Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජර්මානුවන්ට ගම්මිරිස් ගැසූ බ්‍රිතාන්‍ය හමුදාවේ ළාබාලතම හමුදා නිලධාරියා- ලුතිනන් රෙජිනල්ඩ්

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර පාර්ශවය හා ජර්මනිය ප්‍රමුඛ මධ්‍යම බලවතුන් එකිනෙකා ගැටුණු පළමු ලෝක යුද්ධය 1914 සිට 1918 දක්වා කාල සීමාව තුළ ක්‍රියාත්මක වෙනවා. මධ්‍යම බලවතුන්ට දරුණු පරාජයක් අත්කර දෙමින් එම යුද්ධය 1918 වසරේ දී නිමාවට පත් වෙනවා.

පළමු ලෝක යුද්ධයේ දී දෙපාර්ශවයේම හමුදා තුළ ළමා සොල්දාදුවන් සේවය කිරීම විශේෂ කරුණක් ලෙස සඳහන් කළ හැකියි. බොහෝ විට දෙපාර්ශවය විසින් ම වයස අවුරුදු 13 සම්පූර්ණ වූ පිරිමි ළමුන් යුද්ධය සඳහා බඳවා ගත් බවට එම කාලයේ ලිපි ලේඛනවලින් හෙළිවෙනවා. ළමා සොල්දාදුවන් ආධුනික සෙබළුන් ලෙස බඳවාගන්නා අතර, යුද්ධය අවසන් වන තුරු ඔවුන් සෙබළ තනතුරේ සිය රාජකාරි කරනවා. යුද්ධය අතරතුර ළමා සෙබළුන් විශාල ප්‍රමාණයක් මරණයට පත් වූ අතර, තවත් පිරිසක් යුද්ධය අවසානයේ දී හමුදාවෙන් නිදහස් කරනු ලබනවා.

ආධුනික සෙබළුන් ලෙස යුධ හමුදාවලට එකතු වෙන ළමා භටයන් අතරින් ඉතා ස්වල්ප දෙනෙක් යුද්ධය තුළ දී අධිකාරි ලබා නිලධාරීන් බවට පත්වෙනවා. එවැනි එක් බ්‍රිතාන්‍ය හමුදා ළමා ලුතිනන්වරයෙක් පිළිබඳව යි මේ ලිපිය. ඔහුගේ විශේෂත්වය වන්නේ ජර්මානු ෂෙල් වෙඩි ප්‍රහාරයකට ලක්ව සිය පාදයක් අහිමි වී තිබුණත් කෘත්‍රීම පාදයක ආධාරයෙන් නැවතත් යුධ පෙරමුණට පැමිණීම යි.

ගෙදරින් අතුරුදහන් වූ ගැටවරයා

රෙජිනල්ඩ් සෙන්ට් ජෝන් (bbci.co.uk)

රෙජිනල්ඩ් ජෝන් බැටස්ර්බි (Reginald St John Battersby) බ්‍රිතාන්‍ය යුද හමුදාවට වයස අවුරුදු 14 දී ආධුනික හමුදා සෙබළෙක් ලෙස එකතු වෙන අතර, ඊට අවුරුද්දකට පසුව බ්‍රිතාන්‍ය හමුදාවේ ළාබාලතම අධිකාරි ලැබූ නිලධාරියා බවට පත් වෙමින් දෙවන ලුතිනන් තනතුර දක්වා උසස් වීම් ලබනවා.

1900 වසරේ උපත ලබන රෙජිනල්ඩ්, 1915 වසරේ බ්‍රිතාන්‍ය හමුදාවේ මැන්චැස්ටර් රෙජිමේන්තුවේ (Manchester Regiment) 14 වන බැටෑලියනයට ආධුනික සෙබළෙක් ලෙස ඇතුළත් වන විට ඔහුට වයස අවුරුදු 14 යාන්තමින් පසු වී තිබුණා. කුඩා කාලයේ දී සිය මව අහිමි වීමත්, පියා විසින් ඔහුව නොසලකා හැරීමත් සමගම හුදෙකලා ළමා දිවියක් ගත කළ ඔහු, පළමු ලෝක යුද්ධයට ස්වෙච්ඡා භටයන් බඳවා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය තීරණය කිරීමත් සමගම නිවසින් පලා’විත් බ්‍රිතාන්‍ය හමුදාවට එකතු වෙනවා.

