එංගලන්තයේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් හෙවත් රෝස යුද්ධ අවසන් වුණ විදිය

ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවට සංකල්පය ලබා දුන් “රෝස යුද්ධ​” පිළිබඳ විස්තරයේ මුල් කොටස් දෙක අප ඔබට මෑතක දී ඉදිරිපත් කළා. මේ කතාව කියවන්න කලින් ඒ කොටස් දෙක ආපහු කියවලා ආවොත් වැඩේ පහසු වේවි.

කියවන්න​:

ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාවට පදනම් වූ රෝස යුද්ධ – පසුබිම​

එංගලන්තයේ රෝස යුද්ධ – VI හෙන්රි සහ IV එඩ්වර්ඩ් රජවරු

ටූක්ස්බරි සටනින් ජයග්‍රහණය කර තම ප්‍රධානම ප්‍රතිවාදියකු වූ අන්ජූහි මාග්‍රට් අල්ලාගත් නමුත් හතරවන එඩ්වර්ඩ්ගේ තත්ත්වය තවමත් ස්ථාවර වූයේ නැහැ. ඔහුගේ ප්‍රතිවාදීන් වේල්සයේ මෙන්ම උතුරු එංගලන්තයේ ද රැඳී සිටියා. මේ නිසා එඩ්වර්ඩ් රජු සිය හමුදා සමග කොවෙන්ට්‍රි නගරයට ගියා. ඒ ඔහුගේ සුපුරුදු උපක්‍රමය වූ ප්‍රතිවාදීන් වෙන්කොට පහර දීම සඳහා යි. කොවෙන්ට්‍රියේ සිටිමින් වේල්සයේ සහ උතුරු එංගලන්තයේ වූ ප්‍රතිවාදීන් එකිනෙකා හා සම්බන්ධ වීම වැළැක්වීම ඔහුගේ බලාපොරොත්තුව වුණා.

මේ අතර ඔහුට වෙනත් දිශාවකින් අභියෝගයක් එල්ල වුණා. නෙවිල් පවුලේ අයකු වූ තෝමස් නෙවිල් කෙන්ට් ප්‍රදේශයේ ගොඩබැස හමුදා බඳවා ගැනීමට වුණා. ඔහුගේ ඉලක්කය වූයේ ලන්ඩනය යි. හයවන හෙන්රි රජු එහි රඳවා තිබුණු හෙයින් ලන්ඩනය මේ අවස්ථාවේ අල්ලාගතහොත් ලැන්කැස්ටර් පාර්ශවයට එය විශාල වාසියක් වන්නට ඉඩ තිබුණු බවට සැකයක් වූයේ නැහැ.

රෝස යුද්ධවල ප්‍රධාන සටන් දැක්වෙන සිතියම (warsoftheroses.com)

සුපුරුදු පරිදි ලන්ඩන් වැසියන් හතරවන එඩ්වර්ඩ් වෙත සිය සහාය පළ කර සිටියා. මැයි 14 වන දා සිට තෝමස් නෙවිල් ලන්ඩන් වෙත පහර දුන් අතර ලන්ඩන් වැසියන් එම ප්‍රහාර මැඩ පැවැත්වීමට සමත් වුණා. මේ අතර ඔවුන් එඩ්වර්ඩ් රජු වෙත පවතින අවදානම පිළිබඳ පණිවිඩ යැව්වා.

මැයි 21 වන විට හතරවන එඩ්වර්ඩ් ලන්ඩනයට පැමිණියා. පවතින තත්ත්වය හමුවේ එදිනම හයවන හෙන්රි ද මරා දමනු ලැබුණා. එම මරණයත්, ටූක්ස්බරිහි පරාජයත් පිළිබඳ සැල වූ නෙවිල් ලන්ඩනයෙන් පසුබැස ගියා. ඔහුගේ සේනාව අධෛර්යයට පත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නෙවිල් යටත් වුණා. ඒ අතරම අනෙකුත් ප්‍රදේශයන්හි ද කැරලි දියවී ගියා. වේල්සයේ ජැස්පර් ටියුඩර්ගේ සේනා පමණක් එඩ්වර්ඩ්ට තර්ජනයක් ලෙස ඉතිරි වුණා. ටූක්ස්බරිහි දී එඩ්වර්ඩ් කුමරු මරණයට පත් වීමත්, හයවන හෙන්රිගේ ඝාතනයක් නිසා ලැන්කැස්ටර් පාර්ශවයේ සිහසුනට අයත් අයකු නොමැතිව ගියා. දැන් එම පාර්ශවයට යම් කිසි ඥාති සබඳතාවක් සහිත​, සිහසුනට අයිතිවාසිකම් කිව හැකි අයකු වූයේ හෙන්රි ටියුඩර්ට පමණ යි. සිහසුන සඳහා ඔහුට වූයේ බොහෝ සේ දුරස් වූ අයිතියක්.

