ඩියෙන් බියෙන් ෆූ සටනේදී ලැබූ දරුණු පරාජය සමඟ 1954 වසරේ ප්‍රංශ හමුදා වියට්නාමය අත හැරීමට තීරණය කරනවා. එම වසරේම පැවති ජිනීවා සමුළුවේදී වියට්නාමය කොටස් දෙකකට බෙදා උතුරු කොටස පාලනය කිරීම සදහා හෝ චි මිං වෙත පවරන අතර දකුණු කොටසේ බටහිර හිතවාදී පාලනයක් රැගෙන යාම සඳහා බාඕ ඩයී (Bảo Đại) අධිරාජයාට පවරනවා.
ජිනීවා ප්‍රකාශයේ, මෙය තාවකාලිකව බෙදා දැක්වීමක් බවත් 1956 වසරේදී නැවතත් වියට්නාමය තුළ ඡන්දයක් පවත්වා උතුර හා දකුණු ජනතා කැමැත්ත මත නැවත එක් කළ හැකි බව එහි සදහන් වෙනවා. ඉතින් වියට්නාමයට එල්ල වූ ආක්‍රමණ පිළිබඳව ලිපි සමූහයේ හතරවැනි ලිපිය ඔබ වෙත ගෙන එමටයි මේ සුදානම් වෙන්නේ.
දකුණු වියට්නාමයට ඇමරිකානු උපකාර
උතුර හා දකුණ වෙන් කිරීමෙන් පසුව තම පදිංචිය වෙනස් කිරීමට උතුරු හා දකුණු ප්‍රදේශ වල සිටින ජනතාවට දින 300ක කාලයක් ලබා දෙන අතර ඇමරිකානු මැදිහත් වීම මත උතුරු කොටසේ වාසය කළ වියට්නාම් රදළ වංශිකයන්, කතෝලික ජන කොටස් හා කොමියුනිස්ට් පාලනයට අකමැති වියට්නාම් පිරිස් ලක්ෂ තුනකට අධික ප්‍රමාණයකට “Operation Passage to Freedom” යටතේ දකුණු වියට්නාමය වෙත යෑමට අවකාශය සළසා දෙනවා. මෙය ඇමරිකානු CIA සංවිධානය සම්පූර්ණයෙන්ම තම පාලනය යටතේ සිදු කළ මෙහෙයුමක් වුණා.
1954 වසරේ දකුණු වියට්නාමයේ අගමැතිවරයා ලෙස පත්වෙන න්ගෝ ඩින්හ් ඩියම් (Ngô Đình Diệm) 1955 වන විට අධිරාජයා ඉවත්කර තම බලය දකුණු වියට්නාමය තුළ පැතිරවීමට සමත් වෙන්නේ ඔහුගේ බලය මත ක්‍රියාත්මක වූ ඡන්ද විමසීමකින් අනතුරුවයි. මැතිවරණයෙන් පසු කොමියුනිස්ට් උතුර සමඟ එකතු වීම ප්‍රතික්ෂේප කරන ඔහු දකුණු වියට්නාමය, වියට්නාම් ජනරජය (Republic of Vietnam) ලෙස නම් කරනවා.
ඒ සමඟම ඔහුට ඇමරිකානු ජනපති අයිසන්හවර් වෙතින් (Dwight D. Eisenhower) ප්‍රබල ලෙස සහය ලැබෙන අතර දකුණු වියට්නාම් හමුදාව පුහුණු කිරීම හා අවි ආයුධ ඔවුන් වෙත ලබා දීම ඇමරිකානු CIA සංවිධානය හරහා සිදු වෙනවා. ඇමරිකානු යුධ හමුදාවේ යුධ උපදේශකයන් 900ක් පමණ දකුණු වියට්නාමය වෙත එවීමට ද අයිසන්හවර් විසින් තීරණය කරනවා.
