ලොව ප්‍රථම අභ්‍යවකාශගාමියා ලෙස ඉතිහාසයට එක් වූ යූරි ඇලෙක්සෙයෙවිච් ගගාරින් යන නාමය ඔබ අසා ඇති බවට කිසිදු සැකයක් නෑ. නමුත් සෝවියට් දේශයේ කම්කරු පවුලක ඉපදී අභ්‍යවකාශ චාරිකාවෙන් පසුව සෝවියට් දේශයේ ඉහළම සම්මානය වන “සෝවියට් සංගමයේ වීරයා” සම්මානය ලබා ගත් ඔහුගේ උත්සාහවන්ත ජීවන චරිතය පිළිබඳව ඔබ අසා නොතිබෙන්නට පුළුවන්.
තම කැපවීම හා උත්සහවන්තකම හේතුවෙන් ලෝකවාසි ජනතාවගේ ආදරය නොඅඩුව දිනාගත් ඒ සෝවියට් වැසියා පිළිබඳව රසබර කරුණු එකතුවකුයි අද ලිපියේ අන්තර්ගත වන්නේ.
සාමාන්‍ය රුසියානු කම්කරු පවුලක තුන්වැන්නා
රුසියාවේ ග්හාට්ස්ක් නගරයට නුදුරු පිහිටි ගම්මානයක 1934 වසරේ මාර්තු 9 වන දින උපත ලබන යූරි ඇලෙක්සෙයෙවිච් ගගාරින් දරුවන් සිවු දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වැන්නා විය. සෝවියට් දේශයේ සාමාන්‍ය කම්කරු යුවලක් වූ ගගාරින්ගේ මව හා පියා සේවය කරනු ලබන්නේ එවකට රුසියාවේ ක්‍රියාත්මක වූ සමූහ ගොවිපළකයි.
ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණය කිරීමේදී හටගත් බිහිසුණු යුද්ධයට ඔහු ළමා කාලයේ මුහුණ දෙනවා. තම ගම්මානය ජර්මානුවන් අතට පත් වීමෙන් පසුව එම සොල්දාදුවන් එවකට ළමා වියේ සිටි ඔහුටත්, ඔහුගේ බාල සහෝදරයාටත් හිරිහැර කළ බව තම චරිතාපදානයේ ගගාරින් විසින් සටහන් කරනවා. තවද පැසිස්ට්වාදීන් විසින් ඔහුගේ වැඩිමහල් සහෝදරයා හා සහෝදරිය වහල් මෙහෙය සඳහා පැහැරගෙන යනු ලබනවා.
යුද්ධය අවසන් වීමෙන් පසුව ග්හාට්ස්ක් පාසලෙන් හයවන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන ගගාරින් පාසල් අධ්‍යාපනය සඳහා හරිහැටි මුදල් නොතිබුණු හෙයින් කර්මාන්තශාලාවක රැකියාවක් සඳහා බැඳෙනවා. ඒ හා සමගාමීව වෘත්තීය පාඨමාලාවක් හැදෑරීම සඳහා මොස්කව් නුවර බලා පිටත් වන්නට මේ ගැටවරයා තීරණය කරනවා.
වාත්තු ශිල්පියෙකු වූ තරුණ ගගාරින්
කුඩා කල සිටම ගගාරින්ට ලියවන පට්ටල්කරුවෙකු හෝ වැද්දුම්කරුවෙකු වීමේ ආශාවක් පැවතුනු අතර අවාසනාවන්ත ලෙස ඔහුට එම පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලැබෙන්නේ නෑ. ඊට හේතුව වන්නේ එම පාඨමාලාව සඳහා 7 වැනි වසර සමත් වී තිබීම සලකා බැලීමයි. නමුත් ඔහුට ල්යුබර්ට්සිහි යාන්ත්‍රික වැඩපොළේ වාත්තු ශිල්පියෙක් ලෙස අධ්‍යාපනය ලැබීමට හැකියාව ලැබෙනවා.
ඉගෙනීම සඳහා වැඩි උනන්දුවක් දැක්වූ ගගාරින් යාන්ත්‍රික ඇදීම වලට වැඩි දක්ෂතාවයක් දක්වනවා. ඉංජිනේරු පාසලකට ඇතුලත් වීමේ අරමුණෙන් යුතුව ඔහු මේ අතරවාරයේදී ද්විතික අධ්‍යාපනය ලැබීමට පාසලකට ඇතුලත් වීමට තරම් උත්සාහවන්තව ක්‍රියා කරනවා. පසුව අධ්‍යාපනය ලැබීමට කාර්මික පාසලට ඇතුල්වෙන ගගාරින් අංක ගණිතයට හා භෞතික විද්‍යාවට දස්කම් දක්වන අතර විද්‍යාලයේ පැසිපන්දු කණ්ඩායමද නියෝජනය කරනවා.
