යුරෝපය තුළ පැන නැගී වර්ධනය වූ ආර්ථික, දේශපාලන අර්බුදය 1914 ජූනි 28 වන දා ඔස්ට්‍රියාවේ කිරුළ හිමි ආදිපාදවරයා වූ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය කිරීමෙන් පුපුරා යාමත් සමග පළමුවන ලෝක සංග්‍රාමය ආරම්භ විය. පුරා වසර 4කට වඩා ඇවිලී ගිය යුද ගිනිදැල් නිසා මිලියන 16කට අධික මනුෂ්‍ය පිරිසක් මිහිමතින් අතුගා දැමීය. අත්විඳි බිහිසුණු යුද ගැටුමක් නැවත ඇති නොවීමට අවශ්‍යතාවයක් මෙන්ම වරදකරුවා ලෙස නම් කළ ජර්මනියට දඬුවම් දීමට ද අනෙකුත් බලවත් රටවලට අවශ්‍ය විය.
යුද්ධය නිල වශයෙන් අවසන් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අරමුණු කරගෙන 1919 ජනවාරි මාසයේ දී ප්‍රංශයේ පැරිස් නුවර වර්සෙල්ස් මාළිගයට ලෝක නායකයන් රැස්වුණි. මහ බලවතුන් ලෙස එක්සත් ජනපදය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ප්‍රධානීන් ලෙස එහි මුලසුනේ කටයුතු කරන ලදී. බ්‍රිතාන්‍ය වෙනුවෙන් ඩේවිඩ් ලොයිඩ් ජෝර්ජ් අගමැතිවරයා ද, ප්‍රංශය නියෝජනය කරමින් අගමැති ජෝර්ජ්ස් ක්ලෙමන්සා, සහ එක්සත් ජනපදය නියෝජනය කරමින් ජනාධිපති වුඩ්රෝ විල්සන් ද සහභාගී විය. එසේ ම මෙම සමුළුවට ජර්මනියට ආරාධනා නොකරන ලදී. මන්ද, ජර්මනියට දඬුවම් කිරීම මෙම සමුළුවේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් ව තිබුණි.
එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය යුද්ධය තුළ විවිධ මට්ටමින් හානි සිදු වූ රාජ්‍යයන් නිසා ම ඔවුන්ගේ අරමුණු ද එකිනෙක වෙනස් විය. එක්සත් ජනපදය පළමුවන ලෝක සංග්‍රාමයට දායක වන්නේ 1917 දී ය. ඒ වනවිටත් යුද්ධය ආරම්භ වී වසර තුනක් ම ගත ව තිබුණි. හානි වූ මුළු ජීවිත ප්‍රමාණය 116,516කි. ප්‍රංශය මෙම රටවල් තුන අතරින් වැඩිම හානියට ලක්ව තිබූ අතර අහිමි වූ ජීවිත ප්‍රමාණය 1,357,800කි. සමස්ත යුද්ධය තුළ තුන්වෙනුවට වැඩි ම ජීවිත හානිය වූයේ ඔවුන්ට ය. ජර්මනියට 1,773,700ක ජීවිත හානියක් ද, රුසියාවට 1,700,700ක ජීවිත හානියක් ද සිදුවිය.
පළමු ලෝක යුද්ධය එක්සත් ජනපදයට ලෝක බලවතෙකු වීමේ මඟ විවර කළ ස්වර්ණමය අවස්ථාවක් විය. යුද්ධයට අවසානය වන තෙක් සහභාගී නොවී ආරක්ෂා වී සිටීම නිසා එක්සත් ජනපද ආර්ථිකයට යුද්ධයෙන් සිදු වූ හානිය අවම විය. එසේ ම යුරෝපයේ යුද්ධයට අවශ්‍ය යුද උපකරණ මෙන්ම ආහාර අලෙවි කිරීමෙන් ද එක්සත් ජනපද ආර්ථිකය විශාල වර්ධනයක් අත්පත් කරගත්තේ ය. නමුත් ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය ආර්ථිකයන්ට සිදු වූ හානිය දැවැන්ත ය. යුද්ධයෙන් පසු ව යම් පසුබෑමක් ඇති වූවත් එය අනෙක් රාජ්‍යයන් මෙන් බිමට සමතලා වූ කඩා වැටීමක් නොවී ය. මේ නිසා පසු ව එක්සත් ජනපදය එම රාජ්‍යයන්ට ණය ලබාදෙමින් ව්‍යාපාර අරඹමින් තම ආර්ථිකය ශක්තිමත් කරගැනීමට අවස්ථාව උදාවිය. ආර්ථික අර්බුද නිසා ඇවිළුණු යුද්ධයෙන් සියල්ල වැනසී යාම අවසානයේ තවත් රටකට ආර්ථික සශ්‍රීකත්වය ගෙන එන ලදී. නමුත් එය ම පසු ව නැවත ලෝක ආර්ථික අර්බුදයකට හේතු සැකසී ය.
