Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියාවේ අවසන් අධිරාජයාගේ ලංකා සවාරිය​

රුසියාව පාලනය කළ අවසන් සාර් හෙවත් අධිරාජයාගේ ලංකා සංචාරය, ලාංකීය ඉතිහාසයෙහි එතරම් ප්‍රචලිත නැති අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. දෙවන නිකුලස් සාර්වරයා සිහසුනට පත් වීමට වසර තුනකට පෙර දී, පෙරදිග ප්‍රදේශයන් හි කළ සංචාරයක් අතරතුර මෙසේ ලංකාවට ද පැමිණ තිබෙනවා.

එවකට රුසියාවේ පාලකයා වූ ද, නිකුලස්ගේ පියා වූ ද, තුන්වන අලෙක්සාන්දර් විසින් නිකුලස් ව මෙම සංචාරය සඳහා පිටත් කරන ලද්දේ ආසියාව සහ රුසියාවේ පෙරදිග ප්‍රදේශ පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට බව සඳහන්.

මේ අතර පැරණි රුසියානු රදල පවුලක අයෙකු වූ කැතරින් රැඩ්සිවිල් කුමරිය ලියූ විස්තරයක සඳහන් වන පරිදි අලෙක්සාන්දර් විසින් නිකුලස් ව මෙසේ දිගු සංචාරයක් සඳහා පිටත් කරනු ලබන්නේ මැතිල්ඩ් ක්ෂෙසින්ස්කා නම් බැලේ නාට්‍යාංගනාවක හා ඇති වූ සම්බන්ධයක් කඩාකප්පල් කිරීමට යි.

නිකුලස් සහ මැතිල්ඩ් (Russia Beyond)

1890 ගිම්හානයේ රාත්‍රියක එවකට සාන්ත පීතර්බුර්ග් නගරයෙහි ප්‍රකට ආපනශාලාවක සිදු වූ ගැටුමක් පිළිබඳ ව ඇය සඳහන් කරනවා. නිකුලස් සහ මැතිල්ඩ්, හමුදා නිලධාරීන් සහ කාන්තාවන් පිරිසක් සමග ෂැම්පේන් බොමින් පාන්දර 2 වන තුරු එහි රැඳී සිටි බව සඳහන්​. එවක පැවති රෙගුලාසිවලට අනුව එම වෙලාවට එය වසා දැමිය යුතු වුව ද, නිකුලස් ඊට ඉඩ දී නැහැ​. වෙලාව ඉක්මවා විදුලි පහන් දැල්වෙන හෙයින් පොලිස් නිලධාරියකුගේ අවධානය ඒ වෙත යොමු වූ අතර, ඔහු එහි පැමිණි විට රජ කුමාරයා ඇතුළු පිරිස දැක තිබෙනවා​. ඔහු නගරයේ පොලිස් ප්‍රධානියාට මෙය දැන්වූ අතර, ඔහු ද එහි පැමිණියා​. මෙහි දී ඇති වූ බහින් බස්වීමක දී නිකුලස් කැවියාර් දීසියකින් පොලිස් ප්‍රධානියාට පහර දුන් බව යි සඳහන් වන්නේ​.

නැව් නැඟීම​

නිකුලස් කුමරු 1890 නොවැම්බරයේ දී රුසියාවෙන් පිටත් වුණා. ඔහු නැගෙනහිර යුරෝපය සහ ඔස්ට්‍රියා-හන්ගේරියාව හරහා ට්‍රිඑස්ට් වරායට පැමිණ, එහි දී පමියට් අසෝවා නම් නැව කරා සේන්දු වූයේ සිය සංචාරයේ මීළඟ අදියර සඳහා යි. මෙම නෞකාවේ කාර්යය මණ්ඩලය 580ක් වූ බව සඳහන්. නිකුලස් සමග කුමාරවරුන් සහ නාවික නිලධාරීන් ද මෙම ගමනට එක් වුණා. ග්‍රීසියේ දී එරට ජෝර්ජ් කුමරු ද මෙම පිරිස හා එක් වුණා. ඉන්පසු ඔවුන් ඉන්දියාවට පැමිණි අතර නිකුලස් දින 32ක් එහි ගත කළා. ව්‍යාඝ්‍ර දඩයමේ යෙදුණ ඔහු, කල්කටාවේ කාසි ටංකන ශාලාව ද නැරඹීමට ගිය බව සඳහන්. ඉන්දියාව​, ලංකාව​, සිංගප්පූරුව, සහ මලක්කා සමුද්‍ර සන්ධි ජනපද සඳහා කාසි අච්චු ගසන ලද්දේ එහි දී යි.

