සෞදි අරාබියේ සිහසුන සඳහා සටනින් පෙරමුණ ගත් බින් සල්මාන්

සෞදි අරාබියේ කිරුළ හිමි කුමරු ලෙස නම් දරා සිටි මොහොමඩ් බින් නයෙෆ් ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව සෞදියේ උප අගමැති මොහොමඩ් බින් සල්මාන් අල් සෞද් සෞදියේ මීළඟ කිරුළ හිමි කුමරු ලෙස නම් කරන බව සෞදි අරාබිය රාජකීය ආඥාවක් නිකුත් කරමින් පවසා සිටියා. ඒ ජුනි මස 19 වනදායි.

උප අගමැති ධුරයට අමතරව සුධී අරාබියේ ආරක්ෂක අමාත්‍ය ධුරය ද දරන 32 හැවිරිදි බින් සල්මාන් කුමරු වත්මන් ලෝකයේ ලාබාලම ආරක්ෂක ඇමති ධුරය දරන්නා ලෙසත් නම් දරා සිටිනවා.

මේ සෞදි අරාබියේ අභිනව කිරුළ හිමි කුමරු පිලිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට Roar කණ්ඩායමේ අපි දරන උත්සාහයකුයි.

හදිසියේ සිදු වූ තනතුරු මාරුව

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි කතා බහට ලක් වූ මැද පෙරදිග සංචාරයෙන් මසකට පමණ පසු සෞදි රජු විසින් කරන ලද මෙම පත්කිරීම බොහෝ දෙනා මවිතයට පත් කරන්නක් වූවා. බින් සල්මාන් කිරුළ හිමි කුමරු ධුරයට පත් කළේ මේ නිසායැයි  කීමට ස්ථිර හේතුව සෞදි රජය විසින් ඉදිරිපත් නොකිරීමත්, කිරුළට උරුමකම් කිව හැකි වයසින් වැඩි කිහිපදෙනෙකුම රජපවුලේ සිටියදී එයින් ලාබාලම පුද්ගලයා කිරුළ හිමි කුමරු ලෙස නම් කිරීමත් එයට හේතු වූ බව කිව හැකියි.

මේ වනවිට ඉතා මහලු වියේ පසුවන සෞදි රජතුමා ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන බවටත් පසුගිය කාලයේ වාර්තා වුණා. මෙම හදිසි පුටු මාරුවට එයත් හේතුවක් වන්නට ඇති බවටත් මත පළවෙනවා.

57 හැවිරිදි මොහොමඩ් බින් නයෙෆ් වෙනුවට මොහොමඩ් බින් සල්මාන් පත් කිරීම කිනම් හෝ අවස්ථාවක සිදුවනු ඇතැයි විචාරකයන් සැක පහළ කළේ අද ඊයේ නොවේ. දෙවැනි කිරුළ හිමි කුමාරයා ලෙස 2015 අප්‍රේල් මාසයේදී නම් කරනු ලැබූ තැන පටන් ම මේ පිළිබඳ විවිධ අනාවැකි පළ වුණා. එහෙත් මෙතරම් ඉක්මණින් එය සිදු කිරීම පිළිබඳ මැදපෙරදිග පිළිබඳ විචාරකයන් මවිතය පළ කර සිටියා.

බින් නයෙෆ් කුමරු (Reuters)

