මේ දිනවල පේරාදෙණිය සරසවිය ගැන කාගෙත් අවධානය යොමු වී ඇත්තේ පසුගිය දිනවල සිසුන් දෙදෙනෙක් අතුරුදහන්වීම නිසා යි. ඒ එක් සිසුවකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් හමුවුණත් පසුගිය ඔක්තෝබර් 2 වැනි දා අතුරුදහන්වූ සිසුවා ගැන තොරතුරක් තවමත් නෑ.
සාක්ෂි අනුව මළ සිරුර හමුවූ සිසුවා අධික මානසික ආතතිය දරාගත නොහැකි ව සියදිවි නසා ගත් බව ඔහු ලියූ ලිපියකින් හෙළි වි තිබෙනවා. මේ වසරේ මුලත් තවත් පේරාදෙණියේ සිසුවෙක් මානසික පීඩනයෙන් දිවි නසාගත් බව වාර්තා වුණා.
ජීවිතය එපා කිවු පේරාදෙණියේ සිසුහු
වර්ෂ 2014 දිත් පේරාදෙණියේ දී ගසක එල්ලී සිය දිවි නසාගත් සිසුවකු ගේ මළ සිරුරක් හන්තාන කන්ද බෑවුමේ දී හමුවුණා. එම සිරුර නවක වදය නිසා සරසවිය හැර ගිය සිසුවෙක් වන නිශාන්තගේ බව හෙළි වී තිබුණා. ඔහු එල්ලී ඇත්තේ තමා ඉගෙන ගත් ශාස්ත්‍ර පිඨය දෙස බලාගෙන ම යි.
2022 සැප්තැම්බර් මාසයේ තවත් ශාස්ත්‍ර පීඨ සිසුවකු වන සිව්වන වසරේ අංජන කුලතුංග (23) නමැති ශිෂ්‍යයා අතුරුදහන්වී තිබුණා. විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක පදිංචි ව සිටි එම ශිෂ්‍යයා පසුගිය සැප්තැම්බර් 16වැනි දා සිට අතුරුදහන්ව සිටි අතර දින 5 කට පසු 21වැනි දා සවස ඔහුගේ සිරුර සරසවියේ සිට කිලෝමීටර දෙකකට ආසන්නයේ ගන්නෝරුව ප්‍රදේශය අසල මහවැලි ගඟේ පාවෙමින් තිබිය දී සොයා ගැනුණා.
ශිෂ්‍යයාගේ ජංගම දුරකථනයෙන් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ඒ පිළිබඳ සිසුවාගේ මව්පියන් පේරාදෙණිය පොලීසියට මේ අතුරුදහන්වීම පැමිණිලි කර තිබුණා. අධික මානසික ආතතියකින් පෙළුණ බව කියන මෙම සිසුවා සිය මානසික ප්‍රශ්නය සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රතිකාර පවා ලබමින් සිටි බව යි පොලිස් විමර්ශනවලදී හෙළිවුණේ.
එයට පෙර 2022 මාර්තු 29 වැනි දා ද පේරාදෙණිය විශ්වවිද්‍යාල සිව්වන වසරේ ඉංජිනේරු සිසුවෙක් නේවාසිකාගාරය තුළ ගෙල වැලලා ගෙන සිය දිවි නසා ගත් අතර එම සිසුවා ද මානසික ආතතිය සඳහා ප්‍රතිකාර ලබාගත් කෙනෙක් බව හෙළි වුණා.
මානසික ආතතිය
පසුගිය ඔක්තෝබර් 2වැනි දා වාර්තා වුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ තවත් සිසුවෙක් අතුරුදහන් ව සිටින බව යි. විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිට ඇති එම සිසුවා 2 වැනි දා රාත්‍රී 8.00ට පමණ විශ්වවිද්‍යාලයෙන් පිටතට ගොස් තිබෙන බවට පරීක්ෂණ මඟින් හෙළි වී තිබෙනවා.
පුලස්ති ප්‍රමුදිත් පෙරේරා නමැති 25 හැවිරිදි මෙම සිසුවා නේවාසිකාගාරයෙන් යාමට පෙර ලිපියක් ද ලියා තබා තිබෙනවා. මානසික ආතතිය හේතුවෙන් ටික කලකට බැහැරව යන බවයි එහි සඳහන් කර ඇත්තේ. ඔහු ගැන මේ ලිපිය ලියන මොහොත වනතෙක් ආරංචියක් නැහැ.
