පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ බොක්සිං ලෝකඩ පදක්කම දිනූ අනූෂා කොඩිතුවක්කු සමඟ ගත කළ වරුවක්

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්වෙන් ලාංකියයන්ගේ සුවිශාල බලාපොරොත්තුව වී තිබුණේ ඇයයි. අනූෂා කොඩිතුවක්කු කිව්වොත් ශ්‍රී ලංකාවේ අද වන විට ඇයව නොහඳුනන කෙනෙක් නැති තරම්. බොක්සිං වලින් ඇය එතරම්ම ජනප්‍රියයි. ඇත්තටම අපි අනූෂා නවාතැන්ගෙන සිටින පන්නල පිහිටි නිවසට ගොඩ වැදුණේ බොක්සිං ගැන කතා කරන්නටම නෙවෙයි. බොක්සිං තරුවක් වෙන්න මඟ පෑදුණු ඇගේ පුද්ගලික ජීවිතය ගැනත් ටිකක් වැඩිපුර කතා කරන්න හිතාගෙනයි. ඉතින් අපි අනූෂා කියන්නේ කව්ද කියලා අතීතයෙන්ම පටන් ගත්තා.

දින ගණනාවක් තිස්සේ ජයග්‍රහණයේ සැමරුම්වල හා මාධ්‍ය ඉදිරියේ දිවා රෑ නොබලා පෙනී හිඳින්නට වීම නිසාදෝ ඇගේ සිරුර පුරා දිවෙන වෙහෙසකර බව කොතෙක්ද යන්න තේරුම් ගැනීමට අපට අපහසු වුණේ නැහැ. කොතෙක් කාර්යබහුල වුනත් අප සමඟ පැය කිහිපයක් ගත කරන්නට තරම් ඇය බෙහෙවින් නිහතමානි සහ කාරුණික වුණා.

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දී ලැබූ ලෝකඩ පදක්කම (සරල රුක්ෂිත)

අනුෂා ඔබ ජීවිතයේ දුක් ගැහැට විඳිමින් ආපු ගමනක සාර්ථකත්වය අපි දැක්කා. ඒ දුක් ගැහැට විඳි අතීතය ඔබේ ජීවිතයට ආලෝකයක් වුණේ කොහොමද?

2014 දි තමයි ඇත්තටම මේ පදක්කම ලංකාවට හිමි වෙන්න තිබුණේ. Commonwealth Game එකට යන්නේ හෙට කියලා සිරස Super Fighter වැඩසටහනට ගිහින් එද්දි මම අනතුරකට ලක් වුණා. එම තරගාවලියට යන්න මම පුදුම විදිහේ සූදානමකින් හිටියේ. ඇත්තටම රිදී පදක්කම, රන් පදක්කමට යන තත්ත්වයක් තිබුණා. 2014 ට අවුරුදු හතරකට කලින් තමයි මම තීරණය කළේ Commonwealth Game එකට ගිහිල්ලා පදක්කමක් දිනනවා කියලා. නමුත් අනතුර නිසා එම අවස්ථාව මට අහිමි වුණා. තවත් අවුරුදු හතරක් ඉවසලා මේ තරගයට එන්න තමයි මගේ අධිෂ්ඨානය තිබුණේ. ඒ වෙනුවෙන් මම හැම දෙයක්ම කැප කළා.

මේ වගේ ක්‍රීඩාවකට එන්න කවදාවත් හීනෙකින්වත් හිතුවේ නැහැ. මම හරිම සංවේදී චරිතයක්. කවදාහරි සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව තිබුණේ. ක්‍රීඩාවට යොමු වෙලා ජීවිතයේ ලොකු ටර්නින් පොයින්ට් එකක් ගත්තා. බොක්සිං ක්‍රීඩාවට එද්දි මම රගර් ක්‍රීඩාවේත් නියැලිලා හිටියා. ශ්‍රී ලංකාව වෙනුවෙන් මම රගර් සෙල්ලම් කළා.

බොක්සිංවලට යොමු වූ අවුරුදු 18ක කාලය තුළ මම විඳින්න පුළුවන් හැම දුකක්ම වින්දා. ආරම්භය හරිම කටුකයි. ජීවිතේ හැම දෙයක්ම මේ වෙනුවෙන් කැප කළේ කොහොමද කියන එක තමයි ඔබ අහපු ප්‍රශ්නේ තියෙන්නේ.

මට සමහර විට සල්ලි තියෙන්න ඇති. ඩයන් සර් මට වියදම් කළා. මට අවශ්‍ය වෙලාවට නිවාඩු දුන්නා. වැටුප් දුන්නා, යන්න එන්න වාහන දුන්නා. හැමෝම උදව් කළා. අපේ පදක්කම් බලාපොරොත්තු වෙන්න පුළුවන් වටපිටාව හැදුවා. නමුත් ඒ කොච්චර සහාය ලැබුණත් තමන් මේ වෙනුවෙන් කැපකිරීම කරන්න ඕනේ. උදේම නැගිටින්න ඕනේ, බර උස්සලා, දාඩිය මහන්සිය නොබලා ක්‍රීඩාව වෙනුවෙන් කළ හැකි හැමදේම කරලා තමයි තමන්ගේ බර පන්තියට එන්නේ. එකම බර පංතියේ ඉන්න එක ලේසි දෙයක් නෙවෙයි. මම කෑම කෑවේ නැහැ, ගෙදර ගියෙ නැහැ, කිසි දෙයක් කළේ නැහැ. මම කොච්චර කැප වුණාද කියන එක ඇත්තටම වචනයෙන් කියන්න බෑ.