කාර්මික විද්‍යාලයෙන් බිහි වූ ගුවන් නියමුවා
සෝවියට් දේශය විසින් කාර්මික විද්‍යාලයන්හි අවසන් වසර සිසුන් ගුවන් නියමුවන් ලෙස පුහුණු කිරීමට ගත් තීරණය හේතුවෙන් 1955 වසරේදී ගගාරින් ඇතුළු කාර්මික ශිෂ්‍යන් 19 දෙනෙකුට රුසියානු පියාසර සමාජයට ඇතුළත් වීමට හැකියාව ලැබෙනවා. එහිදී පියාසැරීම පිළිබඳව න්‍යායාත්මක පුහුණුව මෙන්ම ප්‍රයෝගික පුහුණුවද මනා ලෙස ලබා ගන්නා ගාගරින්ගේ විශිෂ්ටත්වය පිළිබඳව එකල සෝවියට් පුවත්පතක් වූ සර්යා මොලොද්යෝෂි හි ජායාරූප සහිතව වාර්තාවක් පළ වෙනවා. අවසානයේදී ඔහු ගුවන් නියමු උපාධිය සම්පුර්ණ කරන්නේ සියළුම විෂයන් සඳහා විශිෂ්ට සාමාර්ථ ලබා ගනිමින්.
රුසියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් නියමුවෙකු ලෙස
ගුවන් නියමුවෙකු ලෙස පුහුණුව ලැබූ පසුව ගගාරින්ට අවශ්‍ය වන්නේ රුසියානු ගුවන් හමුදාවට ප්‍රහාරක ගුවන් නියමුවෙකු ලෙස සම්බන්ධ වීමටයි. සාර්ථක ලෙස ප්‍රහාරක ගුවන් නියමු පාඨමාලාව අවසන් කරන ඔහු ඒ අනුව 1956 වසරේ ජනවාරි 8 වනදා ප්‍රහාරක ගුවන් හමුදා නිලධාරියෙක් ලෙස ප්‍රතිඥා දෙනවා. පාඨමාලාවෙන් පසුව, පුහුණු උපදේශකයන් සියලු දෙනාගේ අදහස වූයේ ඔහු පුහුණු උපදේශකයෙකු ලෙස පාසල තුළම රැදෙනු ඇති බවයි. නමුත් ඔහු උතුරු රුසියානු ප්‍රදේශයේ ගුවන් හමුදා කදවුරකට යාමට තීරණය කරනවා.
කොමියුනිස්ට් පක්ෂ සාමාජිකත්වය
සෝවියට සංගමයේ කොමියුනට්ස් පක්ෂයේ 21 වන සම්මේලනයේදී ඔහු කොමියුනිස්ට් පක්ෂ සාමාජිකත්වය සඳහා අයදුම් කරනවා. ඊට හේතුව ලෙස ඔහු සදහන් කරන්නේ ඔහු ප්‍රිය කල සෑම චරිතයක් මෙන්ම ඔහු ජීවිතය පිළිබඳව හා වැඩ කිරීම පිළිබඳව ඉගෙන ගත් සියලුම චරිතයන් කොමියුනිස්ට්වාදීන් වීමයි.
අභ්‍යවකාශ තරණය සඳහා තෝරා ගත් පළමු මිනිසා වීමට ගගාරින් සතුව තිබූ දක්ෂතාවය මෙන්ම ඔහු කොමියුනිස්ට්වාදියෙක් වීමත් ප්‍රබලව බලපෑ හේතුවක් ලෙස සදහන් කරන්න පුළුවන්. පාලන තන්ත්‍රයේ විශ්වාසය දිනාගැනීමට සමත් පක්ෂ සාමාජිකයකු වීම තෝරා ගැනීම ස්ථිර වීමට බලපා තිබෙනවා. තවද ඔහු තම චරිතාපදානයේ සදහන් කරන්නේ මාක්ස් – ලෙනින්වාදය අනුව තමන්ට මනුෂ්‍ය වර්ගයා වෙත සේවාවක් කිරීමට අවශ්‍ය වූ බවයි.
අභ්‍යවකාශ ගමනට පෙර අසීරු පුහුණුව
1957 වසරේ ප්‍රථම වරට රුසියාව විසින් ස්පුට්නික් 1 චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමෙන් පසුව ඔවුන්ගේ මුලිකම අරමුණ වුයේ මිනිසෙකු අභ්‍යවකාශය වෙත යැවීමයි. ඒ සඳහා 1960 වසරේ ජූනි මාසයේදී තෝරාගත් ගුවන් නියමුවන් පිරිස අතරට ගගාරින් ඇතුලත් වෙනවා.
