Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෙළෙඳපොළට නුදුරේදී ම එන විදුලියෙන් ක්‍රියාකරන කැබ් රථ

විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ අද වන විට ඉතා ම සුලබ වී තිබෙනවා. බොහෝ අවස්ථාවලදී ඒවා සාමාන්‍ය මෝටර් රථවල හැකියාව අභිබවා යන බව දකින්නට පුළුවන්. Pickup ට්‍රක් රථ එසේත් නැතිනම් ශ්‍රී ලංකාවේ හඳුන්වන ආකාරයට නම් කැබ් රථත්, දැන් දැන් විද්‍යුතයෙන් බල ගැන්වෙන ඒවා බවට පත්වෙමින් තිබෙනවා. මෝටර් රථයක අවශ්‍යතාවට වඩා වෙනස් වූ අවශ්‍යතා ගොන්නක් සපුරාලීමට යොදා ගැනෙන මෙම පිකප් රථ බල ගැන්වීමට විදුලිය යොදා ගැනීම කෙතරම් සාර්ථක වේවි ද යන්න තවමත් නිශ්චිත ව නිගමනය වී නැහැ. ඒ කෙසේවෙතත් මේ වසරේදී සහ ලබන වසර තුළදී නිකුත් වීමට නියමිත එවැනි විද්‍යුත් පිකප් රථ කිහිපයක් ගැනයි මේ තොරතුරු.

විදුලි පිකප් රථවලට මුල පිරූ ටෙස්ලා “සයිබර් ට්‍රක්”

ටෙස්ලා සමාගම 2019 වසරේ දී තමන්ගේ මීළඟ විදුලි වාහනය වන්නේ ට්‍රක් රථයක් බවට ප්‍රකාශ කළා. Cybertruck ලෙස නම් කර තිබූ මෙහි මුලාකෘතියක් ද එහිදී එළි දැක්වුණා. සාමාන්‍යයෙන් මෑත කාලය වන විට කොටු සහ පෙට්ටි හැඩයෙන් මිදී වඩා වායු ගතික ඕවලාකාර හැඩයන්ට සියලු ම වාහන යොමු වී තිබුණත් ටෙස්ලා Cybertruck රථය කිසිවකුත් බලාපොරොත්තු නොවූ කොටු හැඩයකින් යුක්ත වූවා. එය බොහෝ දෙනා හැඳින්වූයේ අඩු විභේදනයක් (resolution) සහිත පැරණි වීඩියෝ ක්‍රීඩාවක එන රථයක් ලෙස යි.

ටෙස්ලා Cybertruck රථය – motorbox.com

 

ඉදිරිපස සහ පිටුපස ආසන ත්‍රිත්වය බැගින් ආසන 6කින් සමන්විත මෙම රථය අඩි 6.5ක් දිගින් යුත්  පිටුපස තට්ටුවකින් ද සමන්විතයි. රථයේ පිටත ආවරණය මුළුමනින් ම නිමවා ඇත්තේ ඉහළ ම ශක්තියකින් යුත් අමුද්‍රව්‍යවලින් බවයි පැවසෙන්නේ. විනිවිද යා නොහැකි ලෙස නිර්මාණය කර ඇති මෙහි සැකිල්ල නිසා ඇතුළත ගමන් කරන මගීන්ට ඉහළ ම ආරක්ෂාවක් සැපයෙන බව කියැවෙනවා.

මෙහි කවුළු සඳහා භාවිත කර ඇති වීදුරු ද දැඩි පීඩනයක දී හෝ බිඳී නොයන ලෙසයි සකස් කර ඇත්තේ. නමුත් Cybertruck රථය හඳුන්වා දීමේ අවස්ථාවේදී මෙම වීදුරුවල ශක්තිය ආදර්ශනය කිරීම වෙනුවෙන් රථයේ වීදුරුවලට මිටියකින් පහර දෙනු ලැබුවා. එහිදී ඒවා අපේක්ෂා නොකළ පරිදි බිඳී යාමත් බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණා.