කවුද මේ හෙන්රි ටියුඩර්?

අප කලින් ලිපියක දී ද හෙන්රි ටියුඩර් පිළිබඳ වචන කිහිපයක් සඳහන් කළා. දැන් අපි ඔහු පිළිබඳ වඩා විස්තරාත්මකව සොයා බලමු.

තුන්වන එඩ්වර්ඩ් රජුගෙ පුතුන් පස් දෙනා පිළිබඳ අප පළමු ලිපියෙන් සාකච්ඡා කළා මතක ඇතැ යි සිතනවා. රෝස යුද්ධවලට මුල් වූයේ ද එම පස්දෙනාට ආදිපාද ප්‍රදේශ නිර්මාණය කිරීමෙන් පසු ඇති තත්ත්වයන් බව අප සඳහන් කළා. ඉන් එක් පුතකු වූ ගෝන්ට්හි ජෝන්ගේ එක් පුතකු වූයේ ජෝන් බියුෆෝර්ට් හෙවත් සමර්සෙට්හි පළමු අර්ල්වරයා යි. ඔහුගේ පුත්‍රයකු වූ සමර්සෙට්හි පළමු ආදිපාද ජෝන් බියුෆෝර්ට් 1444 දී මියගියා. ඒ වෙද්දී සමර්සෙට්හි පළමු ආදිපාදවරයාගේ එකම උරුමක්කාරිය වූයේ මාග්‍රට් බියුෆෝර්ට් නම් ළදරු දියණිය යි.

මාග්‍රට් බියුෆෝර්ට් ආර්යාව (Public Domain)​

මාග්‍රට් කුඩාම අවධියේ ඇයව සෆක්හි අදිපාද විලියම් ඩෙ ලා පෝල්ගේ පුත්‍රයාට විවාහ කර දෙනු ලැබුණා. එකල ක්‍රමයට ඇතැම් ළමුන් කුඩාකලම විවාහ ගිවිසනු ලැබුණ අතර මෙයත් එවැන්නක්. මාග්‍රට් කිසි දිනෙක මෙම විවාහය වලංගුයැ යි නොසැලකූ බව කියනු ලබනවා.

හයවන හෙන්රි රජු විසින් පසු කලෙක ඇගේ භාරකාරත්වය තමාගේ අර්ධ සොයුරන් වූ එඩ්මන්ඩ් සහ ජැස්පර් ටියුඩර් වෙත ලබා දුන්නා. ඇයට වයස අවුරුදු 12ක් පමණ වෙද්දී, 1455 දී, එඩ්මන්ඩ් සහ මාග්‍රට් විවාහ වුණා. 1456 දී එඩ්මන්ඩ් මියගිය අතර එවිට මාග්‍රට් දරුවකු ලැබීමට නියමිතව සිටියා.

ජැස්පර්ගේ භාරකාරත්වය යටතේ සිටි මාග්‍රට් 1457 ජනවාරි මාසයේ දී පුතකු ලැබුවා. ජැස්පර්ගේ පෙම්බ්‍රෝක් බලකොටුවේ දී සිදු වූ එය ඉතා අපහසු දරු උපතක් වුණා. මේ දරුවා හෙන්රි ටියුඩර් නම් වුණා. හයවන හෙන්රි රජුගේ අර්ධ සොහොයුරා වූ එඩ්මන්ඩ්ගේ පුත්‍රයා ලෙස හෙන්රි ටියුඩර්ට සිහසුන සඳහා දුරස්ථ උරුමයක් තිබුණා. එමෙන්ම හෙන්රි ටියුඩර්ගේ පියාගේ මව වූයේ ප්‍රංශ රාජ කුමරියක වූ කැතරින් බව ද මෙහිදී මතකයට නගාගත යුතු වනවා. අනෙක් පසින් මාග්‍රට් බියුෆෝර්ට්ගේ පාර්ශවයෙන් ද සිහසුන සඳහා හෙන්රි ටියුඩර්ට දුරස්ථ උරුමයක් වුණා.

