තරඟ පැවැතුණේ කාම්බෝජයෙ දී.

උතුරු කොරියාව ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම මහා බ්‍රිතාන්‍ය බලධාරීන්ට ප්‍රශ්නයක් වුණා. මේ වන විට බ්‍රිතාන්‍යය විසින් උතුරු කොරියාව ස්වෛරී රාජ්‍යයක් ලෙස පිළිගත්තේ නැහැ. මේ හේතුවෙන් උතුරු කොරියානු ක්‍රීඩකයන් එරටට පැමිණීම පිළිබඳ බලධාරීන් නොසතුටට පළ කළා. විදේශ අමාත්‍යාංශය විසින් උතුරු කොරියානුවන්ට වීසා ලබා නොදීමට පවා සළකා බලනු ලැබුණා. මෙහි දී ඔවුන් මුහුණ දුන් මූලික ප්‍රශ්නය වූයේ උතුරු කොරියාවේ ස්වෛරීභාවය පිළිගතහොත්, නැගෙනහිර ජර්මනියේ ද ස්වෛරීභාවය පිළිගැනීමට සිදු වනු ඇත යන්න යි.

1966 ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ නිල සලකුණ (Youtube Screengrab)​

කෙසේ නමුත් එංගලන්ත පාපන්දු බලධාරීන් උතුරු කොරියානු ක්‍රීඩකයන්ට බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට ඉඩ නොදීම අනුවණ ක්‍රියාවක් බව කියා සිටි අතර එංගලන්තයට ලෝක කුසලානයේ සත්කාරකත්වය අහිමි විය හැකි බවට ද අනතුරු ඇඟවූවා. මේ අනුව උතුරු කොරියානුවන්ට බ්‍රිතාන්‍යයට ඇතුළු වීමේ අවස්ථාව හිමි වුණා. නමුත් තරඟාවලියේ දී උතුරු කොරියානු ධජය ප්‍රදර්ශනය කිරීම හෝ එරට ජාතික ගීය වාදනය සඳහා ඉඩ නොදීමට විදේශ අමාත්‍යාංශ බලධාරීන් කටයුතු කළා. ජාතික ධජ සම්බන්ධව ඔවුනගේ ඉල්ලීම ඒ ආකාරයෙන් සිදු නොවුණ ද උතුරු කොරියානු ජාතික ගීය වාදනය කිරීම සිදු වූයේ නැහැ.

නගරවාසීන්ගේ කුතුහලය​​

උතුරු කොරියාව​ හතරවන කාණ්ඩයට අයත් වූ අතර එහි සෝවියට් දේශය​, ඉතාලිය, සහ චිලී රාජ්‍යය ද ඇතුලත් වුණා. මෙසමයෙහි සෝවියට් දේශය ඉතා හොඳ පාපන්දු කණ්ඩායමක් වූ අතර ඉතාලිය සෑම කලකම තරඟකාරී පාපන්දු කණ්ඩායමක් බව නොරහසක්. මේ හේතුව නිසා කිසිවකුත් උතුරු කොරියානුවන්ට වැඩි බරක් තැබුයේ නැහැ.

අයර්සම් පාර්ක් ක්‍රීඩාංගනයේ 1991 දී මිඩ්ල්ස්බ්‍රෝ පිළ තරඟවදින අවස්ථාවක් (Steve Daniels/Wikimedia Commons)

