මිනිසුන් වන අපි රටවල් පුරා යමින් කෘෂිකර්මය, තාක්ෂණය, ආර්ථිකය වැනි විවිධ ක්ෂේත්‍ර ජයගනිමින් සහ අභ්‍යවකාශයේ නිම් වළලු සොයා යමින් සිටින නමුත් අපේ ළඟම ඥාතීන් වන චිම්පන්සීන් තමවත් ගස් අතුවල එල්ලී යමින්, පලතුරු කමින් සිටිති. පරිණාමවාදය අනුව වානරයන් හරහා මිනිසා බිහි වූවා නම්, තවමත් වානරයින් පරිණාමය වනු අපට දකින්නට නැත්තේ ඇයි?
තවමත් වානරයින් පරිණාමය වනු අපට දකින්නට නැත්තේ ඇයි?
එයට කෙටි පිළිතුර මඳක් හිත රිදවන සුළු නමුත් නොකියා සිටිය නොහැකියි. එනම්, අප ද වානරයන් ය! නියැන්ඩර්තාල්වරුන්, හොබිට්වරුන්, ඖස්ත්‍රලෝපිතෙකුස් වන ලුසී, ටෝන්ග් (Taung) දරුවා, පෙකින් මිනිසා සේ ම අප ද පරිණාමයේ තවත් පුරුකක් පමණි. අප සියල්ලන්ම පරිණාමය වී ඇත්තේ මීට වසර මිලියන 14කට පමණ පෙර ජීවත් වූ පොදු මුතුන් මිත්තෙකුගෙනි. අප සැම හෝමිනිඩේ (Hominidae) වර්ගීකරණ පවුලට අයත් ය. අපව ‘හොමිනයිඩ්වරු’ ලෙස ද ‘මහා වානරයන්’ ලෙස ද හැඳින්වේ.
“හොමිනින්” යනු පුරාණ හා නූතන මිනිසුන් සඳහා වන තාක්ෂණික යෙදුම යි. එනම්, ගෝරිල්ලන්ට හා චිම්පන්සීන්ට වඩා අපට වඩා සමීපව සම්බන්ධ වන ජීවීන්ට ය. පළමුවෙන්ම සිහි තබාගත යුත්තේ, අපි වානරයන් ලෙස හඳුන්වන මේ ජීවීන් අපගේ ඥාති සහෝදරයන් මිස අපේ මුතුන් මිත්තන් නොවන බව ය. ඔවුන්ට අප බවට පරිණාමය වීම ඉතා අපහසු වනු ඇත. අද සිටින ගෝරිල්ලන්ගෙන් පුරාණ මිනිසුන් පරිණාමය නොවන්නේ මන්දැ යි ඇසීම හරියට ඥාති සහෝදරියන්ගේ දරුවන් අපේ පෙනුම ගෙන නැත්තේ ඇයි දැයි ඇසීම හා සමාන ය.
පරිණාමය සිදුව ඇත්තේ රේඛීයව නොවේ
වෙනත් ප්‍රිමාටේස්වරු මිනිසුන් බවට පරිණාමය නොවීමට හේතුව ඔවුන් දැනට ලබා තිබෙන සාර්ථක බව නිසාවෙනැ යි වොෂිංටන් හි ස්මිත්සෝනියන් ආයතනයේ පුරාවිද්‍යාඥයෙකු වන බ්‍රියානා පොබිනර් LiveScience වෙබ් අඩවිය වෙත පවසයි. උගන්ඩාවේ කඳුකර ගෝරිල්ලන්, ඇමරිකාවේ හවුලර් වඳුරන් සහ මැඩගස්කරයේ උණහපුළුවන් (ලීමර්) ඇතුළු අද ජීවත්වන සියලුම ප්‍රයිමේට්වරුන්ට ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථානවල නොනැසී, සාර්ථකව තම ජීවිතය ගෙවන්නට හැකියාව තිබේ.