2015 අප්‍රේල් මාසයේදී බින් නයෙෆ් කිරුළ හිමි කුමාරයා ද බින් සල්මාන් දෙවන කිරුළ හිමි කුමාරයා හෙවත් උප කිරුළ හිමි කුමාරයා ද ලෙස නම් කෙරුණ අවස්ථාවේ රාජ්‍ය පරිපාලනයේ විවිධ අංශ ඔවුන් අත බෙදා දෙනු ලැබුණා. බින් නයෙෆ් යටතේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය​, ත්‍රස්ත විරෝධී යාන්ත්‍රණය​, බුද්ධි අංශ සහ ආගමික පූජකයන් සහ විනිසුරන් පාලනය වුණා. බින් සල්මාන් ආරක්ෂක​, ඛනිජ තෙල් සහ ආර්ථික අමාත්‍යාංශ පාලනය කළා. මෙම අමාත්‍යාංශවල පාලනය තමා යටතේ තිබීමෙන් බින් සල්මාන්ට සිය ඥාති සහෝදර බින් නයෙෆ් අතික්‍රමණය කිරීමට හැකි වුණා. විශේෂයෙන් ම යේමනයේ හූති කැරලිකරුවන්ට එරෙහි ප්‍රහාර සහ සෞදි ආර්ථික ප්‍රතිසංස්කරණවලින් ඔහු සිය බලය තහවුරු කරගත්තා. මේ දෙදෙනාගේ බල අරගලයේදී නයෙෆ් කෙමෙන් කෙමෙන් පසෙකට තල්ලු වනු පැහැදිලිව පෙනෙන්නට තිබුණා.

කෙසේ නමුත් බොහෝ දෙනා පවසා සිටින්නේ යුද්ධ බිය, දේශ සීමා ගැටුම් ඇතුළු අභියෝග ගණනාවකට මුහුණ දෙමින් අතිශය පිඩාවට පත්ව සිටින මැද  පෙරදිග කලාපයට මෙතෙක් සිටි පැරණි පරපුරේ නායකයන් වෙනුවට දැන් තරුණ නායකයන්ගේ පිවිසීම අත්‍යාවශ්‍ය බවයි.

පෞද්ගලික ජීවිතය

මොහොමඩ් බින් සල්මාන් කුමරු උපත ලැබුවේ 1985 අගෝස්තු මස 31 වනදායි.  ඔහුගේ මව අජ්මාන් නම් ගෝත්‍රයේ රජුගේ දියණියයි.

2008 වසරේදී බින් සල්මාන් කුමරු සාරා බිනට් මෂූර් බින් අබ්දුල්ලාශිෂ් අල් සෞද් කුමරිය සමඟ විවාහ වූ අතර එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙකු ද සිටිනවා.

සෞදි අගනගරය වන රියාද් හි සිය මූලික අධ්‍යාපනය හැදෑරූ  කිරුළ හිමි කුමරා වරක් රාජධානියේ හොඳම සිසුවන් 10 දෙනා අතරට එක්වීමට තරම් විභාග ලකුණු ලබාගෙන​ තිබෙනවා.

මූලික අධ්‍යාපනයෙන් අනතුරුව කිංග් සෞද් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධිය දෙවන පෙළ ගෞරව සාමාර්ථයක් සහිතව ලබා ගැනීමට ඔහු සමත් වූ  බව කිව යුතුයි.

වෘත්තීය දිවියේ මං සලකුණු

උපාධිය ලබා ගැනීමෙන් පසු දේශපාලනයට පැමිණීමට පෙර බින් සල්මාන් කුමරු රාජ්‍ය ආයතන ගණනාවක තනතුරු රැසක් දරා  තිබෙනවා.

ඒ අතරින් Riyadh Competitive Council  හි මහලේකම් ධුරය, කිංග් අබ්දුල්අසීස් පදනමේ (King Abdulaziz Foundation) හි සභාපතිවරයාගේ විශේෂ උපදේශක ධුරය සහ සංවර්ධනය සඳහා වූ අල්බීර් සමාජයෙහි භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම විශේෂ කොට දැක්විය හැකියි.

ඔහු විසින් නියැලුණු සමාජ සේවා කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස බින් සල්මාන් කුමරු MiSK පදනම ආරම්භ කරනු ලැබුවා. එය සෞදි තරුණ පරපුරේ ඉගෙනුම් සහ නායකත්ව කුසලතා දියුණු කිරීම සඳහා වූ ලාබ නොලබන සංවිධානයක්.

තරුණ පරපුරේ උන්නතිය උදෙසා ඔහු විසින් කරන ලද සමාජ සේවා කටයුතු නිසාමෆොර්බ්ස් සඟරාවේ මැදපෙරදිග ශාඛාව විසින්  2013 වසරේ සෞදියේ ‘’වසරේ පුරවැසියා’  සම්මානය බින් සල්මාන් කුමරු වෙත පිරිනමනු ලැබුවා.