මම හොඳටම සෙල්ලම් කරමින් හිටපු කාලේ මම සෙල්ලම් කළේ ගැහැණු අයත් එක්ක නෙවෙයි. මාත් එක්ක පුහුණුවීම් කරන්න පිරිමි අය රිම් එකට නගින්න බයයි. මට දිනන පිස්සුවක් තිබුණේ. ඒ සියල්ලම මට අහිමි වෙලා ගියා. ඒ ගැන ඉතාම පසුතැවිලි වුණා. නමුත් ක්‍රීඩිකාවක් හැටියට පහුගිය දේවල් ගැන හිත හිත පසුතැවෙන එකේ තේරුමක් නැහැ. 2017 කියන්නේ මගේ ජීවිතයේ කටුක අත්දැකීම් ලබපු කාලේ. 2016 දී මගේ කකුල කැඩුණා. ඒකත් එක්ක මම පස්සට ගියා වගේ දැනුණා. මොනව උනත් මම ලොකු අධිෂ්ඨානයක් තියෙන කෙනෙක්. ඒ අධිෂ්ඨානය නිසා තමයි මෙච්චර දුර ආවේ. කිසිම කෙනෙකුට මගේ කකුලෙන් ඇදලා මගේ ගමන නවත්තන්න බැහැ.

2000 වෙද්දි මම අඩුම තරමින් මම බොක්සිං තරගයක් දැකලාවත් තිබුණෙ නැහැ. නිල්මිණි ජයසිංහ කියන මගේ සහෝදර ක්‍රීඩිකාව තමයි මට මේ ගමන යන්න පාර කිව්වෙ. මේ ගෙදර දකිනකොටත් ඔයාලට පේනවා ඇති මම හැමදෙයක්ම කරලා තියෙන්නේ මගේ සිහිනය කරා යන්න කියලා.

මේ රටට, බොක්සිං ක්‍රීඩාවට මම ණය නැති, බය නැති ක්‍රීඩිකාවක්.

අනුෂා දැනට නවාතැන්ගෙන සිටින පන්නල නිවසේ බැලු බැලූ අත දකින්න ලැබෙන්නේ බොක්සිං ක්‍රීඩාවේ සලකුණුය. ඇය දිනූ පදක්කම් හා සම්මාන පමණක් නොව බොක්සිං පුහුණු වීම සඳහා සාලයේ සකස් කර තිබෙන ස්ථානයත් ඇගේ කැපවීමට සාක්ෂි සපයනවා.

මේරි කොම් සමඟ පැවති තරඟයේදී (thehindu.com)

හුඟ දෙනෙක් විශාල බලාපොරොත්තු තියාගෙන හිටපු මේරි කොම් එක්ක තරඟයෙන් පරාජය වුණාම මොකක්ද දැනුණු හැඟීම?

කවුරු කොහොම කිව්වත් මම මේරි කොම් එක්ක තරගෙන් මොනවා වෙයිද කියලා දැනගෙන හිටියා. හැබැයි මම මේරි කොම්ව බය කරා. ඊට කලින් දවසේ මගේ ඇත්ත කතාව මම ඉන්දියානු ජනමාධ්‍යවලට කිව්වා. මම ආවේ රන් පදක්කම ගෙනියන්න, ඒ සඳහා මම උත්සාහ කරනවා කියලා. මම ඉන්දියන් මාධ්‍යවලින් කියපු දේ ලොකු තර්ජනයක් වුණා. ලෝක බොක්සිං ක්‍රීඩාව තුළ මේරි කොම් ඉන්නේ කොතනද කියල මම හොඳින්ම දන්නවා. එයත් එක්ක ගහලා ලකුණු ගන්න එක අමාරුයි. විනිශ්චයකාරවරු එයාගෙ පැත්තට බර වැඩියි. ලංකාවේ මගේ ජනතාව දෙවියන්ට බුදුන්ට වැඳගෙන හිටියත් මම දැනගෙන හිටියා මේරි කොම් එක්ක ගහගන්න අමාරුයි. එයා මුහුණ දුන් ලෝක තරගාවලි ප්‍රමාණයයි, දිනපු පදක්කම් ප්‍රමාණයයි දිහා බැලුවම මම බොක්සිං තරග 700කට ඉඳලා තියෙනවා නම් එයා තරග 5000කට විතර ගහලා තියෙනවා. ලබා තිබෙන අත්දැකීම් සම්භාරයක බැලුවහම මේරි කොම් සහ අනූෂා අතර ලොකු පරතරයක් තියෙනවා.

