Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හමුදාවට වැටුප් ගෙවීමට කොත විකුණූ දාගැබ ථූපාරාමය

ලංකාවේ ප්‍රථම දාගැබ ලෙස ඓතිහාසික සාධක සහිත ථූපාරාමය අනුරාධපුර වන්දනාවේ යන කවුරුත් යන තැනක්. නමුත් ඒ වැඩිදෙනෙක් දාගැබේ වැදගත්කම ගැන පූර්ණ අවබෝධයකින් යන බව පේන්නෙ නැහැ. දාගැබ පිහිටි පැරණි ආරාමයට අයත් නටබුන් විශාල ප්‍රමාණයක් දැන් සංරක්ෂණය කරලා තියෙන්නේ. ඒවා නැරඹීමටත් ඔබට පුළුවන්. ඉතිහාසයේ විවිධ අවස්ථාවල දී විනාශ වුණු නැවතත් ඉදිවුණු මේ දාගැබේ කතාව විමසා බලමු.

පළමු දාගැබ ඉදිවෙයි

ථූපාරාමය අද – Kusumsiri Wijayawardhana

සතර බුදුනුගේ ධාතු පිහිටි මේ ප්‍රථම චෛත්‍යය පාළුව දැන්

අතරතුරේ දී සිඳබිඳ දමමින් පර සතුරෝ වන් කලක් ලෙසින්

පාළුවැවේ ධම්මරතන හාමුදුරුවෝ ශ්‍රි නාම රත්නාලංකාරය නම් කවි පොතේ ඒ විදිහට සඳහන් කරන්නේ ශ්‍රි වික්‍රම රාජසිංහ (1789-1815) රජ කාලයේ ථූපාරාමය තිබුණු විදිහ යි. උන්වහන්සේ ථූපාරාමය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ශ්‍රී වික්‍රම රජුගෙන් ඉල්ලා සිටියත්, එය ඉටුවූ බවක් නම් පේන්නේ නැහැ.

පොළොන්නරු  යුගයෙන් පසු නටබුන් බවට පත්වුණු මේ දාගැබ ප්‍රතිසංස්කරණයට පසුකාලීනව සිටි රජවරු උනන්දුවක් දක්වා නැති බව ශ්‍රී නාම රත්නාලංකාරයේ කවිවලින් පේනවා. මුල් කාලයේ දී පණ්ඩුකාභය රජු මහේජ යක්ෂයා වෙනුවෙන් කරවූ දේවාලයක් මෙහි තිබුණ බව සඳහන් වෙනවා. ලක්දිව ප්‍රථම දාගැබ හෙවත් ථූපය නිසා, දාගැබ ථූපාරාමය නම් වුණා. දේවානම් පියතිස්ස රජතුමා පළමුව මහා විහාරය ද, දෙවනුව මිහින්තලා විහාරය ද, තුන්වෙනුව ථූපාරාමය ද ඉදිකළ බව මහාවංශය සඳහන් කරනවා. බුදුන් වහන්සේට වන්දනා කිරීමට පූජා වස්තුවක් නොමැති වූ නිසා මේ දාගැබ ඉදිකරන ලෙස මිහිඳු හාමුදුරුවෝ දේවානම්පිය තිස්ස රජුට පවසා තිබෙනවා. බුදුන් වහන්සේගේ අකු ධාතුව මේ දාගැබේ නිදන් කර ඇති බව සැලකෙනවා.

සංඝාරාම ගොඩනැගිල්ලක්- Kusumsiri Wijayawardhana

මහින්ද ස්ථවිරයන්ගේ මතය අනුව කටයුතු කළ රජතෙම ඒ චෛත්‍ය ස්ථානය මත්තෙහි කොණ්ඩයක් පමණ උස්වූ ථූපයක් කිහිප දිනකින් බඳවා එහි පිහිටුවීම ඝෝෂා පවත්වා ථූපාරාමයට එළඹියේය… මිහිපති තෙමේ ථූපාරාමයෙහි උතුම් වූ ථූපය නිමවා නොයෙක් රත්නාදියෙන් සැම කල්හිම පුදපූජා කළේය 

(මහාවංශය, 10 පරිච්ඡේදය).

අභයවැවේ වියළි මැටි ගොඩවල් ගෙන්වා සමාන උසකින් ගොඩ ගසා, ඒ මත ඇතුපිටින් ගෙනා ධාතුන් තැබූ බවත්, ගඩොල් ඉක්මනින් තනන ලෙස රජු අණකළ බවත් මහාවංශය පවසනවා.

