Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෑත ඉතිහාසයේ ලෝකයා මුහුණදුන් කෲරතම දින 5ක්

ඕනෑම අයෙකුගේ ජීවිතයෙහි හොඳ හා නරක දවස් තිබෙනවා. සමහර විටෙක යම් දිනක් ඔබට පමණක් නොව ඔබේ මිතුරාට හෝ මුළු පවුලටම නරක වූ අවස්ථා ද ඔබ අත්විඳ ඇති. සමස්ථ මානව ප්‍රජාවට ම ඉතා ‘නරක’ අත්දැකීමක් ගෙනදුන් දින වකවානු ද ඉතිහාසය පිරික්සීමේ දී අපට හමුවෙනවා. 1900 වසරෙන් පසු ලෝකයා මුහුණදුන් කෲරතම දින 5ක් ගැන තතු යි මේ ගෙන එන්නේ.

1945 අගෝස්තු 6

jewishcurrents.org

මානව ඉතිහාසය මුහුණදුන් කෲරතම දිනයක් ලෙස මේ දිනය ඉතිහාසයේ ලියැ වී තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂිමා නුවරට පරමාණු බෝම්බයක් පතිත කළේ මේ දිනයේ යි. රාජතාන්ත්‍රික ගැටුම් නිසා ප්‍රතිඵල වුණු මෙම සිද්ධිය හේතුවෙන් අහිංසක ජපාන ජාතිකයින් 140,000කගේ දිවි අහිමි වුණා. මෙම පරමාණු බෝම්බය හේතුවෙන් තදාසන්න ජල මූලාශ්‍ර පවා සිඳී ගිය අතර, සිදු වූ දේපළ හානිය ගණනය කළ නොහැකි තරම් වෙනවා. මීට දින තුනකට පසු නාගසාකි නුවර ද මෙවැනිම ප්‍රහාරයක් එල්ල වූ අතර, මේවායේ බලපෑම හේතුවෙන් ජපානය වසර ගණනාවක් බැට කෑවා.

1933 ජනවාරි 30

britannica.com

1933 ජනවාරි මස 30 වැනි දා ලොව සැලකිය යුතු තරමේ විනාශකාරී සංසිද්ධියක් සිදුනොවූවත් එදින ජර්මනියේ සිදු වූ දේශපාලනික පෙරළියක් පසුකාලීන ව සමස්ථ මානව ප්‍රජාවට ම බලපෑවා. මේ දිනයේ ජර්මනියේ චාන්සලර්වරයා ලෙස ඇඩොල්ෆ් හිට්ලර් තේරී පත්වීම එම හේතුව යි.

ඇඩොල්ෆ් හිට්ලර් ගෙනගිය යුදෙව් විරෝධී නාසි ප්‍රතිපත්තිය මෙන්ම ආක්‍රමණශීලීත්වය නිසා කෙටි කලෙකින් ම ඔහු ලොව දුටු කෲරතම ඒකාධිපති පාලකයෙකු බවට පත්වුණා. ඔහුගේ අණින් මරණයට පත්කෙරුණු යුදෙව්වන් ඇතුළු මිනිසුන් ප්‍රමාණය මිලියන ගණනක් වෙනවා. දෙවන ලෝක යුද්ධය ඇතිවන්නට හිට්ලර්ගේ මෙම ක්‍රියා කලාපය ප්‍රධාන හේතුවක් වූ අතර ඒ හේතුවෙන් ලොව පුරා මියගිය ගණන මෙන්ම හානි වූ දේපළ ප්‍රමණයත් අතිමහත්.

1914 ජුනි 28

History.com

1914 ජුනි මස 28 වන දා සිදු වූ සිදුවීමක් ද ලොව උඩුයටිකුරු කිරීමට සමත් වුණා. එදින බොස්නියා හා හර්සගොවිනාවේ අගනුවර වූ සර්යේවෝ නුවර වීථියක දී ඔස්ට්‍රියානු මහාදිපාද ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් හා ඔහුගේ ආර්යාව ගැටවරයෙකු වූ ගැව්රිලෝ ප්‍රින්සිප් විසින් වෙඩිතබා ඝාතනය කෙරුණා. මෙම සිද්ධිය පළමුවන ලෝක යුද්ධය ඇවිලී යාමට එක් ප්‍රධාන හේතුවක් වුණු අතර පසුකාලීන ව ඇති වූ දෙවන ලෝක යුද්ධය, සීතල යුද්ධය මෙන්ම කොමියුනිස්ට්වාදයේ හා ෆැසිස්ට්වාදයේ නැගීසිටීමටත් යම් ආකාරයෙන් දායක වුණා. මේ සියල්ල නිසා මිලියන 50 සිට 100 දක්වා වූ ජීවිත හානියක් ලොව පුරා සිදුවුණා.

2004 දෙසැම්බර් 26

Martin Adler / Panos

2004 දෙසැම්බර් 26 වන දා නම් සුවහසක් ශ්‍රී ලාංකිකයින්ට අමතක නොවන දිනයක්. එදින උදයේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත අසල ඇති වූ මහා භූමිකම්පාව හේතුවෙන් ප්‍රතිඵල වූ සුනාමි තත්ත්වය හේතුවෙන් දකුණු හා ගිනිකොණදිග ආසියාවේ වෙරළබඩ පෙදෙස්වලට මහත් හානියක් වූ අතර, මියගිය ගණන 228,000ක් පමණ වුණා. ශ්‍රී ලංකාවේ පමණක් මේ හේතුවෙන් 50,000කට ආසන්න දෙනෙක් මියගියා. මෙහි දී සිදු වූ දේපළ හානිය ඇමෙරිකන් ඩොලර් බිලියන 20ක් පමණ වෙනවා. මේ භූකම්පනය රිච්ටර් පරිමාණයේ 9.1ක් ලෙස දැක්වුණා.

2001 සැප්තැම්බර් 11

Marty Lederhandler/AP)

මෙදින ඇමෙරිකානු ප්‍රජාව මුහුණදුන් අඳුරුතම දිනයක් ලෙස ඉතිහාසයේ ලියැ වී තිබෙනවා. මඟී ගුවන්යානා 3ක් පැහැරගන්නා අල්කයිඩා ත්‍රස්තවාදී සංවිධානය ඉන් එකක් නිව්යෝක් නුවර පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලටත් අනෙක පෙන්ටගනයටත් කඩාවද්දනවා. මේ හේතුවෙන් මියගිය ගණන  3,000ක් පමණ වෙනවා. තෙවන ගුවන්යානය ඇමෙරිකානු ජනාධිපති නිලනිවස වන ධවල මන්දිරය වෙත ඇදී යමින් තිබිය දී අතරමඟ දී කඩා වැටෙනවා.

මෙම ත්‍රස්ත ප්‍රහාරය ඇමෙරිකාවට වැදුණු මරු පහරක් වූ අතර, යුධමය වශයෙන් බලවත් ඔවුන් ද අල්කයිඩා සංවිධානය මුලිනුපුටා දැමීමේ ක්‍රියාන්විත ආරම්භ කරනවා. අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ නිජබිම වන ඇෆ්ඝනිස්ථානයට පහරදෙන ඔවුන් අවසානයේ ඔසාමා බින් ලාඩන් මරණයට පත්කරනවා. මේ ක්‍රියාන්විතවල දී ද හමුදා භටයින් මෙන්ම සාමාන්‍ය ජනතාව ද සැලකිය යුතු ප්‍රමාණයක් මියයනවා.

කවරයේ පින්තූරය: Sara K. Schwittek/ Reuters

 

Related Articles