මේ මොහොතේ ඇත්තට ම “මේක සොඳුරු ලෝකයක්” ද?

අද අපි කතා කරන්න හිතුවේ ළමා ගීත ඔස්සේ දිගු ඉතිහාසයකට උරුමකම් කියමින්, කෙටි කාලයකින් බොහෝ වැඩ කොටසක් එක්ක පවතින නමක් හදාගත්තු හර්ෂණ දිසානායක සමග යි. ඉතින්, ‘ඉරෙන් හඳෙන් එළිය අරන්’ ආපු හර්ෂණගේ ජීවිතේ “ඇතුල් පිටු” පෙරළුණේ මෙන්න මෙහෙම යි.

හර්ෂණ දිසානායක ව බහුතරයක් දෙනා අඳුරගන්නේ “සූරිය අරණ” චිත්‍රපටයෙන්නෙ. ඒ නිසා අපි, “ඉරෙන් හඳෙන් එළිය අරන්” ආපු ඔබේ අතීතයෙන් කතාව පටන් ගමු නේද?

අතීතය ගැන මෙනෙහි කළෝතින්, මං වචන ගළපාගන්න පුළුවන් කාලේ ඉඳන් ම ගීත වැනි දෑ මුමුණන්න ගත්තා කියලා තමයි අම්මා, තාත්තා ඇතුළු ගෙදර උදවිය කියන්නේ. මොකද මගේ අම්මා, තාත්තා පවා සංගීත ගුරුවරු දෙන්නෙක්. මගේ අම්මා නමින් එදිරිසිංහ මැණිකේ හේරත්. තාත්තා, ජයතිලක දිසානායක. ඉතින් අම්මා, තාත්තාගෙන් මට ලැබුණු ඒ දායාදය ගැන වටිනාකමක් මට තාම අකුරු කරගන්න බෑ. මොකද එතනින් තමා මං ගොඩනැඟෙන්නෙ. මං විශ්වාස කරන විදිහට මට ඔවුන් දේපළ තරම් තාම ගීත ගායනා කරගන්න බෑ. ඒකට හේතුව, එයාලට අපිට වගේ අවස්ථාවක්, වටපිටාවක්, පහසුකම් තිබුණේ නෑ ඒ කාලේ හැටියට එයාලගේ දක්ෂතා රටට, ලෝකෙට පෙන්වන්න. හැබැයි, අදටත් අපි ගාව නැති බොහොම සියුම්, හැඟීම්බර සහ ශාස්ත්‍රීය තාක්ෂණයක්, සංයමයක් ඒ මිනිස්සු ගාව තිබුණා. අනික, අපේ අත්තම්මලාගේ ඉඳන් ම එයාලා මේ කවිය, ගීතය, සොබාදහම, ආගම දහම එක්ක තිබුණේ මහා මොකද්දෝ අමුතු සුන්දර බැඳීමක්. ඉතින් ඒ දේවල් එක්ක ඉඳලා මං මගේ පළවෙනි ගුවන්විදුලි ගීතය පටිගත කරනවා. ඒ තමයි “අත්තම්මා නිවන් ගිහින්” කියන ගීතය. අවාසනාවකට මං ඒ ගීතය කියද්දී මගේ අත්තම්මා අපෙන් හුඟාක් ඈතට ගිහින් ශාරීරික ව. ඉතින් අතීතය ගැන බොහෝ දේ තියෙනවා කතා කරන්න. ඔතැනින් තමයි මං ක්‍ෂේත්‍රයට එන්නෙ.

හර්ෂණ දිසානායක කුඩා කාලයේ දී (facebook.com/harshanadissan)

ඔබට ඒ ගමනේ දී අත්වැල සපයපු අය ගැන මතක් කළොත්?

මගේ මුල් ගීත බොහොමයක් රචනා කරන්නේ මගේ බාප්පා සෝමතිලක දිසානායකත්, මගේ මහප්පා සෝමරත්න දිසානායකත්, සහ මගේ ගුරුතුමා සුනිල් දයානන්ද කෝනාර. මගේ ඒ පළමු ගීතය “අත්තම්මා නිවන් ගිහින්” රචනා කළේ මගේ බාප්පා. තනුව මගේ තාත්තාගේ. සංගීතවත් කළේ රෝහණ වීරසිංහයන්. අන්න ඒ අය එක්ක, ඔන්න ඔතනින් තමයි මේ ගමන පටන් ගන්නේ.

