“ඇඩෝල්ෆ් හිට්ලර්” නම ඇසූ පමණින් ඔබට සිහිවන්නේ රාජ්‍ය බලය අල්ලාගෙන ඒකාධිපති පාලනයක් ගෙන ගිය දරුණු පාලකයෙක් වන්නට ඇත. 1889 දී උපත ලද ඔහු ජර්මන් ජාතික දේශපාලඥයෙක්. අතිශය විප්ලවකාරී සහ කැරලිකාරී නායකයෙක් වන මොහු ලෝක දේශපාලන ඉතිහාසයේ ප්‍රචණ්ඩතම පාලකයායැ යි පැවසුවහොත් නිවැරදි යි. කෙතරම් දරුණු ඒකාධිපති පාලකයෙක් ලෙසින් නම් දැරුවත් ඇත්තෙන්ම මොහුගේ චරිතය හරිම අපූරු යි. ඔහු තුළ වූ ඇතැම් පුරුදු සහ හැසිරීම් හරිම අපූරු යි.
දක්ෂ චිත්‍ර ශිල්පියෙක්
දරුණු ඒකාධිපතියෙක් ලෙස සියල්ලන් හඳුනන හිට්ලර් හික්මුණු මනසක් ඇති කලාකාමියෙක්යැ යි ඇසුවොත් ඔබ පුදුම වේවි. ඇත්තෙන්ම හිට්ලර් කියන්නෙ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඔහු ඉතාමත් ආකර්ෂණීය ලෙස විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිතුවම් ඇඳ ඇති බව යි වාර්තා වන්නේ. වයස අවුරුදු 12 දී පමණ ඔහු සිහින දැක ඇත්තේ ඔස්ට්‍රියාවේ වියානා සෞන්දර්යය ඇකඩමියට ඇතුළත් වී චිත්‍ර කලාව හැදෑරීමට යි. ඔහු ඉදිරිපත් කළ අයදුම්පත් සියල්ල ඇකඩමියෙන් ප්‍රතික්ෂේප වුවත් ඔහු චිත්‍ර ඇඳීම නම් අත්හරින්නේ නැහැ. ඔහුගේ මවගේ මරණයෙන් පස්සේ වසර 5ක්ම ඔහු ජිවත් වන්නේ චිත්‍ර ඇඳ විකිණීමෙන් ලබාගන්නා මුදලෙන්. ඔහු සිතුවම් කළ චිත්‍ර අතරින් කිහිපයක් පහතින් ඔබට දැකගත හැකි යි.
මෙහි වාඩි වී සිටින්නේ ඇඩෝල්ෆ් හිට්ලර් බව යි බොහෝ විචාරකයන් මත පළ කරන්නේ. මේ සිතුවම 2009 දී ඩොලර් 14,600ක් වැනි මුදලකට අලෙවි වී තිබෙනවා.
පාට පාට ලියවිලි
චිත්‍ර ඇඳීම පමණක් නොව, හිට්ලර් නම් වූ සැඟවුණු කලාකමියා ලිපි ලේඛන කටයුතුවල ද නියැලුණු බව සඳහන් වෙනවා. මෙසේ ලිපි ලේඛන කටයුතු කිරීමේ දී ඔහු පුරුද්දක් වශයෙන් විවිධ වර්ණයේ පැන්සල් භාවිතා කර තිබෙන බව ද වාර්තා වෙනවා. වර්ණ තුනකින් පැන්සල් භාවිතා කළ ඔහු ඒවා යොදාගෙන තිබුණේ හරිම අපූරු ආකාරයකට යි. ඒ අනුව හතුරෙකුට ලියන්නේ නම් රතු පැහැය ද, මිතුරෙකුට ලියන්නේ නම් කොළ පැහැය ද, වෙනත් ලේඛන සඳහා නිල් පැහැය ද භාවිතා කිරීමේ පුරුද්දක් ඔහු සතුව තිබුණා.
මහ රෑටත් බලන – කැමතිම පින්තූරය
හිට්ලර්ගේ තවත් පුරුද්දක් තමයි සිතට සතුටක් දැනුණත්, දුකක් දැනුණත්, ඒ සෑම අවස්ථාවක දී ම එකම පින්තූරයක් දෙස බලා සිටීම. ඔහුගේ මේ කැමතිම පින්තූරය එල්ලා තිබුණේ ඔහුගේ ලියන මේසයට ඉහළිනුයි. ඔහුගේ සිත්ගත් මේ එකම ඡායාරූපය දිහා ඔහු මහ රෑටත් බලා සිටිනවා. මේ ඡායාරූපයේ සිටියේ වෙන කවුරුවත් නෙවෙයි, මහා ෆෙඩ්රික් අධිරාජ්‍යයා යි.
නැතුවම බැරි බෙහෙත්
කෙතරම් දරුණු සහ ශක්තිවන්ත පාලකයෙක් වුවත්, හිට්ලර් බොහෝ රෝගාබාධවලින් පෙළුණා. බොහෝ විට ඔහුව පීඩාවට පත් කළේ උදරාබාධයක් සහ නින්ද නොයෑමේ තත්ත්වයක්. මේ හේතුව නිසාම යි ඔහු නිතරම නිදි පෙති භාවිතයට ද පුරුදු වී සිටියේ.
