අපි නිදහස ලබා 73 වන වසර සැමරුවත්, වැඩි පිරිසක් සිතින් තවමත් වහලුන් බව බොහෝ දේශපාලන විචාරකයෝ පවසනවා. ඒ නිසාම නිදහසේ ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකි වී පිටරටට අතපාන බවත් පැවසෙනවා. නමුත් ඒ කාලේ බ්‍රිතාන්‍යයන් සමග සාකච්ඡා වට පවත්වමින් ඩොමිනියන් තත්ත්වයේ නිදහස ලබා ගැනීමට පෙරමුණ ගත් ඩී. එස්. සේනානායක ඉස්කෝලේ 8 ශ්‍රේණියට පමණක් ගිය කෙනෙක්. සේනානායක පවුලේ ඉගනීමට අදක්ෂම කෙනා වුණේ ඩී. එස්. ඒත් ඔහු තුළ ක්‍රමයෙන් දේශපාලන දැක්මක් මතුවුණා. ගොවිතැන හරහා රට දියුණු කිරීමට, අධ්‍යාපනය සංවර්ධනයට සැලසුම් රාශියක් ඔහුගේ දේශපාලන දැක්මේ තිබුණා.
නිදහස් දෙසුම
අද දිනය විශේෂ උතුම් දිනයකි. ලංකා වැසියෝ සියලු දෙනාටම ප්‍රීතියක් යෙදෙන දිනයක් ය. අවුරුදු දෙදහස් ගණනක් නිදහස් ජාතියක්‌ව සිටි, අවුරුදු හාරසිය ගණනක් නිදහස ආරක්‍ෂා කරනු පිණිස අපේ මුතුන් මිත්තෝ තමුන්ගේ ජීවිත පුද කර ආරක්‍ෂා කරගන්නට බලාපොරොත්තු වූ ලංකාව, අවුරුදු එකසිය ගණනකට ඉස්‌සර ඒ ආරක්‍ෂාව ප්‍රවේශම් කරන්න බැරි වූ නිසා ඉංග්‍රීසි කිරීටයට අපේ ලංකාව පාවාදෙන්නට හේතු විය. ඒ පාවාදීම මේ අවුරුදු ගණනාවකට පස්‌සෙ ආයෙ විඩයක් අපේ ලංකාව ලාංකිකයන්ටම බාර දුනි…
මේ කතාව පැවැත්වුයේ මීට වසර 73කට පෙර 1948 පෙබරවාරි 4 දා පළමු නිදහස් දා එවකට අගමැති ඩී. එස්. සේනානායක යි.
දිවි තොරතුරු
දොන් ස්පේටර් සේනානායක මීරිගමට නුදුරු බෝතලේ සිටි ධනවත් ව්‍යාපාරිකයෙක්. පොල්වතු විශාල ප්‍රමාණයක් තිබූ ඔහු මිනිරන් පතල් කර්මාන්තයට ද සම්බන්ධ වී සිටියා. එමෙන්ම අරක්කු රේන්ද ව්‍යාපාරයෙන් ද ඔහු මුදල් උපයා තිබෙනවා. රා අරක්කු ව්‍යාපාරය ඔහු පෞද්ගලිකව හෝ හවුල් වශයෙන් කළා විය හැකි බව මහාචාර්ය කේ. එම්. ද සිල්වා සඳහන් කරනවා. මේ ව්‍යාපාර හරහා බලවත් ආර්ථික ශක්තියක් ගොඩනගාගැනීමට දොන් ස්පේටර්ට අවස්ථාව ලැබුණා. ඔහු තමන්ගේ ආර්ථික ශක්තියට ගැලපෙන ලෙස වලව්වක් ද ඉදිකළා. තවත් ධනවත් පෙළපතක් වූ කෙහෙල්ඇල්ල වලව්වේ කැතරින් එළිසබෙත් පෙරේරා ගුණසේකර සමග විවාහපත් වීමෙන් ඔවුන්ට දොන් චාල්ස්, ෆ්‍රෙඩ්රික් රිචඩ්, දොන් ස්ටීවන් යන පුතුන් තිදෙනකු සහ මේරි ෆ්‍රාන්සස් නමින් දියණියක් ද ලැබුණා. නමුත් පසුව ස්පේටර් මෙන්ම ඔහුගේ දරුවන් ද අමද්‍යප ව්‍යාපාරය හා සම්බන්ධ වූ පසු රේන්ද ව්‍යාපාරයෙන් සමුගත් බව යි පේන්නේ.
