රාජාභිෂේක මංගල්‍යයක් සිදු වන්නේ කෙලෙස ද?

බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රපුගේ රාජාභිෂේකය මේ මැයි මස 06 වැනි දා, ලන්ඩනයේ පිහිටි වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමට දින නියම කළ බව බකිම්හම් මාළිගය නිවේදනය කළා.

73 හැවිරිදි චාල්ස් කුමරුට, ඔහුගේ මවවන දෙවන එළිසබෙත් රැජනගේ අභාවයත් සමඟ රාජ්‍යයත්වය හිමිවූවා. මේ අකුව චාරිත්‍රානුකූලව ඔහු සහ ඔහුගේ බිරිය කැමිලා රැජනගේ රාජාභිෂේක මංගල්‍යය මැයි මස 06 වැනිදා සිදු කෙරෙනවා.

මහා බ්‍රිතාන්‍යය පාලන තන්ත්‍රයට නවක රජකු හෝ රැජනක තේරී පත් විගස ඔහුගේ හෝ ඇයගේ සිංහාසනරූඪ වීම නිල වශයෙන් සනිටුහන් කිරීමට චාරිත්‍රානුකූල උත්සවයක් පවත්වනවා. මෙකී උත්සව අවස්ථාව එංගලන්ත රාජාභිෂේක මංගල්‍යය ලෙස හඳුන්වනවා. ශතවර්ෂ ගණනාවක ඉතිහාසයකට මෙම රාජාභිෂේක මංගල්‍යය හිමිකම් කියනවා. ආගමික, දේශපාලනික සහ පුරාතන සම්ප්‍රදායයන් හා බැඳුණ චාරිත්‍රවලින් මෙම උත්සවය සමන්විත වනවා.

මේ රාජාභිෂේක මංගල්‍යය අවුරුදු 1000 කට වඩා පැරණි බවත් සමහර ඉතිහාසමය මූලාශ්‍ර පෙන්වා දී තිබෙනවා. බ්‍රිතාන්‍යය රාජාණ්ඩුව ලෝකයාට ඉටු කළ චිරස්ථායී කාර්ය භාරය සහ එය තුළ පැවති ස්වාධීනත්වය සෑම දෙනාට ම පුනරාවර්ජනය කර දීමක් මෙකී රාජාභිෂේක උත්සවයෙන් සංකේතාත්මක වන බවත් සඳහන් වනවා.

එක්සත් රාජධානි රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වන සුවිශේෂී අමුත්තන් කවුද? මෙබඳු උත්සවයක දී අනුගමනය කරන පිළිවෙත කුමක්ද?

1953 වසරේ පැවති දෙවන එලිසබෙත් මහ රැජනගේ රාජාභිෂේකී උත්සවය – www.tortoisemedia.com

හිරු නොබසින අධිරාජ්‍යය ලෙස ලෝකයේ ම අවධානය දිනා ගත් බ්‍රිතාන්‍යය, දේශපාලනමය වශයෙන් වැදගත්කමක් උසුලන රාජාභිෂේක උත්සවය චාරිත්‍රානුකූල ව පවත්වන ආකාරය මෙමඟින් විමසා බලමු.

රාජකීය සාමාජිකයන්ට සැම විට මුල් තැන ලබා නොදෙයි

රාජාභිෂේක උත්සවයක් පැවැත්වීමට සැලසුම් කළ විටෙක, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්වලට අයත් දේශපාලන සභිකයන්ට සහ ලොව පුරා සිටින ප්‍රබල රාජ්‍ය නායකයනට එයට සහභාගී වීමට ආරාධනා පත්‍ර ලැබෙනවා. මීට අමතර ව එක්සත් රාජධානි අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටත්, රජ පවුලේ පරම්පරාගත හිත මිතුරන්ටත් ඇරියුම් පත් ලබා දීමට සංවිධායක මඬුල්ල පියවර ගන්නවා.

එසේ වුවත් 1953 වසරේ පැවති දෙවන එළිසබෙත් මහ රැජනගේ රාජාභිෂේක උත්සවයට සෝවියට් සංගමයේ රාජ්‍ය නායකයන් සහභාගී නොවූවා. ඒ වන විට ලෝකයා මුහුණ දී සිටී සීතල යුදමය තත්ත්වය මෙයට හේතු වූවා.

