සිංහල සිනමාවේ සමාරම්භය සනිටුහන් කරමින් කඩවුණු පොරොන්දුව සිනමා සිත්තම තිරගත වූයේ 1947 වසරේදී ය. එතැන් පටන් පුරා හැත්තෑ වසරක් ශ්‍රී ලාංකේය සිනමාව ආ මඟෙහි මුළු ලෝකයාටම අභියෝග කළ හැකි මට්ටමේ විශිෂ්ට ගණයේ නළු නිළියන් රැසක් බිහි විය. ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙනිය, මාලිනී ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු, ගීතා කුමාරසිංහ ඉන් කිහිප දෙනෙක් පමණි. මේ සියළු දෙනා එසේ රිදී තිරය බබළවන විට ඒ අතරින් අති විශිෂ්ට නළුවෙකුගෙනුත් ඔබ්බට ගොස් සිනමා අධ්‍යක්ෂණය ඇතුළු සිනමාවේ බහුවිධ පරාස අතික්‍රමණය කළ විශිෂ්ටයෙක් වේ නම් ඒ සෙම්බුගේ ගාමිණී ෂෙල්ටන් ෆොන්සේකා පමණි. ප්‍රභූ පවුලක ඉපිද, කාර්මික ශිල්පියෙකු ලෙස සිනමාවට සම්බන්ධ වී පුරා 45 වසරක් සිංහල සිනමාව ජාත්‍යන්තරය හමුවේ ගරු බුහුමනට පාත්‍ර කළ සිනමා සක්විති ගාම්ණී ෆොන්සේකා ගෙන් පසු සිංහල සිනමාවේ ඇති වූ හිඩැස පුරවාලීමට අදටත් කිසිවෙකුටත් නොහැකි වී තිබේ.
උපත හා කුඩා කාලය
විලියම් හා ඩේසි ෆොන්සේකා යුවළට දාව 1936 වසරේ මාර්තු මස 21 වනදා කුඩා පුත් කුමරුවෙක් උපත ලැබීය. ඔහුට ගාමිණී ෂෙල්ටන් නම් නම් තබන ලදි. කුඩා කාලයෙදීම බුද්ධිමත් භාවයක් ප්‍රකට කළ ගාමිණී සිය මූලික අධ්‍යාපනය දෙහිවල ප්‍රෙස්බිටේරියන් විදුහලෙන් හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් ලබාගත්තේය. කුඩා කාලයේ පටන් ඉංග්‍රීසි හා සිංහල සාහිත්‍ය යන විෂයයන් වලට විශේෂ දක්ෂතාවයක් දැක්වූ ගාමිණී අරිසෙන් අහුබුදු සූරීන් ගෙන් සිංහල සාහිත්‍ය ප්‍රගුණ කළ අතර වරක් ඩී.ඇස්. සේනානායක සිංහල සාහිත්‍ය ත්‍යාගය පවා දිනීමට තරම් හපනෙක් විය. සුසිල් ප්‍රේමරත්නයන් යටතේ සෞන්දර්යය විෂයයන්ට ද අත්පොත් තබන මොහු ක්‍රිකට් ක්‍රීඩාවාවේදීද සැළකිය යුතු දස්කම් දැක්වීය.
සිනමාවට සම්බන්ධ වීම
සෞන්දර්යය විෂයයක් වශයෙන් වේදිකා නාට්‍යය හදාරමින් සිටියද කුමක් හෝ හේතුවක් නිසා ගැටවර වියෙහි පසු වූ ගාමිණී ෆොන්සේකාගේ සිත නිශ්චල චිත්‍ර වේදිකාවටත් වඩා සිනමා සලරූ දෙසට ඇදී ගියේය. දෛවෝපගතව අග්‍රගණ්‍ය සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හා සම්බන්ධ වන්නට ලැබෙන ගාමිණී ගේ අභිප්‍රාය වූයේ දිනෙක දක්ෂ සිනමා කැමරා ශිල්පියෙකු වීමය. 1956 වසරේ නිෂ්පාදනය කෙරුණු පීරිස් මහතාගේ ‘රේඛාව‘ චිත්‍රපටයට කාර්මික ශිල්පියෙකු ලෙස සම්බන්ධ වන මොහුට අහම්බයකින් සමූහ දර්ශනයකට පෙනී සිටීමේ අවස්ථාවක්ද ලැබෙන්නේ රංගනය සඳහා වූ දක්ෂතාවය පමණක් නොව වාසනාවද ඔහු කෙරෙහි ඇති බව සපථ කරමිනි. ඉන් පසුව 1957 වසරේදී ශ්‍රී ලංකාවේ රූගත කිරීමට යෙදුණු ‘ඩේවිඩ් ලීන්’ නම් ලෝ පතල අධ්‍යක්ෂකවරයාගේ ‘බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ සිනමා පටයටද කාර්මික ශිල්පියෙක් ලෙස සම්බන්ධ වන ගාමිණී එහිදී මහත් වූ රංගන හා සමස්ථ සිනමා පරිචයක් ලැබීය. දීර්ඝ කාලීනව මෙහි නිෂ්පාදනය වුණු එම බටහිර චිත්‍රපටයේ පිරිස සමඟ කාලය ගතකරන විට නරඹන්නට යෙදුණු විශිෂ්ට හොලිවුඩ් චිත්‍රපට ගාමිණී ගේ රංග පෞරුෂය ගොඩනැඟීමෙහි ලා මහෝපකාරී වන්නට ඇති.
