අවසාන සෝවියට් නායකයා: මිහායිල් ගොර්බචොව්

සෝවියට් දේශයේ පළමු සහ එකම ජනාධිපති වූ මිහායිල් ගොර්බචොව් විවාදාත්මක චරිතයකි. ඇතැමුන් ඔහු බටහිර ඉත්තෙකු සහ සෝවියට් දේශය විනාශ කළ පුද්ගලයා ලෙස සලකන අතර තවත් සමහරුන් විසින් ඔහු සලකනු ලබන්නේ නොවැළැක්විය හැකි වූ ක්‍රියාවලියක්, එනම් සෝවියට් දේශයේ බිඳ වැටීම​, වැළැක්වීම සඳහා උත්සාහ කළ අයෙකු ලෙස යි.

බොහෝ දෙනා ඔහු ඉත්තෙකු ලෙස සැලකුව ද​, ගොර්බචොව් බටහිරට අවශ්‍ය පරිදි සෝවියට් දේශය කඩා දැමූ තැනැත්තෙකුයැ යි පිළිගැනීමට සාධක ප්‍රමාණවත් නැහැ. නමුත් ඔහු බලාපොරොත්තු වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඔහුගේ පාලනයෙන් ඉවතට ගියේයැ යි කිව හැකියි.

මුල් කාලීන කටුක ජීවිතය

මිහායිල් ගොර්බචොව් උපන්නේ 1931 මාර්තු 2 වන දා දකුණුදිග රුසියාවේ ස්ටව්රොපෝල් ප්‍රදේශයේ ප්‍රිවොල්නි නම් ගම්මානයක යි. ඔහුගේ පියා රුසියානුවෙකු වූ අතර මව යුක්‍රේන කාන්තාවක වුණා. කුඩා කාලයේ ගොර්බචොව් පවුල සාගතයෙන් බැට කෑ අතර, පසු කලෙක ඔහුගේ පියාගේ සහ මවගේ පියවරුන් ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ද ගැනුණ බව සඳහන්. ඔහුගේ මවගේ පියාට රහස් පොලීසිය විසින් වධ දෙනු ලැබුවා. ඔහුගේ ජීවිතය අඩු වයසින් නිම වීමට එය බලපාන්නට ඇතැ යි සිතිය හැකියි.

තරුණයෙකු ලෙස ගොර්බචොව් කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංවිධානය වූ කොම්සොමෝල් හි කටයුතු කළා. නමුත් ඔහුගේ ජීවිතයට වැදගත් ම සිදුවීමක් වූයේ අධ්‍යාපනය සඳහා මොස්කව් වෙත පැමිණීම යි. පාසැලේ දක්ෂතම සිසුවා වූ ඔහුට මොස්කව් සරසවියට වරම් හිමි වුණා.

මොස්කව් සහ රයිසා

1950 දී නීතිය හැදෑරීම සඳහා මොස්කව් සරසවියට ඇතුළු වූ ගොර්බචොව් සිය අනාගත බිරිඳ වූ රයිසා මුණ ගැසුනේ ද එහි දී යි. නාගරික කාන්තාවක වූ රයිසා, නගරයේ සිරිත් විරිත් ගොර්බචොව්ට කියා දුන්නා. ඔවුන් 1953 දී විවාහ වුණා. 1999 දී ලියුකේමියාව හේතුවෙන් ඇය මිය යන තුරු ම මිහායිල් ඇයට ඉතා සමීප ව සිටි බව ප්‍රකට කරුණක්.

ගොර්බචොව් යුවළ (Star Magazine Russia)

මෙකල පටන් ම ගොර්බචොව් නිර්භීත අයෙකු වූ බව සඳහන් වෙනවා. එක් වතාවක් ඔහු ස්ටාලින්ගේ ලිපි හඬ නගා කියවීම හැර අන් යමක් නොකළ කථිකාචාර්යවරයෙකු විවේචනය කළේ “මෙහි සිටින්නන් සියල්ලෝ ම ද්විතීයික අධ්‍යාපනය ලබා තිබෙනවා. ඒ නිසා ඔය ලිපි තනි ව කියවාගන්නට ඔවුනට පුළුවන්” යනුවෙන් සඳහන් කරමින්.

