නැපෝලියන් අධිරාජ්‍යයා ශාන්ත හෙලේනාවේ ගතකළ පාළු ජීවිතය

1769 දී, මධ්‍යධරණී මුහුදේ දූපතක් වන කෝර්සිකාවේ උපත ලැබූ නැපෝලියන් බොනපාට්, ප්‍රංශයේ හමුදාවේ නිලයන් හරහා උසස්වීම් ලබමින්, තමා දක්ෂ සහ නිර්භීත නායකයෙකු බව ඔප්පු කළ තැනැත්තෙක්. වර්ෂ 1799 දී කොන්සල් පදවියට පත්වූ නැපෝලියන් බොනපාට්, ප්‍රංශයේ ප්‍රමුඛ දේශපාලන චරිතය බවට පත්වුණා. 1804 දී ප්‍රංශයේ අධිරාජයා ලෙස ඔටුනු පැළඳීමෙන් පසු නැපෝලියන්ගේ නායකත්වය යටතේ ප්‍රංශය, යුරෝපීය ජාතීන්ගේ විවිධ සන්ධානවලට එරෙහිව සාර්ථක සටන් මාලාවක නිරත වුණා. එහි ප්‍රතිඵලය ලෙස ප්‍රංශ අධිරාජ්‍යය බටහිර හා මධ්‍යම යුරෝපයේ බොහෝ ප්‍රදේශ පුරා ව්‍යාප්ත වුණා.

නැපෝලියන් අධිරාජයා ගැන මේ ලිපියෙන් කියවන්න: මහා ප්‍රංශ අධිරාජයා: නැපෝලියන්

නැපෝලියන් බොනපාට් අධිරාජයා සම්බන්ධ තොරතුරු සෙවීමේ දී ඔහුගේ යුධමය සහ දේශපාලන ක්‍රියාකාරකම් ගැන බොහෝ දෙනෙක් උනන්දු වෙනවා. නමුත් මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ ඔහුගේ ජීවිතයේ අප්‍රකට කාල වකවානුවක් පිළිබඳව යි. නැපෝලියන් අධිරාජයාගේ අවසාන ඉරණම විසඳෙන්නේ වෝට(ර්)ලූ සටනේ අවසානයත් සමග යි. එයින් පසු ඔහු “ශාන්ත හෙලේනා” නම් ඉතා දුරස්ථ, පාළු දූපතකට පිටුවහල් කරනවා. පිටුවහල් ජීවිතය නැපෝලියන් අධිරාජයා ගත කළේ කොහොම ද? මේ ලිපිය ඒ ගැන යි. 

නැපෝලියන් අධිරාජ්‍යයා සිය අවසාන කාලය ගත කළ ශාන්ත හෙලේනාවේ ලෝන්ග්වූඩ් නිවස/afar.com/

 ඉරණම විසඳුණු වෝට(ර්)ලූ සටන

1812 දී නැපෝලියන්ගේ නායකත්වයෙන් රුසියාව ආක්‍රමණය කිරීමේ ප්‍රයත්නය අසාර්ථක වුණා. අවසානයේ දී ඔහුගේ හමුදාව පසුබැසීමට තීරණය කළ අතර, ප්‍රංශ බලමුළුවට විශාල හානි සිදුවුණා. ඒ අතරම, ස්පාඤ්ඤ සහ පෘතුගාල හමුදාව බ්‍රිතාන්‍යයෙන් සහයෝගය ලබා නැපෝලියන්ගේ හමුදාව අයිබීරියානු අර්ධද්වීපයේ දී  පරාජයට පත් කළා. 1813 දී ජාතීන්ගේ සටන (ලයිප්සීග් සටන) ලෙස හැඳින්වෙන යුද්ධයේ දී ඔස්ට්‍රියානු, ප්‍රෂියානු, රුසියානු, සහ ස්වීඩන් යන ඒකාබද්ධ හමුදාව ඉදිරියේ නැවතත් නැපෝලියන් ප්‍රමුඛ ප්‍රංශ හමුදාව පරාජයට පත්වුණා. නැපෝලියන් ප්‍රමුඛ හමුදාව ඒ අනුව ප්‍රංශයට පසුබට අතර, 1814 මාර්තු මාසයේ දී ඒකාබද්ධ හමුදාව පැරීසිය අල්ලා ගත්තා.