හර්ෂණ තමන්ගේ ම කියලා යම්කිසි දැනෙන වැඩක් කරමින්, හීන් සීරුවේ, බොහොම සංයමයකින් ගමනක් යනවා අපිට පේනවා. ඉතින් මට අහන්න හිතුණා මෙහෙම ප්‍රශ්නයක්. වර්තමාන “රියැලිටිකරණය” ගැන ඔබේ අවංක අදහස?

මුලින්ම මෙහෙම කියන්න ඕනි. මං කිසිම දෙයක වැරැද්දම දකින කෙනෙක් නෙමෙයි. බොහොම මැදිහත්ව හිතන පතන, වැඩ කරන කෙනෙක්. රියැලිටිකරණය තුළ වාසි සහ අවාසි කියන පැති දෙකම තියෙනවා. මොකද අපිට පේනවා රියැලිටි තරගවලින් පවා එන සමහර අය තමන්ගේ ගමන හරි තැනින් අල්ලාගෙන ගමනක් යනවා. නමුත්, ඔය රියැලිටි තරග කරන බොහෝ ආයතනවල ප්‍රධාන අරමුණ තමා එම ආයතයේ අලෙවි ප්‍රවර්ධනය සහ වානිජකරණ ප්‍රතිලාභයන් පමණයි. ඒ අරමුණෙන් පසුව ඔවුන් හිතනවා ඒ තරගකරුවන්ට, ගායකයන්ට යම්කිසි සාධාරණයක් කළ යුතුයි, වටිනාකමක් දිය යුතුයි කියලා. දැන් ඔය තරගවලට ගොඩක් ම සම්බන්ධ වෙන්නේ ලංකාවේ හතර දිග්භාගයේ ම ඉන්න තරුණ අයනේ. ඉතින් ඒ අයට වේදිකාවක් තනලා, ලොකු වටපිටවක එයාලව හසුරවලා, රටට ලෝකයට එයාලගේ දක්ෂතා ප්‍රචාරය කරලා කියන මෙන්න මේ වැඩේ වෙන්න ඕනි කියලා මං හිතනවා. මොකද එහෙම තැනකට අවොත් තමයි ඒ අයට ඉදිරියේ දී ජාත්‍යන්තර ව පවා ගමනක් යන්න පුළුවන් වෙන්නේ. හැබැයි, ඒ ගමන පැහැදිලි ඉදිරිගාමී වැඩක් වෙන්න ඕනි.

දැන් මෙහෙම හිතන්නකෝ… කන්දක් උඩට මනුස්සයෙක් ව චොපර් එකකින් අරන් ගිහින් අතහැරියොත්, ඒ මනුස්සයට එතැනදී ලොකු පුළුල් පරාසයක් පෙනෙයි, බොහොම සුන්දර දර්ශන පෙනෙයි, ලොකු ආශ්වාදයක් තියෙයි. නමුත්, කරුවල වෙලා රෑට බැහැගන්න වුණොත්, බැහැගන්න පුළුවන් වේවි ද?

රියැලිටිකරණය තුළ ඔන්න ඔය දේ ද වෙන්නේ කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අනික් ප්‍රධාන ම ඛේදවාචකය තමයි මේ ළමා රියැලිටි තරග. අම්මලා පවා එතනට හසුවෙලා ඉවරයි. එතැනදී අපිට පැහැදිලි ව පේනවා මීඩියාවලින් මේ දරුවන් ව භාවිතා කරන හැටි. ඔන්න ඔතන තමයි අනතුරුදායක. රටේ උගත්, බුද්ධිමත් ප්‍රජාව පවා මේ ගැන කතිකාවතක් ගොඩනඟන්නේ නෑ. මොකද ඒ අයට ඊට වඩා ප්‍රශ්න තියෙනවා මේ සිස්ටම් එක ඇතුළේ. ඔන්න ඕකයි තත්ත්වේ.