බ්‍රිටනියට

නමුත් හතරවන එඩ්වර්ඩ්ට එරෙහිව නැගී සිටි අන් සියළු පිරිස් යටපත් වීමත් සමග වේල්සයෙන් පළා යාමට ජැස්පර් සහ හෙන්රි තීරණය කළා. ඒ අනුව ඔවුන් ප්‍රංශයේ එකොළොස්වන ලුවී රජුගේ රැකවරණ සොයා යාමට තීරණය කළා. නමුත් කුණාටුවකට හසු වූ ඔවුන් ගමන් ගත් නෞකාව බ්‍රිටනිය වෙත පැමිණියා.

එවකට බ්‍රිටනිය පාලනය කළේ දෙවන ෆ්‍රැන්සිස් ආදිපාදවරයා යි. ඔහු හෙන්රිව තම රාජ්‍යයෙහි රඳවා ගත්තා. එමගින් එංගලන්තය සහ ප්‍රංශය සමග තමන් කරන ගනුදෙනුවල දී ඔහුව කේවල් කිරීමේ සාධකයක් ලෙස භාවිතා කිරීමට ෆ්‍රැන්සිස් උත්සහ කළා.

එඩ්වර්ඩ්ගේ කටයුතු

හතරවන එඩ්වර්ඩ් රජුට එංගලන්තය තුළ අභියෝගයක් වූයේ නැහැ. ඒ අනුව ඔහු යළිත් ප්‍රංශයෙහි තම බලය පැතිරවීම පිළිබඳව අවධානය යොමු කළා. මේ සඳහා ඔහුට බර්ගන්ඩියේ ආදිපාදවරයා සිය සහයෝගය ලබා දීමට ප්‍රතිඥා දුන්නා. 1474 දී කැලේ නගරය වෙත හමුදාවක් රැගෙන එඩ්වර්ඩ් පැමිණියත් බර්ගන්ඩියෙන් බලාපොරොත්තු වූ උපකාරය ලැබුණේ නැහැ. මේ අනුව එංගලන්‍තය සහ ප්‍රංශ අතර නැවත යුද්ධයක් ඇතිවීම වැළකී ගියා.

මේ අතරවාරයේ එඩ්වර්ඩ්ගේ සහෝදරයින් වූ ග්ලොස්ටර්හි රිචර්ඩ් සහ ක්ලැරන්ස්හි ජෝර්ජ් අතර සබඳතා පළුදු වෙමින් පැවතුණා. ජෝර්ජ් කලක් එඩ්වර්ඩ්ට එරෙහිව සිටි බව ද අප මෙහිදී මතකයට නගාගත යුතු යි. රිචර්ඩ් යුධ සමයේ දිගටම එඩ්වර්ඩ්ට පක්ෂපාතීව සිටියා. 1478 දී එඩ්වර්ඩ්ට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ චෝදනා පිට ජෝර්ජ් අත් අඩංගුවට ගෙන මරණ දණ්ඩනයට යටත් කෙරුණා.

කුළුණේ සිර කරන ලද කුමාරවරුන් දෙදෙනා

හතරවන එඩ්වර්ඩ් රජු 1483 දී රෝගාතුරව මියගියා. අඩු වයසින් රෝගාතුරව මරණයට පත්වීම නිසා ඔහුගේ මරණය පිළිබඳ සැක සංකා මතුව තිබෙන අතර ඔහුට වස දුන්නේයැ යි ද සැක පවතිනවා. කෙසේ නමුත් එඩ්වර්ඩ් මරණයට පත්වීමෙන් එංගලන්තයේ පැවති තාවකාලික ස්ථාවරත්වය බිඳ වැටීමට පාර කැපුණා.