රාජකීය පුද පූජා

දාගැබේ ප්‍රවේශ දොරටුව- Kusumsiri Wijayawardhana

වසභ රජු (ක්‍රි. ව. 67-111) තමයි ථූපාරාමයට වටදාගෙයක් ඉදිකරවා තිබෙන්නේ. ඉන් පසු ගෝඨාභය රජ්ජරුවෝ (ක්‍රි. ව. 249-263) සහ මානවම්ම රජ්ජුරුවෝ (ක්‍රි. ව. 684-718) මේ වටදාගෙය පිළිසකර කළා. වඩාත් අලංකාර ගල්කුලුණු යෙදුවා. ලජ්ජිතිස්ස රජු (ක්‍රි. පූ. 119-110) මෙම දාගැබට ශිලාමය කංචුකයක් ඉදිකරවා තම භක්තිය පෙන්නුවා. ක්‍රි. ව. පළමු සියවසේ දී ආමණ්ඩ ගාමිණි අභය රජු ථූපාරාමයට තම අනුග්‍රහය දැක්වූයේ පෝයගෙයක් ඉදිකරවීමෙන්. 

ථූපාරාමය ඇතුළු අනුරාධපුරයේ මහා දාගැබ්වලට දුර්භාග්‍ය සම්පන්න කාලයක්‌ 1 වන දාඨෝපතිස්‌ස රජුගේ (ක්‍රි. ව. 639-650) කාලයේ දී උදාවෙනවා. මේ රජතුමා හා 3 වන අග්‍රබෝධි (ක්‍රි.ව. 628-639) රජු අතර සිහසුන සඳහා සටනක්‌ ඇති වුණා. මෙම අරගලයේ දී තිස්‌ස රජු දෙමළ කුලී හමුදාවල සහය ලබා ගත් හෙයින් ඔවුන්ට වැටුප් ගෙවමින් නඩත්තු කිරීම සඳහා විශාල ධනයක්‌ අවශ්‍ය වී තිබෙනවා. අවසානයේ දී  ථූපාරාමයේ කොත සහ ඡත්‍රයත්, ආරාමයේ රන්රිදී වස්තුවත් කොල්ලකෑ බව මහාවංශයේ දැක්වෙනවා. ඊට පසුව රජ පැමිණි දෙවන කාශ්‍යප, මානවම්ම, දෙවන දප්පුල යන රජවරු කලින්කල දාගැබ ප්‍රතිසංස්කරණය කරවා රාජ අනුග්‍රහය දක්වා තිබෙනවා.

පැරණි පාදෝවනය කළ ජල භාජනයක්  -Kusumsiri Wijayawardhana

යළිත් 9 වන සියවසේ දී දාගැබට දුර්දසාවක් ඇතිවෙනවා. ඒ ලංකාවට සිදුවූ පාණ්ඩ්‍ය ආක්‍රමණය අවස්ථාවේ දී යි. පාණ්ඩ්‍ය සේනාව ථුපාරාම දාගැබේ කංචුකය, මැණික් සහ ආරාමයේ වස්තුවත් කොල්ල කා තිබෙනවා. ඉන් පසුව බුදුදහමට ලැදි රජවරුන් නැවතත් දාගැබ ගොඩනංවා ආරක්ෂාව ලබාදෙනවා. දෙවන සේන, දෙවන උදය, හතරවන මහින්ද ඒ රජවරු යි. යළිත් දාගැබ මංකොල්ල කන්නේ පස්වැනි මහින්ද කාලයේ පැමිණි චෝල ආක්‍රමණිකයන්.  ඊට පසු දාගැබ ජරාවාස වෙනවා. රාජධානිය අනුරාධපුරයට මාරු වෙනවා. පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජු දාගැබ නැවතත් ප්‍රතිසංස්කරණය කරවා පුදපූජා පවත්වනවා.

උසින් අඩි 63ක් වූ දාගැබ විෂ්කම්භයෙන් අඩි 59ක්. රුවන්වැලි සෑය ඉදිකිරීමට පෙර මහා විහාරයේ ප්‍රධාන දාගැබ වුණේ ථූපාරාමය යි. පසුකාලීනව එය වෙනම විහාර සංකීර්ණයක් ලෙස වර්ධනය වූ බව ඉතිහාසය දෙස බලන විට පේනවා. ශ්‍රී මහා බෝධියෙන් හටගත් පළමු අෂ්ටඵලරුහ බෝධි ශාඛාවක් ද දෙවන පෑතිස් රජු මෙහි රෝපණය කර තිබෙනවා.