මේ පවුලේ තුන් වැනි පුතු ලෙස දොන් ස්‌ටීවන් සේනානායක උපත ලැබුවේ 1884 ඔක්‌තෝබර් මස 20 වැනි දින යි. මූලික ඉගෙනුමට ඔහු යවන්නේ මාතලේ ඉංග්‍රීසි පාඨශාලාවට යි. පසුව එවකට ප්‍රභූ පන්තියට සීමා වී තිබුණු ශාන්ත තෝමස් විදුහලට ඇතුළු වී අධ්‍යාපනය ලැබුවා.
ඔහුට ජ්‍යෙෂ්ඨයවත් සමත්වන්නට නොහැකි වූවත් ශාන්ත තෝමස් කොලීජියේ ක්‍රිකට්, මලල ක්‍රීඩා හා පෝලෝ ක්‍රීඩා කණ්ඩායම්වල කැපීපෙනෙන සාමාජිකයෙකු වුණා. පාසල් අධ්‍යාපනය හමාර කළ ඩී.එස්. මිනුම්පති දෙපාර්තුමේන්තුවේ ලිපිකරුවෙකු වශයෙන් වෘත්තීය ජීවිතය ඇරඹුවා. නමුත් ඔහු ටික කලකින්ම එම කාර්යාලයේ සුද්දකු කළ අසාධාරණයකට එරෙහිව එම සුද්දාටත් පහර දී රැකියාවෙන් ඉවත් වූ බව පැවසෙනවා. ඉන් පසු ඔහුගේ සිත ඇදී ගියේ පවුලේ වැවිලි කර්මාන්තයට යි. ඒ අනුව පවුලේ ව්‍යාපාර වූ රබර් සහ පොල් වගාවන්ද, මිනිරන් කර්මාන්තය කෙරෙහි ද තරුණ ඩී. එස්. සම්පූර්ණ කාලය යොදවනු ලැබුවා.
තරුණ වියට පත් ඩී. එස්. වර්ෂ 1910 දී එමිල් මෝඩි දුනුවිල කුමාරිහාමි සමග විවාහ වෙනවා. එම විවාහයෙන් උපදින ඩී. එස්. ගේ වැඩිමහලු පුත්‍රයා වූයේ 1911 ජුනි මස 19 වැනි දින මෙලොව එළිය දුටු ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක යි.
එෆ්. ආර්.ගේ නායකත්වය
ඩී. එස්. ගේ වැඩිමහල් සොහොයුරෙක් වුණේ කේම්බ්‍රිජ් සරසවියේ ඉගෙනගත් අධිනීතිඥ එෆ්. ආර්. සේනානායක යි. ඔහු ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ටත්, රට පුරා තැබෑරුම් පිහිටවීමටත් එරෙහිව ආරම්භ කර තිබූ ප්‍රබල ජාතික ව්‍යාපාරයට නායකත්වය දුන්නා. එම අමද්‍යප ව්‍යාපාරය විශාල පිරිසක් අතර ප්‍රචලිත වුණා. 1911- 1914 කාලයේ තරුණ ඩී. එස්. මෙම ව්‍යාපාරයට එක්වෙමින් රට පුරා සංචාරය කරමින් මහජනතාව දැනුවත් කිරීමට පියවර ගත්තා. ක්‍රියාකාරී දේශපාලනයෙහි අතපොත් තැබීමට ඩී. එස්.ට අවස්‌ථාව සැලසුණේ තම සොහොයුරා සමග මේ ජාතික ව්‍යාපාරයෙහි කටයුතුවලට සහභාගි වීම ඔස්සේ යි. හාපිටිගම් කෝරළයන් ඇරඹුණු අමද්‍යප හඬ රට පුරා රැස්වීම් පවත්වමින් සුරාබදු පනතට එරෙහි උද්ඝෝෂණ රැල්ලක් සේ ව්‍යාප්ත වුණා. එය නිදහස ලබාගැනීමේ උද්ඝෝෂණයක් දක්වා ඇදී ගියා. නැගී එමින් සිටි ජාතික නායකයෙක් වූ එෆ්. ආර්. 1925 දී හදිසි හෘදයාබාධයකින් මියගියේ කිසිවෙක් අපේක්ෂා නොකළ අයුරින්. එවිට ඔහුගේ වයස 44 යි. එෆ්. ආර්ගෙන් හිස්වූ තැන පිරවීමට ඉදිරියට ආවේ බාල සොයුරු ඩී. එස්.
වර්ෂ 1924 දී ව්‍යවස්ථාදායක සභාවට 40 වන වියේ දී ඇතුළුවූ ඩී. එස්. තම වැඩිමහල් සොයුරා වූ එෆ්. ආර්.ගේ මරණින් පසු ඔහුගේ ජාතික නායකත්වය භාරගත් අනුප්‍රාප්තිකයා බවට පත්වූයේ ය. ඔහු එසේ කළේ තමාගේම කොන්දේසි මත ය.
