ඉතාලි ජාතික සිත්තරෙකු වන ලියනාඩෝ ඩාවින්චි විසින් සිතුවම් කරන ලද ‘මෝනාලිසා’ චිත්‍රය ලොව වැඩිපුරම කතාබහට ලක් වූ සිතුවමක් වෙනවා. මෙහි වූ ජනප්‍රියභාවය නිසාම ඉතිහාසය පුරාවටම ඊට මුහුණ පාන්නට වූ ඇබැද්දි බොහොම යි. ඒ අතරින් 1911 වසරේ දී එය තැන්පත් කර තිබූ ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයෙන් හිටිහැටියේ ඇතුරුදන් වීම ප්‍රමුඛ කාරණාවක්. එය එවකට හැඳින්වූයේ 20 වන සියවසේ විශාලතම සිතුවම් සොරකම ලෙස යි.
ලූවර් කෞතුකාගාරයේ සොරකමක්
ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය ලොව විශිෂ්ටතම කලා නිර්මාණ රාශියක වර්තමාන නවාතැන ලෙස විශාල ප්‍රසිද්ධියක් උසුලනවා. එයිනුත් මෝනාලිසා සිත්තම් දැකබලාගැනීම සඳහා පමණක්ම දහස් ගණන් ජනයා අදටත් මෙහි ඇදී එනවා. මෙම නිර්මාණයේ වර්තමාන වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ වෙතැ යි ගණන් බලා තිබෙනවා.
මෝනාලිසා චිත්‍රයේ සුවිශේෂීභාවය නිසාම ඊට හොඳ ආරක්ෂාවක් සැපයෙනවා. 1797 දී ලූවර් කෞතුකාගාරයේ එය තැන්පත් කළ දා පටන්ම එය පැවතියේ සුරක්ෂිතව යි. කෙසේ නමුත් 1911 අගෝස්තු මස 20 වන දා එය හදිසියේම තිබූ තැනින් අතුරුදහන් වන්නේ එහි ආරක්ෂකයින්ගේ මෙන්ම පාලකයින්ගේ ද දෑස් රතු කරමින්.
වින්චෙන්සෝ පෙරුජියා
වින්චෙන්සෝ පෙරුජියා ලූවර් කෞතුකාගාරයේ සේවය කළ ඉතාලියානු සම්භවයක් සහිත පුද්ගලයෙක්. ඔහු හට පැවරී තිබූ ප්‍රධාන කර්තව්‍යය වූයේ එහි වූ ඇතැම් වටිනා සිතුවම් වැඩිදුර ආරක්ෂා කරගැනීම සඳහා වීදුරු කුටි ඉදිකිරීම යි. ඒ සිතුවම් අතර මෝනාලිසා චිත්‍රය ද වුණා. 1911 අගෝස්තු මස 20 වන දා ඔහු කෞතුකාගාරයට ඇතුළු වන්නේ එහි සේවකයින් සියලු දෙනාම පාහේ පළඳින සුදු පැහැ ඇඳුම ඇඟලාගෙන යි. මේ නිසා ඔහුගේ චර්යාරටාවල කිසිදු වෙනසක් කා හටවත් නිරීක්ෂණය වූයේ නැහැ. කෙසේ නමුත් එදින ඔහුගේ සිතැඟි තුළ වීදුරු කුටි ඉදිකිරීමට වඩා වෙනස් යමක් තිබුණා.
පෙරුජියා රාත්‍රිය වන තුරු කාර්යයෙහි නියුතු බවක් ඇඟ වූ අතර සියලු දෙනා ඉන් ඉවත් වන තුරු එහි රැඳී සිටියා. එදින අවසන් කාලය ඔහු ගත කළේ මෝනාලිසා චිත්‍රය තදාසන්න කුටියක සඟවාගෙන යි. මධ්‍යම රාත්‍රිය පසුවනවාත් සමග ක්‍රියාත්මක වූ ඔහු මෝනාලිසා චිත්‍රය වෙත හෙමිහිට ළඟා වී, එය රඳවා තිබූ ස්ථානයෙන් ඉවත් කර තම ඇඳුම අස්සේ රුවා ගත්තා. කිලෝග්‍රෑම් 90ක් පමණ බර මෙම චිත්‍රය හා එහි ආධාරකය ඉතා අපහසුවෙන් ඔසවාගෙන නැවත පෙර ස්ථානයේම සැඟවුණු ඔහු පසු දිනයේ කෞතුකාගාරය විවෘත කළ පසු එයත් සමඟ ඉන් ඉවතට පිටව ගියා.
මෝනාලිසා චිත්‍රයට හොඳ ආරක්ෂාවක් එකල තාක්ෂණානුකූලව සපයා තිබුණත් එහි දුර්වල ස්ථාන පෙරුජියා හොඳින් දැන සිටියා. මෙකල මෙන් නවීන තාක්ෂණය සහිත අගුළු, සීනු වැනි දෑ එකල නොතිබූ අතර ආරක්ෂකයින්ගේ අවධානය ඊට අඩුවෙන්ම යොමුවන අවස්ථා ඔහු අධ්‍යයනය කර තිබුණා. මේ නිසා එය තිබූ තැනින් ඉවත් කරගැනීමට ඔහුට අපහසු වූයේ නැහැ.