නැපෝලියන් අධිරාජයාගේ රුසියානු ආක්‍රමණය ගැන මේ ලිපියෙන් කියවන්නට හැකියි: නැපෝලියන් විනාශයට පත් වූ, රුසියානු ආක්‍රමණය

මහා නැපෝලියන් බොනපාට්/Britannica

ඒ වනවිට හතළිස් හැවිරිදි වියේ පසුවූ නැපෝලියන් අධිරාජයා හට බලය අතහැරීමට බලපෑම් එල්ල කෙරුණා. පසුව ඉතාලි වෙරළට ඔබ්බෙන් පිහිටි එල්බා දිවයිනට නැපෝලියන් අධිරාජයා පිටුවහල් කිරීමට සතුරු පාර්ශවය ක්‍රියා කළා. නමුත් ඔහු අවුරුද්දකටත් අවම කාලයක් ඇතුළත, වර්ෂ 1815 පෙබරවාරි 26 වැනිදා, එල්බා දිවයිනෙන් බේරී ආධාරකරුවන් දහසකටත් වැඩි පිරිසක් සමග ප්‍රංශය වෙත යාත්‍රා කළා. පැරීසියේ ජනතාව ඔහු සාදරයෙන් පිළිගත් අතර, ඒ වනවිට ප්‍රංශයේ රජකම් කළ දහඅට වැනි ලුවී රජ නැපෝලියන්ගේ සම්ප්‍රාප්තියත් සමග පළාගියා. ඉන්පසු වෝට(ර්)ලූ සටන සඳහා පිඹුරුපත් සැකසුණා.

1815 ජුනි 18 වන දින නැපෝලියන්, 72,000ක් පමණ වූ සෙබළ බලමුළුවක් සමග වර්තමාන බෙල්ජියමට අයත් වෝට(ර්)ලූ ගම්මානයේ ස්ථානගත වුණා. ඒ 68,000ක් පමණ වූ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ සතුරු හමුදාවට එරෙහිව යි. එහිදී ඇති වූ තීරණාත්මක සටනේ දී නැපෝලියන් ප්‍රමුඛ ප්‍රංශ හමුදාව පරාජයට පත්වුණා. මෙම සටනෙන් දෙපාර්ශවයට සැලකිය යුතු හානි සිදු වූ අතර, අනෙකුත් සටන්වලට සාපේක්ෂව වෝට(ර්)ලූ සටනේ දී නැපෝලියන් යුද උපායශීලිතවය අතින් දුර්වලව ක්‍රියා කළ බව පැවසෙනවා. ප්‍රමාණවත් පරිදි අණදෙන නිලධාරීන් පත් නොකිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වුණා. කෙසේ හෝ මෙම සටනෙන් නැපෝලියන් බොනපාට් යුගයේ අවසානය සනිටුහන් වුණා.  1815 ජුනි 22 වන දින නැපෝලියන් යලිත් වරක් පිටුවහල් කෙරුණා. නමුත් එල්බා දිවයිනට පිටුවහල් කිරීමෙන් කළ වරද නැවත නොකිරීමට සතුරු පාර්ශවය ප්‍රවේශම් වුණා. ඒ අනුව බ්‍රිතාන්‍ය කිරීටය යටතේ අදටත් පවතින බොහොම දුරස්ථ ස්ථානයක් වූ ශාන්ත හෙලේනා දිවයිනට නැපෝලියන් බොනපාට් නම් මේ මහා පෞරුෂය පිටත්කර හැරියා.

ශාන්ත හෙලේනා දූව ගැන ලිපියක්: නැපෝලියන් අධිරාජයා සිරකොට තැබූ ශාන්ත හෙලේනා දූව

ශාන්ත හෙලේනාවේ පිහිටීම/dailymail.co.uk/

ශාන්ත හෙලේනාවේ පාළු පවනට..