නීතිය හැදෑරීමෙන් පසු ගොර්බචොව් සහ රයිසා ස්ටැව්රොපෝල් වෙත පදිංචියට ගියා. ගොර්බචොව් එහි දී නීතීඥයෙකු ලෙස කටයුතු කළ අතර කොම්සොමෝල් සංවිධානයේ ස්ටැව් රොපෝල් ප්‍රාදේශිකයේ ප්‍රධාන ලේකම් බවට පත් වුණා. ගොර්බචොව් යුවළගේ එකම දියණිය වූ ඉරීනා උපන්නේ 1957 දී යි.

රයිසා ගොර්බචෝවාගේ අවමංගල්‍යයේ දී මිහාතිල් ගොර්බචොව් සහ ඉරිනා (Getty Images)

1956 දී නව සෝවියට් නායක නිකිතා කෘෂ්ශොෆ් ස්ටාලින්ගේ පාලන සමයේ ඔහු විසින් කරන ලද මර්දනයන් පිළිබඳ හෙළි කරා. මෙය සෝවියට් දේශය කැළඹීමට සමත් වුණා. ස්ටාලින් පාලන සමය තුළ දී ජනතාව සිතාගෙන සිටියේ රහස් පොලිසිය විසින් සිදුකරන මර්දනයන් පිළිබඳ ස්ටාලින් නොදැන සිටි බව යි. නමුත් ස්ටාලින් එම ක්‍රියාවන් සඳහා ඍජුව ම වගකිව යුතු බව ජනතාව කෙමෙන් කෙමෙන් දැනගත්තා.

ගොර්බචොව් ප්‍රාදේශීය පක්ෂ කටයුතුවල නිරත වෙමින් සිය බලය වර්ධනය කරගත්තා. 1970 දී ඔහු ස්ටැව්රපොල් කොමියුනිස්ට් පක්ෂ ශාඛාවේ ප්‍රධාන ලේකම් බවට පත් වුණා. මෙකල ඔහු සෝවියට් කේ. ජී. බී. රහස් පොලිසියේ ප්‍රධානී යූරි අන්ද්‍රපෝව් හඳුනා ගත්තා. පක්ෂය තුළ ගොර්බචොව්ගේ නැගීම සඳහා වැඩි ම දායකත්වයක් දැක්වූයේ අන්ද්‍රපෝව්. මේ අතර ගොර්බචොව් කෘෂිකර්මාන්තය පිළිබඳ උපාධියක් ද ලබා ගත්තා.

නැවතත් මොස්කව් වෙත​

1978 දී ගොර්බචොව් යළි මොස්කව් වෙත කැඳවනු ලැබුණා. ඔහු ව සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ කෘෂිකර්මය පිළිබඳ ලේකම් ලෙස පත් කෙරුණා.

මෙකල සෝවියට් නායකයා වූයේ ලියොනිඩ් බ්‍රෙෂ්නෙව්. ඉතා උදාසීන සහ අදක්ෂ අයෙකු වූ බ්‍රෙෂ්නෙව් යටතේ රට එක තැන පල් වෙමින් තිබුණා. කොමියුනිස්ට් නායකත්වය වයෝවෘධ පුද්ගලයන්ගෙන් සමන්විත වුණා.

(බ්‍රෙෂ්නෙව් ජනතාව අතර ද උපහාසයට ලක් වූවෙක්. ඔහු පිළිබඳ උපහාස කතා කිහිපයක් ඔබට මෙම ලිපියෙන් කියවිය හැකියි).

මේ අතර යූරි අන්ද්‍රපොව් තරුණ නායකයන් පක්ෂය තුළට ගෙන්වා ගැනීමට උත්සාහ කරමින් සිටියා. ගොර්බචොව්ට ද අවස්ථාව ලැබුණේ ඒ අයුරින්. 1980 දී ගොර්බචොව්ට කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩලයේ පූර්ණ​ සාමාජිකත්වය ලැබුණා.

යූරි අන්ද්‍රපොව් (මැද​) සහ ගොර්බචොව් ඇතුළු කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානීන් 1983 අගෝස්තු 15 වන දා (Getty Images)

සෝවියට් ආර්ථිකය ඉතා දුර්වල තත්ත්වයක වූ අතර පැරණි නායකත්වය සමග ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ද පහසු වූයේ නැහැ. 1982 දී බ්‍රෙෂ්නෙව් මියගිය අතර යූරි අන්ද්‍රපොව් බලයට පත් වුණා. ඔහුගේ පාලන සමය ගොර්බචොව්ට යහපත් කාලයක් වූ අතර ඔහුගේ බලය තවත් වැඩි වුණා. නමුත් 1984 දී අන්ද්‍රපොව් මියගිය විට නායකත්වයට පත් වූයේ කොන්ස්තන්තින් චර්නෙන්කෝ. නමුත් ඔහු බලයට පත් වෙද්දීත් බොහෝ අබල දුබල වූ අයෙකු වුණා. 1985 මාර්තුවේ දී ඔහු මිය ගියා.