1911 අගෝස්තු මස 21 වන දා මෝනාලිසා චිත්‍රය එය සාමාන්‍යයෙන් තබන ස්ථානයේ නොමැති බැව් දුටුවත් ඒ කිසිවෙක් එක්වරම කලබල නොවූයේ ලූවර් කෞතුකාගාරයේ ඇති සිතුවම් ඡායාරූපගත කිරීම් සඳහා හුන් තැන්වලින් ඉවත් කිරීම නිතරම පාහේ සිදුවන දෙයක් වූ නිසා යි. කෙසේ නමුත් සවස් වරුව වන විට මෝනාලිසා චිත්‍රය ‘පැහැරගෙන ගොස්’ ඇති බැව් ලූවර් කෞතුකාගාරයේ කාර්යයමණ්ඩලයට ඒත්තුගිය අතර මුළු මහත් පැරීසිය පුරාවටම මේ පුවත පැතිරී යන්නට වැඩි වේලාවක් ගියේ නැහැ.
පොලීසිය ප්‍රහේලිකාවකට මැදිවෙයි
කිසිවෙකුත් නොසිතූ අවස්ථාවක සිදු වූ මේ සොරකම පිළිබඳව එක්වරම ප්‍රංශ පොලිසියට කිසිවක් සිතාගත නොහැකි වුණා. සාමාන්‍ය ජනතාවගෙන් හා මාධ්‍යයෙන් එක දිගටම එල්ල වූ බලපෑම්වලින් බේරී සිටීමට නම් යමක් ඉක්මණින්ම කළයුතු බැව් ඔවුන් වටහාගත්තා. මේ අනුව මේ සොරකම පිළිබඳව සුළු හෝ සම්බන්ධයක් ඇතැ යි සැක සිතිය හැකි සියලු දෙනාම අත්අඩංගුවට ගන්නට ඔවුන් තීරණය කළා.
පොලිසිය මුලින්ම මෙය යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක‍්යැ යි අනුමාන කළා. මේ අනුව ඔවුන්ගේ සැකය මුලින්ම යොමුවූයේ ගියෝම් ඇපොලිනෙයර් නම් සාහිත්‍යධරයෙකු වෙතට යි. ඔහු මීට ටික කාලයකට පෙර ‘මෝනාලිසා ගිණිබත් කළ යුතු’යැ යි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබුණා. වහාම ඔහු අත්අඩංගුවට ගැනීම සිදු වූවත්, මේ සොරකමට ඔහුගේ කිසිදු සම්බන්ධයක් නැතැ යි සක්සුදක් සේ පැහැදිලි වූ බැවින් ඔහුව නිදහස් කරන්නට පොලිසියට සිදුවුණා.
මින් අනතුරුව පොලිසියෙ අවධානය යොමු වූයේ දක්ෂ, තරුණ සිත්තර පැබ්ලෝ පිකාසෝ වෙත යි. ඔහු ද අත්අඩංගුවට ගැණුනත් ඉක්මණින්ම නිර්දෝෂීභාවය ඔප්පු වෙනවා. මීට අමතරව ජේ. පියර්පොන්ට් මෝගන් නම් ඇමෙරිකානු ජාතික ව්‍යාපාරිකයෙක් ද ප්‍රශ්න කිරීම්වලට ලක් කෙරෙනවා.
මේ සිදුවීම් අතරතුර ලූවර් කෞතුකාගාරයේ සේවයේ නියුතු සේවකයින්ගෙන් ද කට උත්තර ගැනීම සිදු වූ අතර පෙරුජියා සැකකාර ලැයිස්තුවෙන් ඉක්මණින්ම ඉවත්වන්නේ ‘මෝනාලිසා’ වැනි චිත්‍රයක් සූක්ෂම ලෙස සොරකම් කිරීමට තරම් බුද්ධියක් ඔහු සතුව නැතැ යි ආරක්ෂක අංශ තීරණය කිරීම නිසා යි.
මෝනාලිසා ‘සුපිරි තරුවක් වෙයි’
කෙටි කලෙකින්ම මෝනාලිසා අතුරුදහන් වීම පිළිබඳව ලොව පුරා කතාබහක් ඇති වුණා. සාහිත්‍යයට ලැදි බොහෝ දෙනා දුක්වන්නට පටන්ගත් අතර සමහරක් දෙනා එය රඳවා තබා තිබූ ස්ථානය නරඹන්නට පවා පැමිණෙන්නට පටන්ගත්තා. කවදත් පරසිදු සිතුවමක්ව තිබූ මෝනාලිසාට මේ නිසා ඉතා සුපිරි ජනප්‍රියතාවයක් ලැබුණා. එහි ඇස්තමේන්තුගත වටිනාකමත් ඉතා ඉහළ ගියා.