Cybertruck රථය ඇතුළත – electrek.co

 

ටෙස්ලා Cybertruck රථය පැයට කිලෝමීටර 100ක වේගයක් තත්පර 3ක් තුළ දී ලබා ගැනීමට සමත් බවයි එම සමාගම පවසන්නේ. ආසන්නව ටොන් 3ක පමණ ස්කන්ධයක් ඇති මෙම රථය එවැනි ත්වරණයක් ලබාගැනීම විශේෂත්වයක්. Cybertruck රථයේ කිලෝග්‍රෑම් 1500ක් දක්වා වූ උපරිම බරක් පැටවිය හැකි බවයි පැවසෙන්නේ.

ටොන් 6 ඉක්මවූ භාරයක් ඇද ගෙන යාමේ හැකියාව ද මෙම රථය සතු යි. ටෙස්ලා සමාගමේ වෙබ් අඩවියේ දැක්වෙන ඡායාරූපවලට අනුව කඳවුරු බැඳීම සඳහා ම විශේෂ වූ අමතර කොටස් ද මෙම ට්‍රක් රථයට සවි කළ හැකි වනවා. එසේ ම පිටුපස තට්ටුව ආවරණය සඳහා සාමාන්‍ය වැසුමක් වෙනුවට සුර්ය පැනලයක් ද යොදා ගත හැකි බව යි ටෙස්ලා සමාගම පවසන්නේ.

ටෙස්ලා රථවලින් හඳුන්වා දුන් ආකාරයට ම ඉදිරිපස සවි කර ඇති අඟල් 17 ක දැවැන්ත ස්පර්ශ සංවේදී තිරයක් ආධාරයෙන් රථයේ සියලු කටයුතු පාලනය කිරීමට හැකි යි. දොරවල් සඳහා හැඬල භාවිත නොවන අතර පරිශීලකයා හඳුනා ගෙන ස්වයංක්‍රීය ලෙස දොරවල් හැරීම මෙහිදී සිදුවනවා. ඉදිරිපස රෝද මෙන් ම පසුපස රෝද ද සුක්කානම මගින් හැරවීමේ පහසුකම ලබා දී තිබෙනවා. මේ නිසා රථය ප්‍රමාණයෙන් විශාල වුවත් පැදවීමේදී හැසිරවීම පහසු යි.

කඳවුරු බැඳීම සඳහාම විශේෂ වූ අමතර කොටස් සහිත Cybertruck රථය – tesla.com

 

ටෙස්ලා Cybertruck රථය මාදිලි තුනකින් වෙළෙඳපොළට නිකුත් කරන බව නිවේදනය කර තිබුණා. ඒවා නම් තනි මෝටරයක් ඇති 2WD මාදිලිය, මෝටර ද්විත්වයක් සහිත AWD මාදිලිය සහ මෝටර ත්‍රිත්වයක් ඇති AWD මාදිලිය වශයෙන්. මෙම මාදිලි එක්වරක් ආරෝපණයෙන් පිළිවෙළින් කිලෝමීටර 400, 480 සහ 800ක දුරක් ධාවනය කළ හැකි ලෙස සකස් කර ඇති බව යි පැවසෙන්නේ. ඒවායේ මිල ගණන් අමෙරිකානු ඩොලර් 40,000, 50,000 සහ 70,000 ක් වන බව යි දැක්වෙන්නේ. මේ වසරේ දී පළමු නිෂ්පාදන පෙළ ඉදිරිපත් කිරීමට ටෙස්ලා සමාගම සැලසුම් කර තිබුණත් මේ වන විට එය ලබන වසරට කල් දමා තිබෙනවා. ඕනෑම අයකුට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසීමෙන් Cybertruck රථයක් මුදල් ගෙවා වෙන්කරවා ගත හැකි යි.

