අල්ලස් ගැනීමට තැත් කිරීමේදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ හිටපු ජනපති ලේකම්වරයෙකු සහ දැව සංස්ථා සභාපතිවරයා ව සිටි දිසානායක පසුගියදා පොලිස් අත්අඩංගුවට පත් වූ අන්දම ඔබට මතක ඇති. එමෙන්ම 2004 වර්ෂයේදී රුපියල් 15,000ක අල්ලසක් ගැනීම නිසා ආදායම් බදු නිලධාරියෙකුට මහාධිකරණය මගින් වසර 14ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. මෙතෙක් කලක් පොඩි මිනිහාට පමණක් සමහර අවස්ථාවලදී ක්‍රියාත්මක වූ අල්ලස් නීතිය තරාතිරම නොබලා මේ අන්දමින් ක්‍රියාවට නැංවීම හොඳ සංඥාවක් වශයෙන් සැලකිය හැකි වුවත්, මහා වෘක්ෂයක් පරිද්දෙන් අක්මුල් විහිදී ගොස් දැඩි ලෙස ජරාජීර්ණ වී ගිය පද්ධතියක් ඇති, අල්ලස මත දිවි ගෙවීම ලේ වලට කාවැදී ඇති මෙවන් සමාජයක සැබවින්ම අල්ලස් නීතිය සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කර අල්ලස, දූෂණය මුලිනුපුටා දැමීම හුදු සිහිනයක් පමණක්දැයි සිතෙන තරමට තත්ත්වය ව්‍යාකූල වී ගිහින්. ඇතැම් විට බලධාරීන් හිතාමතාම අල්ලස් නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන්නේද යන ප්‍රශ්නයත් නිරන්තරයෙන්ම මතු වන්නේ අල්ලස් හා දූෂණ සිද්ධීන්වලට මැති ඇමතිවරුන්ගේ සිට ඉහළ පෙළේ නිලධාරීන්ගේ නම් විශාල ප්‍රමාණයක් ඍජුවම ගෑවී තිබීම හේතුවෙනුයි.