සිව් හැවරිදිව සිටි චාල්ස් කුමරු තම මව්තුමියගේ ඔටුනු පැළඳවීමේ උත්සවයට 1953 වසරේදී සහභාගී වූවා – Topical Press Agency/Getty Images

අනාරාධිත රාජකීයයෝ

1937 වසරේ පැවති හයවන ජෝර්ජ් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගි වීමට එම රජුගේ සහෝදරයා සහ නෑනා (වින්ඩ්සර්හි ආදිපාදවරයාට සහ ආදිපාදවරිය) යන දෙපළට අවසර හිමි ව තිබුණේ නෑ.

මේ හා සමාන සිදුවීමක් ක්‍රිස්තු වර්ෂ 1831 දී ත් දක්නට ලැබුණා. එවකට මහා බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යා ව සිටි හතරවන ජෝර්ජ් රජු, ඔහුගේ බිරිය වූ කැරොලයින් රැජනට තම රාජාභිෂේක උත්සවයට සහභාගී වීමට තහංචි පනවා තිබුණා.

1937 වසරේ පැවති හයවන ජෝර්ජ් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගි වීමට එම රජුගේ සහෝදරයා සහ නෑනා (වින්ඩ්සර්හි ආදිපාදවරයාට සහ ආදිපාදවරිය) යන දෙපළට අවසර ලබා දී තිබුණේ නෑ – Getty Images

මහා බ්‍රිතාන්‍යය රාජාභිෂේක මංගල්‍යය වැඩිහිටියන් පමණක් සහභාගී වන සුවිශේෂී උත්සව අවස්ථාවක වුවත් එවකට සිව් හැවිරිදි ව සිටි චාල්ස් කුමරු තම මව්තුමියගේ ඔටුනු පැළඳවීමේ උත්සවයට 1953 වසරේදී සහභාගී වූවා. රාජාභිෂේක මංගල්‍යයකට සහභාගී වූ පළමු දරුවා බවට පත් වීමට චාල්ස් කුමරුට එහිදී හැකි වූවා.

කොටස් හයකින් සමන්විත රාජාභිෂේක මංගල්‍යය

රාජාභිෂේක මංගල්‍යයකදී ‘රාජාභිෂේක දිවුරුමට’ එකඟ වී නීතිගරුක, යුක්තිගරුක සහ දයානුකම්පිත ක්‍රමවේදයකට රාජ්‍යය පාලනය කරන බවට වන පොරොන්දුවක් නවක රජු හෝ රැජන ලබා දෙනවා.

මහා බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යාව සිටි හතරවන ජෝර්ජ් රජු, ඔහුගේ බිරිය වූ කැරොලයින් රැජනට තම රාජාභිෂේක උත්සවයට සහභාගී වීමට තහංචි පනවා තිබුණා – www.historyhit.com

මෙම රාජාභිෂේක දිවුරුම් පනත සම්මත වූයේ ක්‍රිස්තු වර්ෂ 1689 න් පසුව යි. තම පාලන කාලය තුළ ඇංග්ලිකන් රෙපරමාදු පල්ලිය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත් මෙකී පනත අනුව යමින් නවක රජු හෝ රැජන ප්‍රතිඥා ලබා දෙනවා.

උත්සවයේ ප්‍රධාන ආගමික නායකයා

රාජකීය අභිෂේක උත්සවයට සහභාගී වන ප්‍රධාන ආගමික නායකයෙකි කැන්ටබරි හි අගරදගුරුතුමා. එතුමාණන්ගේ පැමිණීමත් සමඟ රාජාසනයට පත් තැනැත්තා එඩ්වඩ් රජුගේ පුටුව ලෙස හැඳින්වෙන රාජාභිෂේක පුටුවක අසුන් ගන්නවා.