පරිණාමය සිදුව ඇත්තේ රේඛීයව බව සිතීම පහසු ය. එනම්, තනි සෛලීය ඇමීබාවලින් ආරම්භ වී අපෙන් අවසන් විය. මානව පරිණාමය පිළිබඳ අප බහුලව දකින සටහන්වල ඇත්තේ කොන්ද නවාගත් වානරයකුගේ සිට ඍජු දේහයක් ඇති හෝමෝ සේපියන් බිහි වූ බව යි. එහෙත් පරිණාමයට එවන් අවසාන සන්ධිස්ථානයක් නැත. DNA ප්‍රතිවලිත වනතාක් එය එහි ගමන පොල් මුලක් සේ විහිද යයි.
පරිණාමය යනු ප්‍රගතියක් කරා ගමන් කිරීම නොවේ
ගුහාවල ජීවත් වන ජීවීන්ට ඇස් නැති වී යන්නේ ද පරිණාමය රේඛීය නොවන නිසා ය. භෞමික ක්ෂීරපායින්ගෙන් පැවත එන තල්මසුන්ට පාද අස්ථි නැති තරම් ය. එසේම, බුද්ධිය පවා ක්‍රමයෙන් වර්ධනය වන්නක් නොවේ. මධ්‍ය ස්නායු පද්ධතියක් නොමැති මුහුදු ස්පන්ජීන් පරිණාමය වූයේ මොළයක් (හෝ ඊට සමාන සැකැස්මක්) සහිත මුතුන් මිත්තෙකුගෙනි. ඉතාම සරල දේහ සැකැස්මක් ඇති ඔවුහු වසර මිලියන ගණනාවක් මුහුදු පත්ලෙහි නොනැසී වෙසෙති.
පරිණාමය යනු ප්‍රගතියක් කරා ගමන් කිරීම නොවන බවත්, ඉන් අදහස් වන්නේ ජීවීන් තමා වෙසෙන පරිසරයට කෙතරම් හොඳින් ගැළපේ ද යන්න බවත් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන ලින් ඉස්බෙල් දක්වයි. මිනිසා අනෙකුත් ජීවීන් අභිබවා ගොස් ඇති නමුත්, පරිණාමය නමැති තරගාවලියේ අවසන් වටයෙහි සිටින්නවුන් නොවන බව ඔහු තවදුරටත් පෙන්වා දෙයි.
පරිසරයට ගැළපෙන සේ නොව, අපට ගැළපෙන සේ පරිසරය හැඩ ගස්වා ගන්නට අපට හැකි වුවත්, එය පරිණාම ඉණිමඟෙහි හිණි පෙත්තෙහි තබා අපව සැලකීමට කරුණක් නොවේ. කුහුඹුවන් ද සාර්ථක ජීවි කොට්ඨාසයකි. ඔවුහු ඇතැම්විට අපටත් වඩා සාර්ථක ය. මිනිසාටත් වඩා කුහුඹුවන් මෙලොව සිටින අතර, ඔවුහු තම ජීවන පරිසරයට හොඳින් හැඩගැසුණු, නොනැසී පවත්නා ජීවීහු ය. පරිණාමයේ ජීවියා සතු යතුර නොනැසී විසීම හා ප්‍රජනනය යි. ඉතිරිය මත ස්වභාව ධර්මය, ජානමය මට්ටමින් ක්‍රියා කරයි.
වැඩිදුර දැනුමට වීඩියෝවක්: කුහුඹු ජනාවාසයක් තුළට එබී බලමු
පරිණාමය පිළිබඳ කතාවේ දී අපට තවත් කරුණක් දක්නට ලැබෙයි. එනම්, සමකාලීනව හෝමෝනීන් විශේෂයයන් කිහිපයක් සිටීම යි. එසේ නම් අද අපට සමාන තවත් අය නැත්තේ ඇයි?
අද අපට සමාන තවත් අය නැත්තේ ඇයි?
