ඇමෙරිකානු හමුදාවට දෙවන ලෝක යුද සමයේ ජර්මන් අවිවලින් පහරදුන්, වියට්කොං ගරිල්ලන්

වියට්නාම් යුද්ධයේ දී දකුණු වියට්නාමයට සිය සහාය පළ කරන ඇමෙරිකා එක්සත් ජනපදය, මුල දී ඔවුන් වෙනුවෙන් හමුදා පුහුණුව හා ඇමෙරිකානු අවි ආයුධ ලබා දෙනවා. පසුව, උතුරු වියට්නාම හමුදාව හා වියට්කොං ගරිල්ලන් විසින් දකුණු වියට්නාම් හමුදාවට යුදමය වශයෙන් එල්ල කරන දැඩි තර්ජන හමුවේ ඇමෙරිකාව දකුණු වියට්නාමයට ඇමෙරිකානු හමුදා භට කණ්ඩායම් විශාල වශයෙන් යොදවනවා. 

1955 වසරේ සිට 1975 වසර දක්වා දීර්ඝ කාලයක් මෙම සටන ඇදී ගිය අතර, අවසානයේ දී උතුරු වියට්නාම් හමුදාවට හා වියට්කොං ගරිල්ලන්ට ජයග්‍රහණය දී ඇමෙරිකානු හමුදාවට අවමන් සහගත පරාජයක් සමග වියට්නාමයෙන් ඉවත් වීමට සිදුවෙනවා. අවසානයේ දී උතුරු හා දකුණු වියට්නාමය එකට එකතු වෙන අතර, වර්තමානයේ පවතින වියට්නාමය නිර්මාණය වෙනවා.

වියට්නාම් යුද්ධය පටන් ගැනීමේ සිට අවසානය දක්වා ලිපි ගණනාවකින් එම යුද්ධය පිළිබඳව සියලු තොරතුරු අප ඔබ වෙත ගෙන ආවා.

අද ලිපිය ලියවෙන්නේ එම ලිපිවල නොතිබුණු යම් සුවිශේෂී කරුණක් පිළිබඳව යි. දකුණු වියට්නාම් හමුදාවට හා ඇමෙරිකානු හමුදාවන්ට මුහුණ දීමට, උතුරු වියට්නාම් හමුදාවන්ට හා වියට්කොං ගරිල්ලන්ට සෝවියට් දේශයෙන් හා මහජන චීනයෙන් යුද ආධාර ලැබෙනවා. 

බොහෝ විට උතුරු වියට්නාම් හමුදාව හා වියට්කොං ගරිල්ලන් විසින් භාවිතා කරන්නේ සෝවියට් දේශයෙන් ලබාදුන් අවි ආයුධ යි. එම අවි ආයුධවල විශේෂත්වය වන්නේ, ඒවා දෙවන ලෝක යුද්ධයේ දී සෝවියට් දේශය විසින් ජර්මානුවන්ගෙන් අත්අඩංගුවට ගත් ආයුධ වීම යි.  

ඒවා ඇමෙරිකානු නවීන ආයුධවලට සාපේක්ෂව පැරණි ආයුධ වුවත්, වියට්කොං හා උතුරු වියට්නාම් හමුදා භාවිතා කළ, විහිදී ගිය ජාලගත උමං පද්ධති වැනි සටන් උපක්‍රම හේතුවෙන් අවසානයේ යුද ජයග්‍රහණය හිමි කරගන්නේ වියට්කොංවරු හා උතුරු වියට්නාම් හමුදාව යි.

ඇමෙරිකානු නවීන ආයුධවලට එරෙහිව පැරණි නට්සි ජර්මානු ආයුධ 

නැගෙනහිර පෙරමුණ යටතේ ජර්මනියට ඇතුළු වන සෝවියට් හමුදාව ජර්මානුවන් පරාජය කරමින් 1945 වසර වන විට දෙවන ලෝක යුද්ධය අවසන් කරනවා. මේ සඳහා ප්‍රංශය ඔස්සේ පැමිණි ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර පෙරමුණෙන් ද අනගි සහායක් හිමි වෙනවා.

