Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවසීලන්ත ක්‍රීඩකයින් සලිත කළ පිටකොටුවේ බෝම්බ ප්‍රහාරය

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වෙන්නේ වසර කිහිපයකට වරක් පමණක් වුවත් මේ වන තෙක් පැවති බොහෝමයක් තරඟාවලීන් විවිධ හේතුන් මත අත්හැර දැමීමටත්, තරඟාවලිය කල් දැමීමටත් සිදු වී ඇත. මේ, එවැනි තරඟාවලියක් පිළිබඳව ආවර්ජනයක්.

නවසීලන්තයේ ශ්‍රී ලංකා සංචාරය – 1987

මින් වසර 30 කට පෙර 1987 වසරේ දී නවසිලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරඟ තුනක්, සහ එක්දින තරඟ 5ක් ක්‍රීඩා කිරීමට මෙරටට පැමිණියේ ඔවුන්ගේ දෙවැනි ශ්‍රී ලංකා සංචාරය ලෙස යි. එම වසරේ මුල් භාගයේ දී එවකට ශ්‍රී ලංකාවේ පරිණතම ආරම්භක පිතිකරුවා වූ සිදත් වෙත්තමුණි ක්‍රිකට් දිවියෙන් සමුගැනීමෙන් අනතුරුව මේ තරඟාවලිය වෙනුවෙන් ආරම්භක පිතිකරණ භූමිකාව කවර ක්‍රීඩකයින් විසින් රැකගනී ද යන්න බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක් විය. තරඟාවලිය ආරම්භ කිරීමට ප්‍රථම ගාල්ලේ දී පැවති පුහුණු තරඟය ජය-පරාජයකින් තොරව අවසන් වූ අතර එහිදී රොෂාන් මහානාම විසින් ප්‍රථම ඉනිමේ දී ලකුණු 20ක්, සහ දෙවැනි ඉනිමේ දී නොදැවී ලකුණු 41ක් රැස්කරගැනීමට සමත් විය. එමෙන්ම බ්‍රෙන්ඩන් කුරුප්පු ද ප්‍රථම ඉනිමේ දී ලකුණු 23ක් රැස්කරගැනීමට සමත් විය. එකල කුරුප්පු එක්දින ආකෘතියට වඩාත් සුදුසු පිතිකරණ ශෛලියක් හිමි ක්‍රීඩකයෙක් ලෙස සැලකීම නිසාවෙන්ම ඔහුට ටෙස්ට් තරඟ ලබාදීම ඉදිරියේ මෙරට තේරීම් කමිටුව නිද්‍රාශීලි ප්‍රතිපත්තියක සිටියත්, මෙම පුහුණු තරඟයේ දී ඔහුගේ දස්කම් සැලකිල්ලට ගෙන කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන්නට නියමිතව තිබු ප්‍රථම ටෙස්ට් තරඟය සඳහා බ්‍රෙන්ඩන් කුරුප්පු හට කැඳවීමක් ලැබිණ.

තම මංගල ටෙස්ට් තරඟයේ දී ම ද්විත්ව ශතකයක් රැස්කරගත් බ්‍රෙන්ඩන් කුරුප්පු – Credit – Getty images

