දකුණු ඉන්දියාවේ කේරළයේ, මලයාලම් ගීත ක්ෂේත්‍රයේ අදටත් නොනිමෙන තරුව ඔහු යි. මනමෝහනීය කේරළ සුගම ගායනා හඬ පෞරුෂය ඔහු යි. විශිෂ්ඨයා ද ඔහු යි. පද්ම ශ්‍රී ආචාර්ය කේ. ජේ. යේසුදාස් වන ඔහු ඉන්දියානු සංගීත ඉතිහාසයේ අන් කිසිවෙකුටත් දෙවැනි නොවන අසහාය ගායකයා ද වෙයි. ඔහු ජනප්‍රිය සංගීතය සහ සම්භාව්‍ය සංගීතය යන ගායනා අංශයන් ද්විත්වයම ජය ගෙන ඇත.
කට්ටසෙරි ජෝශප් යේසුදාස් හෙවත් ජේසුදාස් යනු ඉන්දියානු සම්භාව්‍ය සංගීතඥයෙකු මෙන්ම ප්‍රමුඛ චිත්‍රපට පසුබිම් ගායකයෙකු ද වේ. ඔහුගේ කටහඬ ඉන්දියානු සම්භාව්‍ය ගීතයේ ද, ජනප්‍රිය සිනමා ක්ෂේත්‍රයේ ද එකසේ පතලව ඇත. ඔහු සිය දීර්ඝ වෘත්තීය ගායනා දිවිය තුළ දෙමළ, හින්දි, මලයාලම්, කන්නඩ, තෙළිඟු, බෙංගාලි, ගුජරාටි, ඔරියා, මරාති, පන්ජාබි, සංස්කෘත, රුසියානු, අරාබි, ලතින්, සහ ඉංග්‍රීසි ඇතුළු බොහෝ භාෂාවලින් ගීත 50,000කට අධික ප්‍රමාණයක් පටිගතකර තිබේ. යේසුදාස්ගේ ගායනා දිවියේ උච්චතම අවධියේ දී ඔහු “දකුණු ඉන්දියාවේ ජිම් රීව්ස්” ලෙස ප්‍රසිද්ධ විය. ඔහුගේ හඬ ඒ තරමට රසිකයන්ට දිව්‍යමය සරයක් රැගෙන ආවේ ය.
පුද්ගලික දිවිය සහ වෘත්තීය දිවිය
1940 ජනවාරි 10 දින කේරළයේ කොචින් කොටුවේ දී, සුප්‍රසිද්ධ මලයාලම් ශාස්ත්‍රීය සංගීතඥයෙකු හා වේදිකා නළුවෙකු වූ ඔගස්ටින් ජෝශප් සහ එළිසබෙත් ජෝශප් යුවල දෙමාපියන් කරගෙන කේ. ජේ. යේසුදාස් උපත ලැබීය. ඔහුගේ පළමු ගුරුවරයා වූයේ ද ඔහුගේ පියා වූ ඔගස්ටින් ජෝශප් ය. පසුව ඔහු ත්‍රිපුනිතුරාහි සංගීත ඇකඩමියට බැඳී පුහුණුව ලැබීය.
යේසුදාස් කෙටි කාලයක් ශ්‍රී වෙචූර් හරී හරා සුබ්‍රමනියා අයියර් සමග කටයුතු කළ අතර, පසුව ඔහු ශාස්ත්‍රීය සංගීතයේ ප්‍රවීණයෙකු වන චෙම්බායි වෛද්‍යනාථයන් වෙතින් පුහුණුව ලබා ගත්තේ ය. කර්ණාටක සංගීත විශාරදයකු බවට පත්වූ ඔහු හින්දුස්ථානි සංගීතය ද ප්‍රගුණ කළේ ය.
60 දශකයේ මුල් භාගයේ දීම යේසුදාස් දකුණු ඉන්දියානු සිනමා ක්ෂේත්‍රය හෙවත් නූතන කොලිවුඩයේ චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසියේ ය. 70 දශකයේ මැදභාගය වන විට ඔහු හින්දි සිනමා කර්මාන්ත ක්ෂේත්‍රය හෙවත් බොලිවුඩයට ද පිවිසෙන්නට වරම් ලබා ගත්තේ ය. යේසුදාස්ගේ වඩාත් ජනප්‍රිය හින්දි ගීත වන්නේ 1976 දී චිචෝර් චිත්‍රපටයට ගායනා කළ ගීත බව සැලකේ. මේවාට සංගීතය සැපයුනේ රවින්ද්‍ර ජෙයින් විසිනි. වරක් මේ දෙනෙත් අඳ සංගීත අධ්‍යක්ෂකවරයා සම්මුඛ සාකච්ඡාවක දී සඳහන් කර තිබුණේ තමාට නැවත දෑස්වල පෙනීම ලබා ගැනීමට හැකිවුවහොත් තමා පළමුව දැකීමට කැමති පුද්ගලයා වන්නේ යේසුදාස් බව යි.