දේශපාලනයට පිවිසීම

මොහොමඩ් බින් සල්මාන් පූර්ණ කාලින දේශපාලනයට පිවිසෙන්නේ 2007 වසරේදීයි. ඒ සෞදි අමාත්‍ය මණ්ඩලයේ උපදේශකයෙකු ලෙස වසර දෙකක් සඳහා වැඩ බාර ගැනීමත් සමඟයි. 2009 වසරේ දී ඔහුව විශේෂ උපදේශකයෙකු ලෙස පත් කරනු ලැබුවා. ඒ එවකට රියාද් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ඔහුගේ පියා වෙනුවෙනුයි. එම ධුරයේ යෙදෙන අතරතුර ම බින් සල්මාන් සෞදි කැබිනෙට් මණ්ඩල විශේෂඥ කොමිසමේ අර්ධ කාලීන උපදේශකයෙකු ලෙස 2013 වසරේ මාර්තු තෙක් කටයුතු කරනු ලැබුවා.

සෞදි ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔහුව පත් කරනු ලැබුවේ 2015 වසරේ ජනවාරි 23 වන දිනයි. ඒ ඔහුගේ පියාගේ රාජප්‍රාප්තියට සමගාමීවයි. එම වසරේදීම දෙවෙනි කිරුළ හිමි කුමරු ලෙසත් බින් සල්මාන්ව නම් කරනු ලැබුවා.

ආරක්ෂක අමාත්‍ය ධුරයේ සිටින විට ඔහු විසින් ගත් වඩාත්ම අවධානයට පාත්‍ර වූ ක්‍රියාව ලෙස සැලකෙන්නේ යේමන යුද්ධයේදී සෞදි අරාබියේ මූලිකත්වයෙන්ක්‍රියාත්මක කළ ‘ඒකාන්ත කුණාටුව’ නම් වූ මෙහෙයුමයි (Operation Decisive Storm). ඔහු විසින් එම තීරණය ගනු ලැබුවේ ධුරයට පත්වී මාස දෙකක පමණ ඉතා කෙටි කලකින් වීම විශේෂ කොට සැලකිය හැකියි.  මෙම මෙහෙයුම සඳහා යේමනයේ හූතී කැරළිකරුවන්ට  එරෙහිව යුද්ධ වදින, කලාපයේ සුන්නි මුස්ලිම් රටවල් 8ක් සහභාගී වූවා.

 

සල්මාන් රජු (AFP/Getty)

එමෙන්ම බින් සල්මාන් සෞදියේ පරම සතුරෙකු ලෙස සැලකෙන ඉරානයට එරෙහිව වඩා ආක්‍රමණශීලි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නෙකු ලෙසද ප්‍රකටයි.

ඔහුගේ මෑත කාලින පත්වීම්වලට පෙර සිටම සිය පිය රජතුමාගේ පෞද්ගලික සහායකයෙකු ලෙසද කටයුතු කළ බින් සල්මාන් ඔහුගේ පියාගේ රාජකීය උසාවියේ (royal court) සභාපති ලෙසත් කටයුතු කළා. ඒ සල්මාන් රජු කිරුළ හිමි කුමරු ලෙස කටයුතු කළ සමයේදී. එහිදී බින් සල්මාන් තම අභිමතයට එරෙහිව ඇතැම් වෙනස්කම් සිදු කළ බවත් ප්‍රකට කරුණක්.

වර්තමානයේ දරන තනතුරු සියල්ලටම අමතරව බින් සල්මාන් ආර්ථික සම්බන්ධතා සහ සංවර්ධන කමිටුවේ මුලසුන ද හොබවනවා. සෞදි රාජ්‍යයේ ආර්ථික කටයුතු මෙන්ම දේශපාලන සහ ආරක්ෂක ප්‍රතිපත්ති සැකසීම එම කමිටුවට අයත් කාර්යයක්.