දින කිහිපයකට පසු කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩලය විසින් ගොර්බචොව් නායකත්වයට පත් කර ගත්තා.

පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට්

මිහායිල් ගොර්බචොව් බලයට පත් වූ විගස ම ඔහුගේ නායකත්ව ශෛලිය වෙනස් බව පෙනෙන්නට තිබුණා. ගොර්බචොව් ජනතාව හමුවීමට සහ මාධ්‍ය සමග සාකච්ඡා කිරීමට ඉමහත් කැමැත්තක් පෙන්නුම් කළ අතර ඔහු පිටපත බලා කියවීමෙන් තොරව කතා පැවැත්වූවා. එමෙන්ම ඔහු බොහෝ තැන්වල දී රයිසා සමග එක්ව ජනතාව හමුවීමට ගිය අතර එය මීට පෙර කිසිදු සෝවියට් නායකයෙකු නොකළ දෙයක්.

මෙසේ ජනතාව හමු වූ බොහෝ අවස්ථාවන් හි ගොර්බචොව් කතා කළේ ඔහුගේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව යි. ඒවා පෙරෙස්ත්‍රොයිකා (ප්‍රතිසංවිධානය​) සහ ග්ලාස්නොස්ට් (විවෘතභාවය​) යනුවෙන් හැඳින්වුණා.

රේගන් සහ ගොර්බචොව් (AP)

මේ අතර 1985 නොවැම්බරයේ දී පළමු වරට නව සෝවියට් නායකයා සහ ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් මුණ ගැසුණා. එය ඉතා යහපත් ලෙසින් නිම වූ හමුවක් බවට පත් වුණා.

චර්නොබිල්

ගොර්බචොව්ගේ මෙම නව විවෘතභාවය ප්‍රශ්න කෙරෙන සිදුවීමක් වැඩිකල් නොගොස් සිදු වුණා. ඒ 1986 අප්‍රේල් 26 වන දා සිදු වූ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර අනතුර යි. මුලින් සෝවියට් ජනතාවට මේ පිළිබඳ කිසිවක් දැනුම් දීමෙන් රජය වැළකී සිටි අතර පසු ව ඔවුනට ව්‍යාජ තොරතුරු ලබා දෙනු ලැබුණා. සිදු වූ විනාශයේ තරම ගොර්බචොව් පවා නිවැරදි ව දැනගත්තේ දින කිහිපයක් ගත වීමෙන් පසු ව යි. මෙසේ තොරතුරු සැඟවීම ඔහුගේ ග්ලාස්නොස්ට් ප්‍රතිපත්තිය හාස්‍යයට ලක් වීමක් වූ අතර ඔහු ද විවේචනයට ලක් වීමට හේතු වුණා.

නමුත් මෙහි එක් අතුරු ඵලයක් වූයේ ගොර්බචොව් සිය ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව පිළිබඳ වෙනදාටත් වඩා විශ්වාස කිරීමට පටන් ගැනීම යි. ඒ සමග ම ජනතාව සෝවියට් දේශයේ සැබෑ තතු කෙමෙන් කෙමෙන් දැනගත්තා. ඒ වන විට ද කෙතරම් දේ ජනතාවට පවසන්නේ ද යන්න තීරණය කළේ රජය වුවත්, පෙරට වඩා බොහෝ දේ රජය ජනතාවට හෙළි කළා. විශේෂයෙන් ම ස්ටාලින්ගේ ඝාතන සහ මර්දනය පිළිබඳ ජනතාව වඩාත් හොඳින් දැනගත් අතර එම සමයේ සිය ඥාතීන් අහිමි වී තවමත් ජීවතුන් අතර සිටි අයට තම අත්දැකීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකි වුණා.

මෙය රජය තුළ වූ දැඩි මතධාරීන්ගේ ප්‍රසාදයට හේතු වූයේ නැහැ. ඔවුන් බිය වූයේ රජය ලිහිල් බවක් පෙන්වුවහොත් ඉන් රජයට එරෙහි ව්‍යාපාර දිරිමත් වනු ඇති බව යි. සෝවියට් ක්‍රමය ප්‍රජා පීඩනය මත රඳා පැවති එකක් බව එය මෙහෙය වූ අය හොඳින් අවබෝධ කරගෙන සිටියා.