1970 වසරේ දී යේසුදාස් විවාහ දිවියට පිවිසියේ ය. ප්‍රභා ඔහුගේ දයාබර බිරිඳ යි. වසර තිහකට එහා ගිය මේ සාර්ථක විවාහ දිවියෙන් ඔවුනට පිරිමි දරුවන් තිදෙනෙකු ලැබුණි. ඒ අතරින් ඔහුගේ දෙවන පුත්‍රයා වන විජේ යේසුදාස් නව පරපුරේ ගායකයෙකු වනවා මෙන්ම සිනමාවට ද සම්බන්ධව සිටියි.
යේසුදාස් 1980 වසරේ දී කේරළයේ ත‍්‍රිවන්ද්‍රම්හි දී තරංගිනී චිත්‍රාගාරය ආරම්භ කළේ ය. තරංගිනී චිත්‍රාගාරය සහ තරංගිනී රෙකෝඩ්ස් කේරළයේ පටිගත කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්විය. 1992 දී කාර්යාලය සහ චිත්‍රාගාරය චෙන්නායි වෙත ගෙනයන ලද අතර එම සමාගම 1998 දී ඇමරිකා එක්සත් ජනපදයේ ද ස්ථාපිත කරන ලදී. මෙම චිත්‍රාගාර ලොව පුරා චිත්‍රපට සහ ඉන්දියානු සම්භාව්‍ය සංගීත ප්‍රසංග සඳහා යේසුදාස්ගේ වැඩසටහන් නිෂ්පාදනය හා ඉදිරිපත් සිදුකරයි.
රටරටවල ගැයූ ගී
යේසුදාස් ඉන්දියාවේ පමණක් නොව ලොව බොහෝ රටවල, විවිධ නගරවල ගායනා කළේ ය. මැද පෙරදිග ඔහුගේ සංගීත ප්‍රසංග බොහෝ වාර ගණනක් පවත්වා තිබේ. ඔහු ඉන්දියානු සංගීතය ප්‍රවර්ධනය කිරීමෙහි ලා විදේශයන්හි සිදුකර ඇති අතිවිශිෂ්ට සංගීතමය කාර්යභාරය තුළින් ඉන්දියානු සංස්කෘතික තානාපතිවරයකුගේ භූමිකාව ඉටුකර තිබෙන බව ඇතැමුන්ගේ අදහස යි.
1965 දී සෝවියට් සංගමයේ ආරාධනයෙන් සෝවියට් සමූහාණ්ඩුවේ විවිධ නගරවල ගී ගැයීම සඳහා ඔහු අවස්ථාව ලද්දේ ය. එසේම රේඩියෝ කසකස්ථාන් හරහා රුසියානු ගීතයක් ගයන්නට ද ඔහුට ඉඩකඩ ලැබුණි.
ලැබූ සම්මාන
යේසුදාස් ඉන්දීය සිනමා කර්මාන්තයේ හොඳම ගායකයා සඳහා වන ජාතික චිත්‍රපට සම්මාන හතක් ලබාගෙන තිබේ. කේරළ ප්‍රාන්තයේ අස්තනා ගයාකන් (නිල ගායකයා) යන පදවිය ලබා ඇති එකම ගායකයා යේසුදාස් ය. ඔහුට පද්ම ශ්‍රී සම්මානය (1975) සහ පද්ම භූෂන් සමිමානය (2002) යන සම්මාන ද්විත්මයම හිමිව තිබේ. 2017 දී ඔහු ඉන්දියානු සිවිල් පුරවැසියෙකුට ලැබිය හැකි දෙවැනි ඉහළතම සම්මානය වූ පද්ම විභූෂනයෙන් පිදුම් ලැබීය. යේසුදාස් 1970 දී කේරළයේ සංගීතා නටාකා ඇකඩමියේ ප්‍රධානියා ලෙස නම් කරන ලදී. ඔහු එම තනතුර දැරූ ලාබාලම පුද්ගලයා ද විය.
යේසුදාස් බොහෝ විට ‘ගානගාන්ධර්වන්’ යනුවෙන් ද හැඳින්වේ. ගානගාන්ධර්වන් යන්නෙහි අදහස “දිව්‍යමය ගායකයා” යන්න යි. ඔහුට ඇත්තේ දෙව්ලොවින් ආවාක් වැනි හඬකැ යි වරෙක විචාරකයෙකු සඳහන් කර තිබිණි.