සිය දිවි නසා ගැනීම්
විශාලත ම ඛේදවාචකය වනුයේ ලොව පුරා වාර්ෂික ව මානසික ආතතිය හේතුවෙන් දස ලක්ෂයකට අධික පිරිසක් මියයෑම යි. මිනිසකු සියදිවි හානි කර ගැනීමට බලපාන ප්‍රධානත ම හේතුවක් වනුයේ මානසික පීඩනය නිසා හට ගන්නා ඉච්ඡාභංගත්වයේ බලපෑම යි. යමකු තමන්ගේ සියලු ම බලාපොරොත්තු බිඳ වැටී ඉමහත් කලකිරීමට පත්වීම යි.
ඉච්ඡාභංගත්වයේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වනුයේ දැඩි ආතතියට පත්වීම යි. මෙලෙස සිදුවන මානසික අවපීඩනය නිසා හට ගන්නා චිත්තවේග හේතුවෙන් මිනිසුන් සිය දිවි නසා ගැනීමට පෙලඹෙනවා. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 10% කට මානසික ව්‍යාකුලතා ඇති බව මනෝවිද්‍යාඥයන් පවසනවා. සරසවි සිසුන්ගේ අධ්‍යාපන කටයුතු දැඩි පීඩනය සහ නවක වද සිද්ධි ද ඔවුන්ගේ මානසික ගැටලුවලට බලපා තිබෙනවා. බොහෝ සිසුන් වෙනත් බාහිර ක්‍රියාකාරකම්වල නොයෙදීම නිසාත් ඔවුන්ට මානසික සැහැල්ලුව අහිමි වී තිබෙනවා.
මානසික වියවුල් නිසා ජීවිතය එපාවෙයි
යමකුට සුවකළ නොහැකි කායික රෝග ඇත්නම් සිය දිවි හානි කර ගැනීමකට පෙලඹීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. විශාදය නමැති මානසික රෝගය ඇත්නම් ඇතිවන තත්ත්වය ඉතා භයානක යි. ජීවත් විමට වඩා මිය යාම හොඳ යැයි නිතර පැවැසීම, නිතර නිතර මරණය හිතට වද දීම, අවසානයේ සිය දිවි නසා ගැනීමකින් කෙළවර විය හැකි යි.
එසේ ම තරුණ පිරිසට ඇතිවන ක්ෂණික කෝපය මෙන් ම පෞරුෂත්ව ආබාධ, විභාගය අසමත්වීම වැනි අවස්ථාවල දී සමහරු සියදිවි නසා ගැනීමට ක්ෂණික ව තීරණය කරනවා. තවත් සමහරුන් සැලසුම් කර දිවි නසා ගන්නවා.
ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ම සිය දිවි නසාගන්නේ වයස අවුරුදු 20-30 අතර තරුණ පිරිස බව වාර්තාවලින් පේනවා. ඒ අතරට පීඩනයකින් ඉගෙනුම් කටයුතු කරන සරසවි සිසුන්ද ඇතුළත්. තරුණ පිරිස් අතර දිවි නසා ගැනීමට හේතු ලෙස අසාර්ථක පෙම් සබඳතා, ආර්ථික ගැටලු, රැකියා ප්‍රශ්නය යන සාධක මූලික වශයෙන් බලපා තිබෙනවා.
ශ්‍රී ලංකා පොලිස් සංඛ්‍යා ලේඛනවලට අනුව 2019 වසරේදී ලංකාවේ සිය දිවි නසා ගැනීම් 3135 ක් වාර්තා වි ඇති තිබෙනවා. එයින් පිරිමි 2489 ක් ද, කාන්තාවන් 646 ක් ද සි යදිවි නසා ගෙන තිබෙනවා. 2020 වසරේ දී ජනවාරි මාසයේ සිට ජූලි මස අග දක්වා සිය දිවි නසා ගැනීම් 1455 ක් වාර්තා වී ඇති අතර එයට පිරිමින් 1176 ක්ද කාන්තාවන් 279 ක් ද ඇතුළත්.
පස් දෙනකුගෙන් එක් අයකුට විශාදය
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ලෝකයේ සෑම හතර දෙනකුගෙන් එක් අයෙක් ජීවිතේ කුමන අවස්ථාවක හෝ මානසික ව්‍යාකූලතාවකට මුහුණ දී තිබෙනවා.
ඒ අනුව ලොව පුරා මිලියන හාරසිය පනහක් දෙනා මානසික රෝගවලට මුහුණ දෙන බව යි සඳහන් වන්නේ. බොහෝ දෙනා අතර සුලබ ව දකින්නට ලැබෙන මානසික රෝගී තත්වය විෂාදය (Depression) බව මානසික වෛද්‍යවරුන් සඳහන් කරනවා. ඕනෑම පස් දෙනකුගෙන් එක් අයෙක් සිය ජීවිත කාලය තුළ දී මෙයට ගොදුරුවිය හැකි යි.
