මිනිසුන් මරන කාන්තාවන් හැඳින්විය හැකි අන්දමේ තනි වචනයක් අප භාවිතා කරන සිංහල භාෂාවේ නැහැ. එනිසා පොදුවේ ගැහැණු පිරිමි භේදයකින් තොරව, මිනිසුන් මරන්නන්ව “මිනීමරුවන්” ලෙස හඳුන්වන්න අප විසින් හුරුව සිටිනවා. ඉතින් ඉහත “මිනිස් සිරුරු වලින් බිස්කට් සහ සබන් සෑදූ මිනීමරුවෙක්” කියලා සඳහන් කළාට මේ කියන්නට යන්නේ කාන්තාවක් ගැනයි.
ලියොනාඩා චන්චුල්ලි වාසය කළේ ඉතාලියේයි. 1893 නොවැම්බර් 14 වනිදා උපන් ඇය 1939 සහ 1940 අතර කාලයේ වාසය කළේ ඉතාලියේ කොරෙජ්ජෝ නගරයේ යි. ඇය පසු කලෙක දී “කොරෙජ්ජෝ හි සබන් සාදන්නිය” යන නමින් මිනිසුන් විසින් හඳුන්වන්නට ගත්තේ ඈ විසින් කොරෙජ්ජෝ හි කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ සිරුරු වලින් සබන් නිශ්පාදනය කිරීම හා බිස්කට් පිසීම සිදු කළ නිසායි. එපමනක් ද නොව ඈ විසින් එම මිනීමස් බිස්කට් කෑමට ද ගත්තා!
චන්චුල්ලි උපත ලැබුවේ මොන්ටෙලා නම් ඉතාලි ග්‍රාමයේ යි. 24 හැවිරිදිව සිටියදී සිය දෙමව්පියන්ගේ කැමැත්තට පිටින් විවාහ වන ඇය තම සැමියා සමඟ ඔහුගේ උපන් ගමට සංක්‍රමණය වනවා. දෙමාපියන්ගේ කැමැත්තට පිටින් විවාහ වූ නිසා තම මව තමාට ශාප කරන බව ඈ විශ්වාස කළා. පසු කලෙක ඇය විසින් සිදුකරන ලද බොහොමයක් ක්‍රියාවන්ට මුල් වන්නට ඇත්තේ මේ විශ්වාසයයි. ඇගේ සැමියා වංචනික ක්‍රියාවකට වරදකරු ලෙස සිරගෙට නියමව, ඉන් අවුරුදු 6කට පසු නිදහස් වූ විට මෙම යුවළ කොරෙජ්ජෝ නගරයට සංක්‍රමණය වනවා.
එකල බොහොමයක් ඉතාලි කාන්තාවන් මෙන්ම චන්චුල්ලි යුවළට ද සිටියේ විශාල පවුලක්. චන්චුල්ලි 17 වරක් ගැබ් ගත් නමුත්, එයින් තෙවරක දීම ගබ්සාවන් සිදුව ඒ දරුවන් මියගියා. තවත් 10 දෙනෙකු කුඩා කලම මියගිය අතර ඇයට ඉතිරි වූයේ දරුවන් සිව් දෙනෙක් පමණයි. ඈ ඇගේ මෙම දරුවන් සිව් දෙනා දිවි හිමියෙන් ආරක්ෂා කළ අතර ඔවුන් පිළිබඳව මහත් බියකින් පසුවුණා. මේ බිය තවත් උග්‍ර වූයේ ඇගේ මව විසින් ඈට කළා යැයි සැළකෙන ශාපය පිළිබඳව වූ මතකය පමණක් නොවෙයි. ඈත කාලයක අත බලා සාස්තර කියනා කාන්තාවක් විසින් චන්චුල්ලිගේ සියළුම දරුවන් මියයන බවට අනාවැකියක් පවසා තිබුණා. ඉතාමත්ම මිථ්‍යාදෘෂ්ටික කන්තාවක් වූ ඇය මේ නිසා තම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව පසුවුණේ ද ඉමහත් බියකින්.