මති  මතාන්තර

2016 වසරේදී ඔහු විසින් වසර 2030 වනවිට සෞදි අරාබිය මැදපෙරදිග කලාපයේ සහ ඉස්ලාම් ලෝකයේ ප්‍රමුඛතම සහ ප්‍රබලතම රාජ්‍යය බවට පත්කිරීම වෙනුවෙන් දිගුකාලීන සැලැස්මක් හඳුන්වා දුන්නා.  එය හැඳින්වෙන්නේ Vision 2030 නමින්. මහාද්වීප තුනක් යා කරන මධ්‍යස්ථානයක් ලෙසත් ආයෝජන දැවැන්තයෙකු ලෙසත් සෞදිය පත්කිරීමත් මෙම සැලසුමේම කොටසක්.

මෙවන් නවීන ප්‍රතිපත්ති හඳුන්වාදීම මගින් ආර්ථිකය නව මානයන් කරා යොමු කරවීමටත්, පෞද්ගලිකරණය කෙරෙහි යොමුකරවීමටත් බින් සල්මාන් බලාපොරොත්තු වෙනවා. ඔහුගේ අරමුණ වන්නේ 2030 වන විට සෞදි අරාබිය ඛනිජ තෙල් මත නොයැපයෙන ආර්ථිකයක් බවට පත්කරවීමයි. තොරතුරු තාක්ෂණය රාජ්‍ය කටයුතුවලට යොදාගැනීම හඳුන්වාදීමත් ඔහුගේ තවත් අරමුණක්.

බින් සල්මාන් සහ ට්‍රම්ප් ධවල මන්දිරයේදී (AP)

තරුණ පරපුර කෙරෙහි වැදී අවධානයක් යොමු කරන ඔහු විනෝද කටයුතු සඳහා දැනට වඩා වැදී ඉඩක් රට​ තුළ විවර විය යුතුයැයි විශ්වාස කරන්නෙක්. සෞදි කැබිනට් මණ්ඩලය එරට ආගමික පොලිසියේ බලතල තරමක් අඩු කරනු ලැබුවේත්, විනෝද කටයුතු සඳහා අධිකාරියක් පත්කරනු ලැබුවේත් බින් සල්මාන්ගේ උපදෙස් මත බවයි පැවසෙන්නේ.

බින් සල්මාන් කුමරු ඇමරිකා එක්සත් ජනපදය කෙරෙහි වඩා මිත්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් නොරහසක්. ඔහු පසුගිය මාර්තු මාසයේ වොෂින්ටන්හිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසී සාකච්ඡාවක් පවත්වා ද තිබුණා. ධුරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම විදේශ සංචාරය ලෙස සෞදි අරාබිය තෝරාගැනීමට ට්‍රම්ප් තීරණය කළේ මෙම හමුවීමෙන් අනතුරුව බවයි පැවසෙන්නේ.

සාම්ප්‍රදායිකත්වය කෙරෙහිම ඇලි ගැලී නොසිටින සෞදියේ නව කිරුළ හිමි කුමරා සමාජ ජාලයන් තුළ ක්‍රියාකාරීව විටින සෞදි තරුණ පරපුර සමඟත් ඉතා සමීපව කටයුතු කරණු ලබනවා. මේ හේතුන් නිසා තරුණ පරපුර තුළ බින් සල්මාන් කෙරෙහි පවතින්නේ මිත්‍රශීලි හැඟීමක්. නමුත් ඔහුගේ ඇතැම් ක්‍රියාකලාපයන් සෞදියේ ජ්‍යෙෂ්ඨ​ ආගමික නායකයන්ගේ විවේචනවලට බඳුන්වන බවත් කිව යුතුයි.

මූලාශ්‍ර​

  1. Profile: Saudi crown prince Mohammed bin Salman. Al Jazeera
  2. Robin Wright, Saudi Arabia’s Game of Thrones, The New Yorker
  3. New Prince, New Kingdom (VIDEO), TRT World

 

Cover Image: බින් සල්මාන් කුමරු (alweeam.com.sa)

Related Articles

Exit mobile version