හමුදාවට ඇතුළත් වීමේ දී තමන්ට වයස අවුරුදු 19ක් බව රෙජිනල්ඩ් විසින් කියා සිටින අතර, ඔහු විසින් ප්‍රකාශ කළ ව්‍යාජ වයස බඳවා ගැනීමේ නිලධාරීන් විසින් සත්‍යක් ලෙස පිළිගන්නවා. කෙසේ නමුත්, එම කාල සිමාවේ දී උප්පැන්න සහතික පරික්ෂා කරන සූක්ෂම ක්‍රමයක් හමුදා තුළ නොතිබූ අතර, සත්‍ය වයස අඩු වූවත් බඳවාගැනීමේ නිලධාරින් විසින් ම එම වයස වැඩි කර ලේඛනගත කරන්නේ ඔවුන්ට හමුදාවට බැඳෙන ආධුනික සෙබළුන් ප්‍රමාණයට සරිලන කොමිස් මුදලක් හමුදාව විසින් පිරිනැමීම යි. ඒ හේතුවෙන් ළමා සොල්දාදුවන්ට හමුදාවට ඇතුළත් වීමට එතරම් බාධක මතු වන්නේ නෑ.

බ්‍රිතාන්‍ය හමුදාවේ ළාබාලතම හමුදා නිලධාරියා 

බ්‍රිතාන්‍ය හමුදාවේ ළාබාලතම හමුදා නිලධාරියා ( pals.org.uk)

රෙජිනල්ඩ්ගේ පියා තම පුතුගේ අතුරුදහන් වීම පිළිබඳව සොයා බලන අතර තම පුතු ව්‍යාජ වයසක් ලබා දී හමුදාවට ඇතුළත් වී ඇති බව ඔහු විසින් සොයා ගන්නවා. නමුත්, පියා විසින් මේ අවස්ථාවේ දී ඔහුව හමුදාවෙන් ඉවත් කරගැනීමට කටයුතු නොකරන අතර, තම පුත්‍රයාගේ කැමැත්තට ඉඩ විවර කරනවා.

හමුදාවට එකතු වී එක් සතියක් ගත වන විට ඔහු සිය පළමු උසස් වීම සමග ලාන්ස් කෝප්‍රල්වරයෙක් බවට පත් වෙනවා. ඔහුගේ පියා බ්‍රිතානයේ පූජකවරයෙක් ලෙස එම කාලයේ කටයුතු කළ අතර, ඔහුගේ ආගමික දැන හැඳුනුම්කම් හේතුවෙන් 1915 වසරේ දී රෙජිනල්ඩ් බ්‍රිතාන්‍ය හමුදාවේ අධිකාරි ලත් නිලධාරියෙක් දක්වා උසස් වීම් ලබනවා. ඒ වයස අවුරුදු 15 දී දෙවන ලුතිනන්වරයෙක් දක්වා උසස් වීමෙනුයි. ඒ සමගම පළමු ලෝක යුද්ධයේ ළාබාලතම අධිකාරි ලත් නිලධාරියා බවට රෙජිනල්ඩ් පත් වෙනවා.

ජර්මානුවන්ට ගම්මිරිස් ප්‍රහාරයක් 

නිලධාරී පුහුණු පාඨමාලාව සාර්ථකව නිමා කිරීමෙන් පසුව 1916 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රංශයේ සටන් වැදුණු නැගෙනහිර ලැන්ක්ෂයර් රෙජිමේන්තුවේ 11 වන බැටෑලිනයනට ඔහුව අනියුක්ත කරනවා. මෙහි දී ජර්මානුවන් හා ඔහුගේ කණ්ඩායම් අතර සටන් ඇවිලී ගිය අතර, වරෙක සටනක් අතරතුර ඔහු ජර්මානු අත්අඩංගුවට පත් වෙනවා. එහෙත්, ජර්මානු භටයන්ගේ දෑස්වලට ගම්මිරිස් දියර ප්‍රහාරයක් එල්ල කර පලා ඒමට මේ කුඩා නිලධාරියා සමත් වෙනවා.