ජර්මානුවන් පරාජයට පත් වීමට ප්‍රථම, ඔවුන් සතුව තිබූ අවි ආයුධ විශාල ප්‍රමාණයක් විනාශ කරන අතර ඉතිරි ඒවා මිත්‍ර හමුදාව විසින් අයිති කර ගන්නවා. ජර්මානු යුද අවි බොහෝ ප්‍රමාණයක් සෝවියට් දේශය විසින් සිය භාරයට ගන්නා අතර, ඒවා නැව් මඟින් සෝවියට් දේශයට ගෙන යාමට ද ඔවුන් පසුව කටයුතු කරනවා. 

ඊට අවුරුදු 10කට පමණ පසුව 1955 වසරේ වියට්නාම් යුද්ධය ආරම්භ වෙන සමයේ ඇමෙරිකාව හා සෝවියට් දේශය ප්‍රධාන වශයෙන් බල කඳවුරු දෙකකට බෙදී එකිනෙකාට අභියෝග කර ගනිමින් නිරවි යුද සමයක් ගත කරනවා. 

1955 වසරේ දී වාමාංශික අදහස් ඇති වියට්කොං හා උතුරු වියට්නාම් හමුදා දක්ෂිණාංශික පාලනයක් කෙරෙහි වූ දකුණු වියට්නාමය සමග යුද්ධයක් ආරම්භ කරනවා. මෙහි දී ආසියාව පුරා පැතිරී යන කොමියුනිස්ට්වාදයට සිය අකමැත්ත පළ කරන ඇමෙරිකා එක්සත් ජනපදය, දකුණු වියට්නාමයට සහාය දෙන අතර තම ප්‍රධාන සතුරු පාර්ශවයට විරුද්ධ පාර්ශවයට සෝවියට් දේශය විසින් ආධාර කරනවා.

නමුත්, සෝවියට් දේශය විසින් උතුරු වියට්නාම් හමුදාවට හා වියට්කොං ගරිල්ලන්ට සපයන බොහොමයක් අවි ආයුධ ඔවුන් දෙවන ලෝක යුද්ධයේ දී ජර්මානුවන්ගෙන් අල්ලාගත් අවි ආයුධ බව පෙනී යනවා. උතුරු වියට්නාමයට උදව් කිරීමේ මුවාවෙන් සෝවියට් දේශය තමන් සතුව තිබූ පැරණි නට්සි ජර්මානු අවි ආයුධ තොග අස්කර ගත් බව ඔවුන්ට එල්ල වෙන ප්‍රධාන චෝදනාව යි.

ඔවුන්, තරමක් යල් පැනගිය බවට පත් වෙමින් තිබූ අතිරික්ත තුවක්කු ඉවත් කිරීමට මේ ඔස්සේ අවස්ථාවක් ලබා ගන්නවා. ඒ හේතුවෙන් නැගෙනහිර යුද පෙරමුණේ අවි ආයුධ විශාල ප්‍රමාණයක් වියට්නාම් යුද්ධයේ දී දැකගන්න පුළුවන්.

StG 44 රයිෆලය 

StG 44 රයිෆලයක් අතැතිව සිටින ඇමෙරිකානු යුද හමුදා භටයෙක් (warhistoryonline)

පින්තූරයේ දැක්වෙන්නේ වියට්කොං ගරිල්ලන් සතුව තිබී ඇමෙරිකානු හමුදා විසින් අල්ලා ගත් StG 44 රයිෆලයක් අතැතිව සිටින ඇමෙරිකානු යුද හමුදා භටයෙක්. මෙම ගිනි අවිය 1943–1945 කාල සිමාවේ දී නට්සි ජර්මනිය භාවිතා කරන ලද අවියක් ලෙස හඳුන්වන්න පුළුවන්. 