හර්ෂණ දිසානායක (facebook.com/harshanadissan)

මේ වෙද්දී ලංකාවේ පවතින “ජනප්‍රිය සංගීතය” ගැන ඔබේ දැක්ම?

ඔය මාතෘකාව ගැන කතා කරද්දීත් අපිට පැති කිහිපයක් දිහා ම බලන්න වෙනවා. විහිදිච්ච කාරණාවක් ඕක. අපි ග්‍රැමෆෝන් යුගයේ ඉඳන් බැලුවොත් ග්‍රැමෆෝන් ගීත, ගුවන් විදුලි සංස්ථාවෙන් බිහිවුණ ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්තයන්, එතනින් එහාට ගත්තොත් පණ්ඩිත් අමරදේව මාස්ටර්, කේමදාස මාස්ටර්, ජෝතිපාල, ක්ලැරන්ස් විජේවර්ධන, රූකාන්ත ගුණතිලක, සහ වර්තමානයේ කසුන් කල්හාර. අන්න ඒ ගොල්ලෝ ලෙජන්ඩ්ස්ලා. මොකද දන්නවද මං එහෙම කියන්නේ?

ඒ අයගේ නිර්මාණවල තිබුණා අනන්‍යතාවයක්. ඒ නිර්මාණවල තිබුණා හරි පිරුණු ස්වභාවයක්. කොටින්ම කිව්වොත් ඒ නිර්මාණවලට එකතු කරන්න දෙයක්වත්, අඩු කරන්න දෙයක්වත් නෑ. එකනේ ඔය රියැලිටි තරගාවල, සජීවී සංගීත ප්‍රසංගවල පවා ගයනා කරන්නේ අදටත් ඔය අයගේ ගීතනේ. ඔන්න ඔහොම ආපු ගමන අපිට කොහේදී හරි වැරදුණා මේ නුතනය වෙනකොට.

දැන් එන හුගක් ගීතවල පද රචනා, සංගීත සංයෝජන හරි බාල, හරිම බොළඳ, භාවාත්මක නොවන මොකද්දෝ විකෘතියක් තියෙනව කියලා මට හිතෙනවා. මොකද, අපි සංගීතය හදාරන නිසා සාමාන්‍ය ජනතාවට දැනෙනවට වඩා තදින් අපිට ඒ අර්බුධය දැනෙනවා. ඕකට මෙන්න මෙහෙම දෙයකුත් බලපෑවදෝ කියලත් මට හිතෙනවා. මොකද්ද දන්නවද? දැන් ඔය ගම්බද ව වෙසෙන, ගමෙන් නගරයට ඇවිත් අතිශය සාමාන්‍ය ජීවිත ගත කරන, ජීවිතයේ කටුකත්වය විඳින ඔය හුඟක් සාමාන්‍ය මිනිස්සු ගීතයක යටිපෙළ ගැන ඒ හැටිම හිතන්නේ, බලන්නේ නෑනේ සිංදු ඇහුවට. ඉතින් මේ දැන් ඔය රැල්ලට, රිගින් ටෝන්, එහෙමත් නැත්නම් ආර්ථික අරමුණු වෙනුවෙන් ගීත නිර්මාණය කරන අය ඔන්න ඕක අල්ලගත්තා හරි භයානක විදියට. මං දැක්කා මේ එක්කෙනෙක් කියලා තියෙනවා එයා BMW කාර් පවා අරන් තියෙන්නේ සිංදු ලියලා කියලා. ඉතින් හිතන්නකෝ…