එදා තරගයේ ගහ ගනිද්දී මට කිසිම බයක් ඇති වුණේ නැහැ. හැබැයි ඒ තරගයේදී මගේ කකුල කැඩිලා පත්වෙච්ච තත්වය, මම වෙහෙසට පත් වුණ විදිහ මම හොඳින්ම දන්නවා. මම කලින් Asian Games වල සෙල්ලම් කළේ 51 බර පංතිය. පස්සේ මට ආරංචි වෙනවා මේරි කොම් 48 බර පන්තියේ සෙල්ලම් කරනවා කියලා. මමත් අවාසනාවකට 48 ට එනවා. මේ හැමදේම වෙන්නෙ හිතන්නේ නැතිව. හැබැයි මම 48 බර පන්තිය නියෝජනය කරලා තමයි ලෝකයේ බොක්සිංවල 6 වෙනි තැනට ආවෙ. මට පදක්කම් ලැබුණේ 48 බර පන්තියට. හැමෝම මට 48 ගහන්න කිව්වේ මේකට තමයි කියලා මම හිතාගත්තා. මිනිස්සු දිනන්න කියලා මට ලබා දුන්න ආශිර්වාදය ඇත්තටම මට ඒ වෙලාවෙ තිබුණා. මේරි කොම් එක්ක තරග කරලා පැරදුණත් මම ලබාගත්ත අත්දැකීම් ගැන මං සතුටුයි.

අනූෂාගේ නිවසේ බොක්සිං පුහුණු වීම් සඳහා වෙන් කර තිබෙන ස්ථානය (රචකයාගෙනි)

ඔබේ පාසල් ජීවිතය ගැන කතා කළොත්..

මුලින්ම මම ගියේ හමන්ගල්ල මහා විද්‍යාලය කියන ගමේ ඉස්කෝලෙට. ඉස්සෙල්ලාම කරපු ක්‍රීඩාව තමයි උස පැනීම. මට මතකයි මම උස පනිද්දි පන්තියේ ළමයි දෙන්නෙක් ගහක වැළක් දෙපැත්තෙන් අල්ලගෙන හිටියා. පස්සෙ මම හැම ක්‍රීඩාවක්ම කළා. වොලිබෝල්, ක්‍රිකට්, එල්ලේ, හෙල්ල විසිකිරීම, යගුලිය වගේ හැම ක්‍රීඩාවකින්ම මට සහතික තියෙනවා. බොහොම සුන්දර පාසල් කාලයක් මට තිබුණා.

තාත්තාගේ වියෝව ඔබේ ජීවිතයට බලපෑවේ කොහොමද?

ඒක දෛවෝපගත සිද්ධියක්. 2017 දි තමයි මට තාත්තා නැති වෙන්නේ. මම පිලිපීන්වල පුහුණුවීමකට ගිහින් ලංකාවට ආවට පස්සේ තාත්තා හදිසියේම හෘදයාබාධයකින් නැති වුණා. ස්කොට්ලන්තයේ තරගයකට යන්න මට මාසයක් වගේ කාලයක් තමයි තිබුණේ. තාත්තා නැති වුන එක විඳගන්න ගොඩක් අමාරු උනා. මගේ තාත්තා වගේ කෙනෙක් ඇත්තටම හොයන්න බැහැ. ඒක මගේ තාත්තා හින්ද කියනව නෙවෙයි. අම්මගෙන් විය යුතු හැමදේම තාත්තාගේ වුණා. අපේ තාත්තා බොහොම පොඩි එක්කෙනෙක්. නමුත් එයාට දැවැන්ත යෝධ බල යෝධ ශක්තියක් තිබුණා. අම්මා විදෙස් ගත වෙලා ඉඳිද්දි අම්මා නැති අඩුව තාත්තා පිරෙව්වා. මම හැම වෙලේම ජීවිතයේ යථාර්ථය තේරුම් ගත්ත කෙනෙක්. දෙමව්පියෝ නැතිවෙන එක ලෝක ධර්මය. හැබැයි හිතපු නැති වෙලාවක තාත්තා නැති උන එක දරාගන්න බැරි වුණා. ඊට සතියකට පස්සේ මම ඇක්සිඩන්ට් උනා.

පදක්කම අතැතිව සිටින අනූෂා (සරල රුක්ෂිත)

අනූෂා සොහොයුරියන් තිදෙනෙකු ඉන්න පවුලක දෙවැන්නායි. අද වෙද්දි ඔබ හා සොයුරියන් අතර තිබෙන සම්බන්ධය මොන වගේද?