අසුන් ගැන්මෙන් අනතුරුව රාජාභිෂේක මුද්ද,යෂ්ටිය සහ සැරයටිය වැනි රාජකීය ආභරණ නවක රජුට ලබා දෙනවා. රාජ්‍යත්වයේ ප්‍රබල සංකේතය වන ඔටුන්න හිමි වන්නේ මෙම අවස්ථාවේ අවසාන භාගය එළඹෙත්ම යි. කැන්ටබරි අගරදගුරුතුමා නව පාලකයාගේ හිස මත ශාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න පළඳන විටදී, එම ස්ථානය පුරාවට සීනු හැඩවෙන නාදයත්, ලන්ඩන් කුළුණේ සිට තුවක්කු 62 ක ආචාර වෙඩිමුර නිකුත් වන හඬත් එකසේ රැව්පිළිරැව් දීමක් සිදු වනවා. රාජාභිෂේක සභාව එක හඩකින් යුක්තව “God Save the King” (or Queen) යනුවෙන් පවසා සිටින්නේ මෙයට ප්‍රතිචාරීව යි.

රාජකීය අභිෂේක උත්සවයට සහභාගී වන ප්‍රධාන ආගමික නායකයෙකි කැන්ටබරි හි අගරදගුරුතුමා -images.immediate.co.uk

මින් පසු නවක රජු හෝ රැජන සිංහාසනය වෙත කැඳවා ගෙන යාමක් සිදු වනවා. රජු හෝ රැජන රාජකීය ගෞරවය ලබා ගන්නේ මෙයින් පසුව යි. කැන්ටබරි අගරදගුරුතුමා ප්‍රධාන අනෙකුත් බිෂොප්වරු, ආධ්‍යාත්මික සාමිවරු, රජ පවුලේ ජ්‍යෙෂ්ඨ කුමාරවරු සහ පරම්පරාගත රජ පවුල් හිතවතුන් නව පාලකයාට තම පක්ෂපාතීත්වය දිවුරුම් දීම මින් පසු සිදු වනවා. මෙකී උත්සවයට රාජාභිෂේකයට පත් රජ බිසවත් සහභාගී ව සිටින්නේ නම්, ඇයටත් අභිෂේකත්වය ලබා දී ගෞරවාන්විත ඔටුනු පැළඳවීමක් අවසානයට සිදු කරනවා.

මහජනයාට විවර නොවන පූජනීය කොටස

බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව දිව්‍යමය හස්තයකින් පාලනය කරන බවට වන විශ්වාසයක් පවතින බැවින්, නවකයෙන් පත් වන සෑම පාලකයකු ම අභිෂේකගත කිරීම උදෙසා කැන්ටබරි අගරදගුරුතුමා දෙවන චාල්ස් රජුගේ රන් ඇම්පුලාවෙන් (රාජාභිෂේක උත්සවයකදී අභිෂේකයට පත් වන නවක පාලකයාට ආශිර්වාදය ගෙන දෙන ‘රාජාභිෂේක තෛලය’ රඳවා ගැනීමට යොදා ගන්නා උපකරණය) ශුද්ධ වූ රාජාභිෂේක තෛලය වත් කර, නවක රජු හෝ රැජනට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන ලෙසත් , ඔහුගේ හෝ ඇයගේ පාලන කාලය තුළ එම පාලකයාට කිසිදු අනතුරක් සිදු නොකරන ලෙස ඉල්ලමින් දේව කන්නලව්වක නිරත වීමත් සිදු වෙනවා.

කැන්ටබරි අගරදගුරුතුමා දෙවන චාල්ස් රජුගේ රන් ඇම්පුලාවෙන් ශුද්ධ වූ රාජාභිෂේක තෙල් වත් කර, නවක රජු හෝ රැජිණට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන ලෙසත් ඉල්ලමින් දේව කන්නලව්වක නිරත වෙනවා – www.rct.uk

රාජාභිෂේක උත්සවයේ මෙකී කොටස කෙතරම් පරිශුද්ධ ලෙස සැලකේ ද යත්, දෙවන එලිසබෙත් මහ රැජනගේ රාජාභිෂේක මංගල්‍යයේ සඳහන් ව තිබූ එම කොටස රූපවාහිනියෙන් සජීවීව විකාශනය කිරීමට පවා අවසර ලබා දුන්නේ නෑ. බ්‍රිතාන්‍ය පාලකයන් බහුතරය අභිෂේකගත ව ඇත්තේ 12 වන සියවසට පමණ අයත් රාජාභිෂේක හැන්දක් භාවිත කරමිනුයි. රාජාභිෂේක මංගල්‍යයට අයත් පැරණිත ම වස්තුව මෙම හැන්ද බවත් සඳහන් වනවා.

