ඕනෑම ධාවන තරගයක වීරයා වන්නේත් වැඩිම අවධානය දිනා ගන්නෙත් එහි පළමුවැනි ස්ථානය හිමි කරගන්නා ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බව අපි හැමෝම දන්නවා. ඒත් තරඟයක අන්තිමයා ඒ තරඟයේ වීරයා වුණොත්? ඒක නම් අසාමාන්‍ය සිදුවීමක් වේවි. මේ කියන්න යන්නේ ඒ විදියට ලෝකයකම අවධානය දිනාගත්, ඒ වගේම තරඟයේ වීරයා වුණු අන්තිමයෙක් ගැන කතාවක්. විශේෂත්වය තමයි ඔහු ශ්‍රී ලාංකිකයෙක් වීම.
සොඳුරුතම ඔලිම්පික් පරාජිතයා
ඇතැමුන් ඔහු හඳුන්වන්නේ සොඳුරුතම ඔලිම්පික් පරාජිතයා කියලයි. තරඟ අවසානයේ මිනිත්තු හතරකින් මුළු ලෝකයම දිනූ ඔහු අන් කවරෙකුවත් නොව රණතුංග කරුණානන්ද හෙවත්
ආර්.ජේ.කේ. කරුණානන්දයි.1964 වසරේ ජපානයේ ටෝකියෝහි දී පැවැත්වුණු ඔලිම්පික් තරඟාවලියේ දී ප්‍රකට කළ ක්‍රීඩාශීලීභාවය සහ ධෛර්යය නිසාම කරුණානන්ද ගේ කතාව ජපානයේ පාසල් පෙළ පොත් වලටත් අඩංගු වෙලා තියෙනවා.
1936 වසරේ මැයි 21 වැනිදා උපත ලැබූ රණතුංග ජයසේකර කෝරාළලාගේ කරුණානන්ද හැටේ දශකය තුළ මෙරට සිටි දක්ෂතම දුර දිවීමේ ක්‍රීඩකයකු ලෙසට සැලකුණා. යුද හමුදාවේ සේවය කළ කරුණානන්දගේ ඉසව් වුණේ මීටර් 5000 සහ 10000 යි. කරුණානන්ද සමග 1964 ඔලිම්පික් උළෙලට මෙරට නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයන් ගණන හයක්. එම කණ්ඩායමේ නායකයා වූයේ හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පුත්‍රයා වූ රවී ජයවර්ධනයි.
1964 ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උළෙල
ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උලෙළේ මීටර් 10000 තරඟය සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 29ක්. අංක 67 යටතේ තරඟ වැදුණු කරුණානන්ද එදින තරඟයට පෙර සිට ඇත්තේ මද අසනීප තත්වයකින්. උණ රෝගයෙන් පෙළෙමින් වුවත් සිය රට නියෝජනය කිරීමේ වගකීම අත් නොහළ කරුණානන්ද තරගයට අවතීර්ණ වූ නමුත් එම ඉසව්වේදී මුළු ලෝකයේම අවධානය යොමුව තිබුණේ ඔස්ට්‍රේලියාවෙන් පැමිණ සිටි රොන් ක්ලාක් වෙතටයි. රොන් ක්ලාක්ට ප්‍රබලම අභියෝගය එල්ල වුණේ අමෙරිකා එක්සත් ජනපදයේ බිලී මයිල්ස් සහ ටියුනීසියාවේ මොහොමඩ් ගම්මාඩු දෙදෙනාගෙනුයි.
මීටර් 400 ක් වූ ටෝකියෝ ක්‍රීඩාංගණයේ ධාවන පථය වටා වට 25ක් මෙම තරඟයට අයත් වූ අතර පළමු වට දහය නිමවන විටත් කරුණානන්ද සෙසු ක්‍රීඩකයන්ට වඩා වටයකින් පමණ පසුපසින් වූයේ කිසවකුගේ අවධානය නොලබන ධාවනයක නිරත වෙමිනුයි. රොන් ක්ලාක් – බිලී මයිල්ස් සහ මොහොමඩ් ගම්මාඩු තරඟයේ පාලනය සම්පූර්ණයෙන්ම තමන් සතු කරගත් අතර තරඟයේ අවසන් වටය ඇරඹෙන විටත් ඔවුන් අවසානයේ සිටි කරුණානන්දට වඩා වට තුනකට වඩා ඉදිරියෙන් සිටීම විශේෂත්වයක් වුණා.
තියුණු තරගයකින් පසු අමෙරිකා එක්සත් ජනපදයේ බිලී මයිල්ස් නව වාර්තාවක්ද පිහිටුවමින් මිනිත්තු 28යි තත්පර 24යි දශම 4කින් තරඟය නිමා කළ අතර, පිළිවෙලින් මිනිත්තු 28.24.8 සහ 28.25.8 ලෙස තරගය නිම කළ මොහොමඩ් සහ ක්ලාක් දෙදෙනා දෙවැනි සහ තුන්වැනි තැන් දිනා ගැනීමට සමත් වුණා. ලෝක වාර්තාවක් පිහිට වූ බිලී මයිල්ස් වෙත සියලු දෙනාගේම අවධානය යොමුව පැවති අතර මාධ්‍යවේදීන් සියලු දෙනාද එක් වූයේ ඔහු වටායි.
