කොවිඩ් රකුසා ගේ අවදි වීම සියලු ක්ෂේත්‍රවල ප්‍රාණවත් බව බිලි ගත්තා. සිනමා ක්ෂේත්‍රයත් ඉන් බොහෝ ලෙස පීඩා වින්දා. සිනමාව ද නිරෝධායනයට ලක්වෙමින් හුදෙකලා ව වෙසෙන මෙවන් මොහොතක “දැන් අපට කළ හැකි දෑ කුමක්ද?” යන්න දවසක, සවසක දෙදෙනකු අතර කෙටි සංවාදයකට බඳුන් වෙනවා. ඒ, මනිරත්නම් සහ ජයේන්ද්‍ර පංචපකේසන් අතර යි. එතැන් පටන් ටිකෙන් ටික, ටිකෙන් ටික මනිරත්නම්-ජයේන්ද්‍ර සුසංයෝගයෙන් භරතමුනිගේ “නව නළු රස”ට දා ව අලුත් වටයකින් ‘වෙබ් කතා මාලාවක්’ දළු දා ලියලනවා. පසු ව එය වෙබ් අවකාශය ඔස්සේ ඇස් ඇරීමට සූදානම් ව ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා. කොටස් නවයකින් සමන්විත මෙය අගෝස්තු 9 වන දා Netflix හි ‘නවරස’ නමින් එළිදකින්නට නියමිත යි. මේ එම ‘නවරස’ උපත ගැන යි.
‘භරතමුනි’ ගේ නාට්‍ය ශාස්ත්‍රය
පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා ම නාට්‍ය හා රංග කලාව විෂයයක් ලෙස හදාරන මෙන් ම, සැලකිය යුතු කාලයක් තිස්සේ නාට්‍ය විෂයයෙහි ප්‍රායෝගික ව නියැළී සිටින ඕනෑ ම අයකු පමණක් නොව නාට්‍ය කෙරෙහි ඇල්මක් බැල්මක් ඇති බොහෝ දෙනාට ‘භරතමුනි’ ගැන යම් හෝ කියැවීමක් නැතුවා නෙවෙයි. ඉන්දියානු සිනමාවේ ‘මනිරත්නම්’ ලකුණ ද අපට නුහුරු නුපුරුදු නැත. එහෙයින්, එකී දෙපාර්ශවයන්ගේ ම පැටිකිරිය දෙස නැවත නැවතත් හැරී නොබලා යමු අපි ඉදිරියට.
භරතමුනිගේ රස විවරණය
ලොව පවතින ඕනෑ ම කලා කෘතියක්, නිර්මාණයක් බිහිවන්නේ ‘රසය’ මූලික කොටගෙන බව අප කවුරුත් දන්නවා. එම කාරණාවේ දී මඟහැර යා නොහැකි සාධකයක් තමයි, භරතමුනිගේ ‘රස නිෂ්පත්තිය’ ඔස්සේ අපට හමුවන ‘නාට්‍ය රස’ පිළිබඳ ව කෙරෙන විග්‍රහය. මෙහි දී විවිධ වූ ‘භාවයන්’ මුල් කොටගෙන උද්දීපනය වන ‘රස’ අටක් පිළිබඳ ව භරතමුනි පෙන්වා දෙනවා. “භාවයෙන් විහීන වූ රසයක් නැත. රසයෙන් වර්ජිත වූ භාවයක් ද නැත.” යන්නයි භරතමුනිගේ රස විවරණය පවසන්නේ. ඊට අමතර ව ශංකුක නම් පඬිවරයකු හඳුන්වා දෙන තවත් ‘රසයක්’ ද භරතමුනිගේ ‘රස අට’ හා එක් ව තමයි; ‘නව නළු රස’ ලෙස එය ප්‍රචලිත වන්නේ.
නවයක් එක්වෙයි, මිතුරෙක් නික්මෙයි!