අමෙරිකාවේ වැඩියෙන් ම විකිණෙන වාහනය දැන් විදුලි බලයෙන්

Ford F 150 යනු අමෙරිකාවේ වැඩියෙන් ම අලෙවි වන පිකප් ට්‍රක් රථය පමණක් නොව වැඩියෙන් ම අලෙවි වන වාහන මාදිලිය ද වනවා. වසරකට ලක්ෂ 8ක් පමණ වූ රථ සංඛ්‍යාවක් පාරිභෝගිකයන් මිලදී ගන්නා අතර මෙම ජනප්‍රියත්වය පාදක කර ගනිමින් විද්‍යුත් F 150 රථයක් නිපදවීමට ෆෝර්ඩ් සමාගම කටයුතු කරනවා. ඒ අනුව පසුගිය මැයි මාසයේ දී එළි දැක්වෙන නවත ම Ford F 150 Lightning රථය වෙත බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.

Ford F 150 Lightning රථය – ford.com

 

විද්‍යුතයෙන් පමණක් ක්‍රියාකරන රථයක් බවට හැඟවීමට නිල්පැහැ Lightning සන්නාමය සහ අකුණක ආකාරයේ සලකුණු හැරුණු විට සාමාන්‍ය F 150 රථයක බාහිර පෙනුමට බොහෝ සෙයින් සමාන ලෙසයි මෙම රථය නිපදවා ඇත්තේ. ඉදිරිපස සහ පසුපස ලාම්පුවලට නවීන පෙනුමක් එක් කර තිබීම විශේෂත්වයක් වනවා.

මෙහි බඩු පටවා ගෙන යා හැකි පිටුපස තට්ටුව අඩි 5.5ක දිගින් යුක්ත යි. ඉදිරිපස බොනට්ටුව තුළ එන්ජිමක් අඩංගු නොවීම නිසා එම ඉඩකඩ ද භාණ්ඩ පැටවීමට භාවිත කළ හැකි වනවා. එම කොටස ජල මුද්‍රිත ලෙස සකස් කර තිබීම ද අමතර වාසියක්. පිටුපස තට්ටුවේ සහ ඉදිරිපස බොනට්ටුව තුළ ගෘහස්ත විදුලි උපකරණ සවි කළ හැකි 110V (අමෙරිකාවේ නිවාසවලට ලබාදෙන විදුලි විභවය) විදුලි පේනු 4 බැගින් සවි කර තිබෙනවා.

විදුලිය සැපයීම ඇතුළු බහුවිධ කාර්යයන් සඳහා F 150 රථය යොදාගන්නා අයුරු – drivetribe.com

 

මීට අමතර ව සම්පුර්ණයෙන් ආරෝපණය කළ Ford F 150 Lightning රථයේ බැටරියෙන් සාමාන්‍ය නිවසකට දින 3ක් දක්වා අවශ්‍ය විදුලි බලය සැපයිය හැකි බවට Ford සමාගම පවසනවා. මේ සඳහා අවශ්‍ය උපාංග මෙම රථයේ ඉහළ ම මාදිලිය සමඟ පාරිභෝගිකයාට හිමි වනවා. කිලෝවොට් 9.6ක විදුලි බලයක් මෙලෙසින් ලබා ගත හැකි අතර විදුලි බිඳ වැටීමකදී හෝ විදුලිය නොමැති ප්‍රදේශයක කඳවුරු චාරිකාවක දී මෙම පහසුකම ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇති.

Ford F 150 Lightning රථයකට තත්පර 4.5 කදී පැයට කිලෝමීටර 100ක වේගයක් ලබා ගැනීමට හැකි බවයි පැවසෙන්නේ. එය ඔවුන් මෙතෙක් නිර්මාණය කළ වේගවත් ම පිකප් ට්‍රක් රථය වන Ford Raptor රථයකට වඩා වේගවත් වනවා. මෙම රථය සම්පුර්ණ ආරෝපණයකින් කිලෝමීටර 480 ක දුරක් යා හැකි බවයි පැවසෙන්නේ. ඒ කිලෝග්‍රෑම් 450 ක භාරයක් පැටවීමෙන් පසුවයි.