වටදාගේ

වටදාගේ කුලුනු සහිත දාගැබ  -Kusumsiri Wijayawardhana

ථූපාරාම දාගැබේ අලංකාරයට හේතු වී ඇත්තේ දාගැබ වටා පිහිටි ගල්කණු පේළි හතරයි. එහි කුලුණු 166ක් පිහිටා තිබෙනවා. 19 වැනි සියවසේ මේ ගැන සඳහන් කරන ස්මිදර් පවසන්නේ දාගැබ වටා කුලුණු 176ක් දැකගත හැකිවූ බව යි. පසුව කුලුණු 10ක් අහිමි වී ඇති බව යි පේන්නේ. ඒවා පැරණි වටදාගෙයි ගල්කණු යි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ඒ ගැන මෙසේ සඳහන් කරනවා:

දාගැබ වටා පිහිටි තනි කළුගලින් නිමකර ඇති කුලුණුවල මුල සිට උසින් 1/3ක් දක්වා චතුරස්‍රාකාර වන අතර ඉතිරිය අෂ්ටාස්‍රාකාර වේ. කුලුණු හිස් වෙන වෙනම නෙලා තව් තිබෙන පරිදි නිමාකර කුඩුම්බිවලින් කඳට සවිකර තිබුණි.  

(ලංකාවේ ස්තූපය, 67 පිට). 

වටදාගේ කුලුනු හිස්- -Kusumsiri Wijayawardhana

මෙම කුලුණුවල හිසෙහි බර දරා සිටින බහිරව රූපත් ඊට පහළින් බොරදම් මෝස්තර සහ මකර රූපත් කැටයම් කර තිබෙනවා. කුලුණුවලින් වෙන්වූ කුලුණු හිස් රාශියක් අවට බිමේ දී අපට දැකගත හැකියි. ඒවා කණුවලට සවිකර සංරක්ෂණය කළහොත් පැරණි ස්වරූපය බොහෝදුරට ලබාගත හැකිවේවි.  

ලංකාවේ මුල්ම බුදු පිළිමය

ප්‍රතිමාඝරය- anglefire. com

අප රටේ බුදු පිළිම ගැන මුල්ම සඳහන මහාවංශයේ දැක්වෙන්නේ ථූපාරාමය සම්බන්ධයන්. දෙවනපෑතිස් රජු දැකුම්කළු ගල් පිළිමයක් මෙහි පිහිටුවා තිබූ බව සඳහන්. ඒ පිළිමය ජෙට්ඨතිස්ස රජු පාචීනතිස්ස පබ්බත විහාරයට ගෙනගොස් තිබෙනවා. ධාතුසේන රජු එහි ඇස්වලට ඔබ්බවා තිබූ මැණික් ගල් නැතිවී තිබූ නිසා ඒවා නැවත සවිකරවූ බව පැවසෙනවා. පසුව මේ පිළිමයට කුමක් වීදැ යි ඉතිහාසය පවසන්නේ නම් නැහැ.

ථූපාරාම දාගැබ පිහිටි ආරාමය මුල් යුගයේ හඳුන්වා තිබෙන්නේ හත්ථාල්ලක පිරිවෙන නමින්. සංඝමිත්තා රහත් තෙරණිය වාසය කර තිබෙන්නෙන් එහි තිබූ භික්ෂුණී ආරාමයේ යි. ගෝඨාභය රජ සමයේ මෙහි සංඛපාල නම් පිරිවෙනක් පිහිටුවා තිබෙනවා. විහාර සංකීර්ණයකට අවශ්‍ය සියලුම අංග ථූපාරාමයේ පිහිටා තිබෙනවා. උපෝසථඝරයක්,  බෝධිඝරයක් මෙන්ම බොහෙත් ශාලාවක් ද මෙහි තිබූ බවට සාධක හමු වෙනවා.

වනගත වූ දාගැබ

වනගතව පැවති දාගැබ ප්‍රතිසංස්කරණය කළ කාලයේ- lankapura.com

පොළොන්නරු යුගයෙන් පසු රජරට රාජධානිය බිඳ වැටුණු පසු ථූපාරාමයත් වනගත වුණා. සියවස් ගණනාවක් කැලේ මැද පස් කන්දක් වශයෙන් තිබූ මේ දාගැබ වර්ෂ 1828 දී එවකට අටමස්ථානාධිපති ඉපලෝගම අනුනායක හිමියන්  ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ දරා තිබෙනවා. එය අසාර්ථක වුණා. යළිත් 1841 දී ප්‍රතිසංස්කරණය ආරම්භ කරනවා. එය නිමවුණේ 1862 දී යි. එම ප්‍රතිසංස්කරණයේ දී මුල් ධාන්‍යාකාර හැඩය වෙනුවට ඝණ්ඨාකාර හැඩයට තනා තිබෙනවා. අදත් දකින්න ලැබෙන්නේ එදා තැනූ දාගැබ යි. මෙහි මුල්වරට සංඝාවාසයක් ආරම්භ වුණේ 1912 දි.