ඉතින් ජනප්‍රිය සංගීතය ගත්තා ම එහෙව් කොට්ඨාසයක් වෙන ම ඉන්නවා. අර අඬන සිංදු කියන්නේ. අතිඋච්ඡ ස්වරවල ගීත ගයනා කළා ම ඒක මාර වැඩක් කියලා හිතන පිරිස් ඉන්නේ. මං මේ හරි කණගාටුවෙන් කතා කරන්නේ. මොකද මං කැමති නෑ කිසිම කෙනෙක්ට දොස් පවරන්න. හැබැයි, තව පැත්තකින් මේ වෙද්දී හරිම නිර්මාණශීලි, ගවේෂණාත්මක, වෙනස්, ඉතාම හොඳ මට්ටමේ තියෙන ගීත බිහිවෙමින් තියෙනවා තවත් කොට්ඨාසයකින්. අන්න ඒක සතුටු විය හැකි සාධනීය කාරණාවක්. ඉතින් දැන් දැන් යූටියුබ්වල පවා ට්‍රෙන්ඩින් වෙන මේ කිව්ව ජාතියේ ගීත ඇත්තට ම යම්කිසි රහක් තියෙන ගීත. අර අපි කලින් කියපු රටාව බිඳගෙන දැනෙන බලපෑමක් කරමින් ඒ අය අලුත් වටයකින් එන බව මට දැනිලා තියෙනවා. අපි නම් වශයෙන් ගත්තොත් පද රචනා පැත්තෙන් අසංක රුවන් සාගර, රවී සිරිවර්ධන, සුගත් සෝමවීර වගේ තව කිහිදෙනෙක් ඉන්නවා ඉතා ගුණාත්මක නිර්මාණ කරන. සංගීත සංයෝජනය පැත්තෙන් ගත්තොත් දර්ශන රුවන් දිසානායක, දර්ශන වික්‍රමතුංග, අරුණ ගුණවර්ධන වගේ තවත් කිහිපදෙනෙක් එහෙම දැනෙන වැඩ ටිකක් කරමින් ඉන්නවා. අන්න ඒක ඉතා හොඳ ප්‍රවණතාවයක් කියලා පෞද්ගලික ව මං විශ්වාස කරනවා.

හර්ෂණ දිසානායක (facebook.com/harshanadissan)

අපි සංගීතයෙන් පොඩ්ඩකට මෙහාට ඇවිත් මේ සමාජය, දේශපාලනය දිහා බැලුවොත්, මේ මොහොතේ ඇත්තට ම “මේක සොඳුරු ලෝකයක්” ද?

අපෝ කොහෙත්ම නෑ. පේනවනේ මේ දවස්වල වෙන දේවල්. ලෝකේ තියෙන අනෙකුත් දියුණු රටවල් එක්ක බැලුවා ම අපේ රටේ මිනිස්සු කොච්චර නම් අසරණ ද කියලා හිතෙන තරමට දැන් සිද්ධ වෙන්න ඕනි දේවල් වෙලා ඉවරයි. ඉතින් උදා වෙලා තියෙන වත්මන් තත්ත්වය අපේ මිනිස්සුන්ට ඒක තේරුම්ගන්න තියෙන හොඳම, ප්‍රමාණවත් මොහොතක්. එහෙන් මෙහෙට පයිනවා, මෙහෙන් එහෙට පයිනවා.

විද්‍යාව, තාක්ෂණය පවා මේ තරම් දියුණු වෙලා තියෙන මොහොතකත් ඇයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ? ලංකාව මෙහෙම පහතට වැටෙන්න ඕනි රටක් නෙමෙයි. ඕනි තරම් සම්පත් මේ රටේ තියෙනවා. එහෙනම් ඇයි මෙහෙම වෙන්නේ? ඒ හැමදේටම අඩුවැඩි වශයෙන් බලපාන්නේ ඔය කියන මේ මොහොතේ පවතින දේශපාලන අඳුර තමයි. මේ මොහොතේ ලංකාවේ “සැබෑ දේශපාලනයක්” නැහැ. මං හිතන්නේ මේ වෙද්දී “ලංකා දේශපාලනය” කියන එක තේරුම්ගන්න කුඩා දරුවෙකුට වුණත් ඒ හැටි අමාරුවක් නෑ. යුග ගණන් පහු කරමින් ආපු දේශපාලනය මේ වෙද්දී පක්ෂ කිහිපයකට බෙදිලා, ඒ පක්ෂ ඇතුළේ අපේ සුළු ජාතීනුත් බෙදිලා.