හාතරවන එඩ්වර්ඩ් රජුගේ මරණින් පසු රජකමට පත් වූයේ ඔහුගේ පුත්‍ර එඩ්වර්ඩ් කුමරා යි. ඔහු පස්වන එඩ්වර්ඩ් ලෙස රජ බවට පත් වූ අතර ග්ලොස්ටර්හි රිචර්ඩ් රජකමෙහි වැඩ බැලීමට පත් වුණා.

කුළුණේ සිර කරන ලද කුමාරවරුන් දෙදෙනා (John Everett Millais)

මේ අවස්ථාවේදී රිචර්ඩ් කළේ වයස අවුරුදු 12ක් වූ එඩ්වර්ඩ් රජු සහ වයස අවුරුදු 9ක් වූ රජුගේ සහෝදර ශෲස්බරිහි රිචර්ඩ් යන කුමාරවරුන් සිර කර බලය අල්ලා ගැනීම යි. ඔහු තුන්වන රිචර්ඩ් ලෙස රජකමට පත් වුණා. හතරවන එඩ්වර්ඩ්ගේ බිසව වූ එලිසබත් වුඩ්විල්ගේ සමීපතම ඥාතීන් ද සිරගත කරන ලද අතර අතරවන එඩ්වර්ඩ් සහ එලිසබෙත්ගේ ළමුන්ට සිහසුනට ඇති උරුමය අහිමි කරනු ලැබුණ බව රිචර්ඩ් විසින් ප්‍රකාශ කරනු ලැබුණා.

ලන්ඩන් කුළුණේ සිර කරන ලද කුමාරවරුන් දෙදෙනාට සිදු වූයේ කුමක්දැ යි නිශ්චිත කර නැහැ. ඔවුන් ඉතිහාසයෙන් මැකී ගිය අතර ඇතැම් විට රිචර්ඩ් විසින්ම ඔවුන් මරවන්නට ඇතැ යි සැක කෙරෙනවා. නමුත් එය ද තහවුරු කිරීමට සාධක ප්‍රමාණවත් නැහැ. තවත් අය සැක කරන්නේ 1485 දී අපේ කතාවේ එන හෙන්රි ටියුඩර් විසින් ඔවුන් මරවන්නට ඇති බව යි. නමුත් මෙම කුමරුවන් දෙදෙනා ජීවත්ව සිටින බවට කලක් යනතුරුම විශ්වාසයක් පැවති අතර කිහිප දෙනකුම තමන් රිචර්ඩ් කුමරා බව ප්‍රකාශ කළා. නමුත් ඒ කිසිවක් තහවුරු කළ හැකි ප්‍රකාශයන් වූයේ නැහැ.

තුන්වන රිචර්ඩ් රජු (Public Domain)

1674 දී ලන්ඩන් කුළුණේ දී කම්කරුවන් පිරිසකට ළමුන් දෙදෙනකුගේ ඇට සැකිලි හමු වුණා. ඒවා කුමාරවරුන් දෙදෙනාගේයැ යි සැක කළ ද​, එය තහවුරු කිරීමත් පහසු වූයේ නැහැ. කෙසේ නමුත් එංගලන්තයේ දෙවන චාර්ල්ස් රජු විසින් මෙම ඇට සැකිලි කුමාරවරුන්ගේයැ යි උපකල්පනය කර වෙස්ට්මින්ස්ටර් ඇබේහි තැන්පත් කරනු ලැබුණා.

පවුල්, කුමන්ත්‍රණ හා කැරලි

තුන්වන රිචර්ඩ් මෙසේ නිර්ලජ්ජිත ලෙස බලය ඩැහැ ගැනීමත් සමග ඔහුට එරෙහිව විශාල පෙළ ගැසීමක් සිදු වුණා. මෙහිදී පෙරමුණෙන්ම සිටිය දෙදෙනකු වූයේ හතරවන එඩ්වර්ඩ්ගේ බිසව මෙන්ම “කුළුණෙහි කුමරුවන්ගේ” මව වූ එලිසබෙත් වුඩ්විල්, සහ හෙන්රි ටියුඩර්ගේ මව වූ මාග්‍රට් බියුෆෝර්ට් ආර්යාව යන දෙදෙනායි.