පළමු තරගකරුවන්ට වඩා පසුපසින් සිටි ඇතැම් තරගකරුවන් තරගය අතහැර දමා අතරමගින් ඉවත් වූයේ තවත් තරඟ කර තේරුමක් නොමැති බව හඟවමින්. සංවිධායකයන්ද ඊළඟ තරඟය සඳහා ධාවන පථය සකස් කිරීමේ අරමුණෙන් සිටියත් ඒ සියල්ලන් පුදුමයට පත් කළේ තවමත් ධාවන පථයේ තරඟ කරමින් සිටි අවසන් ක්‍රීඩකයා වූ කරුණානන්ද යි.
ප්‍රේක්ෂකයන්ගේ උසුළු විසුළු සහ හූ හඬ මධ්‍යයේ කරුණානන්ද දෙවන වටයද තනිව දිවීම ආරම්භ කළ අතර ඇතැම් ප්‍රේක්ෂකයන් ඔහුට යම් යම් දේවලින් දමා ගසමින් සිය විරෝධය දැක්වීමත් සිදු කළේ ඔහුව හාස්‍යයට සහ උපහාසයට ලක් කරමිනුයි. ඊළඟ වටය තුළ සෙමෙන් එම විරෝධය සහ උපහාසයන් තුරන් වී ගිය අතර බොහෝ දෙනෙකු කුතුහලයෙන් අවධානය යොමු කළේ එම ක්‍රීඩකයා කවුරුන්ද යන්නටයි. කෙමෙන් මුළු ක්‍රීඩාංගණය තුළ ම නිෂ්ශබ්දතාවයක් පැතිරුණු අතර ප්‍රේක්ෂකයන්ගේ මුහුණු වල දැක්වුණේ විමතිය පමණයි. අවසන් වටය ඇරඹෙන විට සෙමෙන් ඇරඹුණු අත්පොළසන් නාදය කෙමෙන් වර්ධනය වී මුළු ක්‍රීඩාංගණයම ගිගුම් දුන් අතර කරුණානන්ද අවසන් මීටර සියයට එළඹෙන විට සියලුම ප්‍රේක්ෂකන් සිය අසුන් වලින් නැගිට අත්පොලසන් දුන්නේ මෙම අපූරු වීර්යවන්ත ක්‍රීඩාශීලි තරුණයාට හද පතුලෙන්ම ගරු කරමිනුයි.
‘ක්‍රීඩාවේ නීතිය ජයග්‍රහණයම නොවෙයි’
කරුණානන්ද මිනිත්තු 32 තත්පර 21 දශම දෙකකින් තරඟය නිමා කළේ අන්තිමයා ලෙසින් වූ අතර ඔහු සහ පළමු තැන දිනු ක්‍රීඩකයා අතර කාල වෙනස මිනිත්තු හතරක් වීමත් විශේෂත්වයක් වුණා. එම තරඟයේ ජයග්‍රාහකයා අමතක කරදැමූ ලෝක මාධ්‍ය කරුණානන්ද වටා එක්වූ අතර එදින පමණක් නොව මුළු තරගාවලිය පුරාවටම මුළු ක්‍රීඩා ලොවේම වීරයා බවට පත් වූයේ ඔහුයි. තරඟයේ ජයග්‍රාහකයා වූ බිලී ද පසුව පවසා තිබුණේ එම තරඟයේ රන් පදක්කම හිමි තමාට නොව කරුණානන්ද ට බවයි.
කරුණානන්දගේ නොපසුබස්නා උත්සාහය සහ ධෛර්යය ඉහළින්ම අගය කළ ජපන් රජය ඔහු ගේ කතාව සිය පාසල් වල 5 වන ශ්‍රේණියේ පෙළ පොතෙහි පළමු පාඩම ලෙස විෂය නිර්දේශයට ඇතුළත් කිරීමද විශේෂත්වයක් වුණා. ‘මම ආවේ මගේ රට නියෝජනය කරමින් ඔලිම්පික් තරඟාවලියට සහභාගී වෙන්නයි. ක්‍රීඩාවේ නීතිය ජයග්‍රහණයම නොවෙයි. ක්‍රීඩාවට සහභාගී වීමයි වැදගත්. ඔලිම්පික් තේමාවත් ඒක නිසා මම මගේ ක්‍රීඩා ඉසව්වේ සියලු වට සම්පූර්ණ කරමින් ඒක අකුරටම ඉටු කළා. පරාජය දැක දැකත් මම දිව්වේ මගේ රට වෙනුවෙන්.’ කරුණානන්ද පසුව මාධ්‍යයට එසේ පවසා තිබුණා.
1975දී කරුණානන්දට ජපන් රජයෙන් එරට පුරවැසිභාවය සමඟ රැකියාවකට ඇරයුම් ලැබුණු නමුත් ඔහුට එම ගමන යාමට නොහැකි වුණේ ඊට සති දෙකකට පෙර නාමල් ඔය ජලාශයේ ගිලී අබිරහස් ලෙස මිය යාම හේතුවෙනුයි. එම මරණය අදටත් අබිරහසක් ලෙස සැලකෙන අතර, කරුණානන්ද ක්‍රීඩකයාට හිමි නිසි තැන තවමත් මෙරට කිසිම රජයකින් ඔහුට හිමි වී නැති බවත් සත්‍යයක්. එහෙත් කරුණානන්ද සම්බන්ධයෙන් ජපානය විසින් වාර්තා චිත්‍රපටයක් ද නිර්මාණය කර ඇති අතර එළඹෙන 2020 ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේද කරුණාරත්න විශිෂ්ටත්වයට පත් වූ ටෝකියෝවේම වීමත් විශේෂත්වයක්.
Cover- dailysports.lk
මූලාශ්‍ර –
www.facebook.com