
ලොව මිලෙන් අධික ම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම වන්නේ රෝල්ස් රොයිස් සමාගම බව අමුතුවෙන් කිවයුතු නැහැ. බ්‍රිතාන්‍ය රාජකීයයන් පවා තම ගමන් බිමන්වලදී භාවිත කර ඇති රෝල්ස් රොයිස් මෝටර් රථ අති සුඛෝපභෝගී ගණයට අයත් වනවා. වෙනත් මෝටර් රථ නිෂ්පාදක සමාගම් තම මෝටර් රථවල වේගය, හැකියාව, හැසිරවීමේ පහසුව වැනි ගුණාංග දියුණු කිරීම කෙරෙහි තම අවධානය යොමු කර තිබුණත් රෝල්ස් රොයිස් නිෂ්පාදකයන් වැඩිපුර අවධානය යොමු කරන්නේ රථයේ සුවපහසුව සහ එහි හිමිකරුට අනන්‍ය වූ පෙනුමක් ලබා දීම වෙනුවෙනුයි.
රෝල්ස් රොයිස් නිහඬ අවකාශය හැදෙන හැටි
සුඛෝපබෝගී රථ නිර්මාණය කිරීමේ දී බොහෝ සෙයින් අවධානය යොමු කෙරෙන කාරණයක් වන්නේ රථය තුළට පිටත ශබ්ද ඇසීම අවම කිරීමයි. විශේෂයෙන් එන්ජිමේ හඬ, ටයර පොළොවේ ඇතිල්ලෙන විට නැගෙන හඬ සහ සුළං ප්‍රවාහය නිසා ඇතිවන හඬ ආදිය පිළිබඳ මෙහිදී සැලකිලිමත් විය යුතු වනවා. රෝල්ස් රොයිස් රථ නිර්මාණයේ දී වෙනත් සුඛෝපබෝගී රථවලට වඩා විශේෂ ක්‍රම කිහිපයකින් ම රථය තුළට අනවශ්‍ය ශබ්ද කාන්දු නොවන ලෙස සකස් කර තිබෙනවා.
වර්තමානයේ රෝල්ස් රොයිස් රථ සඳහා භාවිත කරන්නේ සිලින්ඩර 12 ක එන්ජිමක්. සිලින්ඩර ගණන වැඩි වන විට රථයක ගමන සුමට වන නිසා උපරිම සිලින්ඩර ගණනකින් යුත් එන්ජිමක් භාවිත කිරීම රථය තුළ අනවශ්‍ය කම්පන ශබ්ද හට ගැනීම අවම කරනවා. රෝල්ස් රොයිස් මෝටර් රථ එන්ජින් ලොව ඇති සුමටම ක්‍රියාකාරිත්වයක් පෙන්වන එන්ජින් ලෙසයි හඳුන්වන්නේ. උදාහරණයක් ලෙස ඔබ සිලින්ඩර 12 රෝල්ස් රොයිස් එන්ජිමක් මත සිරස් අතට කාසියක් සිටුවා එන්ජිම පණගැන්වුවහොත් කාසිය පෙරළීමකට හෝ රෝල් වීමකට ලක් නොවී එලෙසින් ම පවතිනවා (වීඩියෝව මෙතනින් නරඹන්න). එතරම් කම්පන අවම වීමක් දක්වා එන්ජිමක් සුසර කිරීම ලේසි පහසු කටයුත්තක් නෙවෙයි.

