එක්ටැම් ගෙයක සිරකර ගෙන සිටි උන්මාද චිත්‍රා කුමරියගේ කතාව අපේ රටේ ජනප්‍රිය ජනප්‍රවාදයක්. මේ ජනප්‍රවාදය පැතිරුණු පඬුවස් නුවර පිහිටා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙට්ටිපොළ නගරයට නුදුරින්. කුරුණෑගල වාරියපොළ පාරේ පැමිණ, වාරියපොළ සිට හලාවත පාරේ ගමන් කර මෙම ස්ථානයට ළගා විය හැකියි. වාරියපොළ සිට දුර කි. මී. 17ක්. පැරණි බෙදීම් අනුව දේවමැදි හත්පත්තුවේ ගිරාතලාන කෝරළයට මේ ප්‍රදේශය අයත් වෙනවා.
ඉතිහාසය සොයා බලමු
ජනප්‍රවාද පවසන්නේ ක්‍රි. පූ. 6 වැනි සියවසේ සිටි පණ්ඩුවාසදේව රජු මෙහි රජකළ බවත්, ඔහුගේ දියණිය වූ චිත්‍රා කුමරිය එක්ටැම් ගෙයක සිරකර තබා ආරක්ෂා කළ බවත්. මෙහි නටබුන් අතර පිහිටි චක්‍රාවාලය නම් ස්ථානය එම එක්ටැම් ගෙයි පදනම බව ජන විශ්වාසයේ එනවා. එහෙත් මහාචාර්ය සෙනරත් පරණවිතාන 1940 දශකයේ කළ පුරාවිද්‍යා කැණීම්වලින් හෙළිවුණේ ඒ කතාවට පදනමක් නැති අතර, මෙහි හමු වන නටබුන් ගොඩනැගිලි අයත් වන්නේ පොළොන්නරු යුගයට බව යි.
මහාදාඨික මහානාග රජු (ක්‍රි. ව. 9-21) පඩුවෑ වෙහෙර (පණ්ඩ වාපී) විසූ සාමණේර නමක් කෙරෙහි පැහැදී විහාරයට සම්පත් ලබාදුන් බව මහාවංශය සදහන් කරනවා. මේ ස්ථානයෙන් හමු වූ බුද්ධ චරිතයේ අවස්ථා නිරූපිත කැටයම් පුවරුව අනුරාධපුර යුගයේ අග භාගයට අයත් බව පුරාවිද්‍යාඥයන් පවසනවා. අනුරාධපුර අවසන් අවධියට අයත් ටැම්ලිපි (9-10 සියවස්) කිහිපයක් ද විහාර භූමියේ තිබනවා. එම යුගයටම අයත් හිස සුන් හිටි බුදු පිළිම තුනක් ද විහාර බෝමළුව අසල දකින්න පුළුවන්.
පොළොන්නරු යුගයේ දී 1 වන විජයබාහු රජු (1055-1110) පඬාවැව ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. පසුව දක්ඛිණ දේශයේ පාලකයා ලෙස කටයුතු කළ පරාක්‍රමබාහු කුමරු සිය ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ දී පඬාවැව විශාල කොට බැඳවූ බවත්, වැවට මැදි වූ දූපතේ තුන්මහල් රජ මැදුරක් කරවූ බවත් මහාවංශය පවසනවා. ඔහු පොළොන්නරුවේ අගරජු වීමට පෙර මායා රට පරාක්‍රමපුරය නම් රාජධානිය පිහිටුවා ගෙන සිටි ස්ථානය ගැන මහාවංශය නිශ්චිතව සදහන් නොකළත් පුරාවිද්‍යා දත්ත මත එය පඬුවස්නුවර විය යුතු බව පුරාවිද්‍යාඥයන්ගේ පිළිගැනීම යි. එමෙන්ම මෙම රාජධානි ගොඩනැගිලිවලට නුදුරින් පිහිටි විහාරය අනුරාධපුර යුගයේ පටන්ම පැවති බවත් හෙළි වී තිබෙනවා.
අනුරාධපුර, පොළොන්නරු, සහ මහනුවර යන යුගයන් තුනටම අයත් නෂ්ටාවශේෂවලින් පිරිපුන් නගරයක් ලෙස පඬුවස්නුවර හැදින්වීමට පුළුවන්.