මේ අතර පළමුවන යුද්ධය නිසා සිදු වූ තවත් වැදගත් සිදුවීමක් වූයේ රුසියාවේ සාර් පාලනය බිඳ දමා සමාජවාදී රාජ්‍යයක් බිහිකර ගැනීමට හැකිවීම යි. සාර් පාලනය යටතේ දීර්ඝකාලීන ව යුද්ධවලට මැදි වී සිටි රුසියන් සෙබළුන් ද, ඉඩම් අහිමි ගොවි ජනයා ද, ආහාර නොමැතිව පීඩා විඳි ජනතාව ද පළමුවන ලෝක යුද්ධය නිසා තව තවත් පීඩාවට පත් ව සිටි නිසා සාර් එළවා දැමීමට එක්වූහ. 1917 නොවැම්බර් මස දී (වත්මන් දින දර්ශනය අනුව) බොල්ෂෙවික්වරු බලය ලබා ගත් පසු ව ළදරු සෝවියට් දේශය ලෝක යුද්ධයෙන් ආරක්ෂා කරගැනීමට රුසියාවෙන් කොටසක් ජර්මනියට පවරා දීමට ලෙනින්ට සිදුවිය. 1918 මාර්තු 3 වන දා අත්සන් තැබූ බ්‍රෙස්ට් ලිටෝව්ස්ක් ගිවිසුම මඟින් රුසියාව පළමුවන ලෝක යුද්ධයෙන් නිල වශයෙන් ඉවත් විය.
ඉහත සඳහන් කළ පරිදි යුද්ධයෙන් පසුව ද එක්සත් ජනපදයට තම ආර්ථිකය තවත් ශක්තිමත් කරගැනීමට මඟක් විවර ව ඇති නිසා ඔවුන්ගේ මූලික අරමුණ වූයේ යුරෝපය තුළ සාමය පවත්වා ගැනීම යි. ඒ වෙනුවෙන් ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් ජර්මනියට සමාව දිය යුතු බවත් නැවත යුද්ධයක් හටගැනීම වැළැක්වීම සඳහා ලෝක සාමය උදෙසා ‘ජාතීන්ගේ සංගමය’ පිහිටුවීමේ අවශ්‍යතාව වර්සේල්ස්හි දී අවධාරණය කරන ලදී.
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් ලොයිඩ් ප්‍රකාශ කළේ අනිවාර්යයෙන් ම ජර්මනියට නිසි දඬුවමක් ලබා දිය යුතු බවත්, වෙළඳ ගනුදෙනු සිදුකිරීමට බාධාවක් නොවන මට්ටමින් දඬුවම් පවත්වා ගත යුතු බවත් ය.
ජර්මනියට වඩාත් ම අවාසි සහගත යෝජනා ඉදිරිපත් කළේ ප්‍රංශය යි. ජර්මනියට දැඩි දඬුවම් දීමට අවශ්‍ය බව අවධාරණය කළ ප්‍රංශ අගමැති ආර්ථික සහ භෞමික ඉල්ලීම් කිහිපයක් ද ඉදිරිපත් කළේ ය. ඇල්සාස් ලොරේන් ප්‍රදේශය නැවතත් ප්‍රංශයට හිමිවිය යුතුවීම එකකි. ඇල්සාස් සහ ලොරේන් ප්‍රදේශ ජර්මනිය විසින් අත්පත් කරගනු ලබන්නේ 1871 දී ඇති වූ ප්‍රංශ-ප්‍රශියානු යුද්ධයේ දී ය. යපස් ඇතුළු ඛණිජ ආකරවලින් පෝෂිත වූ මෙම භූමිය ජර්මනිය විසින් අත්පත් කරගැනීම නිසා ප්‍රංශයට විශාල ආර්ථික අලාභයක් සිදුවිය. ඒ නිසා ම ආරම්භයේ සිට ම ප්‍රංශය තුළ ජර්මන් විරෝධය ඇතිවීමට ඇල්සාස් ලොරේන් අර්බුදය හේතු විය. එම ප්‍රදේශ නැවත අත්පත් කරගැනීම ප්‍රංශයට අත්‍යවශ්‍ය විය. එසේ ම රයින්ලන්තයේ ස්වාධීන ව පවත්වාගෙන යා යුතු බවත් ප්‍රංශයට ජර්මනිය විසින් යුධ වන්දි ගෙවිය යුතු බවට ඉල්ලීමක් ද ඉදිරිපත් විය. එසේ ම ‘ජාතීන්ගේ සංගමය’ ඇති කිරීම අනවශ්‍ය බව ද ප්‍රකාශ විණි.