රෝල්ස් රොයිස් රථයක අවකාශ සැකිල්ල (Space frame) නිර්මාණය කෙරෙනුයේ ඇලුමිනියම් යොදාගෙනයි. එයට හේතුව වන්නේ ඇලුමිනියම් ලෝහය වානේවලට වඩා වැඩි ශබ්ද ප්‍රතිරෝධයක් (Acoustic Impedance) දක්වන මුලද්‍රව්‍යයක් වීමයි. එන්ජිම අඩංගු වන කොටස සහ මගීන් ගමන් ගන්නා කොටස වෙන් කෙරෙන බිත්තිය එසේත් නැතිනම් bulkhead එක සහ සැකිල්ලේ පතුල කොටස ද්විත්ව ඝනකමක් සිටින සේ සකස් කෙරෙනවා. එමඟින් එන්ජිමෙන් හෝ මාර්ගයෙන් පැමිණෙන ශබ්ද, මගීන් ගමන් ගන්නා කොටස වෙත පැමිණීම අවම වනවා.
කිලෝග්‍රෑම් 100 – 130 ක් පමණ බරින් යුත් ශබ්ද අවශෝෂක කොටස් ද රෝල්ස් රොයිස් රථයක ශබ්ද සහ කම්පන අවශෝෂණය කිරීම සඳහා දොරවල්, වහලය සහ bulkhead පැනල ආදියට යොදා තිබෙනවා. විශේෂයෙන් වාහනයේ ඉදිරිපස, පිටුපස සහ පැති වීදුරු සඳහා ද්විත්ව වීදුරු භාවිත කිරීමට අමතර ව වීදුරු දෙක මධ්‍යයේ ශබ්ද අවශෝෂක ද්‍රව්‍ය යෙදීම දැකිය හැකියි. රෝල්ස් රොයිස් රථ සඳහා ටයර සපයන්නේ Continental සමාගමයි. ඔවුන් මෙම ටයරවලට විශේෂ ෆෝම් පිරවුමක් යොදන අතර එමඟින් ඩෙසිබල් 9 කින් ටයර සහ මාර්ගයේ පෘෂ්ඨ ඇතිල්ලීමෙන් හටගන්නා හඬ (Road noise) අවම වනවා.

රථයක වායු සමීකරණ පද්ධතියේ වායුව ඇදගන්නා නළ තුළදී ශබ්ද තරංගයක් නිර්මාණය වන බව රෝල්ස් රොයිස් ශබ්ද ඉංජිනේරුවන් සොයා ගෙන තිබෙනවා. මේ නිසා ඔවුන් තම රථ සඳහා විශේෂ සැකසුමකින් යුත් වායු සමීකරණ නළ යොදාගන්නා අතර එමඟින් නිර්මාණය වන ශබ්ද සුමට කර නිෂ්ක්‍රීය කෙරෙනවා. රෝල්ස් රොයිස් රථවල එන්ජිමේ සිට රෝද වෙත බලය ගෙන යන ඊශාවේ (Drive shaft) විෂ්කම්භය පවා ශබ්ද විද්‍යාවට අනුකූල ලෙස වෙනස් කර තිබෙනවා. මීට අමතර ව රථයේ බූට් කොටස හිස් ව පැවතුණහොත් ඉහළ වේගවලදී ඒ තුළ අඩු සංඛ්‍යාතයකින් යුත් ශබ්ද තරංගයක් නිර්මාණය වන බව ද රෝල්ස් රොයිස් ශබ්ද ඉංජිනේරුවන් පවසනවා. එය ශ්‍රවණය වීමට තරම් ප්‍රමාණවත් එකක් නොවුණත් එමඟින් නිර්මාණය කෙරෙන කම්පනය මගීන්ගේ ශරීරයට දැනෙන බවයි ඔවුන් පවසන්නේ. මේ නිසා ඔවුන් බූට් කොටසේ කුඩා සිදුරු නිර්මාණය කර එම ශබ්ද තරංග රථයෙන් ඉවත් කෙරෙන ලෙස සකස් කර තිබෙනවා.