මේ නිසා භාණ්ඩ පැටවීමක් නොමැති ව Ford F 150 Lightning රථයකට කිලෝමීටර 700 ඉක්මවූ උපරිමයක් දක්වා වූ දුරක් එක් ආරෝපණයකින් ගමන් කළ හැකි බවට උපකල්පනය කළ හැකි යි. මෙම රථයට පැටවිය හැකි උපරිම බර කිලෝග්‍රෑම් 900 ඉක්මවන අතර කිලෝග්‍රෑම් 4500කට වැඩි භාරයක් ඇදගෙන යාමට ද හැකි යි.

F 150 Lightning රථයේ ඇතුළත – caranddriver.com

 

Mustang Mach E රථයේ ආකාරයට ම අඟල් 15ක සිරස් ස්පර්ශ සංවේදී තිරයක් මෙම නව F 150 Lightning රථයේ ද අඩංගු වනවා. පිටුපස තට්ටුවේ ඉලෙක්ට්‍රොනික තරාදියක් අඩංගු අතර පටවා ඇති භාණ්ඩවල ස්කන්ධය ද ඉහත තිරයෙන් රියදුරාට පෙන්වනවා. ඊට අමතර ව එම භාරය අනුව රථය සතු ව ඇති ආරෝපණ ප්‍රමාණයෙන් ගමන් කළ හැකි උපරිම දුර ස්වයංක්‍රීය ව ගණනය කෙරෙනවා. ටෙස්ලා ඇතුළු අනෙකුත් විද්‍යුත් රථවල අඩංගු සෙසු නවීන පහසුකම් ද මෙම රථයේත් දැකිය හැකි යි.

Ford F 150 Lightning රථය Base, XLT, Lariat සහ Platinum යන මාදිලි 4කින් ලබාගත හැකි යි. මේවයේ මිල ගණන් අමෙරිකානු ඩොලර් 40,000 සිට 70,000 දක්වා දිවෙනවා. ටෙස්ලා Cybertruck රථය ලබන වසරේ කුමන කාලයක දී නිකුත් වේදැයි නිශ්චිත නැති නමුත් Ford F 150 Lightning රථය 2022 අප්‍රේල් මාසයේදී මිල දී ගැනීමට හැකි බව Ford සමාගම තහවුරු කරනවා. මේ නිසා 150,000 කට වැඩි පිරිසක් මෙම රථය පෙර ඇණවුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

නව සමාගමකින් නව රථයක්

Rivian නම් අමෙරිකානු වාහන නිෂ්පාදන සමාගම ආරම්භ වූයේ 2009 වසරේදී යි. ඔවුන්ගේ පළමු වාණිජ වාහනය වන්නේ විදුලියෙන් ක්‍රියා කරන පිකප් ට්‍රක් රථයක්. Rivian R1T නම් මෙම රථය මේ වසර අගදී හෝ ලබන වසර මුලදී වෙළෙඳපොළට නිකුත් වනවා. ආකර්ෂණීය අංගෝපාංග රැසකින් සමන්විත මෙම රථය අමෙරිකානු ඩොලර් 67,500 සිට මිලදී ගත හැකි බවයි පැවසෙන්නේ.

Rivian R1T රථය – engadget.com

 

Rivian R1T රථය ඕනෑම අයකුගේ අවධානය හිමි කර ගැනීමට සමත් ඉදිරිපස පෙනුමකින් සමන්විත  යි. එහි ඉදිරිපස විදුලි පහන් ඕවලාකාර සිරස් හැඩයකින් යුක්ත වීම මෙයට හේතුවයි. මෙම පිකප් රථය පෙර සඳහන් කළ රථ දෙකට ම වඩා තරමක් ප්‍රමාණයෙන් කුඩා එකක් ලෙස හැඳින්විය හැකි යි. මෙහි භාණ්ඩ පැටවිය හැකි පිටුපස තට්ටුවේ දිග ද අඩි 4.5ක් පමණක් වනවා. ඉදිරිපස බොනට්ටුව විවෘත කර භාණ්ඩ පැටවිය හැකි වුවත් මෙහි දක්නට ලැබෙන්නේ Ford F 150 Lightning රථයට වඩා අඩු ඉඩකඩක්.

