මේ කවුද: මහා පරාක්‍රමබාහු රජුද? පුලස්ති සෘෂිවරයාද?

ප්‍රතිමා සෑදීම අපේ රටේ ආරම්භ උණේ අද ඊයේ නෙමෙයි. මිහිඳු මාහිමියන් බුදු දහම ලංකාවට ගෙන ආ දා පටන් විවිධ වර්ගයේ ප්‍රතිමා නෙලීම සිදුවූ බව ඉතිහාස ගත තොරතුරු වලින් පැහැදිලි වෙනවා. මේ ප්‍රතිමා නිර්මාණය සඳහා ආගමික නායකයින්, දෙවි දේවතාවුන්, රජවරුන් හා ප්‍රභූවරුන් යොදා ගෙන ඇති බව අප හඳුනා ගන්නේ  ඓතිහාසික සාධක වලින්.

අද මෙන් නොව එදා දවසේ ප්‍රතිමා නෙලීමේදී ඒ ඒ පුද්ගලයා හඳුන්වා දෙන සටහනක් හෝ නාම පුවරුවක් හෝ තැබීම සිදු වූයේ නැහැ. ඒ නිසා පුරාණ ප්‍රතිමා වලින් දැක්වෙන පුද්ගලයින් නිශ්චිතව හඳුනා ගැනීම බොහෝ දුෂ්කර කාර්යයක් වී තිබෙනවා. බොහෝ විට මේ පුද්ගලයින් හඳුනා ගැනීම සිදු කෙරුනේ ජනප්‍රවාද, ඉතිහාස කතා ආදිය මඟින්. මේ නිසා ඇතැම් ප්‍රතිමා සම්බන්ධයෙන් නොයෙක් මති මතාන්තර, වාද විවාද, විද්වතුන් අතර ඇතිවී තිබෙනවා.

අද මේ ලිපියෙන් විමසා බලන්න උත්සාහ කරන්නේ එබඳු විවාදාත්මක මතවාදයන්ට හේතු වූ සුවිශේෂී ප්‍රතිමාවක් සම්බන්ධවයි.

ප්‍රතිමාව ඈතට පෙනෙන අයුරු. (helasuraorg.blogspot.com)

මේ කවුද?

පොළොන්නරුව කී සැනින් අපගේ මතකයට නැගෙන වැදගත් ස්ථාන කිහිපයක් තිබෙනවා. පරාක්‍රම සමුද්‍රය, වටදාගෙය, පරාක්‍රමබාහු ප්‍රතිමාව මේ අතරින් සුවිශේෂී තැනක් ගන්නවා. අපගේ අවධානය යොමු වන මේ ප්‍රතිමාව ඇත්තටම කාගේද? ඉන් නිරූපණය වන්නේ කවුද?

මේ ප්‍රතිමාව පිළිබඳව අපේ රටේ විද්වතුන්  ඉදිරිපත් කරන්නේ  මත දෙකක්.

  1. මහා පරාක්‍රමබාහු රජතුමා.
  2. පුලස්ති සෘෂිවරයා.

ජාත්‍යන්තර කීර්තියට පත් අපේ රටේ සිටි විශිෂ්ඨ පුරාවිද්‍යාඥායකු වූ ආචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතය වන්නේ මෙය මහා පරාක්‍රමබාහු රජතුමාගේ බවයි. එම අදහස තහවුරු කිරීම සඳහා උපයෝගී කරගන්නා ලද ප්‍රධානතම සාක්‌ෂිය වන්නේ ඔහුට හමුවූ ශිලා ලේඛනයක පරාක්‍රමබාහු රජු හැඳින්වීම පිණිස “කැත් උසබ්” නොහොත් “ක්‌ෂත්‍රීය වෘෂභ” යන නාමය භාවිත කර තිබීමයි. ඒ අනුව රාජකීය වෘෂභයා යන්න සංකේතවත් කරමින් වියගසක්‌ අත දරා සිටින පරාක්‍රමබාහු රජු එයින් නිරූපිත බවයි පරණවිතාන මහතා අදහස්‌ කරන්නේ.