එංගලන්තයේ සිට සැතපුම් 4,500ක් සහ බටහිර අප්‍රිකාවේ සිට සැතපුම් 1,200ක් දුරින් පිහිටි ශාන්ත හෙලේනා දූපත, ලෝකයේ ප්‍රධාන ජනාවාසවලින් ඈත්ව පිහිටි බොහොම හුදෙකලා ස්ථානයක්. 

බල බිඳුණු නැපෝලියන් බොනපාට් රැඳවීම සඳහා ආරක්ෂිත ස්ථානයක් සොයමින් සිටි බ්‍රිතාන්‍ය රජයට ශාන්ත හෙලේනාවේ භූගෝලීය පිහිටීම ඉතා වැදගත් බව වැටහුණා. එවිට එල්බා දිවයිනේ දී සිදුකළාක් මෙන් නැවත කුමන්ත්‍රණයක් දියත් කිරීමේ අවස්ථාව ද නැපෝලියන්ට අහිමි වෙනවා. ඒ අනුව නැපෝලියන් ඔහුගේ සමීපතමයන් 26ක් සමග නොදම්බලන්ඩ් නෞකාවේ නංවා, ශාන්ත හෙලේනාව දක්වා වූ ඒ දීර්ඝ සංචාරය 1815 අගෝස්තු 7 වන දින ආරම්භ කළා. තවත් බොහෝ දෙනෙකුට ඔහු සමග පිටත්වීමට අවශ්‍ය වුවත්, ශාන්ත හෙලේනාවේ “නැපෝලියන් ජනපදයක්” ඇති කිරීමට බ්‍රිතාන්‍ය පාලනයට අවශ්‍ය වුණේ නැහැ. 

එම වර්ෂයේම ඔක්තෝබර් 14 වැනිදා නැපෝලියන් රඳවා සිටි නෞකාවේ කාර්යමණ්ඩලයට ශාන්ත හෙලේනාවේ ගිනිකඳු ශිඛර දර්ශනය වුණා. එයින් දින තුනකට පසු දිවයිනේ ප්‍රධානතම ජනාවාසය වූ ජේම්ස්ටවුන් වෙත නැපෝලියන් ඇතුළු පිරිවර ගොඩබැස්සා. නැපෝලියන්ගේ වාසස්ථානය ලෙස “ලෝන්ග්වූඩ්” නම් නිවසක් වෙන් කිරීමට නියමිතව තිබූ අතර, නිවසේ අළුත්වැඩියා සඳහා වඩු කාර්මිකයන් ඒ වනවිටත් කාර්යබහුල වී තිබුණා. ලෝන්ග්වූඩ් නිවසේ වැඩ කටයුතු අවසාන වනතුරු, නැගෙනහිර ඉන්දියා සමාගමේ නිලධාරියෙකු වූ විලියම් බැල්කොම්බ් නැවතී සිටි බංගලාව නැපෝලියන්ගේ තාවකාලික වාසස්ථානය වුණා. එහි සිටින අතරතුර බැල්කොම්බ්ගේ 14 හැවිරිදි දියණිය සමග නැපෝලියන් බොහෝ සේ මිත්‍ර වූ බව ද සඳහන්.  

නැපෝලියන් බොනපාට්, ලෝන්ග්වූඩ් නිවස සූදානම් වනතුරු ජේම්ස්ටවුන් නගරයේ නැවතී සිටියා/leeabbamonte.com/

ලෝන්ග්වූඩ් නිවසේ ජීවිතය

1815 දෙසැම්බර් 10 වන දින නැපෝලියන්ගේ ස්ථිර වාසස්ථානය බවට ලෝන්ග්වූඩ් නිවස පත් වුණා. ලෝන්ග්වූඩ් නිවසේ පදිංචි වීම ගැන ඔහු යම් විරුද්ධත්වයක් දැක්වූවත්, එතැනින් එහාට යමක් කිරීමට නැපෝලියන්ට හැකි වුණේ නැහැ. 