එලිසබෙත් වුඩ්විල් (Public Domain)

දැන් අපි ආපසු, මේ කතාව අවුල් කරන එකකට එකක් බැඳී වෙළී ගිය අවුල් සහගත පවුල් ගස් ගැන ටිකක් බලමු. සමර්සෙට්හි පළමු අර්ල්වරයා වූ ජෝන් බියුෆෝර්ට්ගේ දෙවන පුත්‍රයා වූ සමර්සෙට්හි පළමු ආදිපාද ජෝන් බියුෆෝර්ට් ගැන අප කලින් සඳහන් කළා. ඔහුගේ උරුමක්කාරිය වූයේ දැන් මාග්‍රට් බියුෆෝර්ට් ආර්යාව නම් වූ, හෙන්රි ටියුඩර්ගේ මව යි. සමර්සෙට්හි පළමු අර්ල්වරයා වූ ජෝන් බියුෆෝර්ට්ගේ තුන්වන පුත්‍රයා වූ එඩ්මන්ඩ් බියුෆෝර්ට්, සමර්සෙට්හි දෙවන ආදිපාදවරයා බවට පත් වුණා. ඔහුගේ එක් දියණියක ද මාග්‍රට් බියුෆෝර්ට් නම් වුණා.

දැන් තවත් පවුලක්. තුන්වන එඩ්වර්ඩ් රජුගේ අප සාකච්ඡා කළ පුතුන් පස් දෙනාගෙන් ලාබාලයා වූ තෝමස්ගේ දියණියක වූයේ ග්ලොස්ටර්හි ඈන් ය​. ඇගේ පුත්‍රයා වූ හම්ප්‍රි ස්ටැෆර්ඩ් බකින්හැම්හි පළමු ආදිපාදවරයා වුණා. ඔහුගේ වැඩිමල් පුත්‍රයා ද හම්ප්‍රි ස්ටැෆර්ඩ් නම් වුණ අතර ඔහුගේ බිරිඳ වූයේ සමර්සෙට්හි දෙවන ආදිපාද එඩ්මන්ඩ් බියුෆෝර්ට්ගේ දියණිය වූ මාග්‍රට් බියුෆෝර්ට් ය​.

මේ අතර, බකින්හැම් හි පළමු ආදිපාද හම්ප්‍රි ස්ටැෆර්ඩ්ගේ දෙවන පුත්‍රයා වූයේ හෙන්රි ස්ටැෆර්ඩ් කෙනෙක්. ඔහු 1458 දී මාග්‍රට් බියුෆෝර්ට් ආර්යාව (හෙන්රි ටියුඩර්ගේ මව​) සමග විවාහ වුණා. මේ හෙන්රි ස්ටැෆර්ඩ් 1471 බාර්නට් සටනේදී යෝර්ක්වරුන් පාර්ශවයෙන් සටන් කර තුවාල ලබා මිය ගියා.

දැන් මේ විස්තරය කුමකට ද යයි මෙය කියවන ඔබ සිතනවා ඇති. ඉහත කී හම්ප්‍රි ස්ටැෆර්ඩ් සහ මාග්‍රට් යුවළගේ පුත්‍රයා වූයේ හෙන්රි ස්ටැෆර්ඩ් නමැත්තෙක්. ඔහු උපන්නේ 1455 දී යි. ඔහුගේ බිරිඳ බවට පත් වූයේ එලිසබෙත් වුඩ්විල්ගේ සහෝදරියක වූ කැතරින් වුඩ්විල්. මේ කියන හෙන්රි ස්ටැෆර්ඩ්, බකින්හැම් හි දෙවන ආදිපාදවරයා බවට පත් වුණා. ඔහු මුලින් තුන්වන රිචර්ඩ්ට සහය පළ කළ අතර “කුළුණේ කුමාරවරුන්” මරා දැමුයේ ඔහුය යනුවෙන් ද සැකයක් පවතිනවා.