ඉහත වෙනස්කම් නිසා රෝල්ස් රොයිස් රථයක් තුළ තිබෙන්නේ සම්පුර්ණ නිශ්බ්දතාවක්. දිගු කාලයක් පුරාවට හෝ බලෙන් නිර්මාණය කළ නිශ්ශබ්දතාවක රැඳී සිටීම නිසා “ධ්වනි සංවේදී විහිනතාව” (Acoustic Sensory Deprivation) නම් තත්වයට පුද්ගලයෙකු පත් විය හැකියි. එවිට එම පුද්ගලයාට ව්‍යාජ රූප දර්ශනය වීමටත් හෝ ව්‍යාජ ශබ්ද ඇසීමටත් පටන්ගන්නා බව මනෝ වෛද්‍යවරුන්ගේ මතයයි. මේ පිළිබඳවත් සලකිලිමත් වී ඇති රෝල්ස් රොයිස් නිෂ්පාදකයන් ඉතාම මෘදු ශබ්ද තරංගයක් රථය තුළ නිර්මාණය කර තිබෙනවා. ඔවුන් මෙය නම් කර ඇත්තේ “whisper” ලෙසයි. රථය තුළ නිර්මාණය වන වෙනත් කුඩා ශබ්ද ආදිය සියල්ලත් ඉහත මෘදු ශබ්ද තරංගයට සමපාත වන ලෙසයි රථයේ ආසන සහ ඇතුළත පැනල පවා නිර්මාණය කර ඇත්තේ. එවිට සියලු කුඩා ශබ්ද එක් තනි මෘදු හඬක් ලෙසින් ඇසෙන අතර රෝල්ස් රොයිස් රථයක ගමන් ගන්නා මගීන් තුළ ශාන්ත බවක් ඉන් ඇතිකෙරෙනවා.
රථය වර්ණ ගැන්වීමට දරන මහන්සිය
රෝල්ස් රොයිස් රථ සඳහා වර්ණ 44,000ක් අතරින් කැමති වර්ණයක් පාරිභෝගිකයකුට තෝරා දිය හැකියි. එසේත් නොමැති නම් ඔබ කැමති වර්ණයක් රෝල්ස් රොයිස් ආයතනය වෙත ලබාදී එයට 100% සමාන වන පරිදි තම රථය වර්ණ ගන්වා ගත හැකි වනවා. පාරිභෝගිකයකු එසේ නවත ම වර්ණයක් හඳුන්වා දී වෙනත් පාරිභෝගිකයකු එම වර්ණය ම පසුව තෝරාගතහොත් රෝල්ස් රොයිස් ආයතනය පෙර පාරිභෝගිකයාගේ අවසරයකින් තොර ව එය වෙනත් අයකුට ලබාදෙන්නේ නැහැ.

රෝල්ස් රොයිස් රථ වර්ණ ගැන්වීමේ දී ආලේප තට්ටු (Coat) 7ක් අවම වශයෙන් ගැල්වීම සිදු කරනවා. මෙය ඇතැම් විට තට්ටු 10 ක් පමණ විය හැකියි. ඒ අතරට primer coat, base coat සහ color coat යන ඒවා අන්තර්ගතයි. ඒ සියල්ලට ම පිටතින් අවර්ණ ලැකර් තට්ටු දෙකක් ද ආලේප කෙරෙනවා. කෙනකුට අවශ්‍ය නම් ආලේප තට්ටු 23ක් දක්වා යා හැකි බවයි රෝල්ස් රොයිස් නිෂ්පාදකයන් පවසන්නේ. සාමාන්‍යයෙන් ආලේප තට්ටු 7 ක් පමණ ගල්වා රථයක වර්ණ ගැන්වීම අවසන් කිරීමට දින 7 ක් පමණ ගතවනවා. එසේම එවැනි රථයක ආලේප තට්ටුවල පමණක් ඝනකම කිලෝග්‍රෑම් 45ක් පමණ වන බවයි පැවසෙන්නේ.
වර්ණය තේරීමට අමතර ව රෝල්ස් රොයිස් පාරිභෝගිකයන්ට වෙනත් ද්‍රව්‍ය ද ආලේපනය සඳහා එක් කළ හැකියි. ඒ සඳහා රත්‍රං, රිදී හෝ වෙනත් ලෝහමය කුඩක් භාවිත කළ හැකි වනවා. ඒවා රෝල්ස් රොයිස් නිෂ්පාදකයන්ට ලබා දුනහොත් ඔවුන් ඒවා සමාකාර ව්‍යාප්තියක් සිටින සේ රථයේ ආලේපයට එක් කරනවා. එක් පාරිභෝගිකයකු එලෙස දියමන්ති කැබලි 1000ක් රෝල්ස් රොයිස් වෙත ලබාදී තම රථයේ වර්ණයට දියමන්ති ඇතුළත් පෙනුමක් ලබාගැනීමට ඉල්ලුම් කර තිබෙනවා. නිෂ්පාදකයින් එම කැබලි 1000 කුඩු බවට පත්කර රථය වර්ණ ගැන්වීමේ දී එයට එක් කළ බව සඳහන්.