පිටුපස අසුන් සඳහා පිවිසෙන දොරත්, පසුපස රෝදයත් අතර ඇති කුඩා කොටසේ තවත් දොරක් (Gear Tunnel) පවතිනවා. මෙය දෙපසින් ම විවෘත කළ හැකි අතර රථයේ පළල මෙන් දිග වූ යම් භාණ්ඩයක් (ගොල්ෆ් බෑගයක් වැනි) පැටවීමේ පහසුකම එමගින් ලබාදෙනවා. Rivian සමාගම මෙම කොටසේ ගබඩා කළ හැකි ලෙස සැකසු කුඩා කඳවුරු කුස්සි ආම්පන්න කට්ටලයක් ද හඳුන්වා දෙනවා. එය වොට් 1400 ක උදුනක්, ලීටර 15 ක වතුර ටැංකියක්, මේසයක්, සේදුම් බේසමක් සහ හැඳි ගෑරුප්පු ගබඩා කළ හැකි ලාච්චු ආදියෙන් සමන්විත යි.

Gear Tunnel ඉඩකඩ සහ එහි ගබඩා කළ හැකි ලෙස සැකසු කුස්සි ආම්පන්න කට්ටලය – caranddriver.com

 

ප්‍රමාණයෙන් කුඩා වුවත් තිබෙන ඉඩකඩ උපරිමයෙන් භාවිත කිරීම මෙහි දී දැකිය හැකි යි. ඉදිරිපස සහ පසුපස ආසන යට, භාණ්ඩ ගබඩා කළ හැකි සැලකිය යුතු ඉඩකඩක් පවතිනවා. Ford F 150 Lightning රථය තරම් නොවුණත් විදුලි පේනු කිහිපයක් ම මෙම රථයේත් දැකිය හැකි යි. ඊට අමතර ව රථයට ම සවි වූ වායු සම්පීඩකයක් ද තිබෙනවා. මෙහි පිටතට වාතය නිකුත් කරන වෑල්වයට රථය සමඟ ලබාදෙන අඩි 20ක් දිගැති බටය සම්බන්ධ කරමින් රථයේ රෝද හතරට ම සුළං පිරවීමේ හැකියාව පවතිනවා. අවශ්‍ය නම් වෙනයම් කාර්යයක් සඳහාත් මෙම වායු සම්පීඩකය යොදා ගත හැකි වීම අමතර වාසියක්.

රථය සමඟ විශාල ප්‍රමාණයේ බ්ලුටුත් ස්පීකරයක් ද ලැබෙන අතර මෙය ගබඩා කිරීමට ඉදිරිපස අසුන් දෙක අතර වෙන ම ඉඩකඩක් වෙන් කර තිබෙනවා. නවීන විද්‍යුත් වාහනවලට අනිවාර්යයක් වී ඇති විශාල ප්‍රමණයේ ස්පර්ශ සංවේදී තිරයක් මෙම රථයේ ද දැකිය හැකි යි. රෝද හතරට ම වෙන වෙනම බලය සපයන විදුලි මෝටර 4ක් මෙහි අඩංගු වනවා. මේ නිසා පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා ත්වරණය වීමට Rivian R1T රථයට ගතවන්නේ තත්පර 3ක් පමණ යි. එක්වරක් ආරෝපණයෙන් කිලෝමීටර 500 ක දුරක් මෙම රථයට ගමන් කළ හැකි බව Rivian සමාගම පවසනවා.