බකින්හැම් හි දෙවන අදිපාදවරයා (Public Domain)

නමුත් මාස කිහිපයකින් තුන්වන රිචර්ඩ් රජුට එරෙහි කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණා. බකින්හැම්හි දෙවන ආදිපාදවරයා මෙහි එක් කොටසක් රඟ දැක්වූ අතර ඊට මාග්‍රට් බියුෆර්ට් ආර්යාව සහ එලිසබෙත් වුඩ්විල් සම්බන්ධ යයි සිතිය හැකියි. සැලසුම වූයේ බකින්හැම් ආදිපාදවරයා රජුට එරෙහිව කැරලි ගසද්දී බ්‍රිටනියේ සිටි හෙන්රි ටියුඩර් සිය හමුදා රැගෙන පැමිණීම යි. මේ සම්පූර්ණ ක්‍රියාවලියේ මහමොළකරු මාග්‍රට් ආර්යාව බව විශ්වාස කෙරෙනවා. මාග්‍රට්ගේ එවක සැමියා වූ තෝමස් ස්ටැන්ලි ද මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වුණා. මාග්‍රට් සහ එලිසබෙත් අතර සබඳතාව සවිමත් වූයේ ද තෝමස් නිසා යි.

හෙන්රි බ්‍රිටනියෙන් පිටත් වූ අතර බකින්හැම් එංගලන්තයේ බටහිර සහ දකුණුදිග පෙදෙස්හි තුන්වන රිචර්ඩ්ට එරෙහි කැරැල්ලක් දියත් කළා. මේ අවස්ථාවේ ටියුඩර්වරුන්ට අවාසනාව ළඟා වුණා. කුණාටුවක් හේතුවෙන් නැවත වරක් හෙන්රිගේ ගමන කඩාකප්පල් වුණා. බකින්හැම්ගේ කැරැල්ල මැඩ පවත්වන ලද අතර ඔහුව මරණ දණ්ඩණයට යටත් කෙරුණා. හෙන්රි ටියුඩර් නැවත බ්‍රිටනිය වෙත පළා ගියා.

හෙන්රි ටියුඩර් ප්‍රංශයට

මෙම අවස්ථාවේ හෙන්රි ටියුඩර්ව එංගලන්තයට බාර දෙන ලෙස තුන්වන රිචර්ඩ් බ්‍රිටනියට බල කළා. නමුත් දෙවන ෆ්‍රාන්සිස් ආදිපාදවරයා එම බලපෑම් ප්‍රතික්ෂේප කළා. මේ අවස්ථාවේ රිචර්ඩ් සිය නාවික හමුදාව යොදවා බ්‍රිටනියට එරෙහි නාවික අවහිරතාවක් ක්‍රියාවට නැගුවා.

ඉන් ස්වල්ප කලකට පසු බ්‍රිටනියේ ආදිපාදවරයා රෝගී වුණා. ඔහුගේ ඇමතිවරුන් හෙන්රි ටියුඩර්ව රිචර්ඩ් වෙත බාර දීම පිළිබඳ කසුකුසු ගාන්නට වුණා. හෙන්රි වහා ප්‍රංශයට පළා ගියා. එහිදී අටවන චාර්ල්ස් රජුගේ රැකවරණය ඔහුට හිමි වුණා.

ටියුඩර්වරුන්ගේ “ගේම් එක​”

1484 අවසන් වෙද්දී සිද්ධි දාමය නැවත ක්‍රියාවට නැගුණේ හෙන්රි ටියුඩර්ගේ පැත්තට යි. මෙහි ප්‍රධානම උපක්‍රමය ලෙස හතරවන එඩ්වර්ඩ්ගේ දියණියක වූ යෝර්ක්හි එලිසබෙත්ව විවාහ කරගෙන, ලැන්කැස්ටර් සහ යෝර්ක් රජ පවුල් එක්සත් කිරීමට තමා එකඟ බව හෙන්රි ටියුඩර් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. එහි ප්‍රතිඵලය වූයේ එංගලන්තය තුළ ඔහුට ලැබන සහාය ඉහළ යාම යි.

1485 මාර්තුවේ රිචර්ඩ් රජුගේ බිරිඳ වූ ඈන් නෙවිල් රැජිණ මියගියා. මේ සමගම, රිචර්ඩ් විසින් ඇය වස දී මරා දැමූ බවත් ඊට හේතුව ඔහුට තම සොහොයුරු හතරවන එඩ්වර්ඩ්ගේ දියණිය වූ යෝර්ක්හි එලිසබෙත් විවාහ කරගැනීමට අවශ්‍ය වීම බවත් කියවෙන කටකතා පැතිරුණා. මෙසේ එලිසබෙත් විවාහ කරගැනීමට ඔහුට අවශ්‍ය වූයේ හෙන්රි ටියුඩර් විසින් කරන ලද ප්‍රකාශය නිසාවෙන් බව යි ඇඟවුණේ. මෙම කටකතා බොහෝ විට ටියුඩර්වරුන්ගේම නිර්මාණයන් විය හැකියි.

