Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Covid එන්නතක සාර්ථකත්ව අගය වැදගත් ද?

Covid 19 වලට එරෙහිව එන්නත් කීපයක්ම ලෝකයේ විවිධ රටවල් සහ ආයතනයන් හඳුන්වා දුන්නා. ඒ අතරින් හොඳම එන්නත මොකක්ද කියලත් ප්‍රශ්නයක් එනවා. මොකද සමහර එන්නත්වල සාර්ථකත්වය (Efficacy) 95%ක් වගේ වෙද්දී, සාර්ථකත්වය 63%ක් වුණ එන්නත් එහෙමත් සමහර රටවල් මිල දී ගන්නවා. උදාහරණයක් විදිහට Pfizer/BioNTech එන්නත 95%ක සාර්ථකත්වයක් පෙන්නද්දී ලංකාවට ගෙන්නපු Oxford/AstraZeneca එකේ සාර්ථකත්වය 63.09%ක්. එහෙනම් වැඩි සාර්ථකත්වයක් තියෙන එන්නත් තියෙද්දී, අඩු සාර්ථකත්වයක් තියෙන එන්නත් අපි ලබාගන්නේ ඇයි? ඒවා තවත් නිෂ්පාදනය කරන්නේ ඇයි? හොඳම එක විතරක් ලෝකෙට බෙදුවා නම් ඉවරයි නෙහ්! මේ ප්‍රශ්න ටික අනිවාර්යෙන් අපේ ඔලුවට එනවා.

හැබැයි ඇත්තටම එන්නතක සාර්ථකත්වය ඔය ප්‍රතිශත අගයෙන් සංසන්දනය කරන්න බැහැ. ඒකට හේතුව මේ ලිපියෙන් පැහැදිලි කරගනිමු.

එන්නතක සාර්ථකත්වය මනින හැටි

ලෝකයේ මේ වෙද්දී බෙදාහැරෙන එන්නත්වල සාර්ථකත්ව අගයන් දැක්වෙන රූපසටහනක් තමයි පහතින් දැක්වෙන්නේ.

කොවිඩ් එන්නත් වල සාර්ථකත්ව අගයන්
කොවිඩ් එන්නත්වල සාර්ථකත්ව අගයන්/Vox

 

එන්නතක සාර්ථකත්වය කියන එක මනින්නේ කොහොමද කියන එකෙන්ම මේ කතාව පැහැදිලි කරගනිමු. එන්නතක සාර්ථකත්වය ගණනය කරන්නේ සායනික පරීක්ෂණයන් විශාල ප්‍රමාණයක් කරලා. මිනිසුන් දසදහස් ගණනක් යොදාගෙන පර්යේෂණ කරලා. මේ විදිහට තෝරාගන්න අහඹු මිනිස් නියැදියක හරි අඩකට, පරීක්ෂණයට ලක්කළ යුතු එන්නත ලබාදෙනවා. ඉතිරි අර්ධයට ලබාදෙන්නේ එම එන්නත වගේම, හැබැයි කිසිම ඖෂධීය ගුණයක් නැති, ශරීරයට අහිතකර නොවන එන්නතක්. නමුත් ඒ බව ඔවුන්ට දැනුම් දෙන්නෙත් නැහැ. කොටින්ම, නිවැරදි එන්නත ලබාගත් අයත්, බොරු එන්නත ලබාගත් අයත් යන දෙකොටසම දන්නේ නෑ තමන්ට දුන්නේ හරි එක ද, වැරදි එක ද කියලා. මේ වගේ ව්‍යාජ ඖෂධයක් වෛද්‍ය විද්‍යාවේ දී හඳුන්වන්නේ Placebo (ප්ලෙසීබෝ) කියලා. කායික රෝගයක් නැති නමුත්, තමන්ට එහෙම රෝගයක් ඇති බව කියන රෝගීන්ටත් වෛද්‍යවරුන් මේ වගේ ඖෂධ ලබාදෙනවා. අර “දොස්තර දැක්කාම ලෙඩේ හොඳ වෙනවා” කියන්නේ, ආන් ඒ වගේ. 

කොහොම හරි, භාගයකට එන්නත ලබාදීලා අනික් භාගෙට Placebo ලබාදීලා, ඒ දෙගොල්ලන්ටම තමන්ගේ සාමාන්‍ය ජීවිතේ ගතකරන්න ඉඩහරිනවා මාස කිහිපයක්. ඒ අතරවාරයේ විද්‍යාඥයින් ඔවුන්ට වෛරසය වැළඳෙනවා ද නැද්ද කියලා විමසිල්ලෙන් ඉන්නවා. Pfizer/ BioNTech එන්නත පරික්ෂා කරන්න මේ වගේ මිනිසුන් 43,000කට අධික නියැදියක් යොදාගෙන තියෙනවා. එයින් 21,500කට Pfizer/BioNTech එන්නතත්, අනික් 21,500ට Placeboත් දීලා තියෙනවා. පර්යේෂණ කාලය අවසානයේ දී ඒ අතරින් 170කට කොරෝනා වෛරසය වැළඳිලා තිබුණා.