තෝරා ගත් පිරිස මූලික යෝග්‍ය පරීක්ෂණ කිහිපයකින් අනතුරුව න්‍යායාත්මක පුහුණුවකට යොමු කරනවා. අවසානයේදී ආදර්ශ නියමු කුටියක් තුළ අභ්‍යවකාශ පරිසර තත්ව යටතේ සිදුකළ පරීක්ෂණ හා අසීරු පුහුණුවීම් වලින් අනතුරුව ඒ සදහා වඩාත්ම දක්ෂ හා කැපකිරීමක් කළ හැකි පුද්ගලයා ලෙස 27 හැවිරිදි ලුතිනන් යූරි ගගාරීන්ව තෝරා ගනු ලබන්නේ ගුවන් නියමුවන් 200 දෙනෙකු අතරින්.
බයිකොනුර් අභ්‍යවකාශ තොටුපොළින් ඉහළට නැඟුණු වොස්ටොක් යානය
1961 වසරේ අප්‍රේල් මස 12 වැනිදා ඉතා සතුටෙන් වොස්ටොක් යානාව වෙත ගොඩ වූ ගගාරින් නියමු කුටියේ සෑම තත්ත්වයක්ම සාමාන්‍ය බව පාලක මධ්‍යස්ථානයට වාර්තා කරනවා. අනතුරුව උදෑසන 9 පසු වී මිනිත්තු හතකින් තියුණු හඩකින් යුතුව යානය අභ්‍යවකාශය බලා ගුවන්ගත වෙනවා. යානය ස්වයංව පාලනය වන ආකාරයට නිර්මාණය කර තිබූ අතර හදීසි අවස්ථාවකදී එය ගගාරින්ට පාලනය කිරීමේ හැකියාවද පැවතිනි.
ඉතාමත්ව සාර්ථකව ගගාරින් රැගත් යානය ගුවන්ගත් වී විනාඩි 79කට පසුව නැවතත් පෘතුවිය බලා සාර්ථකව ගමන් කරනවා. පසුදිනම මොස්කව් රතු චතුරශ්‍රයේදී රාජ්‍ය ගෞරවය හා විශාල මහජන ආචාරයක් ගගාරින්ට හිමි වෙනවා.
1961 වසරේ අප්‍රේල් 14 දින මොස්කව් ක්‍රෙම්ලින් මැදුරේදී යූරි ගගාරින්ට ලෙනින් ත්‍යාගය හා රන් තරුවේ වීරයා සම්මානය රුසියානු සමාජවාදී සමුහාණ්ඩුව විසින් පිරිනමනු ලබනවා. තවද ඔහුව හමුදාවේ මේජර් තනතුර දක්වා උසස් කරනු ලබනවා.
කීර්තිමත් පුරවැසියකුගේ අකාලයේ සමුගැන්ම
අභ්‍යවකාශ ගමනින් පසුව ගගාරින්, සෝවියට් දේශය නියෝජනය කරමින් ජර්මනිය, කැනඩාව, බ්‍රසීලය, ඊජිප්තුව හා එංගලන්තය වැනි රටවල් රැසක සංචාරය කරන අතර සෑම රටකදිම ඔහුට උණුසුම් පිළිගැනීමක් ලැබෙනවා. 1961 වසරේ දෙසැම්බර් මාසයේ ඔහු ශ්‍රී ලංකාවටද පැමිණෙනවා.
1967 වසරේදී සෝවියට් දේශය මගින් අභ්‍යවකාශ ගතකළ යානයක් නියමුවා සමඟ විනාශ වීම හේතුවෙන් සෝවියට් දේශය විසින් ගගාරින් රැක ගැනීම සඳහා ඔහුට අභ්‍යවකාශ ගමන් තහනම් කරනවා.
නමුත් 1968 වසරේ මාර්තු 28 වනදා චාලොව්ස්කි ගුවන් තොටුපොලෙන් මිග් 15 යානයකින් ගුවන්ගත් වන අතර යානය ගුවනේදී පුපුරා ගොස් ගගාරින් මරණයට පත්වෙනවා. ගගාරින්ගේ මරණය අබිරහසක් බවත් කුමන්ත්‍රණයක් බවත් එවකට විවිධ මත පල වූවත් ගගාරින් මිය ගොස් වසර හතලිස්පහකට පසුව එය කුමන්ත්‍රණයක් නොවන බවත් ඊට හේතුව වී ඇත්තේ තවත් ගුවන් යානයක් ගගාරින්ගේ යානය ආසන්නයෙන් ගමන් කළ අවස්ථාවේ වූ අනතුරක් බවට හෙළිවෙනවා.
සෝවියට් දේශයේ වීරයෙක් ලෙස නම් කළ මේ කොමියුනිස්ට්වාදී ගුවන් නියමුවාගේ භෂ්මාවශේෂ රතු චතුරශ්‍රය අසළ තැන්පත් කරනවා.
කවරයේ ජායාරූපය – w-dog.net
මුලාශ්‍ර –
තරු මඟට පිවිසුනෙමි – පරිවර්තනය – චුලානන්ද සමරනායක ISBN 978 955 1559 812
www.divaina.com
www.nasa.gov
www.space.com