අමරණීය අමරදේව

මෙලොව කෙතරම් සංගීතඥයන් බිහිවුණත්, බිහිවූවත් ඒ සියල්ලන්ගේම මහා පුරුෂයා මේ පින් කෙතක්වූ හෙළ රන් දෙරණේ කෙනෙක් වීම ලාංකිකයන් වශයෙන් අපට මහා භාග්‍යයක්. ඔහු ‘හෙළයේ මහා ගාන්ධර්වයා’ ලෙසින් කීර්තිනාම ලැබූ, තම විෂයය පරතෙරට උගත්, පරතෙරට පර්යේෂණ කළ සහ ඒ පර්යේෂණයන් ගෙන් දුකට පත් හදවත් වල සිට ප්‍රීති ප්‍රමෝදයට පත් හදවත් දක්වා වූ විශාල පරාසයක් දක්වා නානාවිධ භාවයන්ගෙන් යුක්තව සිත් සනහන්නට දායකවූ කලාවේ බත සරි කළ පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන්ය.

(wikimedia.org)

(wikimedia.org)

එතුමන්ගේ නාමය අප අතර රැඳෙද්දී, බාධා නොමැතිව අපට නොදන්වා පැමිණි මරු එතුමන්ව ඊයේ(3) දින උදෑසන රැගෙන ගියේය. ඉතින් ස්වර්ණමය යුගයක නිමාව සනිටුහන් කළ ඒ යුග පුරුෂයාගේ සුවිසල් මෙහෙවර අගයන්නට ගන්නා කුඩා උත්සාහයකි මේ.

සංගීත ක්‍ෂේත්‍රයට යොමුවීම

උපන් නාමය වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා ලෙස ලබමින් 1927 වසරේ දෙසැම්බර් මස පස් වන දින මොරටුවේදී මෙළොව එළිය දුටු එතුමන්ගේ සංගීත දිවිය ඇරඹෙන්නේ කුඩා කාලයේදීමය. වයලීන් නිෂ්පාදකයෙකු සහ අළුත්වැඩියා කරන්නෙකු වූ ඔහුගේ පියා සංගීත ක්‍ෂේත්‍රයට ඇළුම්කම් පාමින් වැඩිමහල් සහෘදයාගෙන්ද ඉන්දියානු ශාස්‍ත්‍රීය සංගීතය හදාරමින් සිටි තම අවුරුදු හතක බාලම පුතුට ජපන් ටින් වයලීනයක් තෑගි කළ අතර පසුකාලීනව තමා විසින් ම තැනූ වයලීනයක් ලබාදෙමින් ගුරුහරුකම් ද දුන්නා. මුලදී කොරළවැල්ලේ විහාරස්ථානයේ අධ්‍යාපනය ලබමින් සිටි ඔහුගේ හැකියාවන් හඳුනාගත්  නායක තෙරුන් ඔහුට කවි හා ගාථනා ගායනා කිරීමට අවස්ථාව ලබාදුන් අතර එකල ඔහු ග්‍රාමයේ ගීතිකා කණ්ඩායමේ ද නායකත්වය දැරුවා.

ප්‍රාථමික අධ්‍යාපනය ශ්‍රී සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙන් ලැබූ ඔහු මොරටු විද්‍යාලය, කොළඹ කලා සංගමය ආදියෙන් මෙහෙයවූ කවි හා ගායනා තරග වලින් ද ජයග්‍රහණයන් වෙත පිය නැගූ අතර ඒ නිසාම ගුරුවරුන්ගේ මැදිහත් වීමෙන් ඔහුව ලංකා ගුවන් විදුලි සේවයෙහි ගායක මඩුල්ලට ඇතුලත් කරනු ලැබුවා. ඒ අතරතුර 1945දී ජන කලා මණ්ඩලය විසින් පවත්වන ලද ගායනා හා වයලීන වාදක තරගයකින් රන් පදක්කම දිනා ගන්නටද ඔහු සමත්වූවා. ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනය ලබන කාලයේදී අශෝකමාලා චිත්‍රපටයේ රූගත කිරීම් ද ඇරඹුණු අතර එහි සංගීතය මෙහෙයවූ මොහොමඩ් ගවුස් මාස්ටර්ගේ ඇසුර ලබන්නට වරම් ලබමින් එම වාදක මණ්ඩලයේ ප්‍රධාන වයලීන් වාදකයා ලෙසද තෝරාගැණුනා.