අනෙක් මතය වන්නේ මෙයින් නිරූපණය වන්නේ පුලස්ති සෘෂිවරයා ය යන්නයි. ඒ සඳහා  මෙම මතය දරන්නවුන් ගෙන හැර දක්වන වැදගත් කරුණක් වන්නේ, මෙම ප්‍රතිමාවේ දැක්වෙන පුද්ගලයා කිසිදු රාජාභාරණයක් නොපැළඳ උඩු කය නිරුවත්ව සිටීමයි. මෙම ප්‍රතිමාවෙන් උතුම් යෝගීවරයකුගේ ස්වරූපය පිළිබිඹු වන බව ද මේ මතවාද අතර කියවෙනවා. තවද, වර්තමාන පරාක්‍රම සමුද්‍රය පිහිටි භුමිය අතීතයේදී පුලස්ති සෘෂිවරයාගේ තපෝවනය ලෙස පැවති බවට සාක්ෂි තිබීම ද මේ මතය සනාථ කරන තවත් සාධකයක්.

කඹුරුගමුවේ වජිර හිමියන් පෙන්වා දී තිබෙන්නේ එයින් නිරූපණය වන්නේ කපිල නම් ඍෂිවරයා බවයි. මෙම ප්‍රතිමාව පිළිබඳව අදහස්‌ දක්‌වා ඇති එච්. සී. පී. බෙල්, සිරී ගුණසිංහ සහ නීලකණ්‌ඨ ශාස්‌ත්‍රී වැනි වියතුන් විසින් පෙන්වා දී තිබෙන්නේ ද මෙම ප්‍රතිමාව මගින් පුලස්‌ති හෝ කපිල ඍෂිවරු නිරූපණය වන බවයි. එසේ වුවත් මේ කිසිවකුටවත් තමන්ගේ මතය ස්ථිර වශයෙන්ම ඔප්පු කර පෙන්වීමට පුළුවන් කමක් ලැබී නැහැ.

මතභේදයට තුඩුදුන් ප්‍රතිමාව. (helasuraorg.blogspot.com)

ප්‍රතිමාවේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ

මේ ප්‍රතිමාව දක්නට ලැබෙන්නේ පොළොන්නරුවේ පැරණි නගරයේ දකුණු දිග අන්තයේ, පරාක්‍රම සමුද්‍රයට යාබදව පිහිටි පොත්ගුල් විහාර භුමියේ යි.

පිහිටි ගලෙක නෙළා ඇති ප‍්‍රතිමාව ගලට ම බැඳී ඇති සේ හරි කෙලින් පිහිටන ලෙස  නෙළා තිබෙනවා. සරල කැටයමින් යුතු හිස් වැස්මක් හා දිගැටි කන්පෙති යුගල මෙහි ඇති සුවිශේෂ ලක්ෂණයක්. හොඳින් බැලුවොත් පිළිමය නෙත් අඩවන් කරගත් සමාධිගත ස්වභාවයෙන් යුක්තව නෙළා තිබෙන බව දකින්න පුළුවන්. නිරුවත් උඩුකය, දිගු උඩු හා යටි රැවුළ වඩාත් මටසිලිටි ස්වභාවයකින් යුක්ත බව විද්වතුන්ගේ අදහසයි. දෑත මත තබාගෙන සිටින පුස්කොළ පොත සංකේතවත් කරන්නේ කුමක් ද යන්න විචාරකයින්ගේ නොයෙක් තර්ක – විතර්කයන්ට පාත්‍ර වූ දෙයක්. ඇතැමුන් මෙය පුස්කොල පොතක් ලෙසත්, තවත් අය එය වියගසක් බවත් ප්‍රකාශ කරනවා. ආචාර්ය පරණවිතානයන්ද මේ දෙවන මතය දැරීම විශේෂ කරුණක්. වියගස රාජ ධූරයේ සංකේතයක් ලෙස සැලකෙන බවයි පරණවිතාන මහතා පවසන්නේ.

