“තඹ වල සතුරා” සහ තවත් මූලද්‍රව්‍ය කතා

මූලද්‍රව්‍ය මිනිසා විසින් සොයාගත් අයුරු ඔබ වෙත ගෙන එන මේ ලිපි පෙළෙහි පසුගිය ලිපි වලින් ආවර්තිතා වගුවේ හයිඩ්‍රජන් සිට පොස්ෆරස් දක්වා වූ මූලද්‍රව්‍ය වල ඉතිහාස කතා අපි ඔබ හමුවේ තැබුවා. එහි 5 වන කොටසින් අපි තවත් මූලද්‍රව්‍ය කිහිපයක් පිළිබඳ සාකච්ඡා කරමු.

සල්ෆර්

flickr.com

ආවර්තිතා වගුවේ 16 වන ස්ථානය හිමි වන්නේ සල්ෆර් මූලද්‍රව්‍යයට යි. අලෝහයක් වන මෙය විශ්වයේ 10 වනුවට සුලබවම පවතින මූලද්‍රව්‍යය වෙනවා. පෘථිවියේ සම්පූර්ණ බරින් 3%ක් සල්ෆර් ලෙස සැළකෙනවා. කුණු බිත්තර ගන්ධය ගෙන දෙන හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව මෙන්ම සල්ෆියුරික් අම්ලය ද තැනීමට සම්මාදම් වන සල්ෆර් වර්තමානයේ විද්‍යුත් කෝෂ, පොහොර මෙන්ම තවත් මිනිසාට ප්‍රයෝජනවත් බොහොමයක් දේ නිපදවීම සඳහා යොදාගන්නවා. සල්ෆර් දීප්තිමත් කහ පැහැයෙන් යුක්තයි.

සල්ෆර්හි පරමාණුක ක්‍රමාංකය 16 වන අතර පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය 32.065 වනවා. මෙහි ද්‍රවාංකය සෙල්සියස් අංශක 115.21ක් වන අතර තාපාංකය සෙල්සියස් අංශක 444.6ක්. සල්ෆර්හි සමස්ථානික 23ක් ස්වභාවයේ පැවතිය හැකි අතර ඉන් බහුලවම පවතින්නේ සල්ෆර් -32 යන සමස්ථානිකය යි. මීට අමතරව සල්ෆර් – 33,34 හා 36 යන සමස්ථානික ද සැළකිය යුතු ප්‍රතිශතයකින් ස්වභාවයේ පවතිනවා.

wayofhpathy.blogspot.com -සල්ෆර් ස්ඵටික

සල්ෆර් පිළිබඳව ඈත අතීතයේ සිට මානව ප්‍රජාව දැනගෙන සිටියා. මේ පිළිබඳව බයිබලයේ පවා සඳහන් වී තිබෙනවා. කෙසේ නමුත් සල්ෆර් සංශුද්ධ ලෙස නිස්සාරණය කර ගැනීමට 1809 වසර වන තුරු කිසිවෙකුට හැකි වූයේ නැහැ. ක්‍රි.ව 1809 දී ප්‍රංශ රසායන විද්‍යාඥයින් දෙපළක් වන ලුවී ජක් තිනාර්ඩ් හා ලුවී ජෝශප් ගේ ලුසැක් විසින් සංශූද්ධ සල්ෆර් වෙන් කරගනු ලැබුවා. සල්ෆර්ට එම නාමය ලැබුණු ආකාරය පිළිබඳ මත දෙකක් තිබෙනවා ඉන් පළමුවැන්න ‘සුෆ්‍රා’ යන අරාබි වදනින් එය බිඳී ආ බවට ඇති මතය යි. එහි අරුත කහ පැහැති යන්නයි. දෙවන මතය වන්නේ ‘සල්බාරි’ යන සංස්කෘත වදනින් එය බිඳී ආ බවට ඇති මතය යි. එහි අරුත වන්නේ ‘තඹ වල සතුරා’ යන්නයි. සල්ෆර් තඹ සමග වේගවත්ව ප්‍රතික්‍රිය කරනවා.

ක්ලෝරීන්

flickr.com

ආවර්තිතා වගුවේ 17 වනුවට හමුවන්නේ ක්ලෝරීන් මූලද්‍රව්‍යය යි. මෙය ජලය පවිත්‍ර කිරීම, ඖෂධ වැනි දේ ඇතුළු මිනිස් අවශ්‍යතා රාශියක දී යොදාගන්නවා. කෙසේ නමුත් කාමර උෂ්ණත්වයේ දී වායුවක් ලෙස පවතින මෙය ආඝ්‍රාණය කිරීම නම් සෞඛ්‍යයට අහිතකර වෙනවා. ක්ලෝරයිඩ ලවණ විශාල ප්‍රමාණ වලින් සාගර ජලයේ දිය වී පවතිනවා.