ජර්මානුවන් විසින් මීටර් සිය ගණනක සාර්ථකව වෙඩි තැබීම සඳහා භාවිතා කළ ඉතා වේගයෙන් උණ්ඩ නිකුත් වෙන ඔවුන්ගේ පළමු යුද අවියක් ලෙසත් මෙය හැඳින්විය හැකියි. දෙවන ලෝක යුද්ධය අවසන් සමයේ ජර්මානු යුද පෙරමුණුවලට මෙම අවිය ලැබුණත්, සෝවියට් භටයන් හා සටන් කළ නැගෙනහිර යුද පෙරමුණේ දී ජර්මානුවන් විසින් මෙම අවියෙන් ඉහළ ප්‍රයෝජන ලබා ගන්නවා. යුද්ධයෙන් පසුව සෝවියට් දේශය මඟින් පාලනය කරන ලද නැගෙනහිර ජර්මනියත් මෙම අවිය සිය ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කරනවා.

MP40 අර්ධ මැෂින් තුවක්කුව 

MP40 හා වියට්කොං ගරිල්ලෝ (baomoi.zadn.vn)

ඉහත පින්තූරයෙන් දැක්වෙන්නේ MP40 අර්ධ මැෂින් තුවක්කු වියට්කොංවරුන්ට බෙදා දෙන අවස්ථාවක්. MP40 යනු 1940 වසරේ සිට දෙවන ලෝක යුද්ධය අවසන් වන තුරු නට්සි ජර්මනිය විසින් භාවිතා කර ලද අවියක්. එම අවිය නැගෙනහිර පෙරමුණේ සටන්වලට මෙන්ම බටහිර පෙරමුණේ සටන්වලට ද ජර්මනිය විසින් භාවිතා කරනවා. මෙම අවිය ජර්මානුවන් විසින් වැඩිපුරම භාවිතා කරන්නේ සෝවියට් දේශයේ ස්ටාලින්ග්‍රාද් සටනේ දී යි. එම සටන ඔවුන් පරාජය වීම හේතුවෙන් මෙම වර්ගයේ ගිනි අවි විශාල ප්‍රමාණයක් සෝවියට් දේශ හමුදා අතට පත් වෙනවා.

MP 40/I, MP 41හා Zastava M56 යන අවි මෙහි යාවත්කාලීන වූ ප්‍රභේද ලෙස හඳුන්වන්න පුළුවන්. 

MG-34 මැෂින් තුවක්කුව

MG-34 මැෂින් තුවක්කුව (i0.wp)

පින්තූරයෙන් දැක්වෙන්නේ MG-34 මැෂින් තුවක්කුව භාවිතා කරන වියට්කොං ගරිල්ලා භටයෙක්. ජර්මානු හමුදාව විසින් දෙවන ලෝක යුද්ධ සමයේ භාවිතා කරන ලද මෙම මැෂින් තුවක්කු වර්ගය යුද්ධ භූමියෙ බර අවි පන්තියට අයත් වෙනවා. මෙම අවියට විනාඩියට පතුරම් වට 900 ඉක්මවා යන ලෙස වෙඩි තැබීමට හැකියාව පවතිනවා. තනි භටයෙක් විසින් යුධ භූමියේ දී අවිය භාවිතා කර තිබෙනවා.

තවද, වෙඩි තැබීමේ අධි-කාර්යක්ෂමතාව​ හේතුවෙන් තුවක්කු බැරලය රත් වීම වේගවත් බැවින් එය ඉක්මනින් මාරු කිරීමේ හැකියාව ද මෙහි පැවතුණා. MG 42 වැඩි දියුණු කිරීමෙන් නිපදවන ලද MG 34 ජර්මනිය විසින් දෙවන ලෝක යුධ සමයේ නිපදවනු ලැබූ පාබල හමුදාව විසින් භාවිතා කළ උසස්ම මැෂින් තුවක්කුව ලෙස වාර්තා වෙනවා. 

වියට්කොං භටයන් හා උතුරු වියට්නාම් සෙබළුන් භාවිතා කරන ලද තවත් එවැනි ජර්මානු ආයුධ පහත පින්තූරවල දැක්වෙනවා.

MG-34 මැෂින් තුවක්කුව වියට්නාමයේ දී ( i.pinimg)
උඩ සිට පහළට PPS-43, MP 40 හා K-50M ගිනි අවි 

කවරයේ පින්තූරය- sinaimg.cn

warhistoryonline.com හි පළ වූ The Viet Cong Used German WWII Weapons Against the USA – Great Pictures in Here ලිපිය ඇසුරෙනි. 

Related Articles

Exit mobile version