කෙසේ නමුත් මෝනාලිසා සෙවීමේ මෙහෙයුම්වල සාර්ථකත්වය නම් දිනෙන් දින හීන වී ගියා. එය අතුරුදහන් වී වසරක් ගත වූ තැන දීත්, කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට පොලීසිය අපොහොසත් වුණා. මෝනාලිසා සදහටම ලොවෙන් වියැකී යන්නට ඇති බැව් තීරණය කෙරුණා.
මෝනාලිසා නැවත මතුවෙයි
මෝනාලිසා අතුරුදහන් වී දෙවසරක් ගත වූ පසු එක් දිනෙක ඉතාලියේ ෆ්ලෝරන්ස්හි සිතුවම් වෙළෙන්ඳෙක්ට ලියොනාර්ඩ් නමින් තමන්ව හඳුනාගත අයෙක් අපූරු පණිවුඩයක් එවනවා. ඒ තමා සතුව සත්‍ය ‘මෝනාලිසා’ සිතුවම ඇති බවත්, එය විකිණීමට අදහස් කරන බවත් දැක්වෙන පණිවුඩය යි. ඇල්ෆ්‍රෙඩෝ ගෙරි නම් එම වෙළෙන්දා ඒ අනුව ලියොනාර්ඩ් හමුවන අතර ඔහු ළඟ තිබූ සිතුවම සත්‍ය මෝනාලිසාම බැව් සැකහැර දැනගන්නවා. එදින සවස්වරුවේම පොලිසිය ‘ලියොනාර්ඩ්’ අත්අඩංගුවට ගන්නා අතර ඔහු ලූවර් කෞතුකාගාරයේ සේවය කළ වින්චෙන්සෝ පෙරුජියා බැව් හඳුනා ගැනෙනවා.
උග්‍ර ජාතිකවාදියෙකු වූ පෙරුජියා පාපොච්ඡාරණයක් කරමින් කියා සිටින්නේ මෝනාලිසා ඉතාලියට අයත්ව තිබිය යුතු බවත්, ප්‍රංශය එය අයුතු ලෙස තබාගෙන සිටිය බවත්, ඒ හේතුවෙන් තමන් එය නැවත සිය රටට ගෙනා බවත් යන්න යි. ඔහු නැපෝලියන් විසින් එය බලහත්කාරයෙන් ප්‍රංශයට ගෙනගොස් ඇති බැව් වැරදි ලෙස අනුමාන කර තිබූ අතර ඇත්තෙන්ම නැපෝලියන් රජ වීමට බොහෝ කලකට පෙර එය පළමුවන ෆ්‍රැන්සිස් රජු විසින් නීත්‍යානුකූලව ප්‍රංශයට ගෙනගොස් තිබුණා. මේ අනුව දෙවසරකට පසු නැවතත් මෝනාලිසා ඇයගේ දීර්ඝකාලීන වාසස්ථානය වූ ලූවර්හි තැන්පත් කෙරෙනවා.
එතැනින් නිම නොවූ මෝනාලිසා පිළිබඳ කසුකුසුව
පැහැරගැනීමේ සිද්ධියත් සමග මෝනාලිසා තිබුණාටත් වඩා ප්‍රසිද්ධ වූ අතර එය නැරඹීමට ආ ජනතාවගේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබුණා. මේ ආකාරයෙන් දශක දෙකක් පමණ මෝනාලියා නිසොල්මන්ව වැජඹුණා. කෙසේ නමුත් 1932 දී කාල් ඩෙකර් නම් ඇමෙරිකානු මාධ්‍යවේදියෙක් කළ ප්‍රකාශයක් සමග මෝනාලිසා කෙරෙහි නැවතත් ආන්දෝලනයක් ඇති වුණා. ඔහුට අනුව ලොව පුරා මෝනාලිසාහි සත්‍ය පිටපතට සමාන පිටපත් කිහිපයක් ඒ වන විට සිතුවම් කර තිබූ අතර, පෙරුජියා විසින් සත්‍ය මෝනාලිසා පැහැරගැනීමෙන් අනතුරුව නැවත ලූවර්හි තැන්පත් කර ඇත්තේ පසුකාලීන පිටපතක් වීමේ සම්භාවිතාවක් පවතින බැව් ඩෙකර් විසින් ප්‍රකාශ කරන්නට යෙදුණා. මෙය අසත්‍යයක් බැව් බොහෝ දෙනා ප්‍රකාශ කළත්, තවමත් එය නියමාකාරයෙන්ම තහවුරු කරගෙන නැහැ. තමන් සන්තකයෙහි පවතින්නේ මෝනාලිසාහි සත්‍ය පිටපත බව විශ්වාස කරන කිහිපදෙනෙක්ම ලොව පුරා තවමත් වෙසෙන අතර, ඉන් යමෙකුගේ විශ්වාසය සත්‍ය නොවේයැ යි කිසිවෙකුට කිව නොහැකි යි.
කවරයේ පින්තූරය- nationalgeographic.com.au