1941 වසරේ පැවති දෙවන ලෝක යුද සමයේ සතුරු හමුදා හෙළූ බෝම්බ ප්‍රහාරයක දී මෙම රාජාභිෂේක තෛලය විනාශ වූ බවත් පැවසෙනවා. එලිසබෙත් මහ රැජනගේ රාජාභිෂේක තෛලය 17 වන සියවසට පමණ අයත් වට්ටෝරුවක් භාවිතයෙන් සාදා තිබෙනවා. ඔලිව් තෙල්, තල ඇට, රෝස මල්, තැඹිලි මල්, පිච්ච මල්, කස්තුරි සහ ඇම්බර්ග්‍රිස් යනාදී අමුද්‍රව්‍ය එහි අන්තර්ගත වූවා.

බ්‍රිතාන්‍ය පාලකයන් බහුතරය අභිෂේකගතව ඇත්තේ 12 වන සියවසට පමණ අයත් රාජාභිෂේක හැන්දක් භාවිතා කරමිනුයි – duncan1890/Getty Images

රාජාභිෂේකී උපදේශක අත්පොත – Liber Regalis

ලිබර් රෙගාලිස් (Liber Regalis ) නොහොත් “රාජකීය පොත” වනාහි ඔටුනු පැළඳවීම් උත්සව අනුපිළිවෙළ මනාවට විස්තර වන මධ්‍යකාලීන යුගයේ අත්පිටපතක්. ක්‍රිස්තු වර්ෂ 1382 දී ලතින් භාෂාවෙන් රචිත මෙම අත්පොත ක්‍රිස්තු වර්ෂ 1603 වසර පමණ වන විට ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වූවා. පළමුවන ජේම්ස් රජුගේ රාජාභිෂේකී උත්සවය නිමිති කොටගෙන මෙම පරිවර්තන කාර්යය සිදු වූවා.

ලිබර් රෙගාලිස් (Liber Regalis ) නොහොත් “රාජකීය පොත” වනාහි ඔටුනු පැළඳවීම් උත්සව අනුපිළිවෙළ මනාවට විස්තර වන මධ්‍යකාලීන යුගයේ අත්පිටපතක් – pbs.twimg.com

වත්මන් රාජාභිෂේක උත්සව සඳහා වන උපදේශක අත්පොත ලෙස ක්‍රියා කරන්නේද 14 වන සියවස දක්වා දිවෙන මෙකී අත්පොතෙහි ඉංග්‍රීසි පරිවර්තනය බවත් සඳහන් වනවා.

රාජාභිෂේකයට හෙවණ දුන් නිවහන – වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය

වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය මූලික කරගනිමින් පැවති පළමු රාජාභිෂේක උත්සවය ක්‍රිස්තු වර්ෂ 1066 දී සිදු වූවා. විලියම් රජුට එහිදී කිරුළු පැළඳ වූවා.

වෙස්ට්මිනිස්ටර් ඇබේ, ආගමික සහ ප්‍රතාපවත් රාජකීය ඉතිහාසයකට උරුමකම් කියන දේවස්ථානයක්. චාල්ස් ඩිකන්ස් වැනි ප්‍රභූන්ගේ සොහොන් ගැබ් ද මෙහි තිබෙනවා. මහා බ්‍රිතාන්‍යය විශිෂ්ට රාජ්‍යයක් බව පෙන්වා දෙන එක සංකේතයක් වන්නේ ද මෙකී දේවස්ථානයයි.

වෙස්ට්මිනිස්ටර් ඇබේ, ආගමික සහ ප්‍රතාපවත් රාජකීය ඉතිහාසයකට උරුමකම් කියන දේවස්ථානයක් – images.immediate.co.uk

වසර 1,000 කට ආසන්න කාලයක සිට රාජාභිෂේක මංගල්‍යයට සෙවණ ලබා දී තිබුණේද මෙම වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය යි.

රාජාභිෂේකය උත්සවයේ ප්‍රධාන සංවිධායක – අර්ල් මාර්ෂල්

එංගලන්ත සමාජයේ ඉහළ ශ්‍රේණියක වැජඹෙන ආදිපාද තනතුර ලෙස අර්ල් මාර්ෂල් හඳුන්වන්න පුළුවන්. ක්‍රිස්තු වර්ෂ 1386 සිට ම රාජාභිෂේක උත්සවය පවත්වා තිබුණේත් නොර්ෆොක්හි ආදිපාදවරුනු යි.

