හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කළ ජනාධිපති සැල්වදෝර් අයියන්දේ

1973 සැප්තැම්බර් 11 වන දා චිලියේ සන්තියාගෝ අගනුවර ජනාධිපති මන්දිරය හමුදා සෙබළුන් සහ යුධ ටැංකි විසින් වටලනු ලැබුණා. එයට ගුවනින් ද පහර දෙනු ලැබුණා. හමුදාව විසින් බලය අල්ලාගන්නා බව දුටු ජනාධිපති සැල්වදෝර් අයියන්දේ අවසන් වතාවට ගුවන් විදුලිය මඟින් ජාතිය අමතා විනාඩි කිහිපයක කතාවක් පැවැත්වූවා. ඉන් අනතුරුව ජනාධිපති මැදුරෙහි සිට සටන් කරමින් සිටි පිරිසට යටත් වන ලෙස උපදෙස් දුන් අයියන්දේ වෙඩි තබාගෙන සිය දිවි නසාගත්තා.

පසුගිය සියවසෙහි කුප්‍රකට ම හමුදා කුමන්ත්‍රණයක් මේ ආකාරයෙන් අවසන් වුණා. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ සංවිධානය වසර ගණනක් තිස්සේ අයියන්දේ බලයට පත් වීම වැළැක්වීමට සහ බලයට පත් වූ පසු ඔහු නෙරපා හැරීමට කළ උත්සාහයන්හි අවසන් ප්‍රතිඵලය වූයේ ඔහුගේ මරණය යි.

හමුදා කුමන්ත්‍රණය අවස්ථාවේ ලා මොනේඩා ජනාධිපති මැදුර තුළ​. මෙය අයියන්දේ ජීවතුන් අතර සිටිය දී ගත්, දැනට හමුව ඇති අවසන් ඡායාරූපය යි. (Getty Images)

අයියන්දේ ලතින් ඇමෙරිකාවේ ප්‍රකට වූයේ ප්‍රජාතාන්ත්‍රික මාවත ඔස්සේ ජනාධිපති පදවියට පැමිණි පළමු මාක්ස්වාදියා වශයෙන්. නිරවි යුද්ධය පැවති සමයෙහි ලතින් ඇමෙරිකානු රටක නායකත්වයට පත් වීම මාක්ස්වාදියකුට පහසු වූයේ නැහැ. ඊට හේතුව නම් ඇමෙරිකා එක්සත් ජනපදය හැකි සෑම අවස්ථාවක ම එවන් උත්සාහයන් හොඳින් හෝ නරකින් මැඩ පැවැත්වීමට උත්සාහ කිරීම යි. 19 වන සියවස මුල් කාලයේ ජනාධිපති මොන්රෝ විසින් ප්‍රකාශයට පත් කරන ලද මොන්රෝ ධර්මය අනුව ඇමෙරිකානුවන් ලතින් ඇමෙරිකාව දුටුවේ තම පෞද්ගලික ආරක්ෂාව යටතේ පවතින​ කලාපයක් වශයෙන්. එම නිසා එම කලාපයේ තමන්ට අහිතවත් පාලකයන් බිහි වීම ඇමෙරිකාවට කිසි ලෙසකින් හෝ රිස්සුවේ නැහැ.

ප්‍රතිසංස්කරණවාදී පසුබිම

අයියන්දේ උපන්නේ 1908 දී චිලියේ සන්තියාගෝ අගනුවර ඉහළ මධ්‍යම පාන්තික පවුලක යි. අයියන්දේගේ ඥාතීන් කලක් තිස්සේ ලිබරල් සහ ප්‍රගතිශීලී දේශපාලනයේ නිරත වූවන් වුණා.

අයියන්දේ 1933 දී චිලී විශ්වවිද්‍යාලයෙන් සිය වෛද්‍ය උපාධිය අවසන් කළා. එම වසරේ දී ම ඔහු චිලී සමාජවාදී පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු බවටත් පත් වුණා. කෙටි කලෙකින් ම එම පක්ෂය චිලියේ ප්‍රධානම දේශපාලන පක්ෂයක් ලෙස කැපී පෙනෙන්නට වුණා.

වාමාංශික දේශපාලනය

1938 වසරේ සමාජවාදී පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවාගත් වාමාංශික සන්ධානයක් වූ මහජන පෙරමුණෙහි ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස අයියන්දේ කැපී පෙනුණා. එම වසරේ මහජන පෙරමුණු අපේක්ෂකයා ජනාධිපතිවරණය​ ජයගත් අතර අයියන්දේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත් වුණා.

අයියන්දේ 1945 සිට චිලී සෙනට් සභාව නියෝජනය කළා. මේ අතර ඔහු 1952, 1958 සහ 1964 ජනාධිපතිවරණ සඳහා ද ඉදිරිපත් ව පරාජයට පත් වුණා. 1952 දී ඔහුට ලැබුණේ 5.5%ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. වාමාංශික ඡන්ද කැඩී යාම ඊට හේතු වුණා. 1958 සහ​ 1964 ජනාධිපතිවරණයන් හි ඔහු දෙවන ස්ථානයට පත් වුණා.