එංගලන්තයට පැමිණි උතුරු කොරියානු ක්‍රීඩා දූත පිරිසට සාමාජිකයන් 74 දෙනෙකු අයත් වුණා. ඒ අතර ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, වෛද්‍යවරුන්, සූපවේදීන්, සහ වාර්තා කණ්ඩායමක් ද අයත් වුණා. උතුරු කොරියානුවන් සහභාගී වූ මූලික වටයේ තරඟ පැවතියේ මිඩ්ල්ස්බ්‍රෝහි අයර්සම් පාර්ක් ක්‍රීඩාංගනයේ දී යි. කොරියානු යුද්ධයට ද බ්‍රිතාන්‍යය සහභාගී වූ හෙයින් ද​, කොමියුනිස්ට් රාජ්‍යයක් ලෙස ප්‍රචලිතව තිබූ හෙයින් ද​, බ්‍රිතාන්‍ය ජනතාව අතර පොදුවේ උතුරු කොරියානුවන් පිළිබඳ වූයේ විරෝධාකල්පයක්. කෙසේ නමුත්, කාර්මික නගරයක් වූ මිඩ්ල්ස්බ්‍රෝ හි දී සිදු වූයේ අනෙකක්. එවකට නගරාධිපති වූ ජැක් බූත්බි උතුරු කොරියානුවන්ට​ ඉතා මිත්‍රශීලී ලීලාවෙන් සැලකුවා. අනෙක් අතට​, උතුරු කොරියාව පිළිබඳ කිසිවකුත් හරි විස්තරයක් නොදැන සිටි හෙයින් ඔවුන් කෙරෙහි විශාල උනන්දුවක් නගරවාසීන් තුළ ඇති වුණා. ඔවුන් පුහුණුවීම් සිදු කළ, ඛනිජ තෙල් රසායන කම්හලකට අයත් වූ ක්‍රීඩාංගනයට, විශාල පිරිසක් ඇදී ආවේ මේ අරුම පුදුම රටේ ක්‍රීඩකයන් දැකගන්නා අටියෙන්.

වේගය සහ ශක්තිය​

උතුරු කොරියානුවන් සිය මාර්ගෝපදේශය ලෙස සැලකූයේ ජුචේ සංකල්පය සහ “චොල්ලිමා ජීවගුණය​” (Chollima spirit) නම් සංකල්පය යි. චොල්ලිමා යනු නැගෙනහිර ආසියාවේ ජනයා අතර ප්‍රකට, පියාපත් සහිත අශ්වයකු ලෙස නිරූපිත මිත්‍යාමය අශ්වයෙක්. වේගයෙන් සහ කැපවීමෙන් වැඩ කිරීම එම සංකල්පයේ අරමුණ වනවා. උතුරු කොරියානුවන් තම පාපන්දු කණ්ඩායම හඳුනාගත්තේ ද චොල්ලිමා පාපන්දු කණ්ඩායම ලෙස යි.

උතුරු කොරියාවේ ප්‍යොංග් යෑංග් අගනුවර පිහිටි චොල්ලිමා ප්‍රතිමාව (Wikimedia Commons)

චොල්ලිමා ජීවගුණය අනුව යමින් උතුරු කොරියානුවන් වේගවත් පාපන්දු ශෛලියකට හුරුව සිටියා. තමන්ට වඩා කුසලතාවයෙන් වැඩි සහ ශරීර ප්‍රමාණයෙන් විශාල ක්‍රීඩකයන් සමඟ තරඟ වැදීමේ දී උතුරු කොරියානුවන්ට උපකාරී වූයේ මෙම වේගවත් ක්‍රීඩා විලාශය යි.

හතරවන කාණ්ඩයේ පළමු තරඟය ලෙස උතුරු කොරියාව 1966 ජූලි 12 වන දා සෝවියට් දේශයට මුහුණ දුන්නා. උතුරු කොරියානු පිළේ සාමාන්‍ය උස වූයේ අඩි පහයි අඟල් පහක්. ඔවුන් සෝවියට් ක්‍රීඩකයන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා වූ අතර සෝවියට් කණ්ඩායම මෙම වාසිය උපරිමයට භාවිතා කළා. මෙම තරඟයෙන් සෝවියට් දේශය 3-0 ක් ලෙස ජයගත් අතර උතුරු කොරියාව දෙවන වටය කරා යනු ඇතැයි කිසිවකුත් බලාපොරොත්තු වූයේ නැහැ. කෙසේ නමුත්, මෙම තරඟය නැරඹූ අයර්සම් පාර්ක්හි ප්‍රේක්ෂකයන් උතුරු කොරියානු ක්‍රීඩකයන් පිළිබඳ ප්‍රසාදයක් ඇති කරගත් බව පෙනෙන්නට තිබුණා.

