ලොව පැවැත්වෙන විශාලතම මැරතන් ධාවන තරඟ අතරින් සහරා කාන්තාරය හරහා පැවැත්වෙන දින හයක් පුරා කිලෝමීටර් 251ක දුර ප්‍රමාණයක් ආවරණය කෙරෙන Marathon des sables පිළිබඳව ඔබ අසා තිබෙනවාද? 1984 වසරේ සිට වසරක් පුරා මෙම තරඟය පැවැත්වෙනවා.
අද ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ 1994 වසරේදී පැවැත්වුණු Marathon des sables තරඟයේදී මවුරෝ ප්රොස්පෙරී (Mauro prosperi) නම් ක්‍රීඩකයාට මුහුණ දීමට සිදු වූ බියකරු සිදුවීමක් පිළිබඳවයි. මැරතන් තරඟයට සහභාගී වූ ඔහු සහරා කාන්තාරයේ අතරමංව තම මුත්‍රා හා වවුලන්ගේ රුධිරය පානය කරමින් දින 10ක් තිස්සේ තම ජීවිතය රැකගත් ආකාරය පිළිබඳව මෙම ලිපියේදී විස්තර කෙරෙනවා.
Marathon des sables
1984 වසරේදී සහරා කාන්තාරය හරහා මැරතන් ධාවන තරඟයක් ලෙස මුල් වරට Marathon des sables තරඟය ආරම්භ කරන නමුත් පළමු නිල මැරතන් තරඟය ලෙස හදුන්වන්නේ 1986 වසරේදී පවත්වන ලද තරඟයයි. තරඟකරුවන් 23 දෙනෙකු මෙයට සහභාගී වූ අතර පිරිමි හා කාන්තා යන අංශ දෙකෙන්ම ජයග්‍රහණය ලබන්නේ ප්‍රංශ ජාතික ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක්. 2009 වසරේ තරඟය සඳහා තරඟකරුවන් 1000කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර මේ සඳහා මැරතන් සංගමයක් පිහිටුවන්නෙත් 2009 වසරේදීයි.
වසරක් පාසා පැවැත්වෙන මෙම තරඟයේ මූලික අරමුණ වන්නේ මොරොක්කෝවේ වෙසෙන දරුවන්ගේ සෞඛ්‍යය, අධ්‍යාපනය හා ජීවන තත්වය නගා සිටුවීමේ ව්‍යාපෘති සඳහා මුදල් ආධාර රැස් කිරීමයි. වර්තමානය වන විට තරඟය එක් වසරකදී අදියර දෙකකින් ක්‍රියාත්මක වෙනවා.
ක්‍රීඩා දිවියෙන් සමුගෙන සිටි මවුරෝ නැවතත් මැරතන් බිමට
මවුරෝ ප්රොස්පෙරී කියන්නේ ඉතාලි ජාතිකයෙක්. ඒ වගේම ඔහු හොඳ මැරතන් ධාවන ක්‍රීඩකයෙක්. 1955 වසරේ මෙලොව එළිය දකින මවුරෝ වයස අවුරුදු 39 වන විට මැරතන් ධාවන තරඟ වලින් සමුගෙනයි සිටින්නේ. නමුත් 1994 වසරේදී සහරා කාන්තාරය හරහා පැවැත්වෙන මැරතන් තරඟය පිළිබඳව විස්තර දැන ගන්නා මවුරෝ එයට ඉදිරිපත් වීම සඳහා කටයුතු කරනවා. එයට මූලිකම හේතුව වන්නේ අභියෝගාත්මක මෙන්ම ත්‍රාසජනක මැරතන් ධාවන තරඟයන්ට ඔහු දැක්වූ අධික ආශාවයි.
සහරා කාන්තාරය හරහා දින හයක් තිස්සේ ක්‍රියාත්මක වන මෙම මැරතන් තරඟයේදී තරඟය අවසාන කිරීමට හැකියාව ලැබෙන්නේ ඉතා සීමිත තරඟකරුවන් ගණනකට පමණක් බවත් බොහෝ තරඟකරුවන් කාන්තාරයේ නොයෙකුත් උපද්‍රවයන්ට මුහුණ දී තම ජීවිතයෙන් පවා වන්දි ගෙවූ බව දැන දැනම තමන් මේ සඳහා ගිවිසුම් අත්සන් කළ බවත් ඔහු පසුව සදහන් කරනවා.