රංගන ශිල්පියෙකු ලෙස
ගාමිණී ෆොන්සේකා ට මුල්ම වතාවට සැලකිය යුතු තරමේ රංගනයක් සඳහා අවස්ථාව විවර වූයේ එස්. කේ. ඕජා නම් අධ්‍යක්ෂකවරයාගේ ‘දෛවයෝගය‘ චිත්‍රපටයේයි. මේ කාලයේදී සිනමා විචාරකයන්ගෙන් හොඳ හා නරක ප්‍රතිචාර යන දෙකම ඔහුට ලැබ්ණි.
1960 දශකයේ මුල් භාගය ගාමිණී ෆොන්සේකා සිනමා නළුවෙක් ලෙස නැඟී ආ කාලයයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘සංදේශය’ සිනමා කෘතියේ ‘තම්මිට’ නම් උප ප්‍රධාන චරිතය නිරූපණය කළ ගාමිණී එහි ප්‍රධාන නළු ආනන්ද ජයරත්න පරයා යමින් ප්‍රේක්ෂකයන්ගේ හා විචාරකයන්ගේ අවධානයට පාත්‍ර විය. විශේෂයෙන් 1950 දශක වල හින්දි හා දමිළ චිත්‍රපට වලින් ආභාෂය ලබමින් සිංහල නළු නිළියන් ස්වභාවිකත්වයෙන් මඳක් ඔබ්බට ගිය අධි රංගන වල නියැලෙනු දක්නට ලැබුණු අතර හොලිවුඩ් ආභාෂය නිසාදෝ ඉතා ස්වභාවික රංග තාක්ෂණයක් වර්ධනය කරගෙන සිටි ගාමිණී කෙමෙන් කෙමෙන් අනෙක් රංගන ශිල්පීන් අභිබවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන්නට විය. රන්මුතු දූව (1962) ලංකාවේ නිපදවුණු ප්‍රථම සිංහල වර්ණ චිත්‍රපටයයි. එහි ප්‍රධාන චරිතයට තෝරාගැණුනේ ගාමිණීවයි. එය ඉතා සාර්ථක තෝරාගැනීමක් වූ අතර ‘තරුවක්’ ලෙස ඔහුගේ ආගමනය සනිටුහන් විය.
ගාමිණී ෆොන්සේකාගේ රංගන ජීවිතය පිරික්සා බැලීමේදී රංගන ශිල්පියෙකු වශයෙන් ඔහු තුළ වූ පරාසය මැනවින් විදහා දැක්වෙන බැව් සොයගත හැකිය. සිංහල සිනමාවේ සිහින කුමරෙකු වීම සඳහා සුදුසු කඩවසම් රූපයකින් හෙබි තරුණයෙක් වුවද ඔහුගේ අවධානය වැඩි වැඩියෙන් චරිතාංග රංගනය කෙරෙහි යොමු වී තිබුණු අතර සිය කඩවසම් රූපයෙන්ද වැඩ ගැනීමට අමතක නොකළේ ය. ගම්පෙරලිය, නිධානය වැනි චිත්‍රපට වල ඉතාම භාවාත්මක හා සියුම් රංගන ඉදිරිපත් කළ ඔහු හිත හොඳ මිනිහෙක්, චණ්ඩි ශ්‍යාමා යනාදී වාණිජ චිත්‍රපට වලටත් රංගනයෙන් දායක විය. ගැටවරයෝ චිත්‍රපටය, ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරන ලද ‘පරසතු මල්’ හා 1979 වසරේ තිරගත වුණු සරුංගලය ඔහු විසින් යුගයකට අමතක නොවන රංගනයන් ඉදිරිපත් කළ චිත්‍රපට වලින් අතලොස්සක් පමණි.
ඉතාම ප්‍රභූ පාන්තික චරිත වල සිට නගරයේ තැනක් තැනක් ගානේ ඔබ මොබ ඇවිදින යාචකයා වන තුරු චරිත ගාමිණි ෆොන්සේකාට තාත්විකව කිරීමේ හැකියාව තිබිණි. රංගන කාර්යයයේදී ඒ චරිතය හැකිතාක් යථාර්තයට සමීප වන ලෙස විදහා දැක්වීමට විශේෂ දක්ෂතාවයක් ඔහු තුළ තිබිණි.