සෝවියට් දේශය සමඟ තරඟය​ (Pinterest)

මේ තත්ත්වය පැහැදිලි වුණේ ඔවුනගේ මීළඟ තරඟය අවස්ථාවෙ දී යි. 1962 දී තෙවන ස්ථානය දිනාගත් චිලී කණ්ඩායම සිය මූලික වටයේ පළමු තරඟයේ දී ඉතාලිය හමුවේ 2-0ක් ලෙස පරාජය වී තිබුණා. නමුත් උතුරු කොරියාව හමුවේ ඔවුන් පරාජය වේ යයි විශ්වාස කෙරුණේ නැහැ. මෙ වන විට මිඩ්ල්ස්බ්‍රෝ වැසියන් කුඩා ශරීර ප්‍රමාණයෙන් යුතු වූ කොරියානු පිළ තමන්ගේම කණ්ඩායමක් මෙන් සලකන්නට පටන් ගෙන තිබුණා.තරඟයේ 26 වන විනාඩියේ දී දඬුවම් පහරක් මගින් චිලී පිළ 1-0ක් ලෙස ඉදිරියට ගියා. ඉන්පසු බොහෝ වෙලාවක් යනතුරු දෙපිළටම ගෝල ලබාගත හැකි වූයේ නැහැ. දෙවන භාගයේ දී තදින් වැසි ඇද වැටුණ නමුත් උතුරු කොරියානුවන් දිගටම සිය වේගවත් ක්‍රීඩා විලාශය පවත්වාගන ගියා. තරඟයේ අවසන් මිනිත්තු කිහිපය කරා එළඹෙද්දී ප්‍රේක්ෂකයන් ද ඔවුන් දිරිමත් කිරීම තීව්‍ර කළේ යම් හෙයකින් මෙම තරඟය පරාජය වූයේ නම් උතුරු කොරියාවට ඊළඟ වටය කරා සුදුසුකම් ලැබීමට නොහැකි වන බව දැන සිටි හෙයින්.

තරඟයේ 88 වන විනාඩියේ දී උතුරු කොරියාවේ පක් සුන්-ජින් ගෝලයක් වාර්තා කළ විට සමස්ථ ක්‍රීඩාංගණයම ප්‍රීති ඝෝෂාවෙන් පිරී ගියා. උතුරු කොරියාව ලකුණු සම කළ අතරම ඔවුන් මිඩ්ල්ස්බ්‍රෝ නගරයේ වීරයින් බවට පත් වුණා.

මේ වනවිට මිඩ්ල්ස්බ්‍රෝ ක්‍රීඩා සමාජය එංගලන්ත පාපන්දු ලීගයේ තුන්වන ලීගයට පසු බැස තිබුණා. එවන් පසුබිමක තම නගරයට පැමිණි අලුත් වීරයින් එම නගරවාසීන් විසින් සාදරයෙන් වැළඳ ගත්තා. තරඟයේ විස්තර විචාරකයකු ප්‍රකාශ කළේ වසර ගණනකින් මිඩ්ල්ස්බ්‍රෝ වැසියන් තම ක්‍රීඩා සමාජය සඳහා මෙවන් ප්‍රීති ඝෝෂා නැගීමක් කරනු දැකගත නොහැකි වූ බව යි.

නමුත් වීරයින්ගේ උපරිම අවස්ථාව​ පැමිණියේ එම තරඟයේ දී නොවේ.