ප්‍රතිමාවේ වම් උරහිසට ඉහලින් හාවෙකුගේ යැයි සිතිය හැකි කැටයමක් දක්නට ලැබෙනවා. පරාක්‍රමබාහු රජු අයත් වූ පාණ්‌ඩ්‍ය වංශිකයන්ගේ රාජ්‍ය සංකේතය වන “සස ලකුණ”  මෙයින් නිරූපණය වන බවයි පරණවිතාන ගුරු කුලයේ වියතුන් සඳහන් කරන්නේ.

එහෙත් එසේ නොවන බවටද ඇතැම් විද්වතුන් මත පල කරනවා. එම කැටයමෙන් හාවෙකුගේ රුවක් පැහැදිලිව නිරූපණය නොවන බවත්, දක්ෂ කලාකරුවකුට හාවෙකුගේ රුවක් නිවැරදිව නිර්මාණය කළ නොහැකි වීම ගැටලුවක් යන්නත් ඔවුන් නගන ප්‍රධානම තර්කයයි.

සස ලකුණ. (sililara.com)

මේ ප්‍රතිමාවේ අපූරු ඉරියව්වක් දක්නට ලැබෙනවා. වම් පාදයට බර වී, දකුණු පාදය නිදහස් කොට නෙළා ඇති ආකාරය ඒ ඉරියව්වෙන් ම සිටින ඇතැම් ග‍්‍රීක ප්‍රතිමාවන් සිහි ගන්වන්නක්. ග්‍රීක ඉතිහාසයේ  හෙලිනිස්ටික් යුගයේ දී බිහි වූ “හර්මීස් විත් ඩයිනෝසර්ස්” වැනි මූර්ති නිර්මාණවලද මෙබඳු  වූ පාද පිහිටීම් දක්නට ලබෙන බවයි විද්වතුන් සඳහන් කරන්නේ. මේ ප‍්‍රතිමාව අඩි 10 යි අඟල් 2 ක පමණ උස ප‍්‍රමාණයකින් යුක්තයි.

දැනට දක්‌නට ලැබෙන ප්‍රතිමාවේ උඩුකය බැලූ බැල්මට නිරුවත් බව පෙනී යන නමුත් අතීතයේ ගන්නා ලද ඡායාරූප පරික්ෂා කර බලනවිට, ප්‍රතිමාවේ කුසෙහි දකුණු පසින් ආරම්භ වී, නාභිය ආසන්නයෙන් ඉහළට හැරෙන සියුම් රේඛා රැසක්‌ පැහැදිලිව හඳුනාගැනීමට හැකි බව විද්වතුන් පවසනවා. ඔවුන් අදහස් කරන්නේ එය අදාල පුද්ගලයාගේ උඩුකය සැරසීම පිණිස යොදා ඇති දුහුල් සළුවක්‌ පෙන්වීම පිණිස ගන්නා ලද උත්සාහයක්‌ බවයි. කාලයාගේ ඇවෑමෙන් මේ වන විට එම සළුව නිරූපිත රේඛා සියල්ල මැකී ගොස්‌ ඇතැයි සිතන්නට පුළුවන්.

වියගසක් යැයි පැවසෙන ශිලා පත්ඉරුව. (helasuraorg.blogspot.com)

මහා පරාක්‍රමබාහු රජතුමා

පළමුවන පරාක්‍රමබාහු හෙවත්  මහා පරාක්‍රමබාහු රජතුමා ක්‍රි. ව. 1153 සිට 1186 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයා වූවා. පොළොන්නරුව එතුමාගේ රාජ්‍ය සමයේ අග නගරය ලෙස තෝරාගෙන තිබුණා. මෙතුමාගේ රාජ්‍යත්වය තුළදී දිවයිනෙහි උප රාජධානි තුන එතුමා විසින් එක්සේසත් කරනු ලැබුවා. තම අග නගරය පුළුල් කෙරුමට හා විචිත්‍රවත් කෙරුමට යුහුසුළු වූ මෙතුමා, විසල් වාරිමාර්ග පද්ධතීන් ගොඩනැංවීම, රටෙහි යුද්ධ හමුදාව ප්‍රතිසංවිධානය කිරීම, බෞද්ධ පිළිවෙත් ප්‍රතිසංස්කරණය කිරීම, කලා කටයුතු වලට රුකුල් දීම ආදියෙහි නියැළුනු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. තවද මහා පරාක්‍රමබාහු රජතුමා  දකුණු ඉන්දියාව සහ මියන්මාරය යන රටවල් සමඟ හමුදා ක්‍රියාන්විතයන් හිද නිරත වූ රණකාමී රජෙක් ලෙස ප්‍රසිද්ධයි.  “අහසින් වැ‍ටෙන එක් දිය බිඳුවක්වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට එක් වීමට ඉඩ නොදිය යුතුය ” යන භාෂණය එතුමාගේ  ජනප්‍රිය කියමනක්.