Rivian R1T රථය ඇතුළත සහ ඉදිරිපස ආසන අතර ගබඩා කර ඇති බ්ලුටුත් ස්පීකරය – rivianforums.com

විදුලියෙන් ක්‍රියාකරන රථවල වාසි අවාසි

සාමාන්‍ය එන්ජිමකට වඩා විදුලි මෝටර යොදා ගෙන වාහන බලගැන්වීමේ ඇති ප්‍රධාන ම වාසිය වන්නේ විශාල ව්‍යාවර්තයක් ඕනෑම වේගයක දී නියත ලෙස ලබාගැනීමට හැකි වීම යි. සාමාන්‍ය එන්ජින් භාවිත කරන රථවල ව්‍යවර්තය සඳහා උපරිම අගයක් ලැබෙන්නේ යම් නිශ්චිත RPM අගයක දී පමණක් වන අතර ඊට වඩා වැඩි හෝ අඩු RPM අගයන් හි දී ලැබෙන්නේ අඩු ව්‍යවර්තයක් වනවා. උදාහරණයක් ලෙස එන්ජිමක් භාවිත කෙරෙන රථයක් පණ ගැන්වීමේ දී නිශ්චලතාවයේ සිට ගමන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය විශාල ව්‍යවර්තය ලබාගැනීමට ගියර පද්ධතියක් අනිවාර්ය වනවා.

විද්‍යුත් වාහන බොහෝ විට ගමන් කරන්නේ තනි වේග ගියර පද්ධතියකින්. මේ නිසා බහු ගියර පද්ධතියක අවශ්‍යතාවක් නැහැ. ගියර පද්ධතිය මෙන් ම එන්ජිමක් ද අඩංගු නොවන නිසා නඩත්තු වියදම් විශාල ලෙස අඩු වනවා. ශක්ති හානිය වීමද විද්‍යුත් වාහනවල ඉතාම අඩු නිසා බර පටවා ගෙන ගමන් කරන විදුලි පිකප් රථයකට වඩා වැඩි කාර්යක්ෂමතාවකින් ක්‍රියා කළ හැකි යි.

අභ්‍යන්තර දහන එන්ජිමක (ICE) සහ විද්‍යුත් මෝටරයක ව්‍යවර්තය සහ වේගය අතර ප්‍රස්ථාරය – quora.com

 

විදුලියෙන් ක්‍රියාකරන රථයක ප්‍රමුඛත ම අවාසිය වන්නේ ගමන් කළ හැකි දුර සීමා සහිත වීම යි. ඉන්ධන පිරවුම් හල් සුලබ ව පැවතියත් බොහෝ ප්‍රදේශවල ආරෝපණ මධ්‍යස්ථාන නොමැති වීම නිසා විදුලි රථයක් පැදවීම යම් සීමාවකට යටත් ව සිදු කළ යුතු යි. විශේෂයෙන් පිකප් රථ වැනි දුෂ්කර මාර්ග සහ ප්‍රදේශවල ගමන් කිරීමට සැකසූ වාහන වර්ග සඳහා මෙම අඩු පාඩුව තදින් ම දැනෙනවා. ආරෝපණ මධ්‍යස්ථාන තිබුණත් ආරෝපණය සඳහා යම් වැඩි කාලයක් ගත වීම ද අවාසියක් ලෙස දැක්විය හැකි යි.

ගමනාගමනයේ අනාගතය විද්‍යුත් රථ බවට මේ වන විට පැහැදිලි යි. ඒ නිසා ඉහත දුෂ්කරතා මඟ හරවා ගැනීමට අනාගතයේ නිපදවන වාහන සහ යටිතල පහසුකම් පද්ධති කටයුතු කෙරෙනු ඇතැයි විශ්වාස කළ හැකි වනවා. විද්‍යුතයෙන් ක්‍රියා කරන පිකප් රථ නිෂ්පාදනයට නුදුරේදී ම ආසියානු කලාපයේ වාහන නිෂ්පදකයනුත් යොමුවනු ඇති.

කවරයේ ඡායාරූපය - Rivian R1T සහ Ford F150 Lightning රථ - images.hgmsites.net

මූලාශ්‍ර:

electrek.co 

akinsford.com

 thedrive.com

rivian.com

tesla.com

caranddriver.com

hiconsumption.com

Related Articles