මනිරත්නම් සහ ජයේන්ද්‍ර අතර සිදුවුණු සංවාදය ක්‍රියාවෙන් මල්පල ගන්වන්නටයි තම ළඟ ම, හොඳ ම සගයින් 9 දෙනකුට ඉන්පසු ඇරියුම් කරන්නේ. කොවිඩ් නපුරු වුණාට නවය නපුරු නැති බවට තිබූ දැවැන්ත විශ්වාසය නිසා ම ඔවුන්ගේ රස නහර පුරා ද සිනමාරූපී ආශාව උඩුදුවා තිබුණා. ගෞතම් වාසුදේව් මෙනන්, බෙජෝයි නම්බියාර්, කාර්තික් සුබ්බුරාජ්, හලිතා ෂමීම්, පොන්රාම්, කාර්තික් නරේන්, රතිදාන් ආර් ප්‍රසාද්, අරවින්ද් ස්වාමි සහ කේ.වී. ආනන්ද් ‘නවරස’ මෙහෙයුම සඳහා එක්වනවා. මේ අතරවාරයේ සතුට සැමරිය යුතු මොහොතක සිදුවන්නෙ හදට දුක දෙන සිදුවීමක්. වැඩ නිම කොට කේ.වී. ආනන්ද් සිය හුස්මෙන් ද නික්මීමයි ඒ. දිනය අප්‍රේල් මාසයේ 30 වෙනිදා යි.
‘නවරස’ ගඟුල කැළඹෙයි
පැතිර තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අප කවුරුත් ගත කරමින් සිටින්නේ චිත්තාවේගී, හැඟීම්බර මොහොතක්. හැමෝගේ ම මනස අඩු වැඩි වශයෙන් කුමන හෝ අන්දමකින් කැළඹිලා. ‘නවරස’ ඇතුළෙ එන භාව නවය ඇතුළෙ කොහේ හෝ තැනක ඔබත් මාත් අනිවාර්යයෙන් ම සිටීවි. එහෙයින්, මනෝ විද්‍යාත්මක ප්‍රවේශයකින් බිහි වූ ‘නවරස’ කෝකටත් තෛලයක් වනු නිසැක යි.
මෙහි දී සූර්යා, රේවතී, සිද්ධාර්ත්, ආදිති බාලන්, අරවින්ද් ස්වාමි, විජේ සේතුපති, පාර්වතී තිරුවෝතු, අම්මු අභිරාමි, ප්‍රකාශ් රාජ්, අයිශ්වර්යා රාජේෂ්, යෝගී බාබු, බොබී සිම්හා, නිත්‍යා මෙනන් සහ ගෞතම් කාර්තික් ඇතුළු අය තමයි අපේ මනෝභාව තමන්ගේ මුහුණුවලින් නිරූපණය කරමින් ‘නවරස’ ඉපැද්දවීමට සිය රංගන දායකත්වය සපයන්නට සන්නද්ධ වන්නේ. එම රංගනයන්ට ශක්තිජනකයක් වන්නට මෙන්ම ප්‍රේක්ෂක අපගේ හද සන්තානය අවුලවාලන්නටත්, නිවාලන්නටත් වඩාත් යෝග්‍ය පරිදි ස්වරාලේප කර්තව්‍යයට එක් වන්නේ ඒ.ආර්. රහ්මාන් නමැති ඉන්දියාවේ සංගීත රස පෞරුෂය සමඟ ඉම්මාන්, ගිබ්රාන්, ගෝවින්ද් වසන්ත, ජස්ටින් ප්‍රභාකරන්, කාර්තික්, අරුල්දෙව් සහ රොන් ඊතන් යොහාන් යන අය වීම විශේෂත්වයක්.
නවරස ආකරයට පියනගමු
රන් ආකරයකට වඩා රස ආකරයක් කියන්නෙ සෞන්දර්යයට ළැදි මිනිසකුට මිල නො කළ හැකි නිධානයක්. විඩාපත් මනසට ඖෂධයක්. මැලවුණු දිවියට නව පණක්. එන්න, ‘නවරස’ උල්පතෙන් දිය දෝතක් බොන්න!
1) රෞතිරම් (රෞද්‍ර රසය)
‘නවරස’ වෙබ් කතා මාලාවේ පළමුවැන්න වෛරය, ක්‍රෝධය මූලික කොටගෙන උපදින ‘රෞද්‍ර රසය’ මුල් කොටගෙන යි නිර්මාණය වෙන්නෙ. ඒ, රෞතිරම් නමින්. මෙහි අධ්‍යක්ෂණය අරවින්ද් ස්වාමි. රිත්විකා, ශ්‍රීරාම්, අභිනියාශ්‍රී, රමේෂ් තිලක් සහ ගීතා කයිලාසම් යන අයට යි පැවරෙන්නේ.