රටේ මහජනතාවගේ සල්ලි මිලියන 25ක් දවසට පාර්ලිමේන්තුවට වැය කරනවා. ඇයි මේ තරම් මුදල් නිකන් නාස්ති කරන්නේ මේ කාලය කන වැඩකට. ඔය මිලියන 25 එක දවසකට ගිහින් අර අනුරාධපුර වගේ පිටිසර දුෂ්කර පළාත්වල පාසලකට, කන්න බොන්න නැති මිනිස්සුන්ට දුන්නා නම් හෙණ ගහනවා ද? නෑ නේ. ඔය එක දෙයක් විතරයි, තව බොහෝ දේ මේ වත්මන් දේශපාලනය ඇතුළේ අවභාවිතය වෙමින් තියෙනවා. මං මීට වඩා දේශපාලනය ගැන කතා කරන්න කැමති නෑ. මං පෞද්ගලිකව දේශපාලනය අප්‍රිය කෙනෙක්. මොකද, මේ මොහොතේ ලංකාවේ “සැබෑ දේශපාලනයක්” නැති නිසා.

හර්ෂණ දිසානායක (facebook.com/harshanadissan)

සංගීතයෙන් ඔය කියන වත්මන් සමාජයට මැදිහත්වීමක්, සමාජයීය බලපෑමක් කරන්න පුළුවන් ද? සංගීතය ඇතුළේ එහෙම සමාජ වගකීමක් තියෙනවා ද?

අපෝ ඔව්, අනිවාර්යෙන් ම පුළුවන් හරියට කළොත්. දැන් අපි කල්පනා කළොත්, ඉස්සර රූපවාහිනී තිබුණේ නෑනේ. තිබුණේ ගුවන්විදුලි විතරයි. ඊටත් කලින් ඔය නාඩගම්, නුර්ති, නාට්‍ය, කෝලම් ඔය වගේ දේවල්නේ තිබුණේ. ඉතින් ඕවා තුළින් තමයි ඒ කාලේ මිනිස්සු සමාජය ආමන්ත්‍රණය කළේ. සමාජයේ පැවතුණු බොහෝ දේ ගැන ඒ නිර්මාණ ඔස්සේ සමාජයට මුදාහැරියා. එහෙම නම්, මේ තරම් තැනකට දියුණුවෙලා තියෙන සංගීතයෙන් ඇයි සමාජයට බලපෑමක් කරන්න බැරි? එහෙම වගකීමක්, බරක් සංගීතය තුළත් තියෙනවා. හරියට සිදුකරන සංගීත නිර්මාණයකින් මිනිස්සුන්ට යම් පණිවිඩයක් ගෙන යන්න පුළුවන්.

ආයෙත් අපි කතාබහ කරන්න හමුවෙන තුරු මේ කියපු දේවල්වලින් ඔබ්බට යමක් කියන්න තියේ නම් සහෘදයන් වෙනුවෙන්, මේ ඒ වෙනුවෙන් ඉඩක්.

මගේ මීළඟ ප්‍රසංගය ජනවාරි මාසයේ දී කුරුණෑගල දී පැවැත්වෙනවා. ඉන් ඉදිරියටත් දිගටම වෙනස් වැඩ ටිකක් එක්ක, ප්‍රසංග එක්ක මං මගේ සහෘදයන්ව හමුවෙන්න සුදානමින් ඉන්නවා. තව අලුත් නිර්මාණ කිහිපයකුත් එළිදක්වන්න නියමිතව තියෙනවා. මේ වෙනකොටත් මං අලුත් නිර්මාණත්, පරණ නිර්මාණත් එක්ක ගීත 300කට අධික ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා. ඉතින් අධ්‍යයන කටයුතුත් කරන ගමන් දිගට ම වැඩ එක්ක ඉන්න තමයි බලාපොරොත්තුව. 071-6540966 දුරකතනයෙන් මාව ප්‍රසංගවලට සම්බන්ද කරගන්න පුළුවන්. ‘Roar- සිංහල’ කණ්ඩායමේ සියලුම දෙනාට ස්තූති වෙනගමන් ම, අපි නැවත හමුවෙමු කියලා තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.

 

කවරයේ පින්තූරය: facebook.com/harshanadissan

Related Articles

Exit mobile version