මහජන රැස්වීමක් අමතන සෑම විටෙකම ඔහු මහත් බියකින් පසු වුණා. ඒ කොයි වෙලේ හෝ ඔහුට උදරාබාධයක් වැළඳේ ද යන බිය නිසා. මේ බිය නිසාම ඔහු සෑම මහජන රැස්වීමක් ආරම්භ වීමට පෙර එන්නත් දෙකක් ලබාගැනීමට පුරුදු වී සිටියා. ඒ පළමු එන්නත උදරාබාධය මර්දනය කරගැනීම සඳහා සහ දෙවන එන්නත පළමුවෙන් ලබාගත් එන්නතේ විෂ නසා දැමීම යන කාරණා සඳහා යි.
තේ බීමේ පුරුද්ද
හිට්ලර්ගේ කැමතිම පානය වුණේ “තේ”. තේ බීමට මහත් කැමැත්තක් දක්වන ඔහුට තේ කෝප්ප 10ක් 15ක් පමණ වුවත් එක හුස්මට බී අවසන් කළ හැකි බව යි වාර්තා පවසන්නේ. ප්‍රීතිදායක අවස්ථාවල දී එක දිගට තේ කෝප්ප බර ගණනක් හිස් කරන මොහු ඉන් තම වෙහෙස නිවාගත් බව යි පැවසෙන්නේ. තේ පානය කිරීම සඳහා ඔහු මුයුනිච්වල තිබුණු එක් අවන්හලක් ද තෝරාගෙන තිබුණා. ඒ ඔස්ට්‍රියා බරාවියා නම් අවන්හල යි. සතියකට කිහිප වතාවක්ම මෙයට ගොඩවදින මොහු තේ කෝප්ප කිහිපයක්ම පානය කිරීමට නම් අමතක කළේ නැහැ.
බඩ අඩු කරගැනීමට
හිට්ලර් මහත් වීමට අධික බයක් දැක්වූ අයෙක්. මහත් වීමෙන් උදරය ඉදිරියට එයි යන බියෙන් පසු වුණු ඔහු නිතරම අබිං මිශ්‍ර කළ විරේක බෙහෙත් බොන්න පුරුදු වී සිටියා. මේ බෙහෙත්වල තිබෙන සැර ගතිය ඉවත් කරගැනීමට ඒත් සමගම තව බෙහෙතක් ගන්නත් ඔහු අමතක කළේ නැහැ.
කූඩැල්ලන්ගෙන් ලේ පිරිසිදු කිරීම
කොහොමත් හිට්ලර්ට යුදෙව්වන් ගැන තිබුණේ තදබල පිළිකුලක්. ඔවුන් ඉතාමත් පහත් වූ ජාතියක් ලෙස යි ඔහු සැලකුවේ. කෙසේ වුවත් හිට්ලර්ට තමන්ගේ ලේ ගැන ද දැඩි හීනමානයක් පැවතුණා. ඒ ඔහුට පිය පාර්ශවයෙන් යුදෙව් ලේ මිශ්‍රව තිබීම නිසා. ඔහුගේ මිත්තණිය තරුණ වියේ දී යුදෙව්වෙක් අතින් දුෂණය වූ බව ඔහු අසා තිබුණ නිසා තමන්ගේ පියාගේ සුජාතභාවය පිළිබඳ ඔහුට තිබුනේ සැකයක්. මේ නිසා නිතරම කූඩල්ලන් යොදාගෙන තම ලේ පිරිසිදු කරගැනීමට ඔහු පෙළඹී තිබුණා.
කතාවට දක්ෂයෙක්
හිට්ලර් දක්ෂ කථිකයෙක් කියලා නම් අපි හැමෝම වගේ දන්නවා. රටේ ප්‍රජාවගේ හදවතටම කතා කරන්න මොහුට හොඳ හැකියාවක් තිබී තිබෙනවා. නමුත් මොහු මෙතරම් දක්ෂ කථිකයෙක් වුණේ කොහොම ද කියලා නම් ඔබ දන්නේ නැතුව ඇති. හිට්ලර් දක්ෂ කථිකයෙක් බවට පත්වෙලා තිබෙන්නේ දින ගණනක පුහුණුවකින් පස්සේ. ඒ කතාවන් පිටුපස්සේ සිටියේ හිට්ලර්ගේ ලේකම්වරු දෙදෙනෙකු යි. මොවුන් පෙර දිනයක ලියාදෙන කතාව කණ්ණාඩියක් ඉදිරියේ සිට හොඳින් පුරුදු පුහුණු වීමෙන් අනතුරුව යි හිට්ලර් ජනතාව ඉදිරියට ගොස් තිබෙන්නේ.
කවරය: biography.com
මූලාශ්‍රයයන්:
www.biography.com
www.britannica.com
www.history.co.uk
www.historylearningsite.co.uk