ඉල්යා රේපින් 19 වන සියවසෙහි ජීවත් වූ ප්‍රසිද්ධම රුසියානු සිත්තරා යි. රුසියානු සාහිත්‍යයට තොල්ස්තෝයි විසින් කළ බලපෑම යම් සේ ද, රුසියානු චිත්‍ර කලාවට රේපින් විසින් එවැනිම බලපෑමක් කළේයැ යි සැලකිය හැකියි. 1844 උපන් රේපින්, මියගියේ 1930 දී යි. ඔහු 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු ෆින්ලන්තයේ පදිංචි වූ අතර සෝවියට් රුසියාවට පැමිණියේ නැහැ.
රේපින් විසින් ප්‍රසිද්ධියට පත් වූ බොහෝ චිත්‍ර නිර්මාණය කළා. එයින් ද ඉතා ආන්දෝලනාත්මක චිත්‍රයක් වූයේ සාර් ඉවාන් ග්‍රොස්නි සහ ඔහුගේ පුත්‍රයා දැක්වෙන සිතුවම යි. මෙය ඉතිහාසයෙහි එක්තරා වැදගත්, නමුත් විවාදාත්මක අවස්ථාවක් පෙන්නුම් කරන්නක් වනවා. එයින් ඉතිහාසය විකෘති කරන්නේයැ යි චෝදනාවක් ද මතු වී තිබෙනවා.
ඉවාන් ග්‍රොස්නි
රුසියාවේ පළමුවන සාර් ලෙස සැලකෙන්නේ ඉවාන් ග්‍රොස්නි හෙවත් හතරවැනි ඉවාන් සාර්වරයා යි. “බිහිසුණු ඉවාන්” ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ ඔහු යි. එහෙත් එය වැරදි පරිවර්තනයක් හේතුවෙන් සෑදුණු නමක් වනවා.
කියවන්න: රුසියාවේ පළමු සාර්වරයා- හතරවන ඉවාන්
කෙසේ වෙතත්, ඉවාන් ග්‍රොස්නි බිහිසුණු දේ නොකළ අයෙකු නොවේ. රදලයින් හා ඇති වූ ගැටුම්වල දී ඔහු ඉතා දරුණු ක්‍රියාමාර්ග අනුගමනය කළා. නොව්ගොරද් නගරයෙහි සිදුකළ සමූල ඝාතනය ඔහුගේ බිහිසුණුම ක්‍රියාවක් ලෙස සැලකෙනවා.
ඉවාන් යනු බිහිසුණු අයෙකු බවට වන කරුණ තහවුරු කෙරෙන්නට හේතු වන එක් කතා පුවතක් වන්නේ; ඔහු අතින් සිදු වූ ඔහුගේම පුත්‍රයාගේ මරණය පිළිබඳ පුරාවෘත්තය යි. ඉල්යා රේපින්ගේ සුප්‍රකට සිතුවමක් පාදක වන්නේ එම පුරාවෘත්තය මත යි.
ඉවාන් ඉවානොවිච්ගේ මරණය
ඉවාන් ග්‍රොස්නිගේ පුත්‍රයින් අතුරින් වැඩිහිටි වියට පත් වූයේ දෙදෙනකු පමණයි. එයින් ද වැඩිමහලු පුත්‍රයා වූ ඉවාන් ඉවානොවිච් කිරුළ හිමි කුමාරයා වුණා.
ඉවාන් ග්‍රොස්නි සිය පවුලේ සාමාජිකයන් පිළිබඳ සියලු තීන්දු තීරණ තමන් යටතේ තබාගත් අයෙක්. එහෙයින්, ඔහු හා ඉවාන් ඉවානොවිච් අතර ආතතිමය තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නට ඇති.
මෙය පුපුරා ගියේ එක්තරා දිනෙක ඉවාන් ඉවානොවිච්ගේ බිරිඳ නුසුදුසු ඇඳුමකින් සැරසී ඉවාන් ග්‍රොස්නි ඉදිරියේ සිටි අවස්ථාවක් හේතුවෙන් බව යි පුරාවෘත්තයන් හි කියැවෙන්නේ. ඉවාන් ග්‍රොස්නි සිය ලේලියට පහර දී ඇති අතර, එයින් පසු පියා සහ පුතා අතර බහින්බස් වීමකට මෙය වර්ධනය වී තිබෙනවා. එම අවස්ථාවේ ඉවාන් ග්‍රොස්නි තමා අත වූ යෂ්ටියකින් ඉවාන් ඉවානොවිච්ට පහර දී ඇති අතර, එය හිසට වැදී ඔහුට බරපතල තුවාලයක් සිදු ව තිබෙනවා.