ඇතුළු නුවර රජ මාලිගය
පඬුවස් නුවරට පිවිසෙන ඔබ මුලින්ම පිවිසෙන්නේ රජ මාලිගා භූමියට යි. දිය අගලකින් වටවූ ප්‍රාකාරයකින් සුරක්ෂිත ඇතුළු නුවර තුළ රජ මාලිගය පිහිටා තිබෙනවා. මෙම ස්ථානය අතීතයේ ප්‍රදේශවාසීන් හඳුන්වා තිබෙන්නේ නුවර කැලේ හෙවත් අගල කැලේ නමින්. 1947 දී හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මෙහි කැණීම් ආරම්භ කර සංරක්ෂණය කරනවා. නගරයට ඇතුළු වීමේ දොරටුව නැගෙනහිර ප්‍රාකාරය මැදින් සකසා තිබෙනවා. අඩි 12ක් පළල නගර දොරටුව දෙපස මළු දෙකක් සකතා තිබනවා. ඒවා මුර කුටි තිබූ ස්ථාන විය හැකියි.
පවුරින් වටවූ මාලිගා පරිශ්‍රය උතුරේ සිට දකුණට අඩි 1056ක් ද නැගෙනහිර සිට බටහිරට අඩි 990ක් ද වෙනවා. මෙම ප්‍රාකාරය තනා තිබෙන්නේ ගඩොලින්. මෙම මාලිගය පොළොන්නරුවේ පැරකුම් රජ මාලිගා සැලැස්මට හැම අතින්ම සමානයි. මහාවංශ සඳහනට අනුව මෙය තුන්මහල් මාලිගාවක් බව සැලකෙනවා. ඉහළ මහල් දැවවලින් නිමකර තිබෙන්නට ඇති. කැණීම්වල දී මාලිගාව දැවී ගිය බවට සලකුණු ලැබී තිබෙනවා. දැව කණුවල ශෛලමය පාදම් ගල් අදත් දැකගත හැකියි. බාල්ක සවිකළ විශාල යකඩ ඇණ ද කැණීම්වලින් හමුවී තිබෙනවා. මාලිගා ගොඩනැගිල්ල දිගින් අඩි 268ක් ද පළලින් අඩි 168ක් ද වෙනවා.
මාලිගයට නුදුරින් තවත් කුඩා ගොඩනැගිලි තුනක් ද අලංකාර පෙකුණක් ද තිබෙනවා. පරාක්‍රමබාහුගෙන් පසුව පොළොන්නරුවේ රජකම් කළ නිශ්ශංකමල්ල රජු මෙහි පැමිණ නාට්‍ය හා ගීත ආදිය නැරඹූ බව සදහන් ගල්ආසන සෙල්ලිපියක් ද මාලිගා බිමේ පිහිටුවා තිබෙනවා.
විහාර සංකීර්ණ හතක්
පඬුවස් නුවර නටබුන් භූමියේ වර්තමාන රජමහා විහාරයත් සමග දාගැබ් සහිත විහාර සංකීර්ණ හතක් දක්නට ලැබෙනවා. මෙම සියලුම විහාර මේ වන විට සංරක්ෂණය කර තිබෙන නිසා පුරාණ අවධිය ගැන හොද චිත්‍රයක් අපට මවාගත හැකියි. ගස්වැල් සහිත බිමේ පිහිටි පුරාණ විහාර ඉතා අලංකාර දසුනක් මවා පානවා. මෙම විහාර අයත් වන්නේ පංචායතන නම් විහාර වර්ගයට යි. පවුරකින් වටවූ භූමිය තුළ විහාරාංග පහක් පිහිටා තිබීම මේවායේ විශේෂත්වය යි. උස් මාලකයක් මත තැනූ දාගැබ, බෝධිඝරය, පොහොයගෙය, පිරිවෙන, ආරාමය හෙවත් සංඝාවාසය පංචායතනවලට අයත් වෙන අංග යි. මෙහි බොහෝ විහාරවල මේවාට අමතරව පිළිමගෙයක් ද දක්නට ලැබෙනවා. ඒ අතරින් දමිළ අධිකාරිගේ විහාරය ලෙස නම් කළ නටබුන් භූමියේ ගඩොලින් තැනූ සැතපෙන පිළිමයක ශේෂ දක්නට ලැබෙනවා. මේ විහාරස්ථාන පහකම බෝධිඝරවල නටබුන් අදත් දැකගත හැකියි.
මේ අතරින් වඩාත් ආකර්ශනීය විහාරය ලෙස සැලකිය හැක්කේ පරාක්‍රමබාහුගේ දමිළ අධිකාරි නම් ඇමැතිවරයා විසින් ගොඩනංවන ලද විහාරය යි. එය පසුව නිශ්ශංකමල්ල රජ සමයේ කුලන්දෙයි මතිමාන නම් සෙනෙවිවරයකු විසින් ප්‍රතිසංස්කරණය කරවූ බව දොරටුව දකුණු පස පිහිටි දෙමළ සෙල්ලිපියේ සදහන් වෙනවා.