හත්වන හෙන්රි (Public Domain)

1485 අගෝස්තු 1 වන දා හෙන්රි ටියුඩර් සිය හමුදා රැගෙන ප්‍රංශයෙන් නැව් නැග්ගා. මෙවර ඔහුට බාධා කිරීමට කුණාටු මතු වූයේ නැහැ. අගෝස්තු 7 වන දා ඔහු වේල්සයේ ගොඩබැස්ස අතර වේල්ස ප්‍රභූන් ඔහුට සහාය දැක්වීමට වුණා. අගෝස්තු 15 වන දා ඔහු එංගලන්තයට ඇතුල් වුණා.

හෙන්රි ටියුඩර් වේල්සයේ ගොඩබැස්ස බව තුන්වන රිචර්ඩ් දැනගත්තේ අගෝස්තු 11 වන දා යි. ඔහු සිය සේනා රැගෙන ලෙස්ටර් දෙසට ගමන් කළා. හෙන්රි ද එදෙසටම ගමන් ගත්තේ එම ප්‍රදේශයේ වූ තම අනුගාමිකයන් ද එකතු කරගන්නා අටියෙන්. මේ සේනා ද සමග ඔහු රිචර්ඩ්ට මුහුණ දීමට පැමිණියා.

අගෝස්තු 21 වන දා වන විට දෙපාර්ශවය බොස්වර්ත් තැන්න දෙසට හමුදා මෙහෙයවූවා. රිචර්ඩ්ගේ හමුදා ඇම්බියන් කන්ද ආශ්‍රිතව කඳවුරු බැඳ ගත්තා. හෙන්රිගේ සේනා “වයිට් මුවර්ස්” යන ස්ථානයෙහි ස්ථානගත වුණා. මේ අතර තෝමස් ස්ටැන්ලි ප්‍රධාන හමුදා දෙකට දකුණු දෙසින් ඩැඩ්ලින්ටන් නම් ස්ථානයක කඳවුරු බැඳගත්තා. ඔහු කිනම් පාර්ශවයට එක්වේදැ යි මේ අවස්ථාවේ දී පැහැදිලි වූයේ නැහැ. පෙනුමෙන් ඔහු දෙපාර්ශවයටම තමන් ඔවුන් හා එක්වන බව පවසා තිබූ බවක් පෙන්නුම් කෙරෙනවා.

අගෝස්තු 22 වන දා හෙන්රි සිය හමුදා රිචර්ඩ්ගේ හමුදා දෙසට ගමන් කරවූවා. තමන් සිටි ස්ථානය හේතුවෙන් එවන් ප්‍රහාරයක් එල්ල වේයැ යි රිචර්ඩ් සිතුවේ නැහැ. මෙම ප්‍රහාරය ඔහුව පුදුමයට පත් කළ අතර එහි කරට කර සටනක් දියත් වුණා. මේ අවස්ථාවේ ස්ටැන්ලි සිය හමුදාවෙන් කොටසක් හෙන්රිට සහය දැක්වීමට සටන් බිම වෙත එව්වා. රිචර්ඩ් වටා සිටි නයිට්වරුන් එකා පිට එකා මැරී වැටුණ අතර රිචර්ඩ් ද හිසට එල්ල වූ පහරකින් මියගියා. රෝස යුද්ධවල අවසන් සටන පැය දෙකක දී නිම වුණා.

හෙන්රි ටියුඩර් හත්වන හෙන්රි ලෙස රජකමට පැමිණි අතර ඔහු යෝර්ක්හි එලිසබෙත් හා විවාහ වී රජ පවුල් දෙක එක්සත් කළා. මේ අනුව අභිනව ටියුඩර් රාජවංශය එංගලන්තයේ බලයට පත් වුණා.

Related Articles

Exit mobile version