මගේ ලොකු අක්කා කළේ නැටුම්. නංගි ඉස්කෝලෙ යන කාලෙ ක්‍රීඩා කළා. නමුත් එතනින් එහාට ගියේ නැහැ. අවුරුදු 18 වගේ වෙද්දී මම උසස් පෙළ කරලා විශ්ව විද්‍යාලයට යන තේරිලා හිටියත් ආර්ථික පැත්ත ගැන හිතලා කැම්පස් ගමන නැවැත්තුවා. ඉගෙන ගන්න ලොකු ආසාවක් තිබුණා. පොඩි කාලේ මම තමයි ඉස්සෙල්ලම ඉස්කෝලෙට සමස්ත ලංකා ජයග්‍රහණ අරන් දුන්නේ. මම හැමදාම පන්තියේ පළවෙනියා. 2000 වෙද්දි මම බොක්සිංවලට ඇවිල්ලා, අවුරුදු විස්ස වෙද්දි MAS holdings ආයතනයට සම්බන්ධ වෙලා පඩියක් ගන්න තැනට මම ආවා. ඒ නිසා මම හිතනවා මම මගේ ගෙදරට හයියක් උනා කියලා. නංගිලාගේ අක්කලගෙ වගේම ගෙදර දියුණුවට වැඩ කරන්න මට පුළුවන් වුණා. 2000 අවුරුද්දේ ඉඳන් 2012 වෙනකන් මගේ පඩියෙන් පෞද්ගලික ජීවිතයේ මොනවත්ම කළෙත් නැහැ. මගේ වැටුප එයාලා අතර බෙදාගෙන වැඩ කළා. ඉතින් එයාලට මම ලොකු හයියක් වුණා. ඒගොල්ලොත් මට ගොඩක් ආදරෙයි. අපි කවදාවත් අනිත් පවුල්වල වගේ අමනාපයක් වචනයක්වත් හුවමාරු කරගෙන නැහැ.

ඔබ සංගීතය විෂයක් විදිහට හැදෑරුවා. විශ්වවිද්‍යාලයට ඔබ තේරෙන්නෙත් සංගීතයෙන්. සංගීතයෙන් ඉදිරියට යන්න හිතුවේ නැත්තේ ඇයි?

සංගීතය සම්බන්ධයෙන් මම විශිෂ්ටයෙක් නෙවෙයි. හැබැයි මම සංගීතය හැදෑරුවා. රාගධාරී සංගීතය තමයි කළේ. වයලින් එක, සර්පිනාව, තබ්ලාව වගේ සංගීත භාණ්ඩ වාදනය කළා. දැන් සංගීත භාණ්ඩයක් අල්ල ගන්නත් බැරි තරමට පසුව ඒවායින් ඈත් වුණා. ඒ ගැන මට හරිම දුකයි. මම පස්සේ කාලෙදි හිතුවා එක දිගටම සංගීතය කරගෙන ගියා නම් මගේ මනස සැහැල්ලු කරගන්න ඒක උදව් වෙයි කියලා. තබ්ලාව කියන්නේ මට බද්ධ වෙලා ආපු වාද්‍ය භාණ්ඩයක්. ඉස්කෝලෙ යද්දි බයිසිකලේ සර්පිනාව පිටිපස්සේ බැඳගෙන තමයි යන්නෙ එන්නෙ. බොක්සිං වගේම තමයි ඒ කාලේ ගෙදර ගියත් මම සර්පිනාව ගහන්න තමයි කැමැත්තක් තිබුණේ. පවුලේ අයට සංගීත හැකියාවක් තිබුණට සංගීත භාණ්ඩ වාදනය කිරීම පවුලේ ආභාසයෙන් ලැබුණ දෙයක් නෙවෙයි. අද කාලේ ඇහෙන සින්දුවලට කවදාකවත් මගේ කැමැත්තක් නැහැ. අමරදේව මාස්ටර්, වික්ටර් රත්නායක වගේ පැරණි ගායකයින්ට මම කැමතියි. මම වැඩියෙන් කැමති අමරදේව මහත්මයාට. රාගධාරී සංගීතය ලංකාවේ මිනිසුන්ට හොඳින්ම පෙන්නන තවත් එක දැවැන්තයෙක් තමයි අමරදේව මාස්ටර් කියන්නේ.

නිවසේ පුහුණුවීම්වල නිරත වෙද්දී (සරල රුක්ෂිත)

සින්දු කියන්න පුලුවන්ද?

දැන්නම් හරියට ස්වර පිහිටන්නෙත් නෑ, ඒ ගැන දුකයි.

(නමුත් අපත් සමඟ ගත කළ කාලය තුළ ගීත කිහිපයක්ම මුමුණමින් සිටි නිසා ඇගේ ගායන හැකියාව ගැන නම් අපට හොඳින්ම වැටහුණා. අපේ ඉල්ලීම අනුව අනූෂා අමරදේව මාස්ටර්ගේ ගීතයක් හරිම අපූරුවට ගායනා කළා..)

ඔබේ බර පන්තිය පවත්වාගෙන යන්න වගේම ශරීර ශක්තිය පවත්වාගෙන යන්න අනිවාර්යයෙන්ම කෑම බීම ගැන උනන්දු වෙන්න ඕන. ගමේ කෙල්ලෙක් හැටියට කෑම බීම ගැන උනන්දු වුණේ කොහොමද?

මට මතකයි අවුරුදු හත අට වගේ කාලේ මට හොඳට කන්න ඕනේ. මොකද මම ගොඩක් දඟ චරිතයක්. දුවනවා, පනිනවා, කෑගහනවා, ගස් උඩට නගිනවා. මගේ ළමා කාලය හරිම සුන්දර විදිහට ගෙවුණා. අද ළමයින්ට ඇත්තටම එහෙම ළමා කාලයක් නැහැ. මගේ ළමා කාලය මම උපරිමයෙන්ම විඳපු කෙනෙක්. කරන්නෙ මොකක්ද කියලා හොඳින්ම දැනගෙන පරිස්සමෙන් තමයි හැම දෙයක්ම කළේ. කොස් දෙල් වගේ ගමේ කෑම මම වැඩිපුර කන්න ඇති. බත් තමයි කෑවේ වෙන ආහාර තිබුණේ නැහැ. මම අවිවාදයෙන්ම පිළිගන්නවා බොක්සිංවලට ශක්තිය ලැබුණේ මම ගමේ හිටපු හින්ද කියල. ඒකට මම ගරු කරනවා.