අධ්‍යක්ෂකවරයෙකු ලෙස
ගාමිණී ෆොන්සේකා සිය රංගන දිවිය තුළ චිත්‍රපට 108 ක රංගනයෙන් දායක විය. ඉන් බහුතරයක් එකිනෙකට පරිබාහිර හා වෙනස් චරිත නිරූපණය කළ අවස්ථා විය. කෙමෙන් චිත්‍රපට අධ්‍යක්ෂණ කාර්යයටත් අතගැසූ ඔහු විසින් චිත්‍රපට 10ක් අධ්‍යක්ෂණය කරන ලදි. පරසතු මල්, උතුමාණෙනි, මයුරිගේ කතාව, සාගරයක් මැද, කොටි වලිගය, බාඳුරා මල්, රෑ මනමාලි, සක්විති සුවය, නොමියෙන මිනිසුන් හා අන්තිම රැය එම චිත්‍රපට වන අතර මේවා බහුතරයක්ම ප්‍රේක්ෂක හා විචාරක ඇගයීමට ලක් වූ අතර සම්මානනීය ඒවා විය.
සම්මාන හා ඇගයීම්
ගාමිණී ෆොන්සේකා සිය රංගන ජීවිතය තුල ප්‍රධාන සම්මාන 22ක් ලබා ඇත. මින් 15ක් සරසවි සම්මාන වන අතර ජනාධිපති සම්මානයක්ද ඊට ඇතුලත් වෙයි. ගාමිණී ෆොන්සේකා විසින් සරසවි සම්මාන උළෙලේදී හොඳම නළුවා වශයෙන් සත් වතාවක්ද ජනප්‍රියම නළුවා වශයෙන් සය වතාවක්ද සම්මානයට පාත්‍ර වීමෙන් පෙනී යන්නේ ඔහු කලාත්මක චිත්‍රපට මෙන්ම ජනප්‍රිය දහරාවේ රංගනම හොඳින්ම සිදු කර ඇති බවයි. 1982 වසරේ සරසවි සම්මාන උළෙලේ දී ඔහුට ‘සාගරයක් මැද’ චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙනුවෙන් සරසවි සම්මානය ලැබීමෙන් අධ්‍යක්ෂකවයෙකු වශයෙන් ඔහුගේ තිබුණු ප්‍රතිභාවත් විදහා දැක්වෙයි.
දේශපාලන ජීවිතය හා දිවියේ අවසන් සමය
සිය ජීවිතයේ පසු කාලීනව කාලීනව ගාමිණී ෆොන්සේකා ක්‍රියාකාරී දේශපාලනයද සම්බන්ධ විය. ක්‍රි.ව 1989 දී මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු එකල නියෝජ්‍ය කථානායක බවට පවා පත් විය. ඉන් අනතුරුව උතුර හා නැගෙනහිර ආණ්ඩුකාරවරයා බවටද පත් වී සේවය කළ ඔහු පසුකාලීනව දේශපාලනයෙන් ඈත් විය.
පුරා වසර 68ක් ආයු වැළඳූ මේ කෘතහස්ථ කලාකරුවා 2004 සැප්තැම්බර් මස 30 වන දින ජා ඇල පිහිටි තම නිවසේදී කාටත් හොරා අවසන් ගමන් ගොස් තිබුණේ සිංහල සිනමාවේ පතාක යෝධයෙකුගේ සමුගැනීම සනිටුහන් කරමිනි.
ගාමිණී ෆොන්සේකා එක යුගයක ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග හා ටෝනි රණසිංහ වැනි රංගධරයන් සමඟ සිංහල සිනමාව කරා පින්නාගෙන ගියේය. අද වන විට ඒ බල කණු 4 ම අප හැර ගොසිනි. අද වනවිටත් ඔවුනට සරිලන (ප්‍රතිරූප නොවන ) ආදේශක අපි සොයමින් සිටිමු. වර්තමාන සිනමාවට ඔවුන්ගෙන් ගත හැකි ආදර්ශ බොහෝය. ඔවුන් තම රූපයට පෙර චරිතයත්, මුදලට පෙර කලාවත් ගැන සැළකූහ. අත පය හතරම බිඳී මහ පොළොව මත පත බෑවුණු සිංහල සිනමාව අසීරුවෙන් නැඟී සිටින්නට වෙර දරන මේ මොහොතේ, මියගොස් වසර 13ක් සපිරුණත් ගාමිණී ෆොන්සේකා වැන්නවුන් නැති අඩුව තවමත් තදින් දැන්නේ එබැවිණි.
කවරයේ පින්තූරය – sundaytimes.lk