තනි පක්ෂ ක්‍රමය පරාජය කිරීම​

දැඩි මතධාරී කොමියුනිස්ට්වාදීන්ගේ විරෝධය සහ ඊට එරෙහිව​ ගොර්බචොව් සිය ප්‍රතිසංස්කරණ සඳහා යොමු වීම හේතුවෙන් විශාල විපර්යාසයක් බලාපොරොත්තු විය හැකි වුණා. ගොර්බචොව් තීරණය කළේ දැඩි මතධාරී කොමියුනිස්ට්වාදීන් තමන්ට එරෙහි වන්නේ නම් ඔවුනගේ බලය බිඳීම සඳහා තනි පක්ෂ ක්‍රමයට තර්ජනය කළ යුතු බව යි. 1988 කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේ දී නිදහස් මැතිවරණ සඳහා පක්ෂය එකඟ කරගැනීමට ඔහු සමත් වුණා. මේ අනුව ස්වාධීන අපේක්ෂකයන්ට කොමියුනිස්ට් අපේක්ෂකයන් හා තරග කළ හැකි වුණා.

මේ අනුව 1989 මාර්තු මාසයේ දී උත්තරීතර සෝවියට් සභාවට මැතිවරණය පැවැත්වුණා. මින් පෙර සෝවියට් දේශයේ මැතිවරණවල දී තරග කළේ එක් අපේක්ෂකයෙකු පමණ යි. මෙම මැතිවරණයේ දී වෙනත් අයට තරග කරන්නට අවස්ථාව ලැබුණා. සම්පූර්ණ ආසන සංඛ්‍යාවෙන් අඩක දී පමණ කොමියුනිස්ට් අපේක්ෂකයන්ට තරගයක් දෙන්නට තවත් එක් අපේක්ෂකයකු හෝ ඉදිරිපත් වුණා.

කාලාන්තරයක් තිස්සෙ පැවති පක්ෂ යාන්ත්‍රණය එක්ක අලුත් අපේක්ෂකයන්ට ලොකු සටනක් දීමට හැකි වූයේ නැහැ. නමුත් ඇතැම් ස්ථානවල පැරණි කොමියුනිස්ට් නායකයින් පරාජය වුණා. ලෙනින්ග්‍රාද් නගරයේ කොමියුනිස්ට් පක්ෂ නායකයා අන්ත පරාජයකට පත් වීම ඊට එක් උදාහරණයක්.

මේ අතර 1990 දී සෝවියට් දේශයට පළමු වරට ජනාධිපති තනතුරක් ඇති කෙරුණා. එයට පත් වූයේ ගොර්බචොව්. මෙය කොමියුනිස්ට් පක්ෂය​ කේන්ද්‍ර​ කරගත් පැරණි පරිපාලන ව්‍යුහයෙන් ස්වාධීන ව්‍යුහයක් නිර්මාණය කිරීමේ තවත් පියවරක් වුණා.

නිරවි යුද්ධය නිමා වීම

සෝවියට් ආර්ථිකය මෙකල වූයේ එතරම් ශක්තිමත් ස්ථාවරයක නොවේ. ප්‍රතිසංස්කරණ හේතුවෙන් ජනතාවට සිය රජය විවේචනය කිරීමේ ඉඩ ලැබුණ අතර මේ අනුව එහි අඩුපාඩු වෙනදාට වඩා ප්‍රසිද්ධියේ දිස්වන්නට ද වුණා.

ගොර්බචොව්ට තිබූ එක් බරපතළ අවශ්‍යතාවක් වූයේ ඇමරිකාව සමග වූ අවි තරගය නිමා කිරීම යි. ඒ අනුව ඔහු කිහිප විටෙක ම ජනාධිපති රේගන් සහ ජනාධිපති ජෝර්ජ් ඩබ්ලියු. බුෂ් මුණ ගැසී සාකච්ඡා කළා. මේ අතර ඔහු තවත් වෙනසක් සිදු කළා.

නැගෙනහිර ජර්මනියේ 40 වන සංවත්සර දිනයේ දී එරට නායක එරික් හොනෙකර් සමග​. හොනෙකර් මින් දින 11කට පසු බලයෙන් නෙරපනු ලැබුණා (AP).