න්ගෝ ඩින්හ් ඩියම් විසින් දකුණු වියට්නාමය පාලනය කිරීම
දැඩි කොමියුනිස්ට් විරෝධියෙක් වූ Ngô Đình Diệm දකුණු වියට්නාමය තුළ කොමියුනිස්ට් සංවිධානයක් ලෙස නැගී ආ කොමියුනිස්ට්වාදීන් යැයි සැක කළ විශාල ගණනාවක් මරා දමන අතර තවත් පිරිසක් අත් අඩංගුවට ගැනීම හා අතුරුදහන් කරවීම සිදු කරනවා. (1954 වසරේදී වියට් මින් ගරිල්ලා කුඩා කණ්ඩායම් රහසිගතව දකුණු වියට් නාමයේ සැඟවී සිටි අතර වියට් මින් අභාෂය අනුව දකුණු ප්‍රදේශයේ නිර්මාණය වූ ගරිල්ලා සංවිධානය වියට් කොන්ග් (දකුණු වියට්නාම් විමුක්ති සංවිධානය) නමින් දකුණු වියට්නාමය තුළ නැගී එනවා )
ඔහුගේ පාලනය එරෙහිව හඩක් නැඟූ ක්ඕ ඩයි (Cao Đài) හා හෙව්අ හාව් (Hòa Hảo) වැනි ආගමික සංවිධාන විනාශ කිරීමට ඔහු විසින් පියවර ගන්නවා. තවද දකුණු වියට්නාමය තුළ ඇති බුදු දහම විනාශ කර ඒ වෙනුවට ඇමරිකානුවන්ගේ මග පෙන්වීම මත කතෝලික දහම ව්‍යාප්ත කරන බවට ද බරපතළ චෝදනා ඔහුට එල්ල වෙනවා.
වියට් කොන්ග් ගරිල්ලන්ගේ නැගී සිටීම
1957 වසර වන විට දකුණු වියට්නාමය තුළ වියට් කොන්ග් ගරිල්ලා භට පිරිස් තැනින් තැන දකුණු වියට්නාම් පාලනයට හිතැති ප්‍රාදේශීය නායකයන් ඝාතනය කිරීම ආරම්භ කරන අතර මේවා සිදුකරන ලද්දේ ඉතාමත් රහසිගතවයි. විටින් විට දකුණු වියට්නාම් රජයේ හමුදා වෙත ගරිල්ලා ප්‍රහාර එල්ල කර පළා යාම වියට් කොන්ග් බළකාය විසින් 1957 වසර වන විට ආරම්භ කරනවා. ඔක්තෝම්බර් මාසයේදී සයිගොන් නගරයේ පුපුරා ගිය බෝම්බ මාලාවක් හේතුවෙන් දකුණු වියට්නාමයට පැමිණි සිටි ඇමරිකානු යුධ උපදේශක භට පිරිසකට තුවාල කිරීමට ද ඔවුන් සමත් වෙනවා.
තත්වය මේ ආකාරයෙන් පවතින විට 1957 වසරේදී උතුරු වියට්නාම් අගමැතිවරයා විසින් දකුණු වියට්නාම් ජනාධිපතිවරයාට “දකුණේ හමුදා භට පිරිස් වර්ධන වේගය අඩු කළ යුතු බව හා දෙරට අතර සිදු විය යුතු වෙළෙඳ ගිවිසුම්” පිළිබඳව සාකච්ජා කිරීමට ආරාධනා කරන නමුත් දකුණ විසින් එය ප්‍රතික්ෂේප කිරීම සිදුවෙනවා.
1959 වසර වන විට උතුරු වියට්නාමය විසින් දකුණු වියට්නාමයේ වියට් කොන්ග් ගරිල්ලන් එරට රජයට එරෙහිව සිදු කරන ගරිල්ලා ප්‍රහාර අනුමත කරන අතර එය නිදහස සඳහා වූ ජනතාවගේ යුද්ධය ලෙස නම් කර එයට ආධාර උපකාර කිරීම ද ඉදිරිපත් වෙනවා.
උතුරු වියට්නාමය, ලාඕසය හරහා දකුණු වියට්නාමයට පහර දීමට සැරසේ
1958 වසර වන විට ප්සේ ලාඕ (Pathet Lao) නම් කොමියුනිස්ට් ගරිල්ලා සංවිධානය ලාඕසයේ එවකට පැවති රාජ ආණ්ඩු ක්‍රමයට විරුද්ධව සටන් ආරම්භ කරන අතර එයට තම සහයෝගය ලබා දෙන උතුරු වියට්නාමය, ප්සේ ලාඕ සමඟ එක් වී දකුණු වියට්නාම් දේශ සීමාව අසළ පිහිටා තිබෙන ලාඕස රාජධානියට අයත් ගම්මාන වල බලය අල්ලා ගන්නවා.