කන්න කැමතිම කෑම මොකක්ද?

මම කන්න කැමති රාජල

ඔබ පිරිමියෙක් වගේ චරිතයක්. පොඩි කාලේ ඉඳන්ම එහෙමද? කොලුකම ඇඟට ගහපු චරිතයක් වීම වාසියක් වුණා ද අවාසියක් වුණා ද?

කොලුකම කියන්නේ මගේ ආත්මගත බැඳීමක් වෙන්න ඕනේ. මුලින්ම මම ඉස්කෝලේ යනකොටත් ගවුමක් ඇඳගෙන ගියේ නැහැ. අම්මලට මට ගවුමක් අන්දවාගෙන යන්න බැරිව ගිහිල්ලා, කලිසමකුයි කමිසයකුයි තමයි අන්දවගෙන ගිහින් තිබුණෙ. මට අදටත් මතකයි අම්ම අරන් දීපු තැඹිලි පාට කලිසමකුයි, ෂර්ට් එකකුයි තමයි මම දිගටම ඇන්දෙ. මුල ඉදන්ම මාත් එක්ක පන්තියේ හිටපු යාලුවො මම පිරිමි ළමයෙක් කියලා තමයි හිතාගෙන ඉඳලා තියෙන්නෙ. මගේ හොඳම යාළුවා වෙලා හිටියේ ක්‍රිෂාන්ත. එයා අදත් මාත් එක්ක එකට වැඩ කරන්නේ. එයත් එක්ක මම පිරිමියෙක් වගේ කරට අතදාගෙන එහෙම ඉඳලා පස්සේ දවසක මම ගවුමක් ඇඳගෙන ගියහම එයා ගෙදර ගිහිල්ල අඩලා තිබුණා අනූෂා ගෑණු ළමයෙක් කියලා.

කොලුකම කියන එක තවත් වැඩිවෙන්න ගත්තා දිගින් දිගටම පිරිමි ළමයි එක්ක ඉන්න කොට. මගේ බාප්පාගේ පිරිමි දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා එයාලත් එක්ක තමයි මම සෙල්ලම් කළේ. ඒගොල්ලන්ගේ සෙල්ලම් කරන තව යාළුවො ඉන්නවා ඒ ගොල්ලොත් එක්ක සෙල්ලම් කරද්දී මට කොයි වෙලාවකවත් දැනුණේ නැහැ මම කෙල්ලෙක් කියලා. නමුත් මගේ හිත ඇතුළේ එහෙම දෙයක් නැහැ. හුඟක් වෙලාවට ලඳ බොළඳ ගතියක් තියෙනවා.

අනූෂා සිය මව සමඟ (අනූෂා කොඩිතුවක්කු)

ප්‍රේම සම්බන්ධතා තිබුණද?

තිබුණා. ප්‍රේම සම්බන්ධතා දෙකක් තිබුණා. එකක් නං අපේ ගමේ අයියා කෙනෙක්. ඒ කාලෙ අපේ බැඳීමක් තිබුණා, ලොකු සම්බන්ධයක් නෙවෙයි. ඒකත් මම හිතලා බලලා තමයි කළේ. එයාගේ පවුලේ අය මට කැමති වුණේ නැහැ මම දඟ නිසා. කවුරුත් මට කැමති වෙන්නේ නෑ. ඒ කාලෙත් මම බයිසිකල් පදිනවා, වාහන එළවනවා, කෑ ගහනවා. පාසල් යන කාලයේ තවත් අයියා කෙනෙක් එක්ක යාළු වෙලා හිටියා. ඉගෙනගන්න ගිහිල්ලයි ඔහුව මට හම්බ වුණේ. ඒ දේවල් ඒ විදියටම නැතිවෙලා ගියා. උසස් පෙළ ඉවරවෙලා MAS එකට සම්බන්ධ වෙලා ක්‍රීඩාවට අවතීර්ණ වීමත් එක්ක ජීවිතේ වෙනස් වටපිටාවක් හැදුණා.

දැන් ප්‍රේම සම්බන්ධයක් නැද්ද ?

අද වෙද්දි එවැනි සම්බන්ධයක් නෑ.

විවාහයක් ගැන බලාපොරොත්තු කියනවද?

විවාහය ගැන බලාපොරොත්තු තිබුණා. ඒත් දැන් නැහැ.

බොක්සිං වලින් මේ අවුරුද්දේදී සමු ගන්නවා කියන කතාව ඇත්තද?