ලොව භාවිත කෙරෙන සියලු ම රෝල්ස් රොයිස් රථ සඳහා පසුගිය වසර 17 ක කාලය තුළ රේඛාමය වර්ණ ගැන්වීම් (Coachline Paintings) සිදුකරන්නේ තනි පුද්ගලයකුයි. ඔහු නමින් Mark Court වන අතර ඔහු සිය අතින් වෙනත් පින්සලක් හැරුණු කොට වෙනත් කිසිම ආධාරක ද්‍රව්‍යයක් භාවිත නොකරමින් රෝල්ස් රොයිස් රථවල දෙපස හෝ පසුපස රේඛාමය වර්ණ ගැන්වීම් සිදු කරනවා. මේවා රෝල්ස් රොයිස් පාරිභෝගිකයාගේ අවශ්‍යතාව මත සිදු වන අතර ඔහුට හෝ ඇයට අවශ්‍ය ඕනෑම වර්ණයකින් ඕනෑම රේඛා රටාවක් තම රථයට ඇතුළත් කරගත හැකියි. Mark Court ගේ රැකියාවේ ඇති අවදානම වන්නේ එක් සියුම් වැරදීමක් නිසා මුළු රථය ම නැවත වර්ණ ගැන්වීමට සමාගමට සිදුවීමයි.එම අභියෝගය සාර්ථක ව බාරගෙන ඉටු කරන ඔහුට ඩොලර් ලක්ෂ ගණනක වැටුපක් ගෙවන බව සඳහන්.

හිමිකරුට අනන්‍ය රථයක් නිර්මාණය
රෝල්ස් රොයිස් රථයක් එය මිලදී ගන්නා හිමිකරුවාට අනන්‍ය කරන්නේ එහි වර්ණය වෙනස් කිරීමෙන් පමණක් නෙවෙයි. රෝල්ස් රොයිස් රථවල බොනොට්ටුව මත ඇති “The Flying Lady” නම් රුව ඔබ දැක ඇති. මෙමගින් නිරුපණය කරන්නේ ප්‍රහර්ෂයේ ආත්මය (The Spirit of Ecstasy) බවයි පැවසෙන්නේ. Flying Lady රුව රත්‍රං, දියමන්ති ආදී වටිනා ද්‍රව්‍යයකින් නිර්මාණය කරගන්නට පාරිභෝගිකයන්ට හැකියි. මෙවැනි වටිනා ද්‍රව්‍යවලින් සිදුකරන නිර්මාණයක් සොරකම් කිරීමට අවස්ථාවක් පවතින නිසා 2004 න් පසු එන රෝල්ස් රොයිස් රථවල එම ලාංඡනය ස්වයංක්‍රිය ව රථය තුළට ගමන් කරන ලෙසයි සකස් කර ඇත්තේ. රථය අගුලු දැමීමේදී හෝ යම් අයෙක් එය තදින් ඇදීමට තැත් කළහොත් ලාංඡනය ඉතා ඉක්මනින් රථය තුළ සැඟ වී යන අතර එම සිදුර ද ලෝහ කොටසකින් ආවරණය වනවා.