“මම නිතරම කියා තිබෙන්නේ කිසිම ගායකයෙකුට නිර්මාපකයෙකුගේ මනසෙහි ඇති දේ එලෙසින්ම ප්‍රතිනිර්මාණය කරන්නට නොහැකි බව යි. නමුත් බොහෝවිට මුල් නිර්මාණයට සමීප, සහ සමහර විට එය ද ඉක්මවා ගිය ගායකයෙකු සිටී නම් එය යේසු ය. වෙනත් කිසිදු ගායකයෙකුට එවැනි භාවයන්, එවැනි ලය සමග ගායනා කළ නොහැකි ය. ඔහුගේ උච්චාරණය පරිපූර්ණ ය. අනෙක් ගායකයින් සම්බන්ධයෙන් ගත්කල, ඔවුන් සතුව ඇත්තේ එක් ශෛලියක් පමණි. යේසු සම්බන්ධයෙන් එය එසේ නොවේ. ඔහුව ඕනෑම ආකාරයකින් හැඩගස්වාගත හැකිය.”
මලයාලම් සංගීතඥ එම්.කේ. අර්ජුනන් The Hindu පුවත්පතට වරක් එසේ පවසා තිබුණි.
2006 දී ඔහු චෙන්නායිහි ඒ. වී. එම්. චිත්‍රාගාරයේ දී එකම දිනයක දකුණු ඉන්දියානු භාෂා හතරකින් චිත්‍රපට ගීත 16ක් ගායනා කිරීම වාර්තාගත සිදුවීමක් මෙන්ම ඔහුගේ ඉහළ ගායනා ප්‍රතිභාව විදහා දැක්වීමක් ද විය.
ඉන්දියාවේ ප්‍රාන්ත භාෂා පහකින් ගීත ගායනාකොට හොඳම ගායකයා සඳහා රාජ්‍ය සම්මාන දිනා ගැනීම, සහ භාෂා තුනකින් හත් වතාවක් හොඳම ගායකයා සඳහා ජාතික සම්මාන දිනා ගැනීම සම්බන්ධයෙන් වන ඔහුගේ අසමසම වාර්තාව, ඔහු ඉන්දියාව මෙතෙක් බිහිකර ඇති දක්ෂතම ගායකයින් අතරට ඔසවා තැබීය. මේ ඉන්දීය සංගීතඥයන් සහ ගායකයන් අතර ඔහුගේම වීරයන් ද සිටියේ ය. ඒ අතරින් මොහමඩ් රාෆි, චෙම්බායි වෛද්‍යනාත භගවතර්, සහ බලමුරලි ක්‍රිෂ්ණා ඔහු වඩාත්ම අගය කළ පුද්ගලයන් විය.
යේසුදාස් ලැබූ බොහෝ සම්මානවලින් කීපයක් මෙසේ ය:
- හොඳම පසුබිම් ගායකයා – ජාතික සම්මානය (1972)
“අචනම් බප්පයම්“ මලයාලම් චිත්‍රපටය සඳහා
- හොඳම පසුබිම් ගායකයා – ජාතික සම්මානය (1973)
“ගයාත්‍රි“ මලයාලම් චිත්‍රපටය සඳහා
- හොඳම පසුබිම් ගායකයා – ජාතික සම්මානය (1976)
“චිචෝර්“ හින්දි චිත්‍රපටය සඳහා
- හොඳම පසුබිම් ගායකයා – ජාතික සම්මානය (1982)
“මේඝසන්දේසම්“ තෙළිඟු චිත්‍රපටය සඳහා
තව ද 1987, 1991, 1993, සහ 2017 යන වසරවල දී හොඳම පසුබිම් ගායකයාට හිමි ජාතික සම්මානය ද, 2007, 2009, 2010 වසරවල දී හොඳම පසුබිම් ගායකයාට හිමි මලයාලම් ෆිල්ම්ෆෙයාර් සම්මානය ද දිනාගන්නට යේසුදාස් සමත්විය.
- ජීවිත කාලය සඳහා එක්වරක් ලබන Lifetime Achievement Award ජාතික සම්මානය (2004)
යේසුදාස් අද
අද වන විට වයස අවුරුදු අසූව ද පසුකර සිටින මේ විශිෂ්ඨයා ජීවමානව වැඩසිටින දෙවියකු බඳුව අදට ද කේරළයේ ජීවත්වෙයි. අවුරුදු 60කට ආසන්න කාලයක් තිස්සේ සෑම මලයාලි ජාතිකයෙකුගේම අභිමානනීය හඬ බවට පත්ව සිටින ඔහුගේ විස්මිත කටහඬ නැසී කේරළයේ එක දවසක් හෝ ගත නොවේ. පරම්පරා ගණනාවකට ගී ගැයූ යේසුදාස්, සංගීත ක්‍ෂේත්‍රයේ ඩිජිටල්කරණය සහ නව ප්‍රවණතා ද, ඒ ප්‍රවණතාවන්ගේ නැගීම හා වැටීම ද දැක තිබේ. නමුත් ඔහුගේ හඬ ඒ කිසි අභියෝගයක් හමුවේ කිසිදු විටෙක අඩපණව ගියේ නැත. ඒ ඔහු කේ. ජේ. යේසුදාස් වන නිසාය.