ඇත්තම කියනවා නම් සමු ගන්නත් ඕනේ. මගේ අතපය සේරම කැඩිල තියෙන්නෙ. ඉදිරියේදී තව තරගාවලි ගණනාවක් එනවා ඒවා ඉවර කරනවා. අපේ අනාගතය ගැනත් අපි බලන්න ඕනේ. අද බොක්සිං ගැහුවා මෙඩ්ල් ගෙනාවා, පස්සේ රටට අමතක වෙනවා. අපේ ජීවිතේ ගැන වගකීම අපි ගන්න ඕනේ, ලෙඩ වෙන්න බැහැ. සමුගන්න කාලය එයි, ඒක ඈතක නෙවෙයි ලඟම තියෙයි. අපි අපේ ඉලක්කය සපුරා ගත්තා නම් ආයෙත් ඉලක්ක තියාගෙන ඉන්න බැහැ. එතකොට වෙන දෙයක් පටන් ගන්න ඕනේ.

ක්‍රීඩා පුහුණුවීම් රැකියාව සහ පුද්ගලික ජීවිතය සමබර කරගෙන යන්නේ කොහොමද?

MAS කියන්නේ අම්මා තාත්තා වගේ හැම දෙයක්ම බලාගන්න ආයතනයක් අපි වෙනුවෙන්. මානව සම්පත් විධායකවරියක් විදියක තමයි විදියට තමයි මම වැඩ කරන්නේ. මුල් කාලයේදී මම ජොබ් එක ඉතාම කැපවීමෙන් කළා. පස්සෙ කාලෙදි ක්‍රීඩාවයි රැකියාවයි දෙකම එකට කරන්න අමාරු වුණා. තරඟයකට ගිහිල්ලා ආවහම ඇඳට වෙලා තමයි ඉන්නේ. ස්ලිම් ලයින් එක ඇතුළේ තුන්දාහක් විතර සෙනග ඉන්නවා, ලොකු වටපිටාවකුත් තියෙනවා. ආයතනයේ තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉන්නවා. ඒ අය අපිව නිදහස් කරලා වෙන කෙනකුට ජොබ් එක බාර දීලා අපිට බොහොම සැහැල්ලුවෙන් ඉන්න අවස්ථාව හදලා දෙනවා. මානව සම්පත් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ඩිනාල් පීරිස් මට ඒ වගේ විශාල සහනයක් දුන්නා. MAS එකේ හිමිකරු මහේෂ් අමලියන්ට ඇත්තටම උවමනාවක් තියෙනවා අපිට සල්ලි වියදම් කරලා රටට පදක්කම් ගෙනත් දෙන්න. ඒ අවශ්‍යතාවය නිසා තමයි අපි අද නිදහස් වෙලා ක්‍රීඩාවේ නිරත වෙලා ඉන්නේ.

මානව සම්පත් පිළිබඳ ඩිප්ලෝමාව මම හදාරලා තියෙනවා. ඒක අවුරුදු ගාණක් තිස්සේ කරලා මට ඒ පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා.

සරල රුක්ෂිත

දිනූ පදක්කම් හා කුසලාන (සරල රුක්ෂිත)

විශ්ව විද්‍යාලයට යන්න බැරි වුණ එක ගැන දැන් දුකයිද?

විශ්ව විද්‍යාලයේ යන්න බැරි වුණා කියලා කිසිම දුකක් නැහැ. එක දුකක් තමයි සංගීතය අතහරින්න වුණ එක. රාගධාරී සංගීතය ඇහෙනකොටත් දැන් දුකයි. දැන් ඉස්සර වගේ ස්වර පිහිටන්නේ නැහැ. කොහොම වුණත් මම අප්‍රමාණව සතුටු වෙනවා බොක්සිංවලින් ලංකාවේ වීරයෙක් විදිහට සැලකිල්ලක් ලබන්න පුළුවන් වුණ එක ගැන. ටීචර් කෙනෙක් වුණා නම් වීරයෙක් වෙන්න විදිහක් නැහැනේ. ඒ නිසා ඇත්තටම දුකක් නැහැ ගොඩක් සතුටුයි.

පාසලේ හිටපු යාළුවොත් එක්ක තවම සම්බන්ධතාවය තියාගෙනද ඉන්නේ?

පාසලේ හිටපු හොඳම යාළුවත් අද මාත් එක්ක පිටිපස්සෙන් ඉන්නවා. ඇය විශාකි, ඩයස් අදටත් එයා මාව බලන්න එනවා. මං ගැන සතුටු වෙනවා, ආඩම්බර වෙනවා

මාත් එක්ක ඒ ලෙවල් කරපු යාළුවොත් මං හිතනවා මාත් එක්ක තමයි වැඩියෙන්ම ඉන්නෙ කියල. එයාලා අතරෙත් ලොකු සම්බන්ධතාවයක් නැහැ. මම ඒ හැම සම්බන්ධතාවක් ම ගොඩනඟන්න උත්සාහ දරනවා. තවමත් ඉස්කෝලෙට යනවා ටීචර්ස්ලාව හම්බ වෙනවා.

පදක්කම ලැබීම ගැන ගමේ අයගෙ ප්‍රතිචාරය මොන වගේද?

