Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“කාර් ගිලින බසය”- මාර්ග තදබදයට චීනයේ අලුත්ම පිළිතුර

මොහොතකට සිතන්න, ඔබ මෝටර් රථයක ගමන් කරන විට විශාල බස් රථයක් (හරියට පිටසක්වල යානාවක් වගේ) ඉදිරියට පැමිණ ඔබේ මෝටර් රථය ගිලදැමුවොත් කුමන ආකාරයේ ත්‍රාසජනක හැඟීමක් ඔබට ඇති වේවිද? අපි ලියන්නට සැරසෙන්නේ හොලිවුඩ් වල අලුත්ම චිත්‍රපටයක් පිළිබඳවදැයි  ඔබට සිතෙන්නටත් පුළුවන්. හැබැයි මේ එහෙම දෙයක්නම් නෙවේ. මේ මාර්ග තදබදයට චීනයේ නවතම පිළිතුර Transit Elevated Bus (TEB) පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න තමයි මේ ලිපිය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ.

මැයි දින නිවාඩු දිනයේදී Beijing නගරයේ පැවතී 55km දිගැති වාහන තදබදය. (scmp.com)

මැයි දින නිවාඩු දිනයේදී Beijing නගරයේ පැවතී 55km දිගැති වාහන තදබදය. (scmp.com)

චීනය යනු ලොව විශාලම මාර්ග තදබදය ඇති නගර සහිත රටකි. එය කොතරම්ද කියනවනම් ලොව තදබද නගර අතරින් Tianjin 12 වන ස්ථානයේත් Beijing 14 වන ස්ථානයේත් Hangzhou 17 වන ස්ථානයේත් ඇතුළු තවත් නගර 14ක් ලොව වැඩිම තදබදය ඇති නගරවල් 50 තුළට ඇතුල් වී ඇත. වැඩි වන ජනගහනයත් සමඟම තදබදය වැඩිවීම සීග්‍ර වී ඇති බව චීනයේ TEB Technology නාගරික හා ප්‍රවාහන ආයතනය හි සභාපතිවරයා වන ඉංජිනේරු බායි සිමින්ග් පවසයි. “ජනගහනය වැඩිවන වේගයටවත්, වාහන මිලදී ගන්නා වේගයටවත් මහපාර පළල් කර සහන සලසන්නට පුළුවන්කමක් නෑ. ඒ සදහා දීර්ඝ කාලින විසදුම් වන්නේ නව ප්‍රවාහන  පද්ධති ඉදිරිපත් කිරීම හා අත් හදා බැලීමයි. ඒක මුළු ලොවම පිළිගත් කරුණක්.”ඒ සිමින්ගේ අදහසයි. වර්ථමානයේදී බ්‍රසීලය, ප්‍රංශය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව යන රටවලද මේ ආකාරයේ බස් රථ නිපදවීම සඳහා පරීක්ෂණ සිදු කරයි.

නිර්මාණය වූ අයුරු

දහ නව වන වරට පැවැත්වුණු අන්තර්ජාතික හයි ටෙක් එක්ස්පෝ ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කෙරුණු TEB ආකෘතිය. (chinadaily.com.cn)

දහ නව වන වරට පැවැත්වුණු අන්තර්ජාතික හයි ටෙක් එක්ස්පෝ ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කෙරුණු TEB ආකෘතිය. (chinadaily.com.cn)

මීට වසර 40කට පමණ ඉහතදී ඇමරිකානු ජාතික ව්‍යුහ නිර්මාණ ශිලිපීන් දෙදෙනෙක් වන Craig Hodgetts සහ Lester Walker මෙම සංකල්පය ඉදිරිපත් කළත් ඒ සදහා වැඩි අවධානයක් යොමු වුනේ නෑ. 2010 දී නැවතත් මේ සංකල්පය කරලියට එනවා. නමුත් ඒ තොරතුරු හරියටම  අනාවරණය සිදු වුණේ අප්‍රේල්-මැයි මාසයන් හී චීනයේ බෙයිජිං නුවර දහ නව වන වරට පැවැත්වුණු අන්තර්ජාතික හයි ටෙක් එක්ස්පෝ ප්‍රදර්ශනයේදීය. මෙය නිර්මාණය කරන ලද්දේ TEB Technology නාගරික හා ප්‍රවාහන ආයතනයේ අද්විතීය නිර්මාණ ශිල්පියෙක් වන සෝන්ග් යුශෝවු. අගෝස්තු මාසයේදී මෙහි පළමු නියමු ව්‍යාපෘතිය ඇරඹීම සිදුවිය. පරීක්ෂණ ධාවනය සිදු කෙරුනේ උතුරු දිග චීනයේ පිහිටි හෙබෙයි ප්‍රාන්තයේ චින්හුවැන්ග්ඩෝ නගරය තුළයි. අත්හදා බැලීමේ ධාවනයෙන් පසු නව බස් රථ තවදුරටත් වැඩි දියුණු කර මගී ප්‍රවාහනයට එක් කෙරෙන්නට නියමිතයි. නමුත් මෙය චීනයේ පොදු ප්‍රවාහන සේවයට එක කිරීම ලබන වසර මැදදී සිදු වන බවත්, තවත් පවතින අඩුපාඩු ඉවත් කිරීම හා එක වර බස් රථ ඇනවුමක් නිර්මාණය කිරීම එයට හේතු බව නිර්මාණකරුවන් පවසා ඇත.