එය දකුණු වියට්නාමයට එරෙහිව ආරම්භ කිරීමට නියමිත යුද්ධය සඳහා සැපයුම් ලබා ගත හැකි හොදම ආකාරයක් බව උතුරු වියට්නාම් නායක හෝ චි මිං විසින් තීරණය කරනවා. ඒ සඳහා ඔහු විසින් 1959 වසරේ මැයි මාසයේදී සැපයුම් ප්‍රවාහන කණ්ඩායම් උතුරු වියට්නාම් හමුදාව තුළ ස්ථාපනය කරනවා.
1959 වසරේ මැයි මාසයේදී වියට් කොන්ග් ගරිල්ලන් විසින් බියෙන් හෝඕ (Biên Hòa) ප්‍රදේශයේදී ඇමරිකානු යුධ උපදේශකයන් දෙදෙනෙක් මරා දමන අතර එය වියට්නාමය තුළ ඇමරිකානු භටයන් මරණයට පත් වූ ප්‍රථම අවස්ථාව ලෙස සදහන් කළ හැකියි.
උතුරේ සැපයුම් මත තවත් ශක්තිමත් වන වියට් කොන්ග් ගරිල්ලන්ගේ ප්‍රථම විශාලම පහර දීම ලෙස සදහන් වන්නේ 1959 වසරේ සැප්තැම්බර් මාසයේදී දකුණු වියට්නාම් ජාතික හමුදා භට පිරිසකට එරෙහිව සිදු කළ පහර දීමයි. මෙම සටන් වලදී වලදී වියට් කොන්ග් බළකායේ කාන්තා සෙබළියන් විශේෂ කාර්යභාරයක් ඉටු කරන අතර ඔවුන් හදුන්වන ලද්දේ ”දිගු කෙස් බළකාය” (long-hair troops) ලෙසයි.
1960 වර්ෂය උදාවීමත් සමඟ දකුණු වියට්නාමය තුළ දැඩි නොසන්සුන් වාතාවරණයක් පවතින අතර වියට් කොන්ග් ගරිල්ලන් හා රජයේ හමුදා අතර වරින් වර දරුණු ගැටුම් නිර්මාණය වෙනවා.
යුද්ධය සඳහා ඇමරිකානු හමුදා මැදිහත්වීම
රුසියාව හා උතුරු වියට්නාමයේ ආධාර උපකාර මත ශක්තිමත් වූ වියට් කොන්ග් ගරිල්ලා භටයන්, දකුණු වියට්නාම් ජාතික හමුදාව සමඟ සිදු කරගෙන යන සටනේ දී දකුණු වියට්නාමය පරාජයට පත් වුවහොත් ඉන්දු-චීන කලාපයේ කොමියුනිස්ට් පාලන ක්‍රමයක් ස්ථාපනය වීමට ඇති හැකියාව ඉහළ බැවින් යුද්ධය සඳහා ඇමරිකානු හමුදා මැදිහත් විය යුතුයි යන්න 1961 වසරේ ජනවාරි මාසයේදී ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස පත් වූ ජෝන් එෆ් කෙනඩි විසින් තීරණය කරනවා.
එම තීරණයත් සමඟ දෙසැම්බර් මාසය වන විට USS Core නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාව වියට්නාම් මුහුදු තීරයට ළඟා වෙන අතර නෞකාවෙන් අහසට නැගුණු ඇමරිකානු සෙබළුන් පුරාවගත් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා 35ක් සයිගොන් වෙත දෙසැම්බර් මාසයේදීම ගොඩ බසිනවා.
තමන් සතුව ඇති නවීන යුධ උපකරණ හා විශාල පිරිස් බලය උපයෝගී කරගනිමින් වියට් කොන්ග් ගරිල්ලන් හා උතුරු වියට්නාම් හමුදා සහමුලින් විනාශ කිරීමේ අරමුණෙන් ඇමරිකානු හමුදාව පැමිණියත් වසර ගණනාවක් යුධ කිරීමෙන් අනතුරුව ඔවුන්ට නැවතත් මවු රටට යාමට සිදුවන්නේ ඇමරිකානු යුධ ඉතිහාසයේ ලද අමිහිරිතම යුධ පරාජය තුරුළු කරගෙනයි. විහිදී ගිය ජාලගත උමං පද්ධතියක් තුළ සිට සටන ජයග්‍රණය කරා මෙහෙය වූ වියට් කොන්ග් ගරිල්ලන්ගේ එම ජයග්‍රහණය පිළිබඳව තොරතුරුත් රැගෙන තවත් ලිපියකින් හමුවෙමු.
කවරයේ ජායාරූපය – Wikipedia