එංගලන්ත සමාජයේ ඉහළ ශ්‍රේණියක වැජඹෙන ආදිපාද තනතුර ලෙස අර්ල් මාර්ෂල් හඳුන්වන්න පුළුවන් -e3.365dm.com

මෙකී ආදිපාදවරුන්ට පැවරූ වගකීම් අතරට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විවෘත කිරීම සහ රාජකීයන්ගේ අවමංගල්‍ය කටයුතු රාජ්‍ය අන්දමින් සංවිධානය කිරීම ද ඇතුළත් වූවා.

රාජාභිෂේක උත්සවයට යොදා ගන්නා රජ කිරුළු

ක්‍රි.ව. 1661 දී දෙවන චාල්ස් රජු උදසා නිමවූ ශාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න, රාජාභිෂේක මොහොත සඳහා භාවිත වන එක ඔටුන්නක්. රාජාභිෂේකී උත්සවයෙන් අනතුරුව වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙතින් පිටව යන නවක පාලකයා ඉම්පීරියල් ස්ටේට් කිරුළ (1937) පැළඳගෙන සිටීමක් සිදු වනවා. කූලිනන් II යන දියමන්ති ප්‍රභේදය සහ ස්ටුවර්ට් නැමති නීල මාණික්‍යයත් එම කිරුළට අයත් වනවා.

ක්‍රිස්තු වර්ෂ1661 දී දෙවන චාල්ස් රජු උදසා නිමවූ ශාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න, රාජාභිෂේක මොහොත සඳහා භාවිත වන එක් ඔටුන්නක් – chef.bbci.co.uk

රාජාභිෂේකයට පත් රජ බිසෝවරුන් සඳහාත් විශේෂිත වූ ඔටුනු නිර්මාණය වී තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1685 දී සිය සැමියා වූ දෙවන ජේම්ස් රජුගේ රාජාභිෂේක උත්සවය සඳහා මොඩෙනාහි මේරි බිසවට රාජාභිෂේක කිරුළක් සහ රාජ්‍ය ඔටුන්නක් ද පළඳා තිබුණා.

චාලට්, ඇඩිලේඩ්, ඇලෙක්සැන්ඩ්‍රා, මේරි සහ එළිසබෙත් යනාදී රැජනන්ගේ ස්වාමිපුරුෂයන්ගේ හිසෙහි පැළඳීම උදෙසාත් විශේෂයෙන් නිර්මිත කිරුළු තිබුණා. මේරි රැජනගේ රාජාභිෂේක කිරුළට කූලිනන් III, කූලිනන් IV සහ කොහිනූර් දියමන්ති ඇගේ යනාදී මාණික්‍යයන් ඇතුළත්ව වූවා. මෙය මේරි රැජනගේ කිරුළ (Queen Mary’s Crown) ලෙසත් හඳුන්වනවා. කොහිනූර් දියමන්ති පසුව එළිසබෙත් රැජනගේ කිරුළට එකතු කිරීමටත් පියවර ගෙන තිබුණා.

රාජාභිෂේක මුද්ද,යෂ්ටිය සහ සැරයටිය වැනි රාජකීය ආභරණ මෙම අවස්ථාවේ නවක රජුට ලබා දෙනවා – www.history.com

මෙම අලංකාර සම්ප්‍රදායන් වර්තමාන ලෝකය වෙත යම් ප්‍රකාශිත අරමුණක් ඉටු කරන බවත්, තම සුවිශේෂී අතීතය උපයෝගී කරගනිමින් බ්‍රිතාන්‍යය රාජාණ්ඩුව අඛණ්ඩව පවත්වාගෙන යාමටත් මෙකී උත්සව අවස්ථාව බොහෝ සේ අත්‍යවශ්‍ය වන බවත් සඳහන් වනවා.

කවරයේ ඡායාරූපය: බ්‍රිතාන්‍යය රාජාභිෂේක මංගල්‍යය අවුරුදු 1000 කට වඩා පැරණි බව සමහර ඉතිහාසමය මූලාශ්‍ර පෙන්වා දී තිබෙනවා - img.freepik.com
මූලාශ්‍ර :
www.history.com
www.rct.uk

Related Articles

Exit mobile version