මනසේ දීර්ඝ කාලයක් පවතින ශෝකී බව
විශාදය කියන්නේ කෙනකුගේ මනසේ දීර්ඝ කාලයක් පවතින ශෝකී බව යි. එය ඇතිවීමට බොහෝදුරට බලපාන්නේ මානසික වශයෙන් ඇතිවන වේදනා යි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 4.45කට විශාදය තිබෙන බවයි පැවසෙන්නේ. මඳ විශාදය, සාමාන්‍ය විශාදය සහ දරුණු විශාදය වශයෙන් එම රෝගය වර්ග කෙරෙනවා. දරුණු විශාද තත්ත්ව හටගත් විට වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍ය යි.
විෂාදයෙන් පෙළෙන්නෙක් බොහෝ අවස්ථාවල ‘ඇන්සයටි'(Anxiety) නැතහොත් යමක් කෙරෙහි අධික ඇල්මක් දැක්වීමේ හෝ සාංකාවෙන් පෙළීමේ රෝග ලක්ෂණත් දකින්නට ලැබෙනවා.
අපි හැමෝ ම ජීවිතයේ ඇතැම් අවස්ථාවල දුක් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් විෂාදය නිසා යමෙක් මුළු දවසක් පුරා සති කීපයක්, මාසයක් වැනි දීර්ඝ කාලයක් දුකෙන් පසුවීම දකින්න පුළුවන්. ඒ හේතුවෙන් ඔවුන්ගේ එදිදෙනා ජීවිතයට දැඩි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. තනිකම කාන්සිය ඇතිවෙන්නේත් ඒ සමඟ ම යි.
නිතර දැඩි මහන්සියක් දැනීම, නින්ද යාමේ අපහසුතා ඇති වීම සහ ඇතැම් විට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදා ගැනීම වැනි රෝග ලක්ෂණ විෂාදයෙන් පෙළෙන්නකු තුළ දකින්නට පුළුවන්. ආහාර ගැනීමේ රටාව අක්‍රමවත් වීම නිසා ආහාර රුචිය අඩුවීම, අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ආහාර ගැනීම සහ සෞඛ්‍යයට අහිතකර ආහාර පුරුදු ඇතිකර ගැනීමත් සිදුවීමට ඉඩ තිබෙනවා.
විශේෂඥ වෛද්‍ය මතය
විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය කරගෙන යාමේ දී එල්ල වන දැඩි පීඩනය පිළිබඳ ව ආචාර්ය, මහාචාර්යවරුන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව යි මහනුවර ජාතික රෝහලේ හිටපු මනෝ වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්.ඒ.එල්. වික්‍රමසිංහ මාධ්‍යවලට පවසා සිටියේ. ඔහු ඒ පිළිබඳව මෙසේ ද සඳහන් කර සිටියා:
වර්තමානයේ පවතින සමාජ වටපිටාව නිසා සියලු දෙනා සිටින්නේ කිසියම් ආතති මට්ටමක බව සත්‍යයක්. ඒ මතට අලුතින් තවත් පීඩාවක් පැමිණියහොත් යම් පුද්ගලයෙක් සිය දිවි නසා ගැනීමට පවා පෙලඹිය හැකි යි. අඛණ්ඩව පැය හත අටක් මාර්ග ගත ක්‍රමයට අධ්‍යාපනය ලැබීමේදී ඇතැම් සිසුන් මානසික ව දැඩි පීඩාවකට පත්වෙනවා. මේ නිසා පවතින ආතති තත්ත්වය තවත් ඉහළ යා හැකි යි.
අධික වෙහෙස නිසා ඇති වන පීඩනය නිසා මනස රෝගී වූ විශ්වවිද්‍යාල සිසුන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවීමේ ප්‍රවණතාව මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. මනෝ උපදේශන සේවා සෑම විශ්වවිද්‍යාලයක ම ක්‍රියාත්මක ව පවතිනවා. පවතින තත්ත්වය තේරුම් ගෙන එම උපදේශන සේවා වඩාත් විධිමත් කිරීමට වගකිය යුතු අංශ පියවර ගත යුතුයි. සිසුන් සෑම විට ම තමන් පීඩාවිඳින ප්‍රශ්න විශ්වාසවන්ත මෙන් ම අවබෝධයක් ඇති අයකුට පවසා මනස ලිහිල් කරගෙන සහනයක් ලබාගත යුතු වෙනවා.