මම හැමදාම විශේෂ පදක්කමක් ගෙනාවොත් ගමේ අයට අනිවාර්යෙන්ම වැඩක් තියෙනවා. එයාලා බලාපොරොත්තු වුණ දේ මම ඉටු කළා කියලා මම හිතනවා. මම හැදුණු වැඩුණු ගමට මම ආදරෙයි, මේ ගමේ හැම අස්සක් මුල්ලකම මගේ පය තියලා ඇති.

අනූෂාගේ දින චර්යාව ගත වෙන්නේ කොහොමද?

පුහුණුවීම් කටයුතු කරන කාලයේදී නම් හරිම අවිවේකීයි. කොහෙවත් වැඩිය යන්නේ නැහැ. මම හැමදාම උදේ පහට නැගිටලා මගේ සෞඛ්‍ය සම්පන්නභාවය තියාගන්න ඕන දේවල් කරනවා. අනිවාර්යයෙන්ම බුදු පහන තියනවා. ඒකත් එක්ක තමයි මම මේ ගමන හැම වෙලේම යන්නේ. උදේ 5.45 වෙද්දී පුහුණුවීම්වලට යන්න ඕනේ. පැය දෙක තුනක් පහුණුවීම් කරලා නමයට විතර ගෙදර එනවා. ගෙදර වැඩ ටික කරගන්නවා. රූපවාහිනී එහෙම නම් බලන්න වෙලාවක් නෑ. පොතක් පතක් කියවනවා. ටීම් එක ගැන වගකීමක් තියෙන කෙනෙක් හැටියට ටීම් එක ගැන බලනවා. ඒ ඇරුණාම නම් නිදාගන්න එක තමයි වැඩියෙන්ම කරන්නේ. නිදාගත යුතු හින්දා නිදාගන්නවා. සමහර වෙලාවට අම්මලාව බලන්න ගෙදර යනවා. නැවත හවස පුහුණුවීම්වලට යනවා ගෙදර එද්දි මහන්සියි. පොඩි පොඩි වැඩ ටිකක් කරලා ආපහු නින්දට යනවා. ඊට අමතරව මොනවා හරි ඉගෙන ගන්න දෙයක් ගැන බලනවා. සමහර වෙලාවට යාලුවන්ට එන්න කියනවා. කෑම හදනවා නම් හොඳ දේවල් හදන්න උත්සාහ කරනවා.

උයන්න පුලුවන්ද?

උයන්න පුළුවන්. කෑම බීම හදන්න මම කැමතියි. ගෙදර ගියත් අම්මට උයන පිහන ඒවට උදවු කරනවා. මම එනවා කිවුවහම අම්මලත් එක එක දේවල් හදනවා. මාළුපිණි හතරක් පහක් හදනවා. මම හුඟක්ම කන්න කැමති කැලේ තියෙන කෑම වර්ග තමයි. අම්මත් එක්ක හිටියොත් අනිවාර්යයෙන් මැල්ලුම් කනවා.

thehindu.com

මුලින්ම රැකියාව ලැබෙන්නේ කොහොමද?

මම Slimline එකට සම්බන්ධ වෙන්න කලින් මගේ අක්ක Slimline එකට සම්බන්ධ වෙලා හිටියා. අක්කා ගෙදර ඇවිල්ලා හැම දේම කියනවා. උසස් පෙළ කරන කාලයේදීත් Slimline ආයතනය කියන්නේ ප්‍රදේශයට ලොකු මෙහෙවරක් කරපු දැවැන්ත ආයතනයක්. ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විදිහට පාසල සංවර්ධනය සඳහා විවිධ දේවල් කරන්න ඒ කාලෙ මට ලොකු වුවමනාවක් තිබුණා. විවිධ වැඩවලදී අනුග්‍රහය ලබා ගන්න මම slimline ආයතනය වෙත නිතරම ගියා. ඒකේ කළමනාකාරිත්වයේ හිටපු අය මට හරි ආදරෙන් සැලකුවා. ඒ නිසා මම Slimline ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්නේ අක්ක නිසා නෙවෙයි, පුද්ගලිකව ඇවිල්ලා ගිහිල්ලා දැන හඳුනගෙන ඔවුන් මට උදව් කළා.

ක්‍රීඩාවේ තියෙන අවසන් බලාපොරොත්තුව මොකක්ද?

බොක්සිංවලින් ගත්තොත් Commonwealth Games තමයි. ඒ වගකීම ඉෂ්ට කරලා ඉවරයි.

පුද්ගලික ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව ගැන කිව්වොත්?

පුද්ගලික ජීවිතය ගත්තත් මම කැමතියි හරිම සරලව පොළොවෙ පය ගහල ජීවත් වෙන්න, හැමදේම යථාර්තවාදීව දකින්න. මිනිස්සුන්ගේ දුක සැප දෙක බෙදාගෙන ජීවත් වෙන්න ඕන. ඒ වගේම ක්‍රීඩාවේ මම දන්න දේවල් ලංකාවේ ඉන්න අනිත් ක්‍රීඩකයින් සමග බෙදා හදා ගන්න මම කැමතියි. ක්‍රීඩාව තුළ තියෙන විද්‍යාව මම ඉගෙනගෙන තියෙනවා. ඒක අනිත් අයට දෙන්න ඕනේ.