ක්ලෝරීන්හි පරමාණුක ක්‍රමාංකය 17 වන අතර පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය 35.453 වෙනවා. මෙහි ද්‍රවාංකය සෙල්සියස් අංශක ඍණ 101.5ක් වන අතර තාපාංකය සෙල්සියස් අංශක ඍණ 34.04ක්. ක්ලෝරීන් සමස්ථානික 24ක් ස්වභාවයේ පැවතිය හැකි අතර ඉන් ස්ථායී වන්නේ 2ක් පමණයි.

ක්ලෝරීන් වායුව – YouTube

මුලින්ම ක්ලෝරීන් නිස්සාරණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ස්වීඩන ජාතික කාල් විල්හෙල්ම් ශීලෙට යි. ක්‍රි.ව 1774 දී ඔහු විසින් මැන්ගනීස් ඩයොක්සයිඩ් කැබැල්ලකට හයිඩ්‍රොක්ලෝරික් අමිල බින්දු කිහිපයක් එක් කළ විට ඉන් කහ-කොළ පැහැති වායුවක් නික්මුණා. කෙසේ නමුත් ඉන් දශක ගණනාවක් යන තුරුත් ක්ලෝරීන් මූලද්‍රව්‍යයක් හැටියට සැළකුණේ නැහැ. ක්‍රි.ව 1810 දී බ්‍රිතාන්‍ය ජාතික රසායන විද්‍යාඥ ශ්‍රීමත් හම්ප්‍රි ඩේවි විසින් මෙය මූලද්‍රව්‍යයක් ලෙස හඳුනාගන්න තුරු මෙම වායුව ඔක්සිජන් මිශ්‍රිත එකක් ලෙස සැළකුණා. ඩේවි විසින් මෙයට ග්‍රීක භාෂාවේ කහ-කොළ යන අර්ථ දෙන වදනක් අනුසාරයෙන් ක්ලෝරස් යැයි නම් තබනවා. පසුව ඔහු විසින්ම එය කෝරික් වායුව හෙවත් ක්ලෝරීන් ලෙස යාවත්කාලීන කරනවා.

වර්තමානය වන විට ක්ලෝරීන් වැඩිමනක්ම නිපදවෙන්නේ ලුණු හෙවත් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණ විද්‍යුත් විච්ඡේදනය කිරීමෙනුයි.

ආගන්

dreamstime.com

ආවර්තිතා වගුවේ 18 වනුවට හමුවන්නේ උච්ච වායුවක් වන ආගන් මූලද්‍රව්‍යය යි. විදුලි පහන්වල මෙන්ම පෑස්සීම් කටයුතු වලදීත් මෙය යොදාගන්නා අතර මෙයට එහි නාමය ලැබී තිබෙන්නේ ග්‍රීක භාෂාවෙන් ‘උකටලී’ යන අර්ථය ගෙන දෙන වදනකිනුයි. පෘථිවි වායුගෝලයේ 0.94%ක ආගන් වායුව පවතිනවා.  සරළවම කිවහොත් පෘථිවි වායුගෝලය තුළ ආගන් වායුව ටොන් ට්‍රිලියන 65 ක් පමණ පවතිනවා.

ආගන් හි පරමාණුක ක්‍රමාංකය 18 වන අතර පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය 39.948 වෙනවා. උච්ච වායුවක් බැවින් ඉතා පහළ ද්‍රවාංකයක් හා තාපාංකයක් පවතින මෙහි ද්‍රවාංකය සෙල්සියස් අංශක ඍණ 189.35 වන අතර තාපාංකය සෙල්සියස් අංශක ඍණ 185.85ක්. ආගන්හි සමස්ථානික 25ක් ස්වභාවයේ පැවතිය හැකි අතර ඉන් 3ක් ස්ථායී වෙනවා. පෘථිවියේ වැඩිමනක්ම පවතින්නේ ආගන්- 40 සමස්ථානිකය වනමුත් තාරුකා වලදී සිලිකන් හා හයිඩ්‍රජන් න්‍යෂ්ඨි එක් වී සෑදෙන්නේ ආගන්- 36 සමස්ථානිකය යි.