(music-of-a.blogspot.com)

(music-of-a.blogspot.com)

දක්‍ෂතා නිසා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ අවධානයට පාත්‍රව ඩී.බී. ධනපාල මහතාගේද සහයෝගය ඇතිව ලංකාදීප පත්‍රයේ ශිෂ්‍යත්ව අරමුදලකින් 1950 මධ්‍යයේදී ඉන්දියාවේ ලක්නව් නුවර භාත්ඛණ්ඩේ සංගීත අධ්‍යයනායතනයට ඇතුලත්ව අධ්‍යාපනය ලබා මෙරටට පැමිණි එතුමා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධව කටයුතු කළ අතර එකල පැවති බටහිරකරණය යටපත් කරගෙන හිස එසවූ ‘සිංහලකම’ නිසා බොහෝ උගතුන් තම ක්‍රිස්තියානි නම් අත්හැර සිංහල නම් යොදාගත් අතර සරච්චන්ද්‍රයන් මෙතුමාට ‘අමරදේව’ යන නම ලබා දෙද්දී ගුණදාස අමරසේකරයන් ද ‘මේඝවර්ණ’ නමින් නමක් යෝජනා කොට තිබෙනවා.

පුළුල් දැනුම සහ ඇගැයුම්

අනතුරුව චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර ආදී විශිෂ්ඨයන්ගේ ඇසුර ලබන අමරදේවයන් සිංහල සරල සංගීතය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් කරන්නේ තමන්ගේ භාරතීය රාගධාරී සංගීත දැනුම හා සිංහල සංගීතය පිළිබඳ පෘථුල දැනුම පිළිබඳ විවෘත මනසකින්. සේකරයන් සමඟ එතුමන්ගේ දායකත්වය කෙතරම්ද යත්, ඔවුන් දෙපළ එකල හඳුන්වනු ලැබුවේ “ගී පොතයි – මී විතයි” ලෙසිනුයි. හෙළහවුළ සහ කුමාරතුංග මුනිදාස වැනි මහා පඬිවරුන් ළඟින් ආශ්‍රය කරමින් සිංහල භාෂාව පිළිබඳවද ඉහළ දැනුමක් ලබා සිටි අමරදේවයන් 2010දී පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය, ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986) සහ 1998 දී දේශමාන්‍ය සම්මානය ඇතුළු ගරු බුහුමන් රැසකට හිමිකම් කියන්නට ද සමත් වුණා.

(music-of-a.blogspot.com)

(music-of-a.blogspot.com)

තම පුළුල් දැනුම් පරාසය නිසා ඉන්දීය සංගීතයට හෝ දේශීය සංගීතයට කොටු නොවී මේ දෙකෙහි සම්මිශ්‍රණයක් ගීතයේ පදවැලට අනුරූපවන පරිද්දෙන් යොදා ගනිමින් තනු නිර්මාණ කරන්නට, ගයන්නට මෙන්ම ගීත රචනාකරණයෙන්ද ඉදිරියෙන් සිටියා. සේකරයන්ගේ මහ බෝ වන්නම, ජගත් මෝහිණී වැනි සංකීර්ණ ගීත ශෛලීන්ගේ සිට හාරිච්චි බෝරිච්චි වැනි ජනප්‍රිය සංගීත ශෛලීන් දක්වා අවස්ථාවට ගැළපෙන පරිදි තනු නිර්මාණ, ගායනා ප්‍රතිභා දක්වන්නට එතුමන්ට තිබුණේ සුන්දර හැකියාවක්. එසේම එතුමන්ගේ සාකච්ඡාවන් වලදී පෙනීයන ප්‍රධාන ම කාරණය නම්, එතුමන් හැමවිට ම තමාට අත දුන් අයව සිහිපත් කරමින් අග්‍රගණ්‍ය නිහතමානීත්වයක් දැරීමයි. ඒ සාකච්ඡාවන් එතුමන්ගේ ව්‍යුත්පත්ති ඥානය, හැකියාවන් මෙන්ම හදවතේ තෙතමනයද හොඳින් පහදාලනවා.

නිහතමානී බව සහ විවෘත මනස

අමරදේවයන්ගේ ප්‍රතිභාව ජනසිත් වැළඳගන්නට තවත් හේතුවූයේ එතුමන් සතුවූ හඬ පෞරුෂය සහ දෑත සහ සිරුර ගීතයේ භාවයන් අනුව මෙහෙයවන ආකාරයයි. රෝහණ වීරසිංහයන් ස්වාධීන රූපවාහිනී සේවයේ දොරමඬලාවේදී පැවසූවේ “අමරදේවයන් වරෙක භාව ප්‍රකාශයනය කරන්නේ ස්වර උස් පහත් බව අනුව යි. තවත් වරෙක ගීතයේ අර්ථය අනුවයි. එතුමා තිසා වැවයි කියා උඩට අත ඔසවන්නේත් සීගිරියයි කියා පහත පෙන්වන්නේත් ඒ ස්වරයන් අනුව හැසිරෙන අවස්ථාවක යි.”

