බෞද්ධයන් මහත් හරසරින් වැඳුම් පිඳුම් කරන ස්ථානයක් ලෙස කැළණි විහාර පුදබිම හැඳින්විය හැකියි. එම විහාරයේ බිතු සිතුවම් තුළින් බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන ඇතැම් සිදුවීම් ජීවමානව සේ දැකගැනීමට පුළුවන්. මෙම ලිපියේ අරමුණ වන්නේ කැළණි විහාරයේ බිත්ති සිත්තම් කළ ලෝප්‍රකට මහා චිත්‍ර ශිල්පී සෝලියස් මැන්දිස් ගැන කරුණු ස්වල්පයක් ඉදිරිපත් කිරීම යි.
ළමා කාලය
වර්ෂ 1897 ජූනි මස 17 වන දින සෝලියස් මැන්දිස් උපත ලබනවා. සාමාන්‍යයෙන් පිළිගත් දිනය මෙය නමුත් මේ සම්බන්ධයෙන් විවිධ දින වකවානු සඳහන් වෙනවා. ඔහුගේ පියා ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ වලිමුණි සිරිනෝරිස් මැන්දිස්. මව නිශ්ශංක සිරෝ මැන්දිස් නම් වූ අතර සහෝදර සහෝදරියන් අටදෙනෙකුගෙන් යුත් පවුලේ මොහු දෙවෙනි පිරිමි දරුවා වුණා. මොහුගේ සම්පූර්ණ නම වලිමුණි සෝලියස් මැන්දිස් වූ අතර මාදම්පේ මහ බද්දේගම ඔහුගේ ගම යි.
දෙමව්පියන්ගේ අභිප්‍රාය වූයේ මොහුව ආයුර්වේද වෛද්‍යවරයෙකු කිරීම යි. නමුත් ඔහු වඩාත්ම ප්‍රිය කළේ හා දස්කම් පෑවේ චිත්‍ර ශිල්පයට වන අතර, කුඩා කල සිටම පන්සලට හා බුදුදහමට මහත් සේ ඇලුම් පෑවා.
මැන්දිස් ලද අධ්‍යාපනය
සෝලියස් මැන්දිස් හත්වැනි පන්තිය දක්වා අධ්‍යාපනය හදාරා තිබෙන්නේ මාවිල පන්සලෙනි. අනතුරුව මාදම්පේ කතෝලික පාසලකත්, නාත්තන්ඩිය වීරහේන මහා පිරිවෙණේත් ශිල්ප ශාස්ත්‍රය හැදෑරීම සිදුකොට තිබෙනවා. කුඩා කාලයේ පටන්ම චිත්‍ර ශිල්පය කෙරෙහි දැඩිව ඇලුම් කළ මොහු වැඩි උනන්දුවක් දැක්වූයේ එයට යි.
සිත්තම්කරණයට පිවිසීම
මාරවිල සුමන කුසුමාරාමයේ බිතු සිතුවම් කරන ලදුයේ මේ කාලයේ දී යි. ඒ ගැන මැන්දිස් දැක්වූයේ විශාල උනන්දුවක් සහ උවමනාවක්. මැන්දිස්ගේ මෙම උනන්දුව විහාරාධිපති ස්වාමීන්වහන්සේට නිරීක්ෂණය වුණා. විහාරය සිතුවම්කරණයේ නිරතවී සිටි සිත්තරා හට මැන්දිස්ව භාරදෙනු ලැබුවේ ඉන් අනතුරුව යි.
මැන්දිස්ගේ සිතුවම් ජීවිතය ආරම්භ වුණේ මෙයාකාරයට යි. මොහුගේ සිතුවම් ආර එවකට තිබූ අනෙකුත් සිතුවම්වලට වඩා වෙනස් මඟක් ගත්තා. එනිසා මැන්දිස් සිතුවම්කරුගේ තෙලිතුඩින් විහාර රැසක සිතුවම් ද නිර්මාණය වුණා. 1912 වසරේ දී මාරවිල සුමන කුසුමාරාම විහාරයත්, 1915 දී රණස්ගල්ල විහාරයත්, 1920 දී ගිරිඋල්ල මැද්දෙපොළ විහාරයත්, පොළොන්නරුවේ ශ්‍රී ජයබා විහාරයත්, උඩුබද්දාව ටැම්පිට විහාරයත්, මල්වාන ලෙනගම්පල ආදී විහාරත් ඒ අතර වෙනවා.