ලෝන්ග්වූඩ් විශාල, තනි තට්ටුවේ ගොඩනැඟිල්ලක්. ඝන වූ ලාවා තට්ටු සහිත උස් සානුවක මෙම නිවස පිහිටා තිබුණා. කුරු ගස්වලින් සමන්විත, ඒ නිවස පිහිටි පරිසරය දූපත්වාසීන් හැඳින්වූයේ යම් අශුභවාදී අර්ථයක් සහිත “ඩෙඩ්වුඩ් තැනිතලාව” නමින්. යුරෝපයේ මාළිගා සමග ලෝන්ග්වූඩ් නිවස සැසඳීමට පවා නොහැකි වුණත්, ශාන්ත හෙලේනාවේ ප්‍රමිතීන්ට අනුව ලෝන්ග්වූඩ්හි සතුටුදායක මට්ටමේ පහසුකම් තිබුණා. නැපෝලියන්ගේ පිරිවරට අවශ්‍ය ඉඩකඩ මෙන්ම බිලියඩ් කාමරයක්, අමුත්තන් පිළිගන්නා ශාලාවක්, පුස්තකාලයක්, කෑම කාමරයක්, වැනි සියලු පහසුකම් ලෝන්ග්වූඩ් නිවසේ තිබුණු බව සඳහන්. කෙසේ නමුත්, නිවස පිහිටි උස් ස්ථානය නිසා ජේම්ස්ටවුන්හි වැසියන් භුක්ති විඳින ප්‍රසන්න කාලගුණය නැපෝලියන්ගේ නිවස්නය ආශ්‍රිතව තිබුණේ නැහැ. නිතර හමන සුළංවලින් යුක්ත තෙතමනය සහිත පරිසරයක්, සහ වළාකුළුවලින් බර අහසක් තමයි ලෝන්ග්වූඩ් නිවස අවට පැවතුණේ.

ලෝන්ග්වූඩ් නිවසේ ඇතුළත දර්ශනයක්/longwoodgardensuniversity.blogspot.com/

මෙම දේශගුණික වෙනස්කම නිසා එහි ජීවන තත්ත්වය නැපෝලියන්ට අප්‍රසන්න වූ අතර, සෞඛ්‍යයට අහිතකර දේශගුණය ඔහුගේ නිරෝගීකම විනාශ කරන බව පවසමින් දිවයිනෙන් පිටවීමට අවස්ථාව සෙව්වා. ඔහුගේ වෛද්‍යවරයා වූ බැරී ඕ’ මෙයාරා මෙම තර්කයට අනුබල දුන්නා. බැරී ඕ’ මෙයාරා නැපෝලියන් බොනපාට් ගැන භක්තියකින් සිටි අතර, නැපෝලියන්ගේ සුප්‍රසිද්ධබව ගැනත් පැහැදී සිටියා. මේ අතර ඔහුගේ අනුගාමිකයන්, අසාධාරණ කොන්දේසි, අනවශ්‍ය සීමා කිරීම්, අපහාස, සහ දුර්වල විධිවිධාන ගැන පැමිණිලි කරමින් ලිපි සහ පත්‍රිකා යුරෝපයට යැව්වා. 1816 අප්‍රියෙල් මාසයේ දී දිවයිනට පැමිණි නව ආණ්ඩුකාර ශ්‍රීමත් හඩ්සන් ලෝව්ට පවා තමන් විඳින දුෂ්කරතා සම්බන්ධයෙන් මේ පිරිස දෝෂාරෝපණ එල්ල කළා.