දැන් වැදගත් කාරණේ වෙන්නේ ඒ 170 ඉන්නේ කොයි කාණ්ඩයේ ද කියන එක යි. එන්නත ලබාගත් කාණ්ඩයේ 85කුත්, Placebo කාණ්ඩයේ ඉතිරි 85ත් විදිහට සමානව බෙදිලා හිටියොත් එන්නතේ සාර්ථකත්වය (Efficacy) 0% යි. ඇයි ඉතින් එහෙම වෙනවා නම්, ඒ එන්නත දුන්නත් එකයි නැතත් එකයි නෙහ්. 170ම ඉන්නේ Placebo එකේ නම්, එන්නත ලබාගත් අයට ලෙඩේ හැදිලම නැත්තම්, එන්නතේ සාර්ථකත්වය 100% යි. Pfizer/BioNTech එන්නතේ මේ අගය වුණේ Placebo සෙට් එකේ 162 යි. ඉතිරි 8 දෙනා එන්නත ලබාගත් කාණ්ඩයේ. එතකොට ඒ එන්නතේ සාර්ථකත්වය 95% යි.

දැන්, එන්නතේ සාර්ථකත්වය 95%යි කියන එකේ අදහස වෙන්නේ 100කට එන්නත ලබා දුන්නොත් 5 දෙනෙක්ට කොරෝනා වැළඳෙනවා කියන එක නෙවෙයි. ඔය කියන 95% අදාළ වෙන්නේ එන්නත ලබාගන්නා එක් අයෙකුට යි. ඒ කියන්නේ, එන්නත ලබාගත් පුද්ගලයෙක් කොරෝනා වෛරසයට නිරාවරණය වෙන හැම අවස්ථාවක දීම ඔහු මුහුණපාන කොරෝනා රෝගය වැළඳීමේ අවදානම, එන්නත ලබා නොගත් පුද්ගලයෙකුට වඩා 95%කින් අඩු යි කියලයි. ඕක තමයි එන්නතක සාර්ථකත්වය කියන එකේ තේරුම.

හැම එන්නතකම සාර්ථකත්වය ලබාගෙන තියෙන්නේ ඉහත සඳහන් වෙන ක්‍රමයටම තමයි. හැබැයි එහෙනම් ඇයි එන්නත්වල සාර්ථකත්වය ඒ අගයන්වලින් සංසන්දය කරන්න බැහැ කියන්නේ? ඒකටත් හේතු කීපයක් තියෙනවා. ප්‍රධානම එක තමයි මේ එක එක එන්නත්වල සායනික පර්යේෂණ සිදුකරපු කාල රාමුව සහ ප්‍රදේශය.

එන්නත් අතර සාර්ථකත්ව ප්‍රතිශතය සැසඳිය හැකිද? 

Moderna, Pfizer සහ J&J එන්නත් වල පර්යේෂණ පැවතුණු හැටි
Moderna, Pfizer සහ J&J එන්නත් සඳහා ඇමෙරිකාව තුළ සායනික පර්යේෂණ පැවතුණු කාල රාමුව/Vox

Moderna එන්නතේ පර්යේෂණ සියල්ලම කළේ ඇමෙරිකාවේ විතර යි. Pfizer එකෙත් ප්‍රධාන වශයෙන් පර්යේෂණ කළේ ඇමෙරිකාවේ. ඔය එන්නත් දෙකම 2020 අගෝස්තු ඉඳන් නොවැම්බර් වගේ කාල සිමාවේ පර්යේෂණ කළා. ඒ කාලය තුළ තමයි එක්සත් ජනපදයේ කොරෝනා දෙවෙනි රැල්ල පාලනය වුණේ. හැබැයි Johnson & Johnson එන්නතේ පර්යේෂණ කාලය වුණේ 2020 ඔක්තෝම්බර් ඉඳන් 2021 ජනවාරි අතර කාලය. ඒ කාලය තුළ තමයි කොරෝනා තුන්වෙනි රැල්ල පටන් අරන් අති විශාල ප්‍රමාණයක් රෝගීන් වාර්තා වුණේ.  එතකොට J&J එන්නත ලබාගත්ත අය වැඩි වශයෙන් රෝගයට නිරාවරණය වෙලා කියලා පැහැදිලියි. ඒ කියන්නේ ඒ එන්නත ලබාගත් වැඩි පිරිසකට රෝගය වැළඳීමට ඉඩකඩ වැඩියි (J&J එකේ සාර්ථකත්වය 66% යි).