මෙවැනි මානසික තත්ත්වයක් සහිත ඇයගේ සිත මහත් සේ කම්පනයට පත්වුණේ 1939 දී තම වැඩිමල් සහ ප්‍රියතම පුතු වූ ජුසෙප්පේ දෙවනි ලෝක යුද්ධය සඳහා සූදානම් වන ඉතාලි හමුදාවට බැඳෙන්නට යන බව දැනගන්නට ලැබීමෙනුයි. ඔහුව වළකාලීමට තමන්ට කිසිවකුත් කළ නොහැකි නිසා, යුද්ධ බිමේ පසුවන ඔහුගේ ආරක්ෂාව සඳහා තමන්ට කළ හැකි සියල්ල තමා නිවසේ සිට කළ යුතු බව ඈ විසින් තීරණය කළා. ඇගේ සැලසුම වුණේ අත බලා සාස්තර කියනා කාන්තාවක් තමාට කියා දී තිබූ පිළියමක් ක්‍රියාත්මක කිරීමයි. ජුසෙප්පේ ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි එකම ක්‍රමය මිනිසුන් බිලිදීම බව ඇය විශ්වාස කරන්නට වුණා.
චන්චුල්ලිගේ සැමියා සතු වෙළඳසලක් කොරෙජ්ජෝවේ පිහිටා තිබුණා. ඇයද මෙම වෙළඳසලේ සේවය කළ නිසා බොහොමයක් පිරිස් මුණගැසීමට ඇයට ඉඩකඩ ලැබුණා. තම පුතුගේ ජීවිතය රැකීමට බිලි දුන් ප්‍රථම කාන්තාව ඇය සොයාගත්තේ මෙහිදී යි. ෆෞස්ටීනා සෙට්ටි දීර්ඝ කලක් තිස්සේ චන්චුල්ලි වෙළඳසැල සමඟ ගනුදෙනු කළ කාන්තාවක්. අවිවාහක ඇයට චන්චුල්ලි පැවසුවේ තමා විසින් ඇය සඳහා ගැලපෙන සහකරුවෙකු සොයාගත් බවයි. මේ පිළිබඳව දැන්ම කිසිවෙකුට නොකිවයුතු බව ඈ සෙට්ටිට පැවසුවා. මෙම සහකරුවා හමුවිය යුතු බවත්, නෑදෑයින්ට තැපැල්පත් මගින් එය දැන්විය යුතු බවත් චන්චුල්ලි විසින් සෙට්ටිට ඒත්තු ගැන්වූ අතර ඒ සියල්ල පිළිගත් සෙට්ටි විසින් එම සහකරුවා හමුවීමට යන දිනයේ අවසන් වරට චන්චුල්ලිගේ වෙළඳසැලට ගොඩවැදුනේ ඇගෙන් සමුගැනීමටයි. එහිදී සෙට්ටිට මත් බෙහෙත් යෙදූ වයින් පානය කිරීමට සලස්වා, ඉන් අනතුරුව පොරවකින් කොටා ඇයව මරාදමනු ලැබුවා. ඉන්පසු සෙට්ටිගේ දේහය කොටස් 9කට වෙන්කළ ඇය පසුව පාපොච්ඡාරණයන්හි සඳහන් පරිදි එය සඟවා ඇත්තේ ඉතාමත්ම පිළිකුල් සහගත ආකාරයකටයි.
ඈ ප්‍රථමව සිදුකර ඇත්තේ සිරුරෙන් වෑහෙන රුධිරය බේසමකට එක්කිරීමයි. ඉන්පසු සබන් සෑදීම සඳහා මිලට ගෙන තිබූ කෝස්ටික් සෝඩා කිලෝ හතක් සමඟ සිරුරේ මාංශ කොටස් මිශ්‍ර කළ ඇය එම කැබලි නොපෙනී ගොස් අඳුරු පැහැ තලපයක් වන තෙක් මිශ්‍ර කර, එම මිශ්‍රණය බාල්දි වලට පුරවාගෙන ගොස් අසලක තිබූ මළාපවාහන ටැංකියකට හලා තිබුණා. රුධිරයට ඇය සිදුකර තිබුණේ වෙනස් යමක්. එය කැටිගැසෙන තෙක් සිට, උඳුනක දමා වියළාගෙන පිටි, සිනි, චොකලට් ආදිය සමඟ මිශ්‍ර කර ටී කේක් රැසක් ඇය විසින් නිපදවන්නට යෙදුණා. අසල්වැසි කාන්තාවන්ට තේ පානෝත්සව වලට ආරාධනා කර මේ බිස්කට් කන්නට දුන් ඇය තමා හා තම සැමියා විසින් ද ඒවා අනුභව කළ බවට පසුව පාපොච්ඡාරණය කර තිබුණා.