ආණ්ඩුකාරවරයා සමග තිබූ අමනාපය

ආණ්ඩුකාර හඩ්සන් ලෝව් සමග නැපෝලියන්ගේ පළමු හමුවීම එතරම් යහපත් නොවූ බව සඳහන්. ඔවුන් එකිනෙකාට සැතපුම් තුනක් පමණ දුරින් ජීවත් වුණත්, ආණ්ඩුකාර පදවියට පත්වී පළමු මාස හතර තුළ හඩ්සන් ලෝව් සහ නැපෝලියන් හමුවී ඇත්තේ සය වතාවක් පමණ යි. පසුව ඔවුන් කිසිදිනෙක එකිනෙකා දුටුවේ නැති බව පැවසෙනවා. හඩ්සන් ලෝව් යනු තරමක් රළු ගති පැවතුම් ඇති පුද්ගලයෙක්. දෙදෙනා හමුවූ අවස්ථාවක දී, හඩ්සන් ලෝව් ලිපිකරුවෙකු මිස සොල්දාදුවෙකු නොවන බවට නැපෝලියන් චෝදනාකර තිබෙනවා. රළු ගති පැවතුම් ඇත්තෙක් වුවත්,  නැපෝලියන්ගේ  මුරණ්ඩු සහගත හැසිරීම් ඉදිරියේ ආණ්ඩුකාරවරයා බොහොම ඉවසිලිවන්තව කටයුතු කළා.

හඩ්සන් ලෝව් සමබන්ධයෙන් නැපෝලියන් කළ ප්‍රකාශය ප්‍රකෝපකාරී වූවා පමණක් නොව එය සාවද්‍ය ප්‍රකාශක් ද වුණා. හඩ්සන් ලෝව් යනු ප්‍රංශ විරෝධී කොර්සිකානුවන්ගෙන් පිහිටුවන ලද හමුදා ඒකකයක අණදෙන නිලධාරියෙකු ලෙස සේවය කළ තැනැත්තෙක්. 1813 දී ලයිප්සීග් සටනට සහභාගී වූ ජ්‍යෙෂ්ඨතම බ්‍රිතාන්‍ය නිලධාරියා මෙන්ම, 1814 දී නැපෝලියන් ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ ප්‍රවෘත්තිය බ්‍රිතාන්‍යට ගෙන ආ පළමු නිලධාරියා වන්නේත් හඩ්සන් ලෝව්.

සොල්දාදුවෙකු ලෙස කාර්යක්ෂම සහ විශ්වාස කටයුතු පුද්ගලයෙක් වුණත්, හඩ්සන් ලෝව් එතරම් බුද්ධිමත් හා සිතිවිල්ලෙහි දක්ෂ පුද්ගලයෙක් නොවෙයි. නැපෝලියන් පිළිබඳ අවධානයෙන් යුතුව සිටිය හැකි පුද්ගලයෙකු ලෙස බ්‍රිතාන්‍ය පාලනය හඩ්සන් ලෝව් තෝරාගත්තේ මෙම හේතූන් නිසා යි.

මහා අධිරාජයෙකුගේ අවසානය

දූපතේ ඒකාකාරී ජීවිතය නිසා නැපෝලියන් මානසික පීඩනයටත් ලක් වුණා/amdigital.co.uk/

ශාන්ත හෙලේනාව තුළ නැපෝලියන් ජීවත් වුණේ ඉතා දැඩි, සීමාකාරී රෙගුලාසිවලට යටත්ව යි. මේ සියලු රෙගුලාසි බලාත්මක කිරීමේ වගකීම දූපතේ ආණ්ඩුකාරවරයා හට පැවරී තිබුණා. නැපෝලියන් බොනපාට්ට පුවත්පත් තහනම් වූ අතර, ඇඳිරි නීතියට පවා යටත්කොට තිබූ අවස්ථා තිබෙනවා. කලකට ඉහත යුරෝපය දිග් විජය කළ මේ මිනිසා ගැන නිතරම සෙවිල්ලෙන් සිටි රැකවලුන් 125 දෙනෙක් ලෝන්ග්වූඩ් නිවස අසල දිවා-රාත්‍රී රාජකාරියේ යෙදුණා. ලන්ඩනයෙන් එවන උපදෙස් අකුරටම පිළිපඳිමින්, නැපෝලියන් මෙම දැඩි රෙගුලාසි තුළ රඳවා ගැනීමට හඩ්සන් ලෝව් ප්‍රවේශම් සහගත වුණා. නැපෝලියන්, මීට පෙර ඔහු පිටුවහල් කෙරුණු දූපතකින් පැනගිය පුද්ගලයෙකු නිසා කිසිදු වැරැද්දක් නැවත සිදු නොවීමට බ්‍රිතාන්‍ය පාලනය වග බලා ගත්තා.