ගඩොල් ප්‍රාකාරයකින් වටවූ විහාරයට පිවිසීමට ඇත්තේ එක ද්වාර මණ්ඩපය යි. ඉන් ඇතුළු වූ විට දකුණෙන් දාගැබ පිහිටා තිබෙනවා. එයට නුදුරින් කුටි කිහිපයක නටබුන් තිබෙනවා. ප්‍රතිමා ගෘහ, වැසිකිළි, සැතපෙන පිළිමයක් සහිත පිළිම ගෙයත් එහි පිහිටි අනෙක් අංගයි.
පඬුවස්නුවර රජමහා විහාරය
මාලිගා බිම නැරඹීමෙන් පසු ඔබට රජ මහා විහාරයට යාමට පුලුවන්. ඒ අතරමැද දී තවත් පුරාණ විහාරවල නටබුන් ද නැරඹීමට ඉඩ ලැබෙනවා. රජ මහා විහාරයේ දී අපට මහනුවර යුගයට අයත් ටැම්පිට විහාරයක් දැකගත හැකියි. විහාරය ඉදිරිපස ගල්කණු මත රැදි විවෘත මණ්ඩපයක් පිහිටා තිබෙනවා. මේ විහාරය ඉංග්‍රීසි පාලන යුගයේ දී ප්‍රතිසංස්කරණය කිරීමේ දී විහාර මන්දිරයේ තිබෙන්නට ඇතැ යි සිතිය හැකි පැරණි සිතුවම් විනාශ වී ගිහින්. විහාරය අසලම බෝධි මළුවේ හුණුගලින් කළ හිස විනාශ වූ හිටි බුද්ධ ප්‍රතිමා තුනක් පිහිටා තිබෙනවා. ඒවා අනුරාධපුර යුගයට අයත් මූර්තියි. විහාරයේ පොත්ගුල අසල තිබෙන්නේ දෙවන සේන රජ සමයට (ක්‍රි. ව. 853-887) අයත් ටැම් ලිපියක්. දෙවන උදය (ක්‍රි. ව. 887-898) රජුගේ ටැම් ලිපි දෙකක් ද විහාර මළුවේ තිබෙනවා. මෙම ප්‍රදේශය එකල රිහෑබිම් ලෙස හැදින්වූ බව එම සෙල්ලිපිවලින් පැහැදිලි වෙනවා. අනුරාධපුර අවදියේ අවසන් රජු වූ පස්වන කාශ්‍යපගේ මෙහි තිබෙන සෙල්ලිපියේ මාගිරි නම් පිරිවෙනට පුදන ලද ගම්බිම් පිලිබද විස්තර සහිත යි. මෙම සෙල්ලිපි සියල්ලම විහාරවලට පිදූ දීමනා හෙවත් අත්තාණි පරිහාර ගණයට අයත් ඒවා යි.
පරාක්‍රමබාහු රජු ප්‍රාදේශීය රාජධානිය පිහිටුවා ගැනීමට පෙර සිටම මෙම විහාරය ප්‍රකටව පැවති බවත් අනුරාධපුර අගනගරය හා සම්බන්ධකම් පැවති බවත් මෙම සෙල්ලිපිවලින් අපට පැහැදිලි වෙනවා.
දළදා මාලිගය නම් ගොඩනැගිල්ල
විහාරයට නුදුරින් උස් මාලකයක ඉදිකළ දැව කැටයම් සහිත ගොඩනැගිල්ල හදුන්වන්නේ දළදා මාලිගය යනුවෙන්. නමුත් පඬුවස් නුවර කිසි දිනක දළදා වහන්සේ වැඩ සිටි බව වංශකතාවල සදහන් වන්නේ නැහැ. කෙසේවුවත් මෙය මහනුවර යුගයේ දී ඉදිවූ ගොඩනැගිල්ලක් බව යි පේන්නේ. මෙම ගොඩනැගිල්ලට නුදුරින් ගල්කණු 16කින් යුත් තවත් ඉපැරණි ගොඩනැගිල්ලක නටබුන් පිහිටා තිබෙනවා.