කොයි වගේද?

ලොව ප්‍රථම TEB රථය චින්හුවැන්ග්ඩෝ නගරයේදී (youtube.com)

ලොව ප්‍රථම TEB රථය චින්හුවැන්ග්ඩෝ නගරයේදී (youtube.com)

TEB Technology නාගරික හා ප්‍රවාහන ආයතනය සමඟ CRRC (China Railway Rolling Stock Corporation), KTK Group, Shanghai Jiao Tong විශ්ව විද්‍යාලය  හා Tongji  විශ්ව විද්‍යාලය එක‍ට එක් වී කල ව්‍යාපෘතියක ප්‍රතිඵලයක්. අඩි 72 ක් දිග, අඩි 26 පළල, අඩි 16 ක් උසැති මේ TEB රථය තුළ වරකට මගීන් 1200කට පමණ ගමන් කරන්න පුළුවන්. නියමිත පීල්ලක(Guided Way) ගමන් කිරීම සිදුවෙන අතර  මෝටර් රථ වලට බසය යටින් ගමන් කිරීම සඳහා අඩි 7ක ඉඩ ප්‍රමාණයක් උසින් වෙන් කර දී තිබෙනවා. උපරිම වේගය පැයට කිලෝමීටර 40ත් 60ත් අතර අගයක්. බස් රථය ධාවන තීරු දෙකක පළලින් යුක්ත වන නිසා ධාවනය සදහා ධාවන තීරු දෙකක ඉඩක් අවශ්‍යයි. ඒ කියන්නේ දෙපසටම ගමන් කරන මෝටර් රථ වලට මේ බසය ඇතුලෙන් ගමන් කරන්න පුළුවන්. මාර්ග විදුලි සංඥා බස් රථය හා සම්බන්ධිකරණය වෙමින් ක්‍රියාත්මක වන තාක්ෂණයක් ඇති බැවින් මෝටර් රථ රියදුරන්ට විදුලි සංඥා ගැටළුවක් බස් රථය ඇතුලතින් ධාවනය කරන අවස්ථාවේදී ඇති වන්නේ නැත. මෝටර් රථවල ගමන් ගන්නා රියදුරන්ට මේ අත්දැකීම දැනෙනු ඇත්තේ ගමන් ගන්නා බිම්ගෙයක් තුළින් තම රථය ධාවනය කළාක් මෙනි. මෙය උමන් මාර්ගයකට සමකළ හැකි නමුත් උමන් මාර්ගය තැනීමට වැය වන මුදලින් පහෙන් එකක් මුදලක් මේ සදහා වැය වන බව නිෂ්පාදන සමාගම පවසනවා.

ඇතුළත විශාල ඉඩකඩක් සහිත TEB රථය (newsweek.com)

ඇතුළත විශාල ඉඩකඩක් සහිත TEB රථය (newsweek.com)

අවශ්‍යතාව මත රථ දෙකක් හෝ තුනක් දුම්රියක් මෙන් එකට ඈඳීමේ හැකියාවද පවතී. පළමුවෙන් 200 km තුල මේ බස් රථයට අවශ්‍ය යටිතල ව්‍යුහ නිර්මාණය කිරීමට අදහස් කර  ඇති අතර එය මිලියන 9ක ජනතාවට භාවිතා කළ හැකි වෙනවා. Tianjin, Nanyang, Shenyang හා Zhoukou නගර වල තමයි මුලික නියමු ව්‍යාපෘති ආරම්භ කිරීමට සුදානම් කර ඇත්තේ. විශාල ඉඩකඩක් බසය තුළ පවතින බැවින් ඒ තුළ ආපනශාලා පුස්තකාල හා ATM යන්ත්‍ර පවා ඇතුලත් කිරීමේ සැලසුමක් ඇත.

මාර්ග තදබදය සීග්‍රයෙන් පහළට

මාර්ගයේ අඩු ඉඩකඩකින් විශාල මගී ප්‍රවාහනයක් වන බැවින් කාර්යක්ෂම BRT පද්ධතියකටත් වඩා තදබදය 25%-30% අගයකින් පහළ යන බව අපේක්ෂා කරයි.