ඇගේ දෙවනි ගොදුර වූයේ ෆ්‍රන්චෙස්කා සෝආවි නම් කාන්තාවක්. චන්චුල්ලි ඇයට පැවසුවේ පියාසෙන්සා හි බාලිකා පාසලේ ඈ සඳහා රැකියා අවස්ථාවක් සූදානම් කිරීමට තමන්ට හැකිවූ බවයි. පෙර පරිදිම ඈ ලවා ඇගේ නෑදෑයින්ට තැපැල් පත් යැවීමට පොළඹවන චන්චුල්ලි, ඇය තමාව අවසන් වරට හමුවීමට පැමිණි විට මත්කර, මරාදමනවා. ඇගේ සිරුරට ද අත්වන්නේ සෙට්ටිගේ සිරුරට අත්වූ ඉරණමමයි.
සොප්‍රානෝ ගායිකාවක වූ වර්ජීනියා කැචොප්පෝ චන්චුල්ලිගේ තෙවන සහ අවසන් ගොදුර වූ බව සැලකෙනවා. ඈ වෙනුවෙන් පුද්ගලික ලේකම්ධුරයක් වෙන්කර ඇති බවට කැචොප්පෝට පැවසූ චන්චුල්ලි, පෙර පරිදිම ඈ ලවා තැපැල්පත් යවා, ඈ තමා හමුවීමට පැමිණි විට ඇයව ඝාතනය කරනවා. කෙසේ නමුත් ඇගේ සිරුරට නම් අත්වන්නේ වෙනස් ඉරණමක්. පසුව චන්චුල්ලි පැවසූ ආකාරයට කැචොප්පෝගේ මාංශය සුදු සහ මෘදුව තිබුණාලු. ඉතින් කෝස්ටික් සෝඩා-මාංශ මිශ්‍රණයට බෝතලයකින් එකක් කොලෝන් මිශ්‍ර කළ ඇය, එය බොහෝ වේලාවක් තම්බා ඉතා මෘදු ස්වභාවයක් දැරූ සබන් නිශ්පාදනය කරගැනීමට සමත්ව තිබෙනවා. මෙම සබන් තම අසල්වැසියන්ට බෙදූ ඇය, ඒවාට මෙන්ම කැචොප්පෝගේ රුධිරයෙන් සෑදූ බිස්කට් වලට ද පෙර දෙවාරයට වඩා ඔවුන් කැමැත්තක් දැක්වූ බව ප්‍රකාශ කර සිටියා.
මේ සියල්ල හෙලිවුණේ කැචොප්පෝගේ නෑනණ්ඩිය විසින් කැචොප්පෝ අතුරුදන් වීමට පෙර චන්චුල්ලිගේ නිවසට යනු දැක තිබූ නිසායි. මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පරීක්ෂණ ඇරඹූ ඔවුන්, චන්චුල්ලිව අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිස් අත්අඩංගුවේ දී කිසිම පැකිලීමකින් තොරව මෙම ඝාතනයන් පිළිබඳව පාපොච්ඡාරණය කළ ඇය, ඒ පිළිබඳව සවිස්තර වාර්තාවන් ද ලබා දුන් බව පැවසෙනවා. තමා සිදුකළ ක්‍රියාවන් පිළිබඳව කිසිම පසුතැවීමක් ඈ තුළ වූයේ නැහැ.
1946 දී රෙජ්ජියො එමීලියාහි දී ඇගේ නඩුව විභාග කෙරෙන අතර ඇයව තිස් වසරක් බන්ධනාගාරයටත්, තෙවසරක් මානසික රෝහලකටත් නියම කෙරෙනවා. 1970 ඔක්තෝබර් 15 වන දා ආඝාතමය තත්ත්වයක් නිසා ඈ මියයන්නේ පුට්සුවෝලිහි කාන්තාවන් සඳහා වූ උන්මත්තකාගාරයේ දී යි.
ලංකාව මිථ්‍යා දෘෂ්ඨීන්ගෙන් මිදුණු රටක් නොවෙයි. රෝගයන්ට ප්‍රතිකාර නොගෙන යාඥා කරමින් සිටීම නිසා සිදුවුණු මරණත්, වෛද්‍යවරුන්ගෙන් නොව කට්ටඬියන්ගෙන් ප්‍රතිකාර ගැනීම නිසා සිදුවූ මරණත්, අංජනම් බලා, සාස්තර අසා ඒවා විශ්වාස කිරීම නිසා සිදු කළ මනුෂ්‍ය ඝාතන ගැනත් අදටත් විටින් විට අසන්නට ලැබෙනවා. කොරෙජ්ජෝවේ චන්චුල්ලිගේ මේ කතාවෙන් අපහට ගතහැකි යම් ආදර්ශයක් වේ නම් ඒ මිථ්‍යා විශ්වාසයන් තුළ ගැලී සිටීම මහත් අනර්ථකාරී ප්‍රතිඵල ගෙනදෙන්නක් බවයි.
මුලාශ්‍ර: BBC, Time