ආගන් පිරවූ විදුලි පහන්- pacificlamp.com

ආගන් පිළිබඳ මුල්ම තතු ලොවට හෙළිකළේ බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෙකු වන හෙන්රි කැවෙන්ඩිෂ් විසිනුයි. ක්‍රි.ව 1785 දී ඔහු විසින් සාමාන්‍ය වාතයෙහි 1%ක පමණ කොටසක් නිෂ්ක්‍රීය තත්ත්වයෙහි පවතින බව ප්‍රකාශ කළත් ඒ කුමන සංඝටකයක් නිසාදැයි නිශ්චය කරගන්නට නොහැකි වුණා. ආගන් නියමාකාරයෙන් නිරීක්ෂණය වුණේ ඊට ශතවර්ෂයකටත් පසුව 1894 වසරේ දී යි. ජෝන් විලියම් ස්ටෘට් හා විලියම් රැම්සේ යන දෙදෙනා මෙම නම මූලද්‍රව්‍යය හඳුනාගෙන එහි ගුණ ලෝකයට හෙළිකළ අතර මේ නිසා 1904 වසරේ දී ඔවුන් දෙදෙනාට නොබෙල් ත්‍යාගයත් හිමි වුණා.

පොටෑසියම්

dreamstime.com

ආවර්තිතා වගුවේ 19 වන ස්ථානයෙහි ස්ථානගත කර ඇති මූලද්‍රව්‍යය වන්නේ පොටෑසියම් ලෝහය යි. ක්ෂාරීය ලෝහයක් වන එය අධික ලෙස ක්‍රියාකාරී නිසා සංශුද්ධ තත්ත්වයෙන් ස්වභාවයේ හමුවන්නේ නැහැ. කසේ නමුත් විවිධ සංයෝග ලෙස පොටෑසියම් බහුලව හමුවෙනවා. මෙය පෘථිවි කබොලේ 7 වෙනුවට බහුලවම හමුවන මූලද්‍රව්‍යය යි. එය පෘථිවි කබොලෙන් 2.4% ප්‍රමාණයක පැතිරී තිබෙනවා. පොටෑසියම් යන වදන ‘පොට් ඈෂ්’ යන ඉංග්‍රීසි වදනින් බිඳුණක්.

පොටෑසියම්හි පරමාණුක ක්‍රමාංකය 19 වන අතර පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය 39.0983ක් වෙනවා. මෙහි ස්කන්ධ ක්‍රමාංකය 18 වන මූලද්‍රව්‍ය වන ආගන්ට වඩා අඩු අගයක් ගැනීමත් විශේෂ යි. කාමර උෂ්ණත්වයේ දී ඝණයක් වන මෙහි ද්‍රවාංකය සෙල්සියස් අංශක 63.38ක් වන අතර තාපාංකය සෙල්සියස් අංශක 1032ක් වෙනවා. මෙහි සමස්ථානික 29ක් ස්වභාවයේ පැවතිය හැකි වූවත් ස්ථායී වන්නේ 3ක් පමණ යි.

පොටෑසියම් ජලය සමඟ දක්වන ස්ඵෝටන ප්‍රතික්‍රියාව- Philip Evans/Getty

මිනිසුම් විසින් පොටෑසියම් සංයෝග මීට වසර සිය ගණනකට පෙර සිටම භාවිතා කළා. කෙසේ නමුත් ක්‍රි.ව 1807 වන තුරු කිසිවෙකුට එය සංශුද්ධව නිස්සාරණය කරගත හැකි වූයේ නැහැ. ක්‍රි.ව 1807 දී හම්ප්‍රි ඩේවි තෙත් පොටෑසියම් කාබනේට් තුලින් විද්‍යුත් පුළිඟුවක් යැවීමෙන්  සංශුද්ධ පොටෑසියම් වෙන් කරගත්තා. ඩේවි විසින්ම පොටෑසිය ජලය සමග සිදුකරන ස්ඵෝටන ප්‍රතික්‍රියාවත් සොයාගත්තා. පොටෑසියම් ජලය හා මුසු වූ විට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හා හයිඩ්‍රජන් වායුව තනන අතර එහිදී ජනනය වන දැඩි තාපය නිසා හයිඩ්‍රජන් වායුව ස්ඵෝටනය වෙනවා. පොටෑසියම් වායුගෝලයේ ඇති ජල වාෂ්ප සමග පවා ප්‍රතික්‍රියා දක්වන බැවින් පැරෆින් ඉටි වල බහා තබනු ලබනවා.

කැල්සියම් හා සිවු වන ආවර්තයේ ආන්තරික මූලද්‍රව්‍ය පිළිබඳව ඉදිරි ලිපි වලින් ගෙන එන්නට අපි සූදානම්.

කවරයේ පින්තූරය – eic.rsc.org

Related Articles

Exit mobile version