වායු  දුෂණය හා කාබන් විමෝචනය ඉතාමත් අඩුයි

බසය සම්පූර්ණයෙන්ම ධාවනය වන්නේ විදුලි බලය ආධාරයෙනි. එක රථයකට වාර්ෂික ඉන්ධන පරිභෝජනය ටොන් 21.6 ලෙස ඇස්තමේන්තුවල දක්වා ඇත. එක බසයක වාර්ෂික කාබන් විමෝචනය ටොන් 66ක් වැනි අඩු අගයක්. චීනයේ නගර හතළිහක ඇති බස් රථ වෙනුවට TEB රථ යෙදු විට වාර්ෂිකව ටොන් 864ක ඉන්ධන පිරිමැසුමක් හා කාබන් විමෝචනය ටොන් 2640කින් අඩු වීමකුත් වන බව TEB Technology ආයතනය පවසයි.

ඉදිකිරීමේ වියදමත්, කාලයත් දෙකම අඩුයි

TEB රථය ගමන් කරන්නේ මෙවැනි පීලි  (Guided Way) මතය (inhabitat.com)  

TEB රථය ගමන් කරන්නේ මෙවැනි පීලි  (Guided Way) මතය (inhabitat.com)

මෙම බස් රථය ගමන් කිරීම සදහා පවතින මාර්ගයේ දෙපසින් වෙනම පීලි(Guided Way) සෑදිය යුතු වෙනවා. ඒ සඳහා යන වියදම කිලෝමීටරයකට ඩොලර් මිලියන 20ක් පමණයි. නමුත් උමන් මාර්ගයක් තනනවානම් ඒ සදහා ඩොලර් මිලියන 100ක් පමණ වැය වන බවත් උමන් මාර්ග වලට වඩා TEB රථ  සඳහා වන වියදම 5 ගුණයකින් අඩු වන බවත් TEB Technology ආයතනය පෙන්වා දෙනවා. පළමු රථය නිපදවීමට වසරක කාලයක් ගත වූවත් ඉදිරියේදී එම කාලය අඩු වන බවයි ප්‍රධාන ඉංජිනේරු බායි සිමින්ග් මාධ්‍යට ප්‍රකාශ කර තිබෙන්නේ.

දැනට පවතින ගැටළු

  • අනෙක් වාහන වලට බසය තුළින් ගමන් කිරීම සඳහා උස ලෙස ඇත්තේ අඩි 7කි. එම        නිසා මෙය තුළින් ගමන් කල හැක්කේ මෝටර් රථ හා යතුරු පැදි වලට පමණි. එනම් TEB රථය ගමන් කරන මාර්ගයේ ඉදිරියට හා පසු පසට ගමන් කල හැක්කේ ඉහත වාහන වර්ග දෙකට පමණි.
  • පාලම් මතින් හෝ ගුවන් පාලම් මතින් ගමන් කිරීමේ හැකියාව නොමැත.
  • යටිතල ව්‍යුහ අළුතින් නිර්මාණය කල යුතු වීම. (සරිලන ආකාරයට මහා මාර්ග වෙනස් කරන්නට සිදු වීම හා පීලි නිර්මාණය)
  • දැනට චීනයේ මහා මාර්ග වල පවතින වක්‍රතාවයෙන් වැඩි වංගු ඔස්සේ ධාවනය කිරීමට නොහැකි වීම.
TEB Technology නාගරික හා ප්‍රවාහන ආයතනය දුර්වලතාවයන්ට කඩිනම් විසදුම් සොයමින් සිටි (qz.com)

TEB Technology නාගරික හා ප්‍රවාහන ආයතනය දුර්වලතාවයන්ට කඩිනම් විසදුම් සොයමින් සිටි (qz.com)

ඉහත දුර්වලත්වයන් සැකසු පසු මෙය චීනයේ ප්‍රමුඛතම පොදු ප්‍රවාහන සේවය වනු ඇතැයි TEB Technology නාගරික හා ප්‍රවාහන ආයතනය උපකල්පනය කර ඇත. කෙසේ නමුත් මගීන් කුඩා ප්‍රමාණයකට මාර්ගයේ විශාල ඉඩක් අත්කරගෙන ධාවනය වන වාහන වෙනුවට මාර්ගයේ කුඩා ඉඩකින් මගීන් විශාල ගණනාවක් ප්‍රවාහනය කරන TEB රථය චීනයේ පමණක් නොව මුළු ලෝකයේම මහා මාර්ග වල ගාට ගාටා ඇඳෙන වාහන පෝලිම් වලට කදිම පිළිතුරකි.

Related Articles