ඉතාලියේ ඓතිහාසික අපකීර්තිය

ඉතාලිය චිලී රාජ්‍යය පරාජය කළ ද සෝවියට් දේශයට පරාජය වී තිබුණා. මේ අනුව මීළඟ වටයට සුදුසුකම් ලැබීම සඳහා ඔවුන් උතුරු කොරියාව සමඟ තරඟය ජය පරාජයකින් තොරව අවසන් කිරීම ප්‍රමාණවත් වුණා. උතුරු කොරියාව මෙම තරඟය අනිවාර්යයෙන් ජය ගත යුතු වුණා. කෙසේ වෙතත්, ප්‍රබල ඉතාලිය මෙම තරඟය පරාජය වේ යයි කිසිවකුත් විශ්වාස කළේ නැහැ. ඉතාලි පාපන්දු ලෝලීන් මෙම තරඟය දුටුවේ සාමාන්‍ය දෙයක් ලෙස යි.

නමුත් උතුරු කොරියානු ජනතාවගේම ගෞරවය පිළිබඳ මෙය වැදගත් අවස්ථාවක් වුණා. තරඟය පැවතියේ එරට වෙලාවෙන් ජූලි 20 වන දා පාන්දර තුනට යි (බ්‍රිතාන්‍ය වෙලාවෙන් ජූලි 19 වන දා සවස​). එහෙත් දස දහස් ගණන් උතුරු කොරියානුවන් සිය ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කරගෙන තරඟ විස්තරයට සවන් දුන්නා.

උතුරු කොරියානු කණ්ඩායම තරඟයට පැමිණියේ බොහෝ සේ උද්‍යෝගීමත්ව යි. ඉතාලි කණ්ඩායම එතරම්ම හොඳ මානසික තත්ත්වයක සිටින බවක් පෙනුණේ නැහැ. ආරම්භයේදී ඔවුන් ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ නමුත් ගෝල ලබාගැනීමට තිබුණු අවස්ථා කිහිපයක්ම අහිමි වුණා. මේ අතර 34 වන මිනිත්තුවේ දී නායක බුල්ගරෙල්ලි තුවාල ලබා පිටියෙන් ඉවත් වුණා. එකල ක්‍රීඩකයන් ආදේශනය කළ හැකි නීති නොවූ හෙයින් ඉතාලියට ක්‍රීඩකයන් දස දෙනකු සමඟ තරඟ වැදීමට සිදු වුණා. එහෙත් එම තත්ත්වය යටතේ හෝ ඉතාලිය උතුරු කොරියාවට පරාජය විය යුතු කණ්ඩායමක් වූයේ නැහැ.

නමුත් තරඟයේ 42 වන විනාඩියේ දී උතුරු කොරියාවේ අංක 7 ක්‍රීඩක පක් ඩෝ-ඉක් ගෝලයක් වාර්තා කළේ සමස්ථ පාපන්දු ලෝකයම පුදුමයට පත් කරමින්. ඉතාලිය කෙතරම් උත්සාහ කළ ද ඔවුනට ලකුණු සම කිරීමේ අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ අනුව තරඟය නිම වූයේ 1-0ක් ලෙස උතුරු කොරියාවට ජය ගෙන දෙමින්. ඉතාලි ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ දී ඔවුන් ලද අපකීර්තිමත්ම පරාජය ලෙස බොහෝ දෙනා සළකන්නේ මෙම පරාජය යි.

පක් ඩෝ-ඉක් ගෝලය වාර්තා කළ අවස්ථාව (Getty Images)

ආපසු ඉතාලිය වෙත ගිය කණ්ඩායම ගුවන් තොටුපලේ දී එරට පාපන්දු ලෝලීන් විසින් පිළිගන්නා ලද්දේ කුණු වූ තක්කාලි සහ බිත්තර ආදී විවිධ දෙයින් පහර දෙමින්.

අයර්සම් පාර්ක් ක්‍රීඩාංගනය පසු කලෙක භාවිතයෙන් ඉවත් කළ අතර එහි නිවාස ව්‍යාපෘතියක් ඉදි වුණා. නමුත් පැරණි ක්‍රීඩාංගනයේ ඇතැම් ස්ථාන සිහි වීමට විවිධ නිර්මාණ පිහිටුවනු ලැබුණා. මෙම ලිපියේ මුලින්ම සඳහන් කෙරුණ නිර්මාණය කරන ලද්දේ පක් ඩෝ-ඉක් විසින් ඉතාලියට එරෙහිව ලබාගත් ඓතිහාසික ගෝලය එල්ල කළ ස්ථානය සටහන් කිරීමටයි.

