Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

පැරගුවේ ස්වදේශිකයන්ගේ දෙවියෙකු වූ රුසියානුවා

දොස්තර ආර්. එල්. ස්පිටල්, ලංකාවේ වැදි ජනයා අතර කළ සේවය හේතුවෙන් එම ජනයා අතර ආදරයට පාත්‍ර වුණා. ඔවුන් විසින් ඉතා ගෞරවයෙන් ඔහුට “සුදු හූරා” යනුවෙන් ආමන්ත්‍රණය කළ බව අප අසා තිබෙනවා. මේ ආකාරයෙන්ම සුදු ජාතිකයකු පැරගුවේ හි ග්‍රෑන් චැකෝ ප්‍රදේශයේ මකා ඉන්දියානුවන් අතර ගෞරවාදරයට පත් වුණා. එම ගෞරවය කෙතරම් වී ද යත්, ඔහුගේ මරණින් පසු එම ජනයා විසින් ඔහුව දේවත්වයට පවා නංවා තිබෙනවා. අප අද විස්තර කිරීමට අදහස් කරන්නේ ඉවාන් බෙල්යායෙෆ් හෙවත් හුවාන් බෙලායෙෆ් නම් වූ මෙම රුසියානුවා ගැන යි.

ඉවාන් බෙල්යායෙෆ් උපන්නේ 1875 දී රුසියාවේ සාන්ත පීතර්බුර්ග් නගරයේ යි. කුඩා කාලයේ පටන්ම ඔහු ඇමරිකා මහාද්වීපයන් හි ස්වදේශිකයන් පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්වූ බව සඳහන් වනවා. ඊට හේතු වී ඇත්තේ අහම්බයෙන් ඔහු දුටු The Last of the Mohicans කෘතියක්. ජේම්ස් ෆෙනිමෝර් කූපර් විසින් 1826 දී ලියන ලද මෙම නවකතාව ඔහුගේ ජනප්‍රියම කෘතියක් වුණා.

බෙල්යායෙෆ් රුසියානු හමුදාවට බැඳුණු අතර, ඔහු සේවය කළේ කාලතුවක්කු නිලධාරියෙකු ලෙස යි. පළමුවන ලෝක යුද්ධය ඇරඹෙන විට ඔහු කර්නල්වරයෙකු වුණා.

ඉවාන් බෙල්යායෙෆ් (Private Archive)

යුද්ධයේ දී ඔහු කිහිප විටක්ම අනතුරුදායක අවස්ථාවලින් ගැලවීමට වාසනාව ලැබුවා. එක් අවස්ථාවක ඔහුගේ පපු ප්‍රදේශය තුළට උණ්ඩයක් ඇතුල් වුණ ද, එය අනතුරුදායක ඉන්ද්‍රියයන් කිසිවකට හානි කළේ නැහැ. ප්‍රතිකාර සඳහා ඔහුව පෙත්‍රොග්‍රාදය වෙත යවනු ලැබුණා. එහි දී ඔහුව ජෙනරාල් ධුරයට උසස් කෙරුණා.

රුසියාවෙන් නික්මීම

1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු රුසියාවේ සිවිල් යුධ තත්ත්වයක් ඇති වුණා. මෙහි දී බෙල්යායෙෆ්, පියතෝර් ව්‍රැන්ගල්ගේ ස්වේච්ඡා හමුදාව හා එක් වුණා. එය බෝල්ෂවික් රතු හමුදාවට එරෙහිව සටන් කළ සුදු හමුදාවන්ගෙන් එකක් වුණා.

ව්‍රැන්ගල්ගේ හමුදා පරාජය කෙරුණ අතර, බෙල්යායෙෆ් රටින් පිට වුණා. වැඩිකල් නොගොස් ඔහු දකුණු ඇමරිකාවට පිටත්ව ගියා.

බෙල්යායෙෆ් ආර්ජන්ටිනාවේ පදිංචි වුව ද, ඔහු වැඩිකල් නොගොස් පැරගුවේ වෙත පැමිණියා. ඔහුගේ අදහස වූයේ පිටුවහල් වූ තවත් රුසියානුවන් ද එහි පදිංචි වීමට පෙළඹවීම යි.

පැරගුවේ රාජ්‍යය ද මෙම සංක්‍රමණිකයන් පිළිගැනීමට සූදානමින් සිටියා. දකුණු ඇමරිකාව යුරෝපීයයන් සංක්‍රමණය වූ ප්‍රදේශයක් වුණත්, පැරගුවේ රාජ්‍යය වෙත විශාල අවධානයක් යොමු වූයේ නැහැ. කෙසේ වෙතත්, බෙල්යායෙෆ් සිය නම ද ස්පාඤ්ඤ ඌරුවට වෙනස් කර ගෙන 1924 දී එහි පදිංචි වුණා.

එම වසරේ දී ම ඉවාන් බෙල්යායෙෆ් හෙවත් හුවාන් බෙලායෙෆ්, තවත් සුදු හමුදා නිලධාරීන් දොළොස් දෙනෙකු සමග පැරගුවේ හමුදාවට එක් වුණා.