පරාක්‍රමබාහුගේ රජුගේ තුරුණු වියෙන් වැඩි කොටසක් ගත කර අැත්තේ එතුමාගේ මාමාවරුන් වන දක්කිණ දේශයේ කිර්ති ශ්‍රී ‍මේඝවර්ණ හා රුහුණු දේශයේ ශ්‍රී වල්ලභ යන රජවරුන්ගේ රජ මාළිගාවලත්, රජරට රජු වූ දෙවන ගජබා රජුගේ රජ මාළිගාවෙහිත් බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

බොහෝ කල් පැවැති සිවිල් යුද්ධයකින් අනතුරුව ක්‍රි. ව.1153 දී පමණ පරාක්‍රමබාහු රජතුමා  මුළු දිවයිනම තම පාලනයට ගනු ලබනවා. එතැන් සිට  එතුමා සිය රාජ්‍යත්වයේ අණසක පතුරවා ක්‍රි. ව. 1186 දී එතුමාගේ මරණය දක්වාම එය  ස්ථාපණය කර තැබීමට සමත් වුණා. පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය කාලයෙහිදී එතුමා විසින් මියන්මාරයෙහි රජවරුන්ට දණ්ඩන පමුණුවන රිසියෙන් යුද ක්‍රියාන්විතයක් ද දියත් කළ අතර, දකුණු ඉන්දියාවෙහි චෝල අධිරාජ්‍යය ට එරෙහිව පාණ්ඩ්‍යයන් හට උපකාර කිරීමටත්, චීනය හා මැද පෙරදිග රටවල් සමග පුළුල් වෙළෙඳ සබඳතා පවත්වාගෙන යාමටත් කටයුතු කර තිබෙනවා.  දිවයින තුළ ආගමික සිද්ධස්ථාන ස්ථාපිත කිරීම මෙන්ම රෝහල්, සමාජ සුභසාධන ඒකකයන්, ඇළ මාර්ග හා පරාක්‍රම සමුද්‍රය වැනි සුවිසල් ජලාශ ගොඩනැගීමත් එතුමා විසින්  සිදු කළ සුවිශේෂ කාර්යයන් ලෙස දක්වන්න පුළුවන්.

පුලස්ති සෘෂිවරයා (Right Way)

පුලස්ති සෘෂිවරයා

පුලස්ති සෘෂිවරයා ජීවත්වූ කාලය නිශ්චිතව කියන්න ප්‍රමාණවත් ලිඛිත සාක්ෂි නැතත් ජනප්‍රවාද තොරතුරු හා ඇතැම් පුස්කොල පොත් වල දැක්වෙන තොරතුරු අනුව එ් මීට වසර පනස් දහසකට පෙර බව සිතිය  හැකිය. පුලස්ති සෘෂිවරයා රාවණා රජුගේ මුත්තණුවන් බව දැනට පිළි ගෙන අැත්තේ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ මතයක් අනුවයි. එම යුගය ඉතිහාසයේ හැඳින්වෙන්නේ “ද්වාපාර යුගය” යන නමින්.

පුලස්ති සෘෂිවරයා සුවිශේෂී චරිතයක්. මූලාශ්‍ර තොරතුරු වලට අනුව මොහු ඉපැරණි ආයුර්වේදයේ නිර්මාතෘවරයායි. ඉපැරණි ජ්‍යෝතිෂ ශාස්ත්‍රය මෙරටට හඳුන්වා දී ඇත්තේ ද පුලස්ති සෘෂිවරයා බවයි ජනප්‍රවාද වල දැක්වෙන්නේ. පැරණි ආයුර්වේද හා ජෝතිෂ්‍ය ග්‍රන්ථවල ද මෙය සඳහන් වන බව විද්වතුන් පවසනවා.