(ඩී. එස්. – මහාචාර්ය කේ. එම්. ද සිල්වා. පරි. කේ. එන්. ඕ. ධර්මදාස)
ලංකා ජාතික සංගමය
අමද්‍යප ව්‍යාපාරයෙන් ලැබූ පන්නරය මත සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන නව ජවයකින් පවත්වාගෙන යාමට ජාතික නායකයන් රාශියක් එකතු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 1918 වර්ෂයේ දී එෆ්. ආර්. සේනානායක, ඩී. එස්. සේනානායක සහෝදරයන්ගේ නායකත්වයෙන් යුතුව ජේම්ස් පීරිස්, පොන්නම්බලම් අරුනාචලම්, එච්. ඒ. පී. සන්දර සාගර, ඊ. වී. රත්නම් ආදී නායකයන්ගේ සහභාගීත්වයෙන් “ලංකා ජාතික සංගමය” ආරම්භ වුණා. මේ දේශීය බුද්ධිමතුන් සහ ධනවතුන්ගේ එකමුතුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ හිසරදය තවත් ඉහළ නැංවූවා. ඡන්ද බලයෙන් මහජන නියෝජිතයන් ව්‍යවස්‌ථාදායක සභාවට පත් කිරීම සම්බන්ධව අධිරාජ්‍යවාදී පාලකයන්ගේ අවධානය යොමුවුණේ ලංකා ජාතික සංගමය විසින් සිදුකරනු ලද උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස යි. වර්ෂ 1924 දී මීගමුව ආසනය නියෝජනය කරමින් ඡන්දයට ඉදිරිපත්වූ ඩී. එස්. ව්‍යවස්‌ථාදායක සභාවට නිතරගයෙන් පත් වුණා.
ඒත් ඩී. එස්.ට අනෙක් බොහෝ දේශපාලනඥයන්ට තිබුණු සුදුසුකම් නම් තිබුණේ නැහැ. එදා ශ්‍රී ලංකා දේශපාලනඥයන් අතර ඉතා ඉහළින් සලකන ලද නීතිඥයකු වශයෙන් හෝ වෛද්‍යවරයකු වශයෙන් හෝ වෘත්තිය සුදුසුකමක් නොතිබීම බරපතළ අඩුවක් ලෙස පෙනෙන්නට තිබුණි. මෙහිදී ඩී. එස්. කළේ තමා ජාතික ව්‍යවස්‌ථාදායක සභාවට ඇතුළු වූ මුල් අවදියේ සිටම කෘෂිකර්මය සම්බන්ධ මෙන්ම මිනිරන් පතල් හා සම්බන්ධ පරිපාලනයෙහි තමාට තිබුණු ප්‍රයෝගික ඥානය හා අත්දැකීම් තම වාසියට හරවාගැනීම යි.
(ඩී. එස්. -මහාචාර්ය කේ. එම්. ද සිල්වා, පරි; කේ. එන්. ඕ. ධර්මදාස)
නැවතත් 1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ පැවති මැතිවරණයෙන් මිනුවන්ගොඩ මන්ත්‍රීවරයා වශයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිතරගයෙන් තේරී පත්වීමට ඩී. එස්.ට අවස්‌ථාව හිමිවුණා. රටේ පළමු ඇමැති මණ්ඩලයේ ඔහුට හිමිවුණේ ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍ය පදවිය යි. වර්ෂ 1931 ඇමති මණ්ඩලයේ සිටි ලාබාලම ඇමැතිවරයා වුණේ 47 හැවිරිදි ඩී. එස්. ඔහු 1931 සිට වසර 17ක්ම ඔහු කෘෂිකර්ම හා ඉඩම් ඇමති ලෙස කටයුතු කළා. පෙර රජ දවස පරාක්‍රමබාහු යුගයට සමාන ලෙස හරිත විප්ලවයක් ඇති කිරීමට ඩී. ඇස්. සේනානායක කටයුතු කළ බව පෙනුණා. මින්නේරිය වැව, පරාක්‍රම සමුද්‍රය ආදී පැරැණි වාරි කර්මාන්තයන් නටබුන්ව ගොස් වනගතව තිබෙන බව ඔහු අවබෝධ කරගත්තේ ඒවා දැකබලා ගැනීමෙන්ම යි. අලි, කොටි, වග වලසුන්ගේ කෙළිබිම් බවට පත්ව තිබුණු ඝන වනාන්තර අතර ගොවි ජනපද බිහිකර කෙත් බිම් බවට හැරවීම ඩී. එස්ගේ සිහිනය වුණා. එම ප්‍රදේශවල ජනාකීර්ණ නගර බිහිකිරීමට කටයුතු කළා. ඔහු මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරය ඇති කළේ 1934 දී යි. ඊට පසු කන්තලේ වැව, ගිරිතලේ වැව, ඇල්ල වැව, පදවිය වැව, කලා වැව, කාගම, කටියාව, මිණිපේ හිගුරක්ගොඩ, ඇළහැර ඇතුළු පෙදෙස් රැසක ගොවි ජනපද බිහි කළා. ඉඟිනියාගල සේනානායක සමුද්‍රය තැනුවේ ගල්ඔය හරස් කර වේල්ලක් බැඳීමෙන්.