2) එදිරි (කරුණා රසය)
බෙජෝයි නම්බියාර් අධ්‍යක්ෂණය කරන ‘එදිරි’ හි පිළිබිඹු වන්නේ ශෝකය මුඛ්‍ය කොටගෙන වැඩෙන කරුණා රසය යි. විජේ සේතුපති කියන්නේ සිය රංගන කාර්යය ඇතුළෙ හැඟීම් හී කොට විදින්නෙක්. එවැන්නකු සමඟ ප්‍රකාශ්රාජ්, රේවතී සහ අශෝක් සෙල්වන් යන අයත් ඊට පණ පොවනවා.
3) තුනින්ධ පින් (වීර රසය)
දාන වීර, ධර්ම වීර හා යුද්ධ වීර යන ප්‍රභේද තුන යටතේ උපදින උත්සාහය, ධෛර්යය, කනස්සලු නොවීම හා මුළා නොවීම යනාදියෙන් උද්දීපනය කෙරෙන ‘වීර රසය’ ප්‍රමුඛ කොටගෙන යි මෙහි තෙවැන්න නිර්මාණය වන්නේ. ‘තුනින්ධ පින්’ ලෙසින් නම් කෙරෙන මෙය සර්ජුන් කේ.එම්ගේ අධ්‍යක්ෂණයක්. අතර්වා, අංජලී සහ කිෂෝර් යන අය ඊට රංගන වගකීම ඉටුකරන බව යි සැළ වෙන්නේ.
4) පයාසම් (බීභත්ස රසය)
අපගේ පංචේන්ද්‍රියයන්ට සංවේදී වන අප්‍රියජනක, පිළිකුල් සහගත කාරණාවලින් උපදින බීභත්ස්‍ය රසය පදනම් කොටගනිමින් වාසන්ත්ගේ අධ්‍යක්ෂණයෙනුයි මෙහි සිවු වැන්න වන ‘පයාසම්’ බිහි වන්නේ. දිල්ලි ගනේෂ්, රෝහිණී සහ ආදිති බාලන් යන අය එය රංගනයෙන් පෝෂණය කරනවා.
5) ඉන්මායි (භයානක රසය)
අපි බලන හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් Horor චිත්‍රපටයක ඔය එක එක විකාර ශබ්ද, භූත දර්ශන, කැළෑ අස්සෙ, පාළු ගෙවල් අස්සෙ රිංගලා සිද්ධ වෙන දේවල්වලින් ඔබට දැනෙන හැඟීම හෙවත්’ භයානක රසය’ මූලික කොටගෙන යි ‘ඉන්මායි’ නිර්මාණය වෙන්නෙ. එය අධ්‍යක්ෂණය කරන්නේ රමායින්ද්‍රන් ආර්. ප්‍රසාද්. සිද්ධාර්ත් සහ පාර්වතී තිරුවෝතු ගෙන් රංගන දායකත්වය සැපයෙන මෙය හොළිවුඩ් හොල්මන් බලමින් ඉන්න අපිට සීරීයස් වැඩක් වේවි. සිද්ධාර්ත්-පාර්වතී කියන්නෙ සෙල්ලං චරිත දෙකක් නෙවෙයි ශිල්පය ඇතුළෙ.
6) සමර් ඔෆ් ’92 (හාස්‍ය රසය)
විකාර රූපී හැසිරීම්, ඔළමොට්ටලකම්, සටකපටකම්, නොසරුප් වදන්, විකලාංග ප්‍රදර්ශන වගේ ඒවායින් උපදින බවට අප කියවා උගෙන ඇති හාස්‍ය රසය මුඛ්‍ය කොටගනිමිනුයි ‘සමර් ඔෆ් 92’ නිර්මාණය වන්නේ. එහි අධ්‍යක්ෂණ මෙහෙයුම ප්‍රියදර්ශන්ගෙන්. යෝගී බාබු, රෙමියා නම්බීසන්, නෙදමුඩි වෙනු සහ මනිකුට්ටන් කියන ටොප් බුලට් හතරක් ම මෙහි රංගනයෙන් දායක වෙනවා. මේ වෙලාවෙ මට මතක් වෙන්නෙ අපේ කෝකටත් රෙඩී, විකට රජු ෆ්‍රෙඩී.