වලයාකාර මැටි පවුර හෙවත් බිසෝ කොටුව
විහාරයට නුදුරින් පිහිටි මෙම ස්ථානය දීඝගාමිණී උන්මාද චිත්‍රා කතා පුවතට සම්බන්ධ කතා ගෙතී ඇති පඬුවස් නුවර ජනප්‍රියතම ස්මාරකය වශයෙන් සැලකිය හැකියි. ඇත්තෙන්ම පුරාවිද්‍යාත්මකව ද එය ඉමහත් වැදගත්කමක් දරනවා. එය වැව් බැම්මක් වැනි වෘත්තාකාර පස්බැම්මක් මැදිකරගත් ගඩොලින් කළ වක්‍රාකාර ඉදිකිරීමක් සහිත යි. පස් බැම්ම ඇතුළත මුහුණත ගඩොල්වලින් ආවරණය කර තිබෙනවා. මෙය එළිමහන් රඟමඬලක් සිහිපත් කරන ඉදිකිරීමක්. මැද ඇති ගඩොල් ඉදිකිරීම ජනප්‍රවාද අනුව එක්ටැම් ගේ කුලුන ඉදිකළ ස්ථානය යි. මැටි ප්‍රාකාරයෙන් වටවූ භූමියේ විෂ්කම්භය අඩි 297ක්. මෙම ස්මාරකය 12 වැනි සියවසට අයත් බව මහාචාර්ය පරණවිතාණ පුරාවිද්‍යා සාධක අනුව නිගමනය කරනවා. ඔහුගේ මතය නම් මෙය චක්‍රවාල කෝට්ටයක් හෙවත් විශ්වය නිරූපණය කරන ආකෘතියක් බව යි. පරාක්‍රමබාහු රජුගේ සංකල්පයක් මත එය ඉදිකරන්නට ඇතැ යි ඔහු අනුමාන කරනවා. මෙය අසලම පිළිම ගෙයක නටබුන් ද දැකගැනීමට ලැබෙනවා.
මහ පාර අසල බෝධිඝරය සහිත විහාරය
සක්ක ගල්වලින් උසට බදින ලද සමචතුරස්‍රාකාර වේදිකාවක් මත ගඩොල් බැම්මක් බැද ඒ මැද බෝධිඝරය තනා තිබෙනවා. මෙහි බෝධිඝර අතරින් වඩාත් අලංකාරව ඉදිකර තිබෙන්නේ මෙම බෝධිඝරය යි. මෙම නටබුන් ස්මාරකය වාරියපොළ- හලාවත මහා මාර්ගයට ආසන්නව පිහිටා තිබෙනවා. පුරාණ විහාර බිම මැදින් මහා මාර්ගය ඉදිකර ඇති බව ඉන් පැහැදිලියි. බෝධිය වටේ මලසුන් ගෙවල් හතරක් තිබෙනවා. මෙම විහාරයට අයත් දාගැබ පිහිටා තිබෙන්නේ මාර්ගයෙන් අනෙක් පස පුරාවිද්‍යා කෞතුකාගාරය අසල යි.
මෙම විහාර සංකීර්ණය තුළ වටදාගෙයක් සහ ටැම්පිට පිළිමගෙයක් ද තිබෙනවා. ආවාස කුටි හා පොහොය ගෙයක් ද සහිතයි.
පුරාවිද්‍යා කෞතුකාගාරය
පඬුවස්නුවර පුරාවිද්‍යා කැණීම්වලින් ලැබුණු පුරාවස්තු සහ වයඹ පළාතෙන් ලැබුණු පුරාවස්තු රාශියක් ද මෙහි තැන්පත් කර තිබෙනවා. මැටි, ලෝහ, ගල් සහ දැව පුරාවස්තු මෙහි තිබෙන අතර විශේෂත්වයක් ගන්නේ කාසි එකතුව යි. පොළොන්නරු යුගයට අයත් කාසි රාශියක් ද චීන කාසි 2300ක එකතුවක් ද මෙහි ප්‍රදර්ශනය කෙරෙනවා.
පඬා වැව
පරාක්‍රමපුර රාජධානියේ පැරණිම වැව වශයෙන් සැලකිය හැකියි. මෙම වැව ගැන අනුරාධපුර යුගයේ සිටම ඓතිහාසික මූලාශ්‍රවල දැක්වෙනවා. දැදුරුඔයේ ශාඛාවක් වූ කොළමුණු ඔය හරස් කර මෙය ඉදිකර තිබෙනවා. වැව් බැම්ම සමහර තැන්වල උසින් අඩි 24ක් දක්වා ඉදිකර තිබෙන අතර එහි දිග සැතපුම් එකහමාරක්. වැව මුලින් අක්කර 1360ක් පුරා ව්‍යාප්තව පැවතුණා. පරාක්‍රමබාහු යුගයට අයත් යයි සැලකිය හැකි සොරොව්වක අවශේෂ වැව් බැම්ම ආශ්‍රිතව අදටත් ඉතිරිව පවතිනවා.