සිතියම් ශිල්පියා

බෙලායෙෆ්, මීළඟ වසර කිහිපය තුළ කළ ප්‍රධානම කර්තව්‍යය වූයේ සිතියම් ශිල්පියෙකු ලෙස පර්යේෂණ චාරිකා සිදුකිරීම යි. ඔහුට මකා ගෝත්‍රිකයන් මුණගැසුණේ එම සංචාරයන් අතරතුර දී යි.

චැකෝ ප්‍රදේශය (BBC)

මකා ගෝත්‍රිකයන් ඔවුන්ටම ආවේණික වූ භාෂාවකින් සහ සංස්කෘතියකින් යුතු අය යි. එමෙන්ම 20 වන සියවස මුල් කාලය වන විට ද, ඔවුන් අන් ජනයා හා එතරම් සම්බන්ධයක් වූයේ නැහැ. කෙසේ නමුත්, බෙලායෙෆ් ඔවුන් සමග හොඳ සහසම්බන්ධයක් ගොඩනගා ගත්තා. කලක පටන් ඇමරිකානු මහාද්වීපවල ස්වදේශික ජනයා පිළිබඳ දැඩි උද්‍යෝගයකින් පසු වූ ඔහුට ඔවුන් හා කටයුතු කිරීමට ලැබුණේ පළමු වතාවට යි.

බෙලායෙෆ් බටහිරදිග පැරගුවේ හි චාරිකා දහතුනක් සිදුකළා. ඒ අතරතුර ඔහු ස්වදේශික ජනතාවට ඇඳුම් සහ වෙනත් ද්‍රව්‍යමය ආධාරයන් ලබා දුන්නා. එමෙන්ම ඔවුන්ගේ භාෂාව සහ සංස්කෘතිය හැදෑරුවා. ඔවුන් වෙනුවෙන් පාසැල් ඇති කළා. මෙම ස්වදේශිකයන් ඔහුව “සුදු පියා” යයි හඳුන්වන්නට පටන් ගත්තා.

මකා ස්වදේශිකයන් වර්තමානයේ (andeantrails.co.uk)

බෙලායෙෆ්ගේ කටයුතු පැරගුවේ රාජ්‍යයට විශාල වැදගත්කමකින් යුතු වුණේ බොලිවියාව සමග චැකෝ යුද්ධයට පැටලුණ අවස්ථාවේ යි. මෙහි දී බෙලායෙෆ් සටන් කළේ නැති වුණත් පැරගුවේ හමුදාවට උපදෙස් ලබා දුන්නා. විශේෂයෙන්ම බලකොටු ඉදිකිරීම සඳහා සුදුසු ස්ථාන තෝරාගැනීමට ඔහු ලබාදුන් උපදෙස් බෙහෙවින් ප්‍රයෝජනවත් වුණා.

කියවන්න​: තෙල් සම්පත සොයා දස දහස් ගණන් ජීවිත බිලි දුන් චැකෝ යුද්ධය

මේ සියලු කාරණා මැද බෙලායෙෆ්ගේ ප්‍රධානම අරමුණ වූයේ පැරගුවේ හි රුසියන් ජනපදයක් ඉදිකිරීම යි. මෙම “නව රුසියාවේ” සැලසුම නම් සාර්ථක වුණේ නැහැ. රුසියානුවන් වැඩි දෙනෙකු එරට පදිංචියට පැමිණෙන්නට උනන්දු නොවීම එයට හේතු වුණා. පැමිණි අය ද වඩා පොහොසත් වූ ආර්ජන්ටිනාව, උරුගුවේ, බ්‍රසීලය ආදී රටවලට සංක්‍රමණය වුණා. කෙසේ වෙතත්, රුසියානුවන් කිහිප දහසක් පැරගුවේ හි නතර වුණ බව සැලකෙනවා. මෙම පිරිස යුධ ක්ෂේත්‍රයේ මෙන්ම ගුරුවරුන් ආදී වෙනත් වෘත්තිකයන් ලෙස ද සැලකිය යුතු සේවයක් පැරගුවේ වෙත සිදුකළා. මේ අයගෙන් පැවතෙන බොහෝ දෙනෙක් මේ වන විට කෙතෙක් පැරගුවේ හි සංස්කෘතියට අනුගතව ඇති ද යත්, ඔවුන් රුසියන් බස ද නොදන්නා බව සඳහන් වනවා.

බෙලායෙෆ් සිය ජීවිතයේ අවසන් කාලය ගෙව්වේ අසෙන්ෂන් අගනුවර අසල පැරගුවේ නදිය මැද වන දූපතක යි. මෙහි ප්‍රකට මකා ගෝත්‍රික ජනාවාසයක් වනවා. 1957 දී බෙලායෙෆ් මියගිය අතර, ඔහුගේ සිරුර ස්වදේශික රක්ෂිත ප්‍රදේශයක ඉදිකළ විශේෂ සමාධියක තැන්පත් කෙරුණා. මකා ඉන්දියානුවන් ඔහුව දේවත්වයෙන් අදහනු ලබනවා.

කවරයේ පින්තූරය: බෙලායෙෆ් (Public Domain)

Related Articles