7) ගිටාර් කම්බි මෙලේ නින්ඩ්රු (ශෘංගාර රසය)
‘නවරස’ හි හත්වන කොටස වන්නේ ගිටාර් කම්බි මෙලේ නින්ඩ්රු වන අතර, ශෘංගාර රසය උපද්දවන එය ගෞතම් මෙනන්ගේ අධ්‍යක්ෂණයක්. සූර්යා සහ ප්‍රයාගා මාටින් මෙහි රංගනයෙන් දායක වෙනවා. සූර්යා යි, ප්‍රයාගා යි එකට ඉන්න තැනක ශෘංගාරය නොතිබුණොත් තමා පුදුමේ!
‘සිනහව අතරින් කඳුළක් උපන්නා… ඒ බැව් නොදැනම සිනහවක් ම පෑවා…’ කියලා මිල්ටන් ගයන්නත් ඇත්තෙ ඒක ම තමා. ශෘංගාර රසය ඇතුළෙ ගැබ්වෙලා තියෙන සම්භෝග ශෘංගාරයත්, විප්‍රලම්භ ශෘංගාරයත් දෙක ම ඒ සිංදුව ඇතුළෙන් දැනෙනවා. සරල දේවල් ඇතුළෙ තියෙන ගැඹුරට කිමිදුණොත් ගොඩ එන්න හරි අමාරු යි. ටිකක් කල්පනා කරලා බලන්නකො…
8) පීස් (ශාන්ත රසය)
අනාදිමත් කාලෙක ඉඳන් අපි තාමත් ජාතියක් වශයෙන්, ආගමක් වශයෙන්, වර්ගයක් වශයෙන් බෙදිලා නිසාමදෝ මන්දා ‘ශාන්ත රසය’ අපට හරියට දැනිලා නෑ. දේශපාලනික ඕනෑ එපාකම් නිසා ඒවා අපිට දැනෙන්න දෙන්නෙත් නෑ. පීස් හෙවත් සාමය නමින් වර නැගෙන මෙම කොටසින් ශාන්ත රසය ජනිත කරවන්නෙ අපිට නොලැබෙන ඒ ශාන්ත රසය. එහි අධ්‍යක්ෂණය කාර්තික් සුබරාජ්ගෙන්. අතර්වා, අංජලී සහ කිෂෝර් තමයි මෙහි රඟපාන්නෙ. අපි ඒ රඟපෑම ඇතුළෙවත් ශාන්ත රසය විඳින්න උත්සාහ කරමු!
9) ප්‍රොජෙක්ට් අග්නි (අද්භූත රසය)
‘නවරස’ හි අවසන් කොටස වන ප්‍රොජෙක්ට් අග්නි තුළින් ජනිත වෙන්නෙ අද්භූත රසය. (මෙතනදි ‘අද්භූත රසය’ කියන්නෙ පුදුමය දනවන, විස්මයජනක නිරූපණයන්ගෙන් උපදින රසයට.) එය අධ්‍යක්ෂණය කරන්නේ කාර්තික් නරේන්. විකී, බොබී සිම්හා සහ සනන්ත් යන අය එහි රංගන කාර්යය ඉටුකරනවා.
නවරස පූර්ව ප්‍රචාරක පටය
කොවිඩ් එක්ක ‘නවරස’ ගැටුණු හැටි
සිනමා කෘතියක නිෂ්පාදන කාර්යය කියන්නෙ එසේ මෙසේ කටයුත්තක් ද? පවතින තත්ත්වය හමුවේ සිදුවිය යුතු අන්දමට දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උපයෝගී කරගනිමින් මෙම සියල්ලෙ හි රූගත වීම් සිදු කළ බව යි නිෂ්පාදකවරුන් දෙපළ පවසන්නේ. මෙම නිර්මාණ කාර්යයට දායක වූ සියලු දෙනා අදාළ සියලු සෞඛ්‍ය පරීක්ෂණ සිදුකොට මීට අවතීර්ණ වූ බවත්, රූගත කිරීම් සිදුවන ස්ථානයන් හි බයෝ බබ්ල් එකක් ක්‍රියාත්මක වූ බවටත් ඔවුන් තවදුරටත් සාක්ෂ්‍ය දරනවා. ඒ නිසා ම මීට සැලකිය යුතු මට්ටමේ වියදමක් ද දරන්න සිද්ධ වුණ බව යි කියැවෙන්නේ.
‘නවරස’ පිළිබඳ ඔබ දන්න කියන දේ සහ මෙම ලිපිය ගැන ඔබේ අදහසත් පහළින් කමෙන්ට් කරගෙන යමු ද?