කෙසේ නමුත්, නැපෝලියන් තමාගේ අවසාන හුස්ම තෙක් ලෝන්ග්වූඩ් නිවසේ සිරවී සිටි බව එයින් අදහස් වෙන්නේ නැහැ. ශාන්ත හෙලේනාවේ සිටි පළමු වසර කිහිපය තුළ ඔහු නිතිපතා ඇවිදිමින්, අතීත මතකයන් තම සගයන් සමග බෙදා හදා ගනිමින්, ක්‍රියාශීලි ජීවිතයක් ගත කළ බව සඳහන්. නමුත් කාලය දින, සති, මාස, අවුරුදු, වශයෙන් ගෙවී යත්ම තනිකම සහ ඒකාකාරීත්වය හමුවේ නැපෝලියන් උදාසීන සහ මානසික අවපීඩනයට ලක් වූ පුද්ගලයෙක් බවට පත්වුණා. දිගු වේලාවක් තනිවම කොහේ හෝ වාඩිවී සිටිමින් හෝ ඇඳේ වැතිර සිටිමින් කාලය ගෙවා දැමීමට ඔහු අවසානයේ පුරුදු වුණා.

1820 වන විට නැපෝලියන් බොනපාට් බරපතල ලෙස රෝගාතුර වුණා. උදර වේදනාව, ඔක්කාරය, උණ, මලබද්ධය, සහ පාචනය වැනි රෝග ලක්ෂණවලින් ඔහු පීඩා විඳි අතර,  විදුරුමස්, තොල්, සහ නියපොතු සුදුමැළි වුණා. මොහොතකට ඇතැමුන් සිතුවේ කලකට ඉහත අපූරු රණශූර පාලකයෙකු වූ මේ මිනිසා වස පානය කර ඇති බව යි. නමුත් නැපෝලියන්ගේ පියාණන්ගේ මරණයට හේතු වූ පිළිකා තත්ත්වය නැපෝලියන්ටත් වැළඳී ඇතිබව පසුව හඳුනා ගැනුනා.

නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයාගේ අවසාන මොහොත චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්/

1821 වර්ෂයේ මැයි පස් වැනිදා තම සමීපතමයන් මැද, නැපෝලියන් බොනපාට් සිය අවසාන හුස්ම පොද ශාන්ත හෙලේනාවේ පාළු පවනට මුසු කළා. ඔහුගේ මරණයට හේතුව පිළිබඳ විවාදාත්මක අදහස් තිබුණත්, ආමාශයේ පිළිකාවක් නිසා ඔහුගේ ඉරණම විසඳුණු බව වඩාත් පිළිගත් හේතුව වෙනවා.

වර්තමානයේ ප්‍රංශය තුළ මෙන්ම ශාන්ත හෙලේනාව තුළත්, තම ඉතිහාසය පෝෂණය කළ තැනැත්තෙකු ලෙස නැපෝලියන් බොනපාට් ගෞරවයට පාත්‍ර වී තිබෙනවා. එමෙන්ම ශාන්ත හෙලේනාවට සංචාරක ආකර්ෂණය ලැබීමටත් මේ ප්‍රංශ අධිරාජයා හේතු වී තිබෙනවා. ශාන්ත හෙලේනාව පුරා නැපෝලියන්ගේ මතක සටහන් සහ ඔහුත් සමග බැඳුණු කතා රාශියක් ඉතිරිව තිබෙනවා. මෙම ලිපියෙන් ආවරණය කළේ එයින් කුඩා කොටසක් පමණ යි.

නැපෝලියන් බොනපාට් ගැන තවත් සිද්ධියක් කියවන්න: නැපෝලියන් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයට පවරා දුන් හැටි

Cover photo: edinburghmuseums.org.uk/

මූලාශ්‍රයයන්: historyextra.com/

edition.cnn.com/

history.com/

Related Articles

Exit mobile version