මෙයින් 1964 මැතිවරණය අයියන්දේගේ දේශපාලනයට බාධා කිරීම සඳහා CIA සංවිධානය කටයුතු කළ මුල් අවස්ථාවක් වනවා. මෙහි දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන දක්ෂිනාංශික අපේක්ෂකයා වූ එදුවාර්දෝ ෆ්‍රෙයි ජයග්‍රහණය කරවීම සඳහා CIA සංවිධානය මුදල් යෙදවූ බව සඳහන්. එම ජනාධිපතිවරණයේ දී ෆ්‍රෙයි 56%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජයගත්තා.

1970 ජනාධිපතිවරණය​

1970 චිලී ජනාධිපතිවරණය පවත්වන ලද්දේ සැප්තැම්බර් 4 වන දා යි. එහි දී අපේක්ෂකයන් තිදෙනෙකු තරග කළා. සමාජවාදී පක්ෂයේ සැල්වදෝර් අයියන්දේ “මහජන එකමුතුව​” නම් වූ සන්ධානය යටතේ තරග කළා. මෙම සන්ධානයට සමාජවාදී පක්ෂය​, කොමියුනිස්ට් පක්ෂය​, රැඩිකල් පක්ෂය ආදී වාමාංශික පක්ෂ කිහිපයක් අයත් වුණා. ඔවුන් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අතර රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කිරීම සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ආදිය ඇතුළත් වුණා. එහෙයින් රටේ ධනවත් පන්තිය මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය ද අයියන්දේගේ ජයග්‍රහණය අපේක්ෂා කළේ නැහැ.

මේ අතර හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් අලෙසාන්ද්‍රි ප්‍රධාන දක්ෂිනාංශික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණා. ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉදිරිපත් වූයේ රොදොමිරෝ ටොමිච්.

මෙම ජනාධිපතිවරණයෙන් අයියන්දේ 36.6%ක ඡන්ද ලබාගත්තා. අලෙසාන්ද්‍රිට 35.3%ක් ද, ටොමිච් 28.1%ක් ද ඡන්ද ලබාගත්තා.

ෆිදෙල් කැස්ත්‍රෝ සමග (Getty Images)

මෙකල චිලී ජනාධිපතිවරණ නීතිය අනුව කිසිදු අපේක්ෂකයකු 50%ක් ඉක්මවා ඡන්ද ලබාගත්තේ නැති නම් චිලී පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී සභාව සහ සෙනට් සභාව නියෝජනය කරන මන්ත්‍රීන් එක්ව මීළඟ ජනාධිපතිවරයා තෝරාගත යුතු ව තිබුණා. මෙකල මහජන එකමුතුවේ ප්‍රධාන පක්ෂ තුනට සෙනට් මණ්ඩලයේ ආසන 50 න් 20ක් සහ පහළ මන්ත්‍රී මණ්ඩල ආසන 150 න් 63ක් හිමි ව තිබුණා. ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන්ට සෙනට් ආසන 23ක් සහ පහළ මන්ත්‍රී මණ්ඩල ආසන 56ක් හිමි ව තිබුණා.

මේ අවස්ථාවේ ඇමෙරිකාවේ CIA සංවිධානය යළිත් ක්‍රියාත්මක වූයේ අයියන්දේ ජනාධිපති ලෙස තෝරා පත්කර ගැනීම වළකාලීමට යි. කෙසේ නමුත් අයියන්දේ සහ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රිකයන් අතර වූ එකඟත්වයක් මත එම පක්ෂය ඔහුට සහය දීමට එකඟ වුණා. ඒ අනුව සිය ප්‍රතිසංස්කරණ මඟින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය නොකරන බවට අයියන්දේ ප්‍රතිඥා දුන්නා.

මෙසේ චිලී පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කර ගත් අයියන්දේ 1970 නොවැම්බර් 3 වන දා එරට ජනාධිපති ලෙස ධූරයේ වැඩ බාර ගත්තා.

කුමන්ත්‍රණය​

අයියන් දේ බලයට පැමිණි පසු චිලී රටේ තඹ කර්මාන්තය සහ බැංකු ආදී ආර්ථික මර්මස්ථාන ජනසතු කිරීම සහ ඉඩම් ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම සිදු වුණා. ඉඩම් ප්‍රතිසංස්කරණ ඔහුට පෙර පාලනය විසින් ද ක්‍රියාවට නැගූ නමුත් ඔහුගේ පාලනය විසින් එය වඩා තීව්‍ර ලෙස ක්‍රියාත්මක කළා. මේ අනුව එක් අයෙකුට අයත් විය හැකි ඉඩම් ප්‍රමාණය සීමා කෙරුණා. මේ අතර අධ්‍යාපනය ද පුළුල් කෙරුණ අතර සාක්ෂරතාව වර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශයන් හි ක්‍රියාත්මක කළා.