ලංකාවට පැමිණීම

නිකුලස් රැගත් පමියට් අසෝවා නෞකාව කොළඹ වරාය වෙත ළඟා වුණේ 1891 පෙබරවාරි 12 වන දා උදෑසන 8ට යි. මේ සමග ම තමාරා නම් යොට් යාත්‍රාවක් ද එහි පැමිණි අතර, එහි ගමන් කළේ මහාදිපාද අලෙක්සාන්දර් සහ මහාදිපාද සර්ගි යන දෙදෙනා යි. ඔවුන් ඉන්දියාවේ වෙරළ ඔස්සේ සංචාරය කරමින් කොළඹ වෙත අවුත් තිබුණා. එම දෙදෙනා ද නිකුලස් සමග ලංකා සවාරිය සඳහා එක් වුණා.

උදෑසන 10.30ට පමණ එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ සර් ආතර් හැව්ලොක්, පමියට් අසෝවා නෞකාව වෙත පැමිණියේ රුසියානු රාජකීය පිරිස පිළිගැනීමට යි. සවස 4ට රුසියානු රාජකීයයන් කොළඹට ගොඩබැස්සා. ඔවුන්ව රජගෙදර පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා රැගෙන යනු ලැබුණා.

නිකුලස් විසින් රෝපණය කරන ලද නා ගස (honzales.livejournal.com)

මීළඟ දිනයේ උදෑසන රුසියානු රාජකීයයන් සහ සර් හැව්ලොක් ඇතුළු පිරිස මහනුවර වෙත සංචාරය කළා. ඔවුන් එහි දී තේ කර්මාන්තශාලාවක් සහ පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹූ අතර, නිකුලස් විසින් උද්භිද උද්‍යානයේ දී නා ගසක් ද රෝපණය කළා. මෙම නා ගස අසල 2011 දී රුසියානු තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් සමරු ඵලකයක් ද නිරාවරණය කෙරුණා.

සමරු ඵලකය (honzales.livejournal.com)

එදින රාත්‍රියේ දළදා මාළිගාවේ දී පෙරහැරක් ද නැරඹීමේ අවස්ථාව නිකුලස්ට ලැබුණ බව සඳහන් වනවා. පසු දිනයේ දී ඔහුට දන්ත ධාතුව දැකගැනීමේ අවස්ථාව උදා වූ අතර, ඉන්පසු ඔහු නුවරඑළිය වෙත ගොස් තිබෙනවා.

නුවරඑළියේ දින කිහිපයක් ගත කළ නිකුලස් ඇතුළු පිරිස ආපසු කොළඹ එන අතරතුර පෙබරවාරි 17 වන දා හංවැල්ල තානායමේ දී මහමුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායක​, එනම් පසු ව අගමැති ධූරයට පත් වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ පියා, විසින් පිළිගනු ලැබුණා. බණ්ඩාරනායක විසින් රාජකීයයන් වෙත තේපැන් සංග්‍රහයක් ද පිළිගැන්වූවා.

රාජකීය කුමාරවරුන් ලංකාවේ ගතකළ අවසන් දින කිහිපය ගෙවුණේ ලබුගම ප්‍රදේශයේ ඇත්ගාලක යි. එහි දී නිකුලස්ට කුඩා අලි පැටවෙකු තෑගි ලැබුණ අතර, එම පැටවා රුසියාවට ගෙන යාමට කුඩා වැඩි වූ හෙයින් තරමක් ලොකු මහත් වන තෙක් රුසියානු කොන්සල්වරයා භාරයේ නැවැත්වීමට තීරණය කරනු ලැබුණා.