කැළණි විහාරයේ සිතුවම් ඇඳීම
සියවස් හතරකට පෙරාතුව විදේශීය ආක්‍රමණයන් හේතුවෙන් කැළණියේ ප්‍රධාන විහාරගෙය විනාශ වී ගොස් තිබුණා. මේ හේතුවෙන් එහි ප්‍රතිසංස්කරණ කටයුතු සේදවත්ත වලව්වේ හෙලේනා විජයවර්ධන නමැති ළමාතැනී විසින් සිදුකරවමින් පැවතුණා. ඔවුනට අවශ්‍ය වූයේ විහාර ගෙයිහි බිතු සිතුවම් ද ඒ සමගම නිර්මාණය කිරීමට යි. මෙම වකවානුවේ දී ලංකාවේ නොයෙකුත් පළාත්වල විහාරයන්වල සිතුවම් කිරීමේ නිරතව සිටි සෝලියස් මැන්දිස්,කැළණි විහාරයේ සිතුවම්කරණයට ද සුදුසු බවට තීරණය වුණා. මේ අනුව නව විහාර මන්දිරය මෙන්ම සිතුවම් නිර්මාණය කිරීම ඇතුළු කටයුතු මොහුට භාරවුණා.
සෝලියස් මැන්දිස් තමන්ට වයස අවුරුදු 30 දී, නිමකිරීමට අවුරුදු 20ක පමණ ගතවන ව්‍යාපෘතියක් වූ කැළණි විහාරය සිතුවම් කිරීම භාරගනු ලැබුවේ එසේ යි. මෙම අතිවිශාල කටයුත්ත ආරම්භ කිරීමට මත්තෙන් ඉන්දියාවේ අජන්තා, එල්ලෝරා, බග් ආදී ලෙන්වල මෙන්ම සාරනාත්හි ද සිතුවම් නැරඹීමට යවනු ලැබුවා.
සිතුවම්කරණයේ දී දේශීය අමුද්‍රව්‍ය යොදාගනු ලැබුවා. මකුළු මැටි, පස් වර්ග, ශාකවල පත්‍ර, පොතු, බිත්තර සුදු මද, තැඹිලි වතුර ආදිය වර්ණ ලෙස මෙන්ම බදාම ලෙස ද භාවිතා කොට තිබෙනවා. වර්ණ තෝරා කරගැනීමේ දී ඇසට ප්‍රිය වර්ණ භාවිතා කොට තිබෙනවා. බිත්තර සුදු මද භාවිතා කිරීමේ දී බිඳුණු බිත්තර පමණක් යොදාගෙන තිබෙන බව සඳහන්.
විහාරයේ බිතු සිතුවම් අතර හේමමාලා හා දන්ත කුමරු දළදා වහන්සේ වැඩම කරවීම, බුදුන්ගේ ලංකාගමනය ඇතුළු සිදුවීම් රැසක් සිතුවමට නඟා තිබෙනවා.
මැන්දිස් සිත්තරාගේ සිතුවම් ශෛලිය
ස්වභාවික වර්ණ මෙන්ම මොහුගේ සිතුවම් ශෛලිය ද විශේෂ යි. සිතුවම්කරණයේ දී ඔහුටම ආවේණික තාක්ෂණ භාවිතා කර තිබෙනවා. සිතුවම්වල වස්තු විෂයය ද, රිද්මය ද විශේෂ යි. කැළණි විහාරයේ සිතුවම් සඳහා ඔහු තෝරාගනු ලැබුවේ ස්වභාවික මෙන්ම පුරාණ ශිල්ප ක්‍රමය යි. මොහු තෝරා ගනු ලැබූ වර්ණයන් ද සිතුවම්වලටම ආවේණික වෙමින් ශාන්ත ස්වභාවයක් ඇති කරනු ලබනවා.
නන්දලාල් බෝස් මහතා ඉන්දීය සම්භවයක් සහිත ලෝප්‍රකට චිත්‍ර ශිල්පියෙක්. කැළණි විහාරයේ චිත්‍ර ඇඳීම සඳහා එක් අවස්ථාවක මොහු මෙරටට ගෙන්වනු ලැබුවා. එහිදී මැන්දිස් සිත්තරාගේ සිතුවම් දැක ‘ඒ සඳහා යෝග්‍යතම පුද්ගලයා මැන්දිස් සිත්තරාණන්’ බව දක්වා තිබෙනවා.
දිවියේ අවසන් සමය
විහාරවල සිතුවම් කරමින් කාලය ගතකළ මැන්දිස් සිත්තරා මියයන අවස්ථාවේදීත් තනිකඩව සිටි අයෙක්. වර්ෂ 1975 සැප්තැම්බර් මස 01 වන දින මියගිය මෙතුමාට අයත් දේපල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා පාසලක් පවත්වාගෙන යාමට පවරා දී තිබෙනවා.
කවරයේ පින්තූරය: roar.media