ක්ෂණික කෝපයෙන් සිවු වූ මෙම අනතුර පිළිබඳ ඉවාන් ග්‍රොස්නි බරපතල ලෙස ශෝකයට හා භීතියට පත් ව තිබෙනවා. ඉවාන් ඉවානොවිච් දින කිහිපයක් අසාධ්‍ය තත්ත්වයෙන් සිටි අතර ඉන්පසු මරණයට පත් වුණා. ඉවාන් ග්‍රොස්නි සිය පුත්‍රයාගේ ඇඳ අසලම රැඳෙමින් දිගටම ඔහු වෙනුවෙන් යාඥා කළේයැ යි සඳහන් වනවා.
රේපින්ගේ චිත්‍රය
ඉල්යා රේපින් විසින් “ඉවාන් ග්‍රොස්නි සහ ඔහුගේ පුත් ඉවාන්, 1581 නොවැම්බර් 16 වන දා” යන චිත්‍රය අඳින ලද්දේ 1885 දී යි. මෙහි දී ඔහු ඉහත කී පුරාවෘත්තය සත්‍ය ලෙස ගෙන එම චිත්‍රය ඇඳ තිබෙනවා. රේපින් එය සිය අනුග්‍රාහකයා වූ පාවෙල් ත්රෙත්යකෝෆ් වෙත අලෙවි කළ අතර, එය ත්රෙත්යකෝෆ් කලාගාරයෙහි තැන්පත් කෙරුණා.
මෙම චිත්‍රය ඉවාන් ග්‍රොස්නිගේ දෑසෙහි වන භීතිය මෙන්ම, ඉවාන් ඉවානොවිච්ගේ තුවාලයෙන් රුධිරය ගලන ආකාරයෙහි බරපතලකම මනාව පෙන්නුම් කරනවා. මෙම චිත්‍රය දුටු ඇතැම් කාන්තාවන් භීතියට පත් ව ක්ලාන්ත වූ බව සඳහන් වනවා. එහි ප්‍රතිඵලය ලෙස සාර් තුන්වන අලෙක්සන්දර් විසින් මෙම චිත්‍රය ප්‍රදර්ශනය තහනම් කළ බව ද කියවෙනවා. කෙසේ වෙතත්, ස්වල්ප කලෙකින්ම තහනම ඉවත් කෙරුණා. රුසියාවේ මෙසේ ප්‍රදර්ශනය කළ පසු වාරණය වූ පළමු චිත්‍රය මෙය බව සැලකෙනවා.
මේ පිළිබඳ වන ගැටළුව නම් ඉවාන් ඉවානොවිච්ගේ මරණය පිළිබඳ ඉතිහාසකරුවන් අතර ඇති වාදය යි. ඉවාන් ග්‍රොස්නි අතින් ඔහුගේ පුත්‍රයා ඝාතනය වූ බවට වන මෙම පුරාවෘත්තය ප්‍රබන්ධයක් බව ඇතැම් ඉතිහාසකරුවන් කියා සිටිනවා. එහෙයින් ඉල්යා රේපින්ගේ චිත්‍රය විසින් ඉතා ප්රබලව තහවුරු කෙරෙන සිද්ධිය සත්‍යයක් ද යන්න විවාදාත්මක කරුණක්.
චිත්‍රය විනාශ කිරීමේ උත්සාහයන්
රේපින්ගේ මෙම චිත්‍රය විනාශ කිරීමට උත්සාහයන් දෙකක් ගනු ලැබුණා. 1913 දී මුල් ම උත්සාහය ගන්නා ලද්දේ රුසියාවේ පැරණි ඕර්තඩොක්ස් දහම අදහන්නකු (Old Believer) විසින්. ආගමික චිත්‍ර අඳින ශිල්පියකු වූ අබ්‍රම් බලෂොෆ් නම් වූ මේ තැනැත්තා, ත්රෙත්යකෝෆ් කලාගාරයේ ප්‍රදර්ශනය කෙරුණ එම චිත්‍රයට පිහියකින් හානි සිදුකළා. රේපින් එකල ජීවතුන් අතර වූයෙන්, ඔහු විසින්ම එය ප්‍රතිසංස්කරණය කිරීම පටන් ගැනුණා. නමුත් එවකට ඔහු වර්ණ අන්ධතාවයෙන් පසු වූයෙන් එය ඔහුට තනිව කළ හැකි වූයේ නැති බව සඳහන් වනවා.
දෙවන වරට මෙම චිත්‍රය විනාශ කිරීමට උත්සාහ කළේ 2018 මැයි 25 වන දා යි. ඒ 37 හැවිරිදි රුසියානුවකු විසින්. චිත්‍රය ආවරණය කළ වීදුරු ආවරණය යකඩ පොල්ලකින් බිඳ දැමූ ඔහු කැන්වසය හිල් කර තිබුණා. මෙම ප්‍රහාරකයා පැවසූයේ මෙම චිත්‍රය ඉතිහාසය විකෘති කරන බව යි. ඔහුගේ අදහස නම් ඉවාන් ග්‍රොස්නි සිය පුත්‍රයා මරා දැමූ පුරාවෘත්තය ව්‍යාජයක් බව යි.