ඔහුගේ කටයුතු දේශීය ධනපතීන් සහ ඇමෙරිකානු සමාගම් කෝප ගැන්වීමට සමත් වුණා. මේ අනුව මුල් කාලයේ පටන්ම ඇමෙරිකාවේ රිචර්ඩ් නික්සන් පාලනය අයියන්දේ අපහසුතාවට පත් කිරීමට හැකි සියල්ල ම සිදු කළා. මේ අනුව විරුද්ධවාදීන් විසින් වැඩවර්ජන ආදියෙන් රට අකර්මණ්‍ය කරවීමට හැකි සියල්ල සිදු කළ අතර විපක්ෂ කණ්ඩායම්වලට ඇතැම් විට ඇමෙරිකානු ආධාර ද ලැබුණා.

1973 ජූනි 29 වන දා චිලී හමුදාවේ කර්නල්වරයෙකු වූ රොබර්තෝ සවුපර් සිය යුධ ටැංකි රෙජිමේන්තුව සමග ජනාධිපති මැදුර වැටලීමට කටයුතු කළත් ඔහුගේ බලය අල්ලාගැනීමේ උත්සාහය අසාර්ථක වුණා. මේ අතර රටෙහි ව්‍යවස්ථාමය අර්බුදයක් මතු වූයේ අයියන්දේගේ ජනසතු කිරීම් ආදී ඇතැම් ප්‍රතිපත්තිවලට එරෙහිව පාර්ලිමේන්තුව නීති සම්මත කිරීමට කටයුතු කිරීමෙන්. මේ අතර රටෙහි ආර්ථික තත්ත්වය ද පහළ වැටෙමින් තිබුණා.

හමුදා කුමන්ත්‍රණයෙන් පසු පිනෝචේ (වමේ) සන්තියාගෝ අගනුවර (Getty Images)

අයියන්දේට එරෙහි මීළඟ හමුදා කුමන්ත්‍රණය දියත් වුණේ 1973 සැප්තැම්බර් 11 වන දා යි. එහි දී ඊට සති කිහිපයකට පෙර හමුදාපති ලෙස පත් වූ ඔගස්ටෝ පිනෝචේ ඇතුළු සන්නද්ධ අංශයන් එදින රටෙහි බලය අල්ලාගත්තා. ඔවුන් ජනාධිපති මැදුර වටලා ඊට පහර දුන් අතර එහි වූ අයියන්දේ ඇතුළු පිරිස යටත් නොවූ තැන ඊට ගුවනින් ද පහර දුන්නා.

තමන්ට බලය අහිමි වන බව තේරුම් ගත් අයියන්දේ ගුවන් විදුලිය හරහා ජාතිය ඇමතුවා. ද්‍රෝහීකම් රජයන මෙම අඳුරු අවස්ථාවන් අභිබවමින් වෙනත් මිනිසුන් නැගී සිටිනු ඇති බවට ඔහු එහි දී බලාපොරොත්තු පළ කළේ තමන් ජනතාව අමතන අවසන් අවස්ථාව මෙය බව ප්‍රකාශ කරමින්. ඉන් අනතුරුව සිය සගයින්ට යටත් වීමට උපදෙස් දුන් ඔහු ඇතුළත කාමරයකට ගොස් වෙඩි තබාගෙන දිවි තොර කරගත්තා.

අයියන්දේගේ මරණය පිළිබඳ විවිධ මතයන් තිබුණ ද 2011 දී කරන ලද පරීක්ෂණයක් අනුව ඔහු වෙඩි තබාගෙන මිය ගිය බව සනාථ වුණා. ඔහුගේ එක් දියණියක වන ඉසබෙල් අයියන්දේ බුස්සි (ප්‍රකට නවකතාකාරිය නොවේ. ඇය ඥාතිත්වයෙන් ඔහුගේ ලේලියකි) ප්‍රකාශ කළේ සිය පවුල ඔහු දිවි නසාගත් බව මුල පටන් විශ්වාස කළ බව යි.

මරණින් පසු

අයියන්දේගේ මරණින් පසු චිලී රාජ්‍යය 17 වසරක හමුදා පාලනයකට නතුව තිබුණා. විශේෂයෙන් ම කුමන්ත්‍රණය සිදු වූ මුල් කාලයේ වාමාංශිකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන දහස් ගණන් ඝාතනය කෙරුණා. 1990 දී පිනෝචේ පාලනය බිඳ වැටුණා. වර්තමානයේ ද පිනෝචේ පාලනය යටතේ වූ ඝාතන පිළිබඳ විවිධ විවාදයන් පවතින අතර චිලී දේශපාලනයේ කළු පැල්ලමක් ලෙස එය සලකනු ලබනවා. මේ අතර අයියන්දේගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ සමාජවාදී පක්ෂය අද වනවිට රටෙහි ප්‍රධාන දේශපාලන පක්ෂයක් වෙනවා.

Cover Image: අයියන්දේ (ntelemicro.com)

Related Articles

Exit mobile version