සෝවියට් දේශයේ ප්‍රතිසංස්කරණ සිදු වන විට එය නැගෙනහිර යුරෝපයේ සෝවියට් පරිවාර රාජ්‍යයන් වෙත දැනෙන්නට වුණා. නමුත් ඒවායේ පාලකයින් තවමත් දැඩි මතධාරී කොමියුනිස්ට්වාදීන් වුණා. 1989 දී ජනතාව ඔවුනට එරෙහිව උද්ඝෝෂණ ඇරඹුවා. මින් පෙර එවන් අවස්ථාවන් හි දී සෝවියට් හමුදා මැදිහත් ව ඒවා මර්දනය කළා. නමුත් මේ අවස්ථාවේ ගොර්බචොව් එයින් වැළකී සිටියා.

ගොර්බචොව්ගේ තර්කය වුණේ එම පරිවාර රටවලට ආධාර දීම සෝවියට් දේශයට බරක් වන හෙයින් එම රටවල් තම කටයුතු පිළිබඳ බලාගත යුතු බව යි.

කෙසේ වෙතත් ගොර්බචොව්ගේ මෙම තීරණයත් සමග නැගෙනහිර යුරෝපා කොමියුනිස්ට් රාජ්‍යයන් කඩා වැටුණා.

සෝවියට් දේශය බිඳ වැටීම

මේ අතර සෝවියට් දේශයේ ද තත්ත්වය එතරම් යහපත් වූයේ නැහැ. අලුතින් ලද නිදහස හේතුවෙන් විවිධ කණ්ඩායම් එරට තුළ අර්බුද ඇති කළා. එක් අතකින් ඇතැම් සමූහාණ්ඩුවල ස්වාධීනතාව සඳහා ඉල්ලීම් වර්ධනය වුණා. තවත් ස්ථානයන් හි ජාතිවාදී ගැටුම් ඇවිළුණා.

මේ අතර සෝවියට් රජය තුළ වූ දැඩි මතධාරී කණ්ඩායම මෙම සිදුවීම් දෙස බලා සිටියේ නොකැමැත්තෙන්. ඔවුනට අවශ්‍ය වූයේ පැරණි, තනි පක්ෂ පාලන ක්‍රමය යටතේ ක්‍රමවත් ව පරිපාලනය සිදුවනු දැකීම යි. එමෙන්ම ප්‍රතිවිප්ලවකරුවන් ලෙස ඔවුන් විසින් සලකන ලද ප්‍රතිසංස්කරණවාදීන් මර්දනය කිරීම යි. මොවුන් 1991 අගෝස්තුවේ කුමන්ත්‍රණයක් දියත් කළා. නමුත් මෙය අසාර්ථක වූ අතර එය සෝවියට් දේශයේ අවසානය ද වේගවත් කළා. 1991 දෙසැම්බර් 25 වන දා සෝවියට් දේශය විසිරුවා හරින බව ගොර්බචොව් ප්‍රකාශ කළා.

සෝවියට් යුගයෙන් පසු

මිහායිල් ගොර්බචොව් සෝවියට් යුගයෙන් පසු අවස්ථා කිහිපයක දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ හෝ සංවිධාන හෝ ගොඩනැගූ නමුත් ඊට විශාල ජනප්‍රියත්වයක් හිමි වූයේ නැහැ. සෝවියට් දේශය පිළිබඳ සහ වෙනත් දේශපාලනික කරුණු පිළිබඳ මාධ්‍යවේදීන් ඔහුගේ අදහස් විමසන අතර ඔහු ද තම අදහස් ගෙන හැර දක්වනවා. මේ අයුරින් වරක් ඔහු සඳහන් කළේ තමන් 1991 දී බලය අත නොහැරියේ නම් පැරණි සෝවියට් දේශය බරපතළ සිවිල් යුද්ධයක් කරා යෑමේ ඉඩක් වූ බව යි.

මේ අතර පෞද්ගලික ජීවිතයේ ඔහුට සිදු වූ බරපතල ම ඛේදවාචකය වූයේ 1999 දී රයිසා මිය යෑම යි. ඇයගේ අඩුව ඔහුට ඉන්පසු දිගටම බලපෑ බව ප්‍රකට කරුණක් වුණා.

Cover Image: මිහායිල් ගොර්බචොව් (RIA Novosti)

Related Articles

Exit mobile version