රෝල්ස් රොයිස් රථයක ඇතුළත ද හිමිකරුට අනන්‍ය ආකාරයට සකස් කරගත හැකියි. විශේෂයෙන් රථයේ ඉදිරිපස ඩෑෂ් බෝඩ් එක සඳහා ඕනෑම ආකාරයක කලා නිර්මාණයක් හිමිකරුට අවශ්‍ය ලෙස එක් කර දීමට රෝල්ස් රොයිස් සමාගම සුදානමින් සිටිනවා. එය ස්වභාවික මල් වලින් කළ නිර්මාණයක්, මැහුම්වලින් කළ එම්බ්‍රොයිඩර් නිර්මාණයක් එසේත් නැතිනම් ස්වභාවික කුරුළු පිහාටුවලින් කළ නිර්මාණයක් වැනි ඕනෑම එකක් විය හැකියි. එක් පාරිභෝගිකයකු වරක් තමන්ගේ DNA රටාව රත්‍රං ආලේපිත තහඩුවකට ත්‍රිමාණ ලෙස මුද්‍රණය කර එය ඩෑෂ් බෝඩ් එකට සවි කරගෙන තිබුණා.

රෝල්ස් රොයිස් රථයක වහලයේ ඇතුළත (Headliner) රාත්‍රී අහස නිරුපණය වන ආකාරයට ද යම් පරිභෝගිකයකුට සකස් කර ගත හැකියි. මෙහිදී ඔවුන් කරන්නේ වහලයේ headliner කොටස තැනින් තැන සිදුරු කර ඒ තුළින් ප්‍රකාශ තන්තු (Fiber Optic) යවා ආලෝකය සැපයීමයි. මේ සඳහා යොදාගැනෙන ප්‍රකාශ තන්තුවල දිග කිලෝමීටර 2ක් පමණ වන බවයි පැවසෙන්නේ. එවැන්නක් සම්පුර්ණ කිරීම සඳහා පැය 16 ක පමණ කාලයක් ගතවනවා. මෙසේ Starlight headliner නිර්මාණය බොහෝ රෝල්ස් රොයිස් රථවල දැකගත හැකියි. නමුත් යමකුට අවශ්‍ය නම් තමන් උපන් දිනයේ අහසේ තාරකා සිතියම තම රෝල්ස් රොයිස් රථයේ වහලයට යොදාගත හැකියි. අවශ්‍ය නම් අහඹු ලෙස කඩාවැටෙන තාරකා ද ඇතුළත් කිරීමෙන් රාත්‍රී අහසට වඩාත් සමාන වහලයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

ජනප්‍රිය ම රෝල්ස් රොයිස් මාදිලි
මිලෙන් අධිකම රෝල්ස් රොයිස් රථය වන්නේ රෝල්ස් රොයිස් ෆැන්ටම් (Phantom) මාදිලියේ රථයයි. අනෙකුත් රෝල්ස් රොයිස් රථවල ආරම්භක මිල ගණන්වලට වඩා අමෙරිකානු ඩොලර් ලක්ෂයකින් මිලෙන් වැඩි ෆැන්ටම් රථයක් බොහෝ සෙයින් ඉලක්ක කරගෙන ඇත්තේ මැදි විය හෝ මැදි විය පසු කළ ව්‍යාපාරික ප්‍රජාවයි. ලීටර 6.8 ක ධාරිතාවක් සහිත V12 එන්ජිමක් මෙම රථය සතු වුවත් එහි ටොන් 2.6 ඉක්මවූ ස්කන්ධය නිසා වේගය අතින් එතරම් හැකියාවක් දක්වන්නේ නැහැ. මෙම රථයේ පැයට කිලෝමීටර 100ක වේගයක් ලබාගැනීමට තත්පර 5.0 ක් පමණ ගත වනවා. මෙම රථය රෝල්ස් රොයිස් සමාගම නිෂ්පාදනය කරන මෝටර් රථ අතරින් දිගින් වැඩි ම රථය ද වනවා.
රෝල්ස් රොයිස් ගෝස්ට් (Ghost) රථය සතු වන්නේ ද ෆැන්ටම් රථය සතු එන්ජිම ම යි. නමුත් මෙහි ස්කන්ධය කිලෝග්‍රෑම් 150 කින් පමණ ෆැන්ටම් රථයට වඩා අඩු වීම නිසා පැයට කිලෝමීටර 100 ක වේගයක් තත්පර 4.3 කදී ලබාගත හැකියි. මෙම රථය තරුණ පුද්ගලයන් අතර ජනප්‍රිය ම රෝල්ස් රොයිස් රථය ද වනවා. රෝල්ස් රොයිස් ව්‍රෙයිත් (Wraith) මාදිලියේ රථයක මිල ආරම්භ වන්නේ අමෙරිකානු ඩොලර් 343,000 ක් පමණ මුදලක සිටයි. මෙය ගෝස්ට් රථයකට වඩා ඩොලර් 20,000ක් පමණ මිලෙන් අඩු වනවා. එන්ජින් ධාරිතාව සැලකීමේ දී ද ලීටර 6.6 ක අඩු අගයක් පවතින මෙහි අශ්ව බල අගය ෆැන්ටම් සහ ගෝස්ට් රථ ද්විත්වය ම ඉක්මවා යාමට සමත්. මේ නිසා පැයට කිලෝමීටර 100 ක වේගයක් ලබාගැනීමට ව්‍රෙයිත් රථයකට ගතවන්නේ තත්පර 4.1 ක් පමණයි.