සෝම් නදී සංග්‍රාමයේ දී රෙජිනල්ඩ්ට මැෂින් තුවක්කු ප්‍රහාරයක්

සෝම් නදී සංග්‍රාමයේ බ්‍රිතාන්‍ය හමුදාව (metro)

පළමු ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍ය හමුදා හා ජර්මානු හමුදා අතර ප්‍රංශයේ සෝම් නදිය ආශ්‍රිතව 1916 ජූලි 1 වන දා ඇති වූ සෝම් නදී සංග්‍රාමය සඳහා භටයන් 60 දෙනෙකුගේ කණ්ඩායමක් මෙහෙයවීම රෙජිනල්ඩ්ට භාර වෙනවා. සංග්‍රාමයේ පළමු දිනයේ දී බ්‍රිතාන්‍ය හමුදාවට බරපතළ හානි සිදු වූ අතර බ්‍රිතාන්‍ය සේනාංකයන්ගේ මියගිය​, තුවාල ලද, හෝ අතුරුදහන් වූ පිරිස 57,470ක් වුණා. ඉන් 19,240ක් මියගිය හමුදා සාමාජිකයන් වුණා. මෙම සටනේ දී රෙජිනල්ඩ්, ජර්මානු මැෂින් තුවක්කු ප්‍රහාරයකින් තුවාල ලබනවා. ඒ හේතුවෙන් මාසයක් යුද පිටියෙන් ඉවත් වීමට ඔහුට සිදුවෙනවා. නැවතත් ඔහු සටන් බිමට වාර්තා කරන විට සෝම් නදී සංග්‍රාමය හේතුවෙන් ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් 60%කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් වී ඇති බව දැනගන්න ලැබෙනවා.

වැඩි දුරටත් කියවන්න- බ්‍රිතාන්‍ය යුධ ඉතිහාසයේ විනාශකාරී ම දිනය: 1916 ජූලි 1

පාදයක් ඉවත් කිරීම හා නැවතත් යුද පෙරමුණට 

පසු කාලයේ දී ඔහු සිය පුතු සමග (prod.mirror)

ප්‍රංශ යුද පෙරමුණේ දිගටම සේවය කරන ඔහු ඇතුළු භටයන් පිරිසක් වෙත 1917 මාර්තු මාසයේ එල්ල වූ ජර්මානු ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් රෙජිනල්ඩ් බරපතල තුවාල ලබනවා. ඒ හේතුවෙන් ඔහුගේ එක් පාදයක් ඉවත් කිරීමට ද සිදුවෙනවා.

ඒ සමගම ඔහු ලුතිනන්වරයෙක් දක්වා උසස් වීම් ලබන අතර, පාදයක් නොමැති වීම හේතුවෙන් හමුදාවෙන් විශ්‍රාම යන ලෙසත්, තවදුරටත් ඔහු හමුදාවේ සේවය කිරීමට සුදුසු නොවන බවත් බ්‍රිතාන්‍ය රජය නියෝග කරනවා. එම උපදෙස් පිළිනොපදින ඔහු කෘත්‍රීම පාදයක් තමන්ට ලබා දෙන ලෙසත්, ඉන් අනතුරුව නැවතත් ප්‍රංශයේ සටන් පෙරමුණට යා හැකි බවත් හමුදාවට දන්වා සිටිනවා. කෘත්‍රීම පාදයක් පැළදීමෙන් පසුව අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය තමන් සතුව ඇති බව පෙන්වීමෙන්, 1918 වසරේ මාර්තු මාසයේ දී නැවතත් ඔහු සටන් බිමට වාර්තා කරනවා. මෙවර ඔහු ඉදිරි පෙරමුණු සටන්වලට අනියුක්ත නොකෙරුණු අතර, රාජකීය ඉංජිනේරු බලකායේ කාර්යාල සේවයේ යෙදීමට ඔහුට අවසර හිමි වෙනවා.

පළමු ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව 1920 දී ඔහු සිය හමුදා ජීවිතයෙන් සමුගන්නා අතර, ලන්ඩනයේ උසස් විද්‍යාලයකට ඇතුළත් වී දේව ධර්මය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙනවා. දෙවන ලෝක යුද්ධයේ දී ද හමුදා සෙබළුන් වෙනුවෙන් ස්වේච්ඡා පූජකයෙකු ලෙස යුද බිමට ඔහු පැමිණෙනවා. වයස අවුරුදු 77ක දිවියක් ගත කළ පළමු ලෝක යුද්ධයේ ළාබාලතම බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියා, 1977 වසරේ දෙසැම්බරයේ දී සිය ජීවන ගමනට සමු දෙනවා.

මූලාශ්‍රයයන්: 

Warhistoryonline

pals.org.uk

Related Articles