සංචාරක නවසිලන්ත පිලේ නායකයා ලෙස ප්‍රථම වරට ජෙෆ් ක්‍රෝ හට ද උසස්වීමක් ලැබුනේ මේ තරඟාවලිය ආරම්භ වීමට මත්තෙනි. ඒ, එවකට නවසිලන්ත නායකයා ලෙස කටයුතු කළ ජෙරෙමි කෝනි ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන්. තරඟාවලිය නිල වශයෙන් ආරම්භ කරමින් ප්‍රථම ටෙස්ට් තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ජෙෆ් ක්‍රෝ සමත් වූ අතර ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරන ලදී. ආරම්භක පිතිකරුවන් ලෙස රොෂාන් මහානාම සමඟ, සිය මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමට වරම් ලැබූ බ්‍රෙන්ඩන් කුරුප්පු පිටියට පිවිසුනේය. කඩුලු ක්‍රමයෙන් බිඳ වැටුනත් එක් අන්තයක් රැකගනිමින් බ්‍රෙන්ඩන් කුරුප්පු හුදකලා ඉනිමක් දියත් කරන ලදී. අන් පිතිකරුවන් සුළු ලකුණු ප්‍රමාණයන් රැස්කරමින් දැවී ගියත් ඔහුගේ උත්සහයට යම් හෝ දායකත්වයක් ලබා දුන්නේ රංජන් මඩුගල්ල යි. ඔහු තෙවන දිනයේ දිවා භෝජනයට පෙර දැවී ගිය අතර කුරුප්පු විශිෂ්ට ඉනිමක් ක්‍රියාත්මක කරමින් ද්විත්ව ශතකය කරා පැමිණියේ ය. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 397/9 ක් ලබා සිටිය දී නායක දුලිප් මෙන්ඩිස් ඉනිම අත්හිටුවන්නට තීරණය කරන විට තම මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩා කළ බ්‍රෙන්ඩන් කුරුප්පු නොදැවී ලකුණු 201ක් රැස්කිරීමට සමත්ව සිටියේ ය. එකල වේගයෙන් ලකුණු රැස්කරන්නෙක් ලෙස ඔහු සැලකුවත් ටෙස්ට් ඉතිහාසයේ ද්විත්ව ශතකයක් රැස්කිරීමට වැඩිම කාලයක් ගත කළ පිතිකරුවා ගේ වාර්තාවට ද  හිමිකම් කීමට ඔහුට සිදුවිය. නවසීලන්තය වෙනුවෙන් කඩුලු 4ක් දවාලීමට රිචඩ් හැඩ්ලි සමත් විය.

වර්තමානයේ තරඟ තිරකවරයෙක් ලෙස කටයුතු කරන ජෙෆ් ක්‍රෝ – Credit – Getty Images

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ නවසිලන්ත පිලේ මුල් කඩුලු 4 ඉක්මනින් දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුහ. කෙසේ වෙතත් නායක ජෙෆ් ක්‍රෝ ඔහුගේ සුපුරුදු පිතිකරණ විලාශය මනාවට පෙන්නුම් කරමින් ශතකයක් රැස්කළ අතර නවසීලන්තයෙන් බිහිවූ අග්‍රගණ්‍ය තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ රිචඩ් හැඩ්ලි ඔහුගේ ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු ගණන ද මේ ඉනිම තුල වාර්තා කරන ලදී. 5 වන දිනය එනම් අවසන් දිනය නිමාවන විට නවසිලන්ත පිල කඩුලු 5ක් දැවී ලකුණු 406ක් විය. ජෙෆ් ක්‍රෝ නොදැවී 120ක් ද රිචඩ් හැඩ්ලි නොදැවී 151ක් ද රැස්කරමින් නවසිලන්ත ඉනිම ශක්තිමත් කළහ.

කලක් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා ලෙස ලෝක වාර්තාව පිහිටවූ රිචඩ් හැඩ්ලි – Credit – Press Association