ඉහත සෙඩාන් මාදිලිවලට අමතර ව රෝල්ස් රොයිස් සමාගම නිෂ්පාදනය කරන කලිනන් (Cullinan) SUV රථයට ද ඉහළ ඉල්ලුමක් පවතිනවා. මෙයද අමෙරිකානු ඩොලර් 340,000ක පමණ මිලක සිට මිලදී ගත හැකියි. ෆැන්ටම් සහ ගෝස්ට් හි පවතින එන්ජිම මෙම රථයේත් දක්නට ලැබෙන අතර ෆැන්ටම් රථයට වඩා ඉක්මනින් පැයට කිලෝමීටර 100 ක වේගයකට ළඟා විය හැකියි. වර්තමානයේ නිර්මාණය වන සියලු ම රෝල්ස් රොයිස් රථවලට පැයට කිලෝමීටර 250ක උපරිම වේගයකට ළඟා වීමේ හැකියාව පවතිනවා.
රෝල්ස් රොයිස් රථයක් තමන්ට ම අනන්‍ය කරගැනීම සඳහා ඉහත මුලික ගෙවීමට අමතර ව තවත් මුදල් වැයකළ යුතුයි. මේ දක්වා රෝල්ස් රොයිස් සමාගම නිර්මාණය කළ මිලෙන් අධික ම මෝටර් රථය වන්නේ ඔවුන්ගේ Boat-tail මාදිලියේ රථයයි. එම මාදිලියෙන් ඔවුන් මේ දක්වා එක් රථයක් පමණක් නිර්මාණය කර ඇති අතර එය නිර්නාමික අයෙක් වෙනුවෙනුයි නිර්මාණය කර ඇත්තේ. අදාළ පුද්ගලයා මෙය අමෙරිකානු ඩොලර් මිලියන 28 කට මිලට ගෙන තිබෙනවා. එය මෙතෙක් මෝටර් රථයක් අලෙවි වූ ඉහළ ම මිල ලෙසයි වාර්තා වන්නේ. එම මුදලට පෞද්ගලික ජෙට් යානයක් වුව ද මිලදී ගත හැකි බව මෙහිදී සඳහන් කළ යුතුයි.

මීට පෙර ලොව මිල අධික ම මෝටර් රථය වූයේ ඩොලර් මිලියන 13ක් වූ රෝල්ස් රොයිස් Swept-tail රථයයි. එය නිර්මාණය සඳහා වසර 4ක් ගතවූ බවයි කියවෙන්නේ. සාමන්‍යයෙන් එක් ෆැන්ටම් රථයක් නිර්මාණය සඳහා මාස 2ක කාලයක් ගතවනවා. ඒ සියලු නිර්මාණය කිරීම් සිදුවන්නේ මිනිස් අතින් වීම හේතුවෙනි. රෝල්ස් රොයිස් රථයක මිල ඉතා ඉහළ අගයක් ගැනීමට එයත් එක් හේතුවක්.