එකිනෙකට පරස්පර ඉල්ලීම් පැවතියත් මේ රාජ්‍යයන් තුනේ ම අවශ්‍යතාව වූයේ ආර්ථික අර්බුද සමනය කරගනිමින් ආරක්ෂාව තහවුරු කරගැනීම ය. මෙසේ එකිනෙකට පරස්පර ඉල්ලීම් ද සහිත ව ඇරඹුණු සාකච්ඡා අවසානයකට පැමිණ පාර්ශව තුන ම එකඟ ගිවිසුමක් සැකසුණි. 1919 ජූනි මස 28 වන දින නැවතත් පැරිස් හි වර්සෙල්ස් මාළිගයට ලෝක නායකයන් රැස් වූ අතර එහි දී ජර්මනියට සකසා නිම කළ ගිවිසුම ඉදිරිපත් කරන ලදී. කොන්දේසි විරහිත ව මීට අත්සන් තැබීමට ජර්මනියට බල කරන ලදී. මෙහි අන්තර්ගතය කොටස් තුනක් යටතේ වර්ග කළ හැක. ඒ යුදමය, මූල්‍යමය සහ භෞමික ලෙස යි.
ඒ අනුව ජර්මන් යුද හමුදාව සෙබළුන් ලක්ෂයකට සීමා විය යුතු අතර යුද නැව් ප්‍රමාණය 6කට සීමා විය යුතු බව සඳහන් විය. එසේ ම සබ්මැරීන තබාගැනීම තහනම් වූ අතර ගුවන් හමුදාවක් පවත්වා ගැනීම ද තහනම් විය. එසේ ම රයින්ලන්තය ජර්මන් හමුදා ඇතුළු වීම ද තහනම් විය.
මූල්‍ය ක්ෂේත්‍රය යටතේ රන් මාක් (පැරණි මුදල් ඒකකය) බිලියන 132ක යුද වන්දියක් ගෙවිය යුතු විය. එම මුදල එකල ඇමෙරිකන් ඩොලර්වලින් බිලියන 33ක් විය.
භෞමික ක්ෂේත්‍රයට සම්බන්ධ කොන්දේසි අතර ඇල්සාස් සහ ලොරේන් ප්‍රදේශ නැවත ප්‍රංශයට ලබාදීමට තීන්දු විය. එසේ ම ඔස්ට්‍රියාව සමග එක්සත් ක්‍රියාමාර්ග ජර්මනියට තහනම් විය. තව ද, නැගෙනහිර ජර්මනියත් නැගෙනහිර ප්‍රශියාවත් අතර ප්‍රදේශ පොලන්තයට පැවරිය යුතු විය. තව ද, ඇල්සාස් සහ රයින්ලන්තය අතර ගල් අඟුරුවලින් පෝෂිත සාර්ලන්තය වසර 15කට ප්‍රංශයට පවරා දෙන ලදී. එපමණක් නොව මේ වන විට අප්‍රිකා මහද්විපයේ ජර්මනියට අයත් යටත්විජිත ද ප්‍රංශය හා බ්‍රිතාන්‍ය අතර බෙදා දෙන ලදී.
නැවත ලෝක යුද්ධ ඇති වීම වැළැක්වීමේ අරමුණින් ‘ජාතීන්ගේ සංගමය’ පිහිටුවා ගැනීම අනුමත විය. නමුත් ජර්මනියට එහි සාමාජිකත්වය ලබා නොදුනි. යුද්ධය නිසා සිදු වූ සියලු විනාශයේ වගකීම ජර්මනිය වෙත පවරන ලදී.
ඒ අනුව පළමුවන ලෝක යුද්ධයේ නිල අවසානය සනිටුහන් කළ වර්සෙල්ස් ගිවිසුම යුද්ධයෙන් පරාජය වූ ජර්මනිය සහමුලින්ම තලා දැමීමක් විය. රට තුළ ඊට ඇති වූ විරෝධය දැඩි විය. යුද්ධය අවසන් කර නැවත යුද්ධ ඇති වීම වැළැක්වීමේ අරමුණින් අත්සන් තබන ලද වර්සෙල්ස් ගිවිසුම අවසානයේ නැවත ලෝක යුද්ධයක් ඇති වීම සඳහා අවශ්‍ය තත්ත්වයක් ජර්මනිය තුළ ඇති කරන ලදී. සැබෑ ලෙස ම ලෝක යුද්ධ අවසන් කිරීම වෙනුවට තම තමන්ගේ ආර්ථික අර්බුද විසඳා ගැනීමට උපයෝගී කරගැනීම නිසා එය ම පෙරළා තවත් ලෝක යුද්ධයකට මඟ විවර කරවීය. ආර්ථික කඩා වැටීමටත් ලෝකය තුළ ලැජ්ජාවටත් පත් කිරීම නිසා ජර්මනිය උග්‍ර ජාතිවාදී ගමනක් අරඹා 1930 දශකය අවසන් වනවිට ලෝක යුද්ධයකට අවශ්‍ය තම භූමිකාව සපුරන ලදී.
මූලාශ්‍රයයන්: history.com
කවරයේ පින්තූරය: history