තවත් වීරයකුගේ ආගමනය​

අර්ධ අවසන් පූර්ව වටයේ දී උතුරු කොරියාව මුහුණ දුන්නේ පෘතුගාලයට යි. ලිවර්පූල්හි ගුඩිසන් පාර්ක් ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරඟය නැරඹීමට මිඩ්ල්ස්බ්‍රෝ නගර වාසීන් ද තුන් දහසක් දෙනා ගුඩිසන් පාර්ක් වෙත පැමිණියා. තරඟය පැවැත්වුණේ ජූලි 23 වන දා යි.

මෙම තරඟයේ දී ද වැඩි බලාපොරොත්තු තබන ලද්දේ පෘතුගාලය කෙරෙහි වුව ද උතුරු කොරියානුවන් ගේ වේගවත් ක්‍රීඩා විලාශය හමුවේ ඔවුන් නිරුත්තර වුණා. විනාඩි 25ක දී ලකුණු සංඛ්‍යාව දැක්වුණේ 3-0ක් ලෙස යි.

නමුත් මේ අවස්ථාවේ තවත් වීරයකුගේ ආගමනය සනිටුහන් වීමට නියමිතව තිබුණා. එවක පෘතුගීසි යටත් විජිතයක් වූ අප්‍රිකාවේ මොසැම්බික්හි උපන් යුසේබියෝ එම මහාද්වීපයෙන් බිහි වූ පළමු පාපන්දු තාරකාව වුණා. මෙම තරඟය ඔහුගේ ජයග්‍රාහී මොහොත වූ අතර ඔහු ගෝල හතරක් වාර්තා කරමින් සිය පිළට 5-3ක ජයග්‍රහණයක් ගෙන දීමට සමත් වුණා.

යුසේබියෝ උතුරු කොරියාවට එරෙහිව (AP)

මේ අනුව උතුරු කොරියානුවන්ගේ බලාපොරොත්තු සුන් වූ නමුත් ඔවුන් 1966 ලෝක කුසලානයේ දී පෙන්වන ලද ක්‍රීඩා විලාශය සහ විශේෂයෙන්ම ඉතාලියට එරෙහිව ලද ඓතිහාසික ජයග්‍රහණය හේතුවෙන් එම කණ්ඩායම පිළිබඳ අදටත් පාපන්දු ලෝකය කතාබහ කරනවා.

ආපසු උතුරු කොරියාවට ගිය පසු එම කණ්ඩායමේ සාමාජිකයන් පිළිබඳ බාහිර ලෝකයට අසන්නට ලැබුණේ නැහැ. නමුත් 2002 දී බීබීසී ලෝක සේවයේ රූපවාහිනී කණ්ඩායමක් උතුරු කොරියාවට සංචාරය කර එම පිළෙහි එවකට ජීවත්ව සිටි ක්‍රීඩකයන් හත් දෙනෙකු සහ ප්‍රධාන පුහුණුකරු මුණ ගැසුණා. බීබීසීය විසින් නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයක ඔවුන් ලෝක කුසලානය පිළිබඳ සිය අදහස් දක්වනවා. එම වාර්තා චිත්‍රපටයට නම තබා ඇත්තේ “The Game of their Lives” (ඔවුනගේ දිවියේ අමරණීය තරඟය​) නමින්.

Cover Image: පක් ඩෝ-ඉක් ඉතාලියට එරෙහිව වාර්තා කළ ගෝලය (Sports Illustrated)

මූලාශ්‍ර​:

  1. The Game of Their Lives (BBC Documentary)
  1. How little stars from North Korea were taken to Middlesbrough’s heart (The Guardian)
  1. World Cup: ‘Political headache’ of North Korea in 1966 (The Telegraph)

Related Articles