Johnson & Johnson එන්නත ප්‍රධාන වශයෙන් දකුණු අප්‍රිකාවේ සහ බ්‍රසීලයේත් අත්හදා බැලුවා. ඒ රටවලත් 2020 ඔක්තෝම්බර් ඉඳන් 2021 ජනවාරි කාලයේ රෝගීන් වාර්තාවීම ඉතා වැඩි වෙලා තිබුණා. ඊට අමතරව කොරෝනා වෛරසයේ වෙනස් ප්‍රභේද හඳුනාගත්තෙත් ඔවුන්ගේ පර්යේෂණ කාල සිමාව ඇතුළේ. දකුණු අප්‍රිකාවෙන් හමුවුණ B.1.351 ප්‍රභේදය, බ්‍රසීලයෙන් හමුවුණ P.2 ප්‍රභේදය කියන ඒවා J&J එන්නත හදද්දී ලොවෙත් හොයාගෙන තිබ්බේ නැති කොරෝනා ප්‍රභේදයන්. ඉතින් එහෙම තත්ත්වයක් උඩ එන්නතක් 66%ක සමස්ත සාර්ථකත්වයක් පෙන්වන එක ප්‍රයෝගිකව සිදුවෙන්න පුළුවන් දෙයක්.

මේ නිසා, පර්යේෂණ කළ සියලුදෙනා ඒවා සමාන තත්ත්වවල දී සිදුකළා නම් පමණයි, ඒ එක් එක් එන්නත්වල සාර්ථකත්ව අපට සංසන්දනය කරන්න පුළුවන් වෙන්නේ. අනිත් එක, මේ සාර්ථකත්ව ප්‍රතිශත සායනික පර්යේෂණවල ප්‍රතිඵල විතරයි. සැබෑ ලෝකයේ දී මේවා තව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා එන්නතක සාර්ථකත්ව අගය එතරම්ම ප්‍රායෝගික නැහැ (නොවැදගත් කියන එක නෙමෙයි).

J&J එන්නතේ අමෙරිකාවෙන් පිට පර්යේෂණ පැවතුණු හැටි
J&J එන්නත සඳහා අමෙරිකාවෙන් පිට සායනික පර්යේෂණ පැවතුණු කාල රාමුව/Vox

වැදගත්ම කාරණය තමයි, හැමවෙලේම එන්නතක කාර්යභාරය වෙන්නේ රෝගය වැළඳීම සම්පූර්ණයෙන්ම වැලැක්වීම නම් නෙවෙයි. කොරෝනා ලෝකෙන් තුරන් කරන අදහසින් නෙවෙයි මේ එන්නත් එකක්වත් නිෂ්පාදනය කෙරුණේ. මේ එන්නත් සියල්ලම නිපදවීමේ ඉලක්කය තමයි කොරෝනා නිසා මතුවිය හැකි දරුණු තත්ත්වය පාලනය කිරීම, රෝහල්ගතවීම් අවම කිරීම, සහ වැදගත්ම දේ, මරණ වළක්වා ගැනීම. ඒ ඉලක්කය මේ එන්නත් සියල්ලම ජයගෙන තියෙනවා. මේ එන්නත් ලබාගත් කිසිම පුද්ගලයෙක් කොරෝනා වැළඳීමෙන් මරණයට පත්වෙලා නැහැ. ඒ කියන්නේ, කොරෝනා හේතුවෙන් සිදුවෙන රෝහල්ගත කිරීම් හෝ මරණයට පත්වීම්වලට එරෙහිව මේ හැම එන්නතකම සාර්ථකත්වය 100% යි.

අපි අහන ප්‍රශ්නය වෙන්නට ඕනෙ කොරෝනා වැළඳීම සම්පූර්ණයෙන්ම වළක්වන එන්නත මොකක්ද කියල නෙවෙයි, අපව ජීවත් කරවන, එහෙමත් නැත්තම් රෝහලෙන් ඈත් කරලා තියෙන, එහෙමත් නැත්තම් කවදා හෝ කොරෝනා වසංගතය අවසන් කිරීමට උදව් වෙන එන්නත මොකක්ද කියන එක යි. අන්න ඒ ප්‍රශ්න තුනටම උත්තරේ – “මේ හැම එන්නතක්ම” කියන එක යි.

Cover image: technologyworks.com

Data: Vox

WHO

Related Articles