නිකුලස් ප්‍රමුඛ පිරිස ලංකාවෙන් නැව් නැග්ගේ 1891 පෙබරවාරි 24 වන දා යි. ඒ අනුව ඔහුගේ ලංකා සවාරිය දින 12ක කාලයක් දිගු වුණා.

ඝාතන තැත

නිකුලස් ප්‍රමුඛ රාජකීය දූත පිරිස සිංගප්පූරුව​, ජාවා, සියම​, සයිගොන්, හොං කොං හරහා ජපානයට පැමිණියා. ජපානයේ ඕට්සු හි දී මැයි 11 වන දා නිකුලස් කුමරු ඝාතන තැතකින් ගැලවීම මෙහි දී සිදු වූ ත්‍රාසජනක ම සිදුවීම යි. ත්සූදෝ සන්ත්සෝ නම් පොලිස් නිලධාරියෙකු විසින් නිකුලස් වෙත කඩු පහරක් එල්ල කරන ලද්දේ ඔහු නගර සංචාරය කරන​ අතර යි. එය ඔහුගේ හිස් වැස්මෙහි වැදුණ නමුත් හිසට ඉන් හානි වූයේ නැහැ. පොලිස් නිලධරයා යළි නිකුලස්ට පහර දීමට උත්සාහ කළ ද ජෝර්ජ් කුමරු විසින් එල්ල කළ පහරකින් එම උත්සාහය ව්‍යර්ථ වුණා. සමුරායිවරයෙකු වූ මෙම පොලිස් නිලධරයා විදේශිකයන් අප්‍රිය කළ අතර, නිකුලස් වෙත ජපන් රජය විසින් ලබාදුන් පිළිගැනීම ගැන කුපිත ව සිටි බව සඳහන්.

ජපානයේ දී සිදු වූ ඝාතන තැත (honzales.livejournal.com)

මෙයින් පසු වැඩි උපද්‍රවයකින් තොර ව නිකුලස්ගේ ගමනෙහි ඉතිරි කොටස සිදුකෙරුණා. 1891 මැයි 18 වන දා ඕසකා හි දී ඔහු සිය 23 වන උපන්දිනය සැමරුවා. මැයි 19 වන දා කෝබේ වෙතින් නැව් නැග්ග ඔහු මැයි 23 වන දා ව්ලැඩිවොස්ටොක් වෙත පැමිණ, ජූනි 2 වන දා එහි සිට සාන්ත පීතර්බුග් වෙත පිටත් වුණා. බටහිර දෙසට වූ මෙම ගමන අගෝස්තු 16 වන දා නිම කෙරුණේ සාන්ත පීතර්බුග් වෙත නිකුලස්ගේ ආගමනයත් සමග යි.

නිකුලස් කුමරු 1894 දී සිය පියාගේ ඇවෑමෙන් සාර් හෙවත් අධිරාජයා බවට පත් වුණා. ඔහු 1917 පෙබරවාරි විප්ලවයේ දී බලයෙන් නෙරපනු ලැබුණ අතර, 1918 ජූලි මාසයේ දී සිය පවුල ම සමග බෝල්‍ෂවික්වරුන් විසින් ඝාතනය කෙරුණා.

සටහන​: මෙහි සියලු දිනයන් වර්තමාන දින දර්ශනය අනුව වේ. එකල රුසියාවේ පැවති දින දර්ශනය අනුව මෙම සිද්ධීන් සිදු වූ දිනය වාර්තා කෙරෙන්නේ මෙම ලිපියේ දිනයට දින 12ක් පිටිපසිනි.

විශේෂ ස්තුතිය: කොළඹ රුසියානු කේන්ද්‍රය

 

Related Articles