තරඟයට සහභාගී වීමේදී ඔහුගේ බිරිඳගේ බලවත් විරෝධය එල්ල වෙනවා. මේ වනවිට ඔවුන්ගේ දරුවන් තිදෙනාම වයස අවුරුදු අටට වඩා කුඩා දරුවන් වූ අතර තරඟය අතරතුර ඔහුට කිසියම් උපද්‍රවයක් සිදු වුවහොත් දරුවන් තිදෙනාගේ අනාගතයට එය දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ඇය විසින් ප්‍රකාශ කරනවා.
නමුත් ඒ සියළු අභියෝගයන්ට අභියෝග කරමින් පුහුණුවීම් ආරම්භ කරන මවුරෝ දිනකට කිලෝමීටර් 40ක දුරක් දිවයනවා. ඒ ජලය ඉතා ස්වල්පයක් පමණක් පානය කරමින්. කාන්තාරයේ මැරතන් තරඟය සඳහා සුදානම් වීම උදෙසා, ඔහු ජලය පානය කරන්නේ ශරීරය විජලනය වීම වළක්වා ගැනීම සඳහා පමණයි. පුහුණුවීම් වලින් අනතුරුව ඔහු 1994 වසරේ අප්‍රේල් මාසයේදී මැරතන් තරඟයට සහභාගී වීම සඳහා මොරෝක්කෝවට පැමිණෙනවා.
තරඟය සඳහා සහභාගි වීම
වර්තමානය වන විට මෙම තරඟය සඳහා දහසකට අධික තරඟකරුවන් ප්‍රමාණයක් සහභාගී වූවත් 1994 වසරේ දී Marathon des sables සඳහා සහභාගී වන්නේ තරඟකරුවන් 80 දෙනෙක් පමණයි. තරඟය පැවැත්වීමට සුදානම් කල දින වකවානුව වූයේ අප්‍රේල් මාසයේ 11 වනදා සිට 16 වනදා දක්වායි.
එක තරඟකරුවෙකුට දිනකට තම ආහාර සලාකයට වතුර ලීටර් 2ක් අන්තර්ගත වූ අතර එය රැගෙන තරඟය සඳහා සහභාගී වීමට සියළු දෙනාට සිදුවෙනවා. හතරවන දිනය ආරම්භ වනවිට සියළු තරඟකරුවන් කාන්තාරයේ අධික සූර්ය රශ්මිය හා කටුකත්වය හේතුවෙන් ඉතාමත්ම අපහසුතාවයෙන් යුතුවයි තරඟයට සහභාගී වන්නේ. තරඟයේ හතරවන දිනය එනම් 1994 වසරේ අප්‍රේල් මස 14 වන දින උදයේ තරඟය ආරම්භ වනවිට මවුරෝ පසුවන්නේ හතරවන ස්ථානයෙයි.
කාන්තාරයේ ත්‍රාසජනක අත්දැකීම
අප්‍රේල් මාසයේ 14 වනදින තරඟයේ හතරවන දින වූ අතර උදය වරුවේ කාන්තාරයේ උෂ්ණත්වය ෆැරන්හයිට් 115ක්ද, අනෙකුත් කාලගුණ තත්වයන් සාමාන්‍ය වූ බවත් මවුරෝ විසින් සදහන් කරනවා.
දහවල් 1 පසු වූ පසු කාන්තාරයේ තත්වය යම්තාක් දුරට අයහපත් වූ අතර වැලි කුණාටුවක පෙර නිමිති පහළ වෙනවා. අධික සුළඟ සමඟ වැලිකඳු කඩාගෙන වැටුණු අතර බොහොමයක් ක්‍රීඩකයන්ට තරඟය නවත්වන ලෙස දැනුම් දීමට සංවිධායක මණ්ඩලයට හැකිවෙන නමුත් මවුරෝ ඇතුළු කිහිපදෙනෙක් මේ පිළිබඳව නොදැන දිගටම තරඟයේ යෙදෙනවා.
එකවරම ආ වැලි කුණාටුවක් හේතුවෙන් බිම දිගාවෙන මවුරෝ අධික වේගයෙන් හමායන වැලි කුණාටුවට මුහුණ දෙන අතර මුළු රාත්‍රිය පුරාවටම බිම දිගා වී නොනිදා රැය පහන් කරනවා.
පසුවදා අවදි වීමත් සමඟ වැලි කුණාටුව හේතුවෙන් මැරතන් තරඟයේ ගමන් මාර්ගය සම්පුර්ණයෙන්ම වෙනස් වී ඇති බව දකින මවුරෝ මේ හේතුවෙන් තමන් සතු මාලිමාවෙන් හා සිතියමෙන් ප්‍රයෝජනයක් ගත නොහැකි බව අවබෝධ කරගන්නවා.