එජාපය
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මතවාදවලට කැමති දේශපාලන බලවේගයන්ට අලුත් පාර්ලිමේන්තු ගමනක් යාමට විකල්ප දේශපාලන පක්ෂයක අවශ්‍යතාවක් ඇතිවී තිබුණා. ඩී. එස්. ඇතුළු ලංකා ජාතික සංගමයේ ප්‍රබලයන් රැසක් එකතු වී 1947 දී එක්සත් ජාතික පක්ෂය බිහිකරන්නේ එම සමාජ – දේශපාලන උවමනාව සපුරාලීම සඳහා යි. එම පක්ෂය බිහිවන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ ව්‍යාපාරයට නායකත්වය දුන් ලංකා ජාතික සංගමය, එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායකගේ සිංහල මහා සභාව, සහ මුස්ලිම් සංගමය එකමුතු වීමෙන්. මේ බලවේගය ටික කලකින්ම රට පුරා ප්‍රචලිත වෙනවා.
නිදහස
9 අගමැති ඩී. එස්. නිදහස් ලංකාවේ ඇමැති මණ්ඩලය සමග- wikipedia.org
නිදහසේ අරගලය වෙනුවෙන් ඩී. එස්. ඇතුළු පිරිස කරන ලද කැපකිරීම 1947 ජුනි මස 03 වැනි දින මල්ඵල දැරුවේ එංගලන්තයේ යටත් විජිත කාර්යාංශය විසින් ලංකාවට ස්‌වාධීන පාලනයක් පිරිනමන බව එදින නිවේදනය කිරීමෙන්.
1947 දී පැවැත්වූ මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරග වැදුණේ ඩී. එස්. සේනානායකගේ නායකත්වය යටතේ යි. ඉන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් එජාපය ආණ්ඩුවක් පිහිටවූවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ලෙස ඩී. එස්. වැඩබාරගත්තා. ඒ අතර 1947 නොවැම්බර් මස 21 වැනි දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී “ලංකා ස්‌වාධීනතා පනත” ඒකඡන්දයෙන් සම්මත වුණා.
1947 දෙසැම්බර් මස 10 වැනි දින ලංකා ස්‌වාධීනතා පනතට එංගලන්තයේ රජු විසින් මුද්‍රාව තැබීමෙන් අනුමත කළා. නිදහසේ උණුසුම රට පුරා ඉහළ නැගුණා. 1948 පෙබරවාරි මස 04 වැනි දින ශ්‍රී ලංකාවට ස්‌වාධීනත්වය ලබාදීමේ උත්සවය කොළඹ දී පැවැත්වුණා. එදින බ්‍රිතාන්‍ය කොඩිය පහත් කර සිංහ කොඩිය එසවූයේ අගමැති ඩී. එස්.
ප්‍රථම අගමැති සමුගනී
අගමැති ඩී. එස්. කලක පටන්ම දියවැඩියා රෝගයෙන් පෙළෙමින් සිටියා. නමුත් ඔහු ඉතා වෙහෙස වී රටතොට ඇවිදිමින් සිය රාජකාරි කළා. 1952 වන විට රෝගය නිසා ඔහුගේ හදවත දැඩි සේ දුර්වල වී ඇති බව වෛද්‍යවරු සඳහන් කළා. 1952 මාර්තු 20 බ්‍රහස්පතින්දා කැබිනට් රැස්වීමක් ද ඔහු පැවැත්වූවා. එදින ඇමැතිවරුන්ට දිවා භෝජන සංග්‍රහයක් ද ලබාදුන්නා. ඒ ඔහු තම කැබිනට් මණ්ඩලය හමුවූ අවසන් දිනය යි. පසුදින උදේ ඔහු ගාලු මුවදොර පිටියෙහි අසුපිටින් යද්දී හදිසියේම ඇද වැටුණා. බොහෝ දෙනාට හදිසි අනතුරක් සේ පෙනුණත් මරණයට හේතුව වුණේ හෘදයාබාධයක්.
මුළු රටම අගමැතිවරයාගේ අභාවයෙන් කම්පාවට පත්වුණා. මාර්තු 29 දා නිදහස් චතුරස්‍රයේ අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන්, ඔහු සිංහ කොඩිය එසවූ තැනම ඔහුගේ අවමඟුල පැවැත්වුණා.