“අමරදේවයන් වරෙක භාව ප්‍රකාශයනය කරන්නේ ස්වර උස් පහත් බව අනුව යි. තවත් වරෙක ගීතයේ අර්ථය අනුවයි. එතුමා තිසා වැවයි කියා උඩට අත ඔසවන්නේත් සීගිරියයි කියා පහත පෙන්වන්නේත් ඒ ස්වරයන් අනුව හැසිරෙන අවස්ථාවක යි.”

ආදරය හමුවූ අවස්ථා, වියෝවූ අවස්ථා පමණක් නොව ප්‍රේමයට පමණක් සීමා නොවී පරිසර වර්ණනා, බෞද්ධ ගීත, මව්පිය වර්ණනා, විවාපත් හෝ දික්කසාදවූ අයට ගැළපෙන ගීත මෙන් ම දුක් ගැහැට විඳිමින් කෘෂිකර්මානතයේ යෙදන ජනතාව උදෙසා ද අමරදේවයන්ගේ ගීත පැතිර තිබෙනවා. ඒ අතර වැඩි ප්‍රසිද්ධියක් නැතිමුත් මගේ පෞද්ගලික කැමැත්තට පත් වූ ගීතයක් ලෙස ‘ලොව්තුරු පෙම් වතුරේ’ ගීතය දක්වන්නට පුළුවන්. එය කාමාතුර ආලයෙන් ඔබ්බට ගිය ගෞරවණීය පද රචනයක් සහිතව ඊට ම කැපෙන උතුම් සංගීත රසයකින් ද ආඪ්‍ය ගීතයක්.

ලොව්තුරු පෙම් වතුරේ

නාවනු ඔබ මිහිරේ

ඔබ හද රජ මැදුරේ

සතපනු මා මිහිරේ

මාලදිවයිනේ ජාතික ගීයේ නිර්මාතෘ

(1.bp.blogspot.com)

(1.bp.blogspot.com)

බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජිණගේ ආරාධනයෙන් මාලදිවයිනේ ජාතික ගීයට සංගීතය සපයමින් එතෙරටද ලංකාවේ කීර්තිය පතුරුවන්නට, වෙනත් රටක ඉතිහාසයේ සංධිස්ථානයක නම තබන්නට ද අවස්ථාව ලද මේ සිරුරෙන් කුඩා, සුවිසල් මිනිසා කිසිවිටෙකත් ඉන් උදම් නොවූ අතර සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක වැනි සම ශෛලීමය ගායකයන් සමඟ මෙන් ම නූතන ගායිකාවක වූ උමාරියා සිංහවංශ වැනි නූතන ගායිකාවන් සමඟ ද ගීත ගයන්නට තරම් විවෘත, නිහතමානී මනසකින් යුක්ත වුණා. මේ උත්තම මිනිසා සමඟ ගීයක් ගයන්නට වරම් ලැබීම කෙතරම් භාග්‍යයක්ද යත්, සුනිල් එදිරිසිංහයන් ම පවසන පරිදි ඔහුට “සතර වරම් දෙවි මහරජ” ගීතය ගයන්නට අමරදේවයන් ආරධානා කළ මොහොතේ තමා සිහිසුන්වූ බව යි.

5වැනි සෙනසුරාදා සවස 3.30 වන තෙක් නිදහස් චතුරස්‍රයේ අමරදේවයන්ගේ දේහය තැන්පත් කර තැබෙන අතර රජය විසින්ද සතියක ශෝක කාලයක් ද නම් කරමින් ඉල්ලා සිටින්නේ සෑම නිවසක ම සුදු කොඩියක් දර්ශනය කරමින් එතුමන්ට බුහුමන් කරන ලෙස යි. ඉතින් මේ අසහාය නිර්මාණකරුවා භෞතික සිරුරෙන් වෙන්ව ගියත් අපේ හද පවුරු තලාවේ නෙළූ සුපෙම් කැටයම් කිසිදා නොමැකෙන්නට තරම්, ජීවිතයේදී හමුවන ඕනෑම අවස්ථාවකට ගැළපෙන සේ දායාද කොට ඇති ගීත සමුදාය සැමවිටක ම එතුමන්ගේ මියුරු හඬින් අපව සනහන්නට අප අසලින්ම රැඳේවි.

මූලාශ්‍ර: දොරමඬලාව – ස්වාධීන රූපවාහිනී සේවය, සිළුමිණ, දිනමිණ, විකිපීඩියාව

කවරයේ පින්තුරය: Sandra Mack

Related Articles

Exit mobile version