දින දහයක් අතරමංව
අතරමංව පළමු දිනයේ තමන් එක දිශාවකට වේගයෙන් දිව ගියත් නියමිත දිශාවක් නොදැන දිව යාම නිෂ්ඵල කරුණක් බව අවබෝධ කරගන්නා මවුරෝ අසළ වැලි කන්දකට නැග උදවු ලබාගත හැකි පිරිසක් සොයා ගැනීමට වෙහෙසෙනවා.
නමුත් ඒ උත්සාහය අසාර්ථක වෙන අතර දෙවන දිනය වන විට ඔහු සතු වතුර ප්‍රමාණය අවසන් වනවා. වතුර අවසන් වීමෙන් පසුව විජලනය වී මරණයට පත් වීමට සිදුවන බව දැනගන්නා මවුරෝ ඒ සඳහා තම මූත්‍රා එකතු කර පානය කිරීම සඳහා තීරණය කරනවා. මරණයට පත් නොවී කෙසේ හෝ මෙම අවස්ථාවෙන් ගැලවීමට තමන්ට අවශ්‍ය බව සිතූ තමන්, උදාවෙන ඕනෑම තත්වයකට නොබියව මුහුණ දීමට තරම් මානසිකව ශක්තිමත්ව කටයුතු කළ බව මවුරෝ විසින් පසුව සදහන් කරනවා.
අතරමංව තෙවන දිනය වන විට සංවිධායකයන් විසින් මවුරෝ සෙවීම සඳහා හෙලිකොප්ටර් යානා යොදාගෙන පිරික්සුම් කටයුතු වල නිරත වුවත් එය සාර්ථක වන්නේ නෑ. මේ අතරතුර මවුරෝ විසින් කාන්තාරයේ ඇති අත්හැර දැමූ පැරණි ගොඩනැගිල්ලක් සොයාගන්නා අතර ඒ තුළ රැදී සිටි කාන්තාර වවුලන් කිහිපදෙනෙක් අල්ලාගෙන තම කුඩා පිහිය ආධාරයෙන් ඔවුන්ගේ ගෙලි සිදුරුකර රුධිරය උරා බී පිපාසය හා අධික කුසගින්න නිවාගනු ලබනවා. තවද ඔහු සතුව ඉතාම ස්වල්ප ප්‍රමාණයක ක්ෂණික අහාර තිබූ අතර ඒවා මුත්‍රා ආධාරයෙන් තම්බාගෙන ආහාරයට ගන්නවා.
අතරමන්ව දින පහකට ආසන්න වන විට ගුවන් යානා දෙකක් අවස්ථා දෙකකදී ඔහුට දකින්නට හැකි වූ නමුත් එම එක යානයක්වත් මවුරෝව දකිනු ලබන්නේ නෑ. මේ අතරවාරයේ ඔහුට තවත් වැලි කුණාටුවකටද මුහුණ දීමට සිදු වෙනවා.
අටවන දිනය වන විට එක දිශාවක් බලා ඉතා අපහසුවෙන් ගමන් කළ ඔහු මගදී හමුවන කාන්තාර සර්පයන් ඇතුළු උරගයන් කිහිපදෙනෙකු තම ආහාරයට ගන්නවා. අටවන දිනයේදී ඔටුවන්ගේ පා සලකුණු කිහිපයක් දකින ඔහු ඒ ඔස්සේ ගමන් කරන්න තීරණය කරනවා.
ජීවත් වීමට නැවතත් අවස්ථාව උදා වීම
ඔටු පා සලකුණු ඔස්සේ දින 3ක් පමණ ඇවිද ගිය ඔහු අතරමන්ව දින 10කින් පසුව කාන්තාරයේ වාසය කළ ගෝත්‍රික කණ්ඩායමකගේ කුඩාරම් කිහිපයක් වෙත සමීප වීමට හැකියාව ලැබෙනවා.
ඒ වන විට ඔහු දින 10ක් පුරා කිලෝමීටර් 290කට වඩා දුරක් පයින් ඇවිද ගොස් තිබුණු අතර බර කිලෝග්‍රෑම් 16කින් අඩු වී තිබුණා. දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන මවුරෝගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ක්‍රමක් ක්‍රමයෙන් යහපත් අතට හැරෙනවා.
මවුරෝ ප්රොස්පෙරි මෙම සිද්ධියෙන් අධෛර්යයට පත් වූයේ නැහැ. ඔහු නැවතත් කිහිප විටක් ම Marathon des sables තරඟයට සහභාගී වී 2001 දී 12 වන ස්ථානයටත් පත් වනවා.
කවරයේ ජායාරූපය – Daily Mirror