සතරවන වේද ග්‍රන්ථය සකස් කරන ලද්දේ පුලස්ති සෘෂිවරයා විසින් බවයි විද්වතුන්ගේ අදහස. තවද පුලස්ති සෘෂිවරයා එකල වාසය කර ඇත්තේ වර්තමාන පොළොන්නරු ප්‍රදේශයේයි. පොළොන්නරුවට එම නම ලැබී ඇත්තේ ද ඒ නිසා බවට මතයක් පවතිනවා. පුලස්ති පුර පසුව පොළොන්නරුව බවට පත් වන්නට ඇති බවයි එම මත වලින් කියවෙන්නේ.

මේ නිසා අප වර්තමානයේ පරාක්‍රමබාහු ප්‍රතිමාව ලෙස හඳුන්වන ප්‍රතිමාව පුලස්ති සෘෂිවරයාගේ යැයි අැතැම් ඉතිහාසඥයින් හා පුරාවිද්‍යාඥයින් පවසනවා. ඔවුන් මෙසේ පවසන්නේ ප්‍රතිමාවේ දක්නට ලැබෙන ආධ්‍යාත්මික, භාවනායෝගී ස්වරූපය සැළකිල්ලට ගෙන යි.

කෙසේ වෙතත් ස්ථිර වශයෙන්ම මේ ප්‍රතිමාව කාගේදැයි කීමට තරම් ප්‍රමාණවත් සාක්ෂ්‍යයක් මෙතෙක් හමුවී නැහැ. කිසිදු මූලාශ්‍රයක මේ ප්‍රතිමාවෙන් නිරූපණය වන්නාගේ නමක් සඳහන් නොවීම මෙසේ විවිධ මතවාද ඇතිවීමට හේතුවී තිබෙනවා.

ඒ කෙසේ වෙතත්, එක් කරුණක් අපට පැහැදිලිව කියන්න පුළුවන්; මේ ප්‍රතිමාව නිර්මාණය කෙරෙන්නේ නම් මහා පරාක්‍රමබාහු රජ දවසේදීයි. එ් නිසාම මෙය එතුමන්ගේ ප්‍රතිමාවක් වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා.

නමුත් මේ ප්‍රතිමාවෙන් නිරූපණය වන්නේ  පුලස්ති සෘෂිවරයා නම්, මෙතැනදී අපට සිතන්නට දෙයක් තිබෙනවා. වසර පනස් දහසකට පෙර විසූ පුද්ගලයෙකුගේ තොරතුරු පරාක්‍රම රජ සමය දක්වා පැවතියේ කෙසේද? එසේම එම සෘෂිවරයාගේ රුව ගැන තොරතුරු එකල සිටි ගල්වඩුවන් දැන සිටියේ කෙසේද? මෙයින් පෙනී යන්නේ පුලස්ති සෘෂිවරයා යන සංකල්පය අනාදිමත් කාලයක සිට හෙළයින් අතර පවතින්නක්  බව නොවේද?

මෙම පිළිරුවෙන් නිරූපණය වන්නේ කවරෙකු වුවත් එයින් හෙළ කලාකරුවාගේ අපුර්ව නිර්මාණ කුසලතාවය මනා ලෙස පිළිබිඹු වන බව නම් මේ රුව දකින ඕනෑම කෙනෙකු පිළි ගන්නවා ඇත.

මූලාශ්‍ර:

http://www.danuma.lk/

http://www.divaina.com/

http://www.silumina.lk/kadulla.wordpress.com/Sinhala Wikipedia

http://www.helayugaya.lk/

http://hmherath.blogspot.com/ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ සහ හෙක්ටර් පද්මසිරි මහතාගේ ලිපි.

ඡායාරූප :helasuraorg.blogspot.comsililara.comRight Way

Related Articles

Exit mobile version