තරඟයේ අවසන් දිනයේ ඕවර කිහිපයක් ඉතිරිව තිබියදීත්, දෙපිලේම නායකයින් තරඟය ජය පරාජයකින් තොරව නිමා කරන්නට තීරණය කළහ. තරඟය නිමාවත්ම නවසිලන්ත ක්‍රීඩකයින් රැගත් බස් රථය ඔවුන් ලැගුම්ගත් හෝටලය වෙතට ගිය අතර, එදිනම පස්වරු 5.20 ට පමණ පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පළ පර්යන්තයේ ත්‍රස්තවාදීන් විසින් මෝටර් රථයක බෝම්බයක් අටවා පුපුරවා හරින ලදී. මේ බෝම්බ ප්‍රහාරය පුද්ගලයින් 110 කට අධික ප්‍රමාණයකට මරු කැඳවමින් හා පුද්ගලයින් 250 කට අධික පිරිසක් තුවාල කළ බවට වාර්තා වේ. මේ හේතුවෙන් නවසිලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් හා නිලධාරින් මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ යුතු ද යන්න සාකච්ඡා කළ බවටත්, බොහෝ ක්‍රීඩකයින් එයට විරෝධය පලකළ හෙයින් තරඟාවලිය ක්‍රීඩා කිරීම පසෙකට දමා තම රට බලා යාමට ඔවුන් තීරණය කළ බවටත් එවකට නවසිලන්ත කණ්ඩායමේ කළමනාකරු කෙන් ඩීස් මාධ්‍යය වෙත ප්‍රකාශ කලේ ය. එලෙස තරඟාවලිය අත්හැර දැමීමට, ඔවුන් නැවතුම්ගත් හෝටලයට ආසන්නව සිදුවූ මේ පිටකොටුවේ බෝම්බ ප්‍රහාරයට අමතරව ගාල්ලේ දී පැවති පුහුණු තරඟය අතරතුර මහනුවර දී සිදුවූ වෙඩි ප්‍රහාර පිළිබඳ සිදුවීම් කිහිපයක් ද හේතු විය. එමෙන්ම ඉන් වසරකට පෙර එනම් 1986 වසරේ දී එංගලන්ත B කණ්ඩායම මෙරටට පැමිණි අවස්ථාවක නුවරඑළියේ ක්‍රීඩා කිරීමට නියමිතව තිබු පුහුණු තරඟයක් ආරක්‍ෂිත හේතුන් මත අත්හැර දැමු අවස්ථාව ද ඔවුන් ගේ මේ තීරණයට දැඩි ලෙස බලපෑම් කළ බව කියවේ.

පිටකොටුවේ බෝම්බ පිපිරිම –  Credit – Daily News

මෙම බෝම්බ ප්‍රහාරය නිසා මේ තරඟාවලිය අතරමග අත්හිටවුණා පමණක් නොව, ඉන් වසර 5ක් පමණ වන තුරු කිසිදු විදේශීය කණ්ඩායමක් මෙරටට පැමිණ ක්‍රීඩා කිරීමට කැමැත්තක් නොදැක්වීමට හේතුවක් විය. එනිසා එකල සිටි බොහෝ ක්‍රීඩකයින් තමාට ක්‍රීඩා කිරීමට අවස්තාවන් අල්ප වීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නට ද කටයුතු කළේ ය.

මේ ටෙස්ට් තරඟයේ විශේෂ වාර්තා කිහිපයක්.

  1. බ්‍රෙන්ඩන් කුරුප්පු විසින් ප්‍රථම වරට ශ්‍රී ලංකා ටෙස්ට් පිල වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර මංගල ටෙස්ට් තරඟයේ දී ම ද්විත්ව ශතකයක් රැස්කළ ක්‍රීඩකයින් අතලොස්සෙන් එක පිතිකරුවෙක් බවට ද ඔහු පත්විය.
  2. මේ ද්විත්ව ශතකය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කාලයක් ගතකරමින් රැස්කළ ද්විත්ව ශතකය බවට පත්වූ අතර එය තවමත් බිඳීමට අපොහොසත් වූ වාර්තාවකි.
  3. බ්‍රෙන්ඩන් කුරුප්පු පිතිකරුවෙක් ලෙස මෙන්ම මේ තරඟයේ දී කඩුලු රකින්නෙක් ලෙස ද කටයුතු කළ බැවින් දින 5 ම පා ආවරණ පැළඳ ක්‍රීඩා කළ වාර්තාවකට ද ඔහු හිමිකම් කිවේ ය.
  4. මෙම ටෙස්ට් තරඟය පැවැත්වුයේ මෙරට පැරණිතම ක්‍රිකට් සමාජය වන කොළඹ ක්‍රිකට් සමාජයේ නිල ක්‍රීඩාංගනයේ දී වන අතර, මෙය මේ ක්‍රීඩාංගනයේ පැවති අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය යි. වර්තමානයේ දී මෙහි දේශීය ක්‍රිකට් තරඟ මෙන්ම විදෙස් කණ්ඩායම් අතර පුහුණු තරඟයන් පැවැත්වීමට භාවිතා කරයි.

Cover – පිටකොටුව – Credit – scoreline.asia

Related Articles