පාද ලාංඡන චේතිය

පාදලාංඡන චේතිය- Kusumsiri Wijayawardhana

දාගැබ අසල නැගෙනහිර දොරටුවට යාබදව මෙම නටබුන් දාගැබ පිහිටා තිබෙනවා. සිව් බුදුවරයන් ලංකාද්වීපයට වැඩම කර නැවත අහසට නැංගේ මෙම ස්ථානයෙන් බවට අද්භූත කතාවක් පාදලාංඡන චේතිය වටා ගෙතී තිබෙනවා. සිව්බුදුවරුන්ගේ පැමිණීම සිහිපත් කිරීමට ලජ්ජිතිස්ස රජු මෙම දාගැබ තැනූ බව සඳහන්.

සංඝමිත්තා චේතිය

සංඝමිත්තා දාගැබේ නටබුන්- Kusumsiri Wijayawardhana

එකුන් සැට වසරක් ආයු වළදා පිරිනිවන් පෑ සංඝමිත්තා රහත් තෙරණිය ථූපාරාමය අසල අදාහනය කරවා උත්තිය රජු විසින් ආදාහන සෑයක් ද ඉදිකරවා තිබෙනවා.

කුළුගෙයෙහි නගන ලද තෙරණි සිරුර සත් දවසක් ඇවෑමෙන් නුවරින් පිටත්කොට, ථූපාරාමයට නැගෙනහිරින් චිත්‍ර ශාලා සමීපයෙහි මහාබෝධි උපාශ්‍රයෙහි තෙරණි විසූ තැන ගිනි කිස කරවීය. ඒ උත්තිය මිහිපති තෙම එහි සෑයකුදු කරවීය. 

(මහාවංශය) 

ථූපාරාමයේ නැගෙනහිර දොරටුව අසල ගස් සෙවණේ පිහිටි කුඩා දාගැබ සංඝමිත්තා දාගැබ ලෙස පුරාවිද්‍යාඥයන් හඳුනාගන තිබෙනවා.

නාගලු ළිඳ

නාගලු ළිඳ – Kusumsiri Wijayawardhana 

දාගැබ ඉදිරිපස පිහිටි ගල්පුවරු ඇල්ලූ පුරාණ ළිඳ හඳුන්වන්නේ “නාගලු ළිඳ” නමින්. එහි මුවවිටට වඩා අභ්‍යන්තරය විශාල යි. ළිඳ අසල පුරාණයේ මණ්ඩපයක් ඉදිකර තිබූ බව ඒ අසල තිබෙන ගල්උළුවස්සෙන් පැහැදිලි වෙනවා. ආරාමයෙහි භික්ෂු භික්ෂුණින්ගේ ප්‍රයෝජනට සඳහා මෙය ඉදිකරන්නට ඇති. නමුත් මෙම ළිඳ තුළින් නාග ලෝකයෙන් නාගයන් මතුවූ බවට ජනප්‍රවාදයක් පැතිර තිබෙනවා.

ප්‍රතිමාඝරය

පිළිම ගෙයි කොරවක්ගලක්- -Kusumsiri Wijayawardhana

දාගැබේ නැගෙනහිර දොරටුව අසල වම්පසින් පිහිටි නටබුන් ගොඩනැගිල්ල මුලින්ම දළදා ගේ යනුවෙන් හැඳින්වුවත්, එය ප්‍රතිමාඝරය බවට පසුව හඳුනාගත්තා. අලංකාර ගොඩනැගිල්ලක් වූ එය දිගින් අඩි 85ක් ද පළලින් අඩි 57ක් ද වූ වේදිකාවක ඉදිකර තිබෙනවා. මෙහි ගන්ධ කුටියට ඈඳන ලද මණ්පඩය හින්දු ගෘහනිර්මාණ ලක්ෂණ පෙන්නුම් කරන බව මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පවසනවා. මෙහි දොරටුවේ ඇති සඳකඩ පහණ සහ මුරගල් 9-10 සියවස්වලට අයත්. අනුරාධපුර යුගයේ පසුකාලයේ මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණයට ලක්ව තිබෙන බව ඉන් හෙළිවෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

මහාවංශය ප්‍රථම භාගය- හික්කඩුවේ සුමංගල, බටුවන්තුඩාවේ දේවරක්ෂිත සංස්කරණය

පූජනීය අටමස්ථානය- කුසුම්සිරි විජයවර්ධන

ලංකාවේ ස්තූපය- එස්.පරණවිතාන

අනුරාධපුර ඓතිහාසික සහ ආගමික ස්මාරක- කේ. එම්. අයි. ස්වර්ණසිංහ

ශ්‍රි නාම රත්නාලංකාරය- සංස්. රංගන කුරුවිට

කවරය- ථූපාරාමය 1862 ප්‍රතිසංස්කරණයෙන් පසුව - from the J.G. Smither’s book

Related Articles