ක්‍රීඩා පුහුණුකරුවෙක් වෙන්න කැමතිද?

පුහුණුකරුවෙක් වෙන්න කැමතියි. හැබැයි බොක්සිං ක්‍රීඩාවේ පුහුණුකරුවෙක් විදිහට කොටුවෙලා ඉන්න විතරක් කැමති නැහැ.

අනූෂාට දේශපාලන මතයක් තියෙනව ද?

මම දේශපාලනයට කැමැති නැහැ. දේශපාලනය තුළ හරි දේට හරි කියන්න බැහැනේ. වැරදි දේට හරි කියලා හරි දේට වැරදි කියන වාතාවරණයක් තමයි ලංකාවෙ තියෙන්නෙ. එක පැත්තක් විතරක් අරගෙන බොරු මවා පාමින් ජීවත් වෙන්න මම කැමති නැහැ. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනේ.

ක්‍රීඩිකාවක් හැටියට සිංහල විතරක් නෙවෙයි දමිළ, මුස්ලිම් ජනතාවත් ඔබට චියර් කරනවා. ක්‍රීඩාවේදී වර්ධනය වන එකමුතුකම ඉන් එහාට ශ්‍රී ලාංකිකයින් තුළ නැති වීම ඔබ දකින්නේ කොහොමද?

ශ්‍රී ලාංකිකයන් විදිහට අපි මීට වඩා ගැම්මට ඉන්න ඕන. අනිත් රටවල් තමන්ගේ රටට ජාතියට ගරු කරන තරම් අපේ රටේ මිනිස්සු ගරු කරන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ. අපේ රටට ජාතික කොඩියට අපි ආදරය නැද්ද කියලා පොඩි කාලේ ඉඳන්ම මට දැනුණා. අපේ ජාතික ගීයවත් කෑ ගහලා කට ඇරලා කියන්නේ නැහැ. කැක්කුමක් තියෙන මිනිස්සු තමයි ජාතික ගීය කෑගහලා හදවතින්ම කියන්න. අනිත් රටවල මිනිස්සු එහෙමයි. මම තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව ජාතික කොඩිය පෙන්වීමෙන් කළේ මගේ රට තමයි දිනුවේ කියන එක. ඒක එවෙලේ මට ආපු හැඟීම.

මට සිංහල දෙමළ මුස්ලිම් හැම ජාතියකම යාළුවෝ ඉන්නවා. එයාලා මට ජාති ආගම් භේදයකින් තොරව හදවතින් චියර් කරන්න ඇති. ඔවුන් සියලු දෙනාටම මේ අවස්ථාවේ මම ස්තූතිවන්ත වෙනවා. මොන දේ කළත් අපි හැමතිස්සෙම හිතන්න ඕනේ අපි මැරෙනවා කියලා. හැමදාම ජීවත් වෙන්න ඇවිල්ලා නැහැ. අද සමගියෙන් සමාදානයෙන් වැඩ කළොත් මේ රට තව කාලයක් පවතීවි. නැත්නම් මිනිස්සු මැරෙයි බෝම්බ ගහන්න ගනියි. කලින් විඳපු කටුක අත්දැකීම් වලට යළි යළිත් මුහුණ දෙන්න සිද්ධ වෙයි.

ඩයන් ගෝමස් සමඟ (thepapare.com)

අවසන් වරට අනූෂා ස්තූති කරන්න කැමති කාටද?

අපිව නිර්මාණය කළාට, පදක්කම්වලට යන්න ශක්තිය දුන්නට MAS Holdings සමාගමට ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඩයන් සර් නිසා තමයි අද මෙතන ඉන්නේ. රුවන් කෑරගල කියන්නේ අපි හැමෝටම තාත්තා කෙනෙක් වගේ. හැම තිස්සෙම අපේ මානසිකත්වය හදන්න උත්සාහ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම බොක්සිං සංගමයට ස්තූති කරන්න ඕනෙ මාව තෝරා පත්කර Commonwealth Games වලට යැව්වට. හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය සර් ආදරෙන් මතක් කරනවා. ඔහු දැනගත්තා මම හොඳ දක්ෂ බොක්සිං ක්‍රීඩිකාවක් කියලා. එදා මෙදාතුර මගේ තරඟවලට ඔහු නැගලා තියෙනවා. අවසානයේදී ඔහු තමයි මාව මේ තරඟයට තෝරලා තියෙන්නෙත්. මගේ හදපිරි ස්තුතිය මම එතුමාට පුද කරනවා. Slimline ආයතනයේත්, MAS එකේත් ඉන්න සියලු දෙනාටම, මේ ගමන යන්න අත හිත දුන්න උදව් කරපු සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, මගේ පුහුණුකරු වෙලා හිටපු අනුරුද්ධ රත්නායකට ස්තූතිවන්ත වෙනවා. මංජු වන්නිආරච්චි, වෑකඩපොල, චමිල රූපසිංහ කියන මගේ සහෝදර පුහුණුකරුවන්ට ස්තූතිවන්ත වෙනවා.

Cover Image : සරල රුක්ෂිත

Related Articles

Exit mobile version