වඳවීම යනු පරිණාමයේ සාමාන්‍ය කොටසකි. මීට වසර මිලියන කිහිපයකට පෙර, හොමිනින් විශේෂ විශාල ප්‍රමාණයක් එක ප්‍රදේශයක ජීවත් වූ අතර, ඔවුහු ප්‍රධාන වශයෙන් ශාක අනුභව කළහ. ඔවුන් ක්‍රමානුකූලව විශාල සතුන් ගොදුරු කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව නිව්යෝක්හි ස්ටෝනි බෲක් විශ්ව විද්‍යාලයේ මානවවේදී මහාචාර්ය ජෝන් ෂියා BBC වෙත පවසයි. නමුත් අවශ්‍යතාවන් වෙනස් වීමත්, හොමිනින්වරු වනාන්තරවල සිට වියළි සහ විවෘත සැවානා බිම් වෙත සංචාරය කිරීමත් සමග ඔවුන් වැඩි වැඩියෙන් මාංශ භක්ෂකයින් බවට පත් විය. ඔවුන් දඩයම් කළ සතුන්ට ආහාරය සඳහා තිබූ ශාක හිඟතාවය හේතුවෙන් සමහර විශේෂ වඳ වී ගොස් ඇත. ඉන් හොමිනින්වරුන්ට ද ආහාර හිඟ විය.
මාංශ භක්ෂකයන් බිහිවීමත් සමග එක්වරම මිනිසා හැර අනෙක් හොමිනින්වරු වඳව ගියේ නැත. මීට වසර 33,000කට පමණ පෙර කාලය වන විට යුරෝපයේ සහ බටහිර ආසියාවේ නියැන්ඩර්තාල්වරු, ආසියානු ඩෙනිසෝවන්වරු සහ ඉන්දුනීසියානු දූපතක් වන ෆ්ලෝරස්හි “හොබිට්වරු” එකට විසුවෝය.
ඔව්, හොබිට්වරු යනු The Lord of The Rings සහ එහි සහෝදර The Hobbits කතා මාලාවෙහි ප්‍රබන්ධ ජීවිහු නොවේ. ඉතා මෑතක් වනතුරු එනම්, අවුරුදු 23,000ක් පමණ වනතුරු හොබිට්වරු අප සමග විසූහ. විශාල ගිනිකඳු පිපිරීමකින් ඔවුන් සහමුලින්ම වඳ වී ඇති බව එම ප්‍රදේශයේ භූ විද්‍යාත්මක සාක්ෂි පෙන්වා දෙයි. එක් කුඩා දූපතක ජීවත් වීම හේතුවෙන් එවන් ආපදාවක් සිදු වූ විට සම්පූර්ණ විශේෂය ම වඳවීමේ අවදානමට ලක් වේ.
අපේ ඥාතීන් රැකගැනීම අපගේ වගකීම යි
තවත් ලෙසකින් කිවහොත්, නූතන මිනිසුන්ට වෙනත් හොමිනින් අභිබවා ජීවත්වීමට හැකි වූයේ අප ජීවත් වූ විශේෂිත තත්වයන් යටතේ විවිධ පාරිසරික ස්ථාන වෙනස් කිරීමේ හැකියාව අප සතුව තිබූ බැවිනි. දැරිය නොහැකි උෂ්ණත්ව වෙනස්වීමට මුහුණ දිය හැකි වූවා නම්, හෝමෝ සේපියන්වරුන් වෙනුවට නියැන්ඩර්තාල්වරුන් නොනැසී පවතින්නට ඉඩ තිබිණි.
චිම්පන්සීන් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් ගස්වල රැඳී සිටීමෙන් අදහස් වන්නේ ඔවුහු පරිණාමය වීම නැවැත්වූ බවක් නොවේ. 2010 දී ප්‍රකාශිත ජාන විශ්ලේෂණයක් අනුව ඔවුන්ගේ මුතුන් මිත්තන් මීට වසර 930,000කට පෙර විසූ බෝනොබෝස්වරුන්ගෙන් බෙදී ආ අය වන අතර, දැනට සිටින උප විශේෂ තුනක මුතුන් මිත්තන් මීට වසර 460,000කට පෙර අපසරණය වූවෝ ය.
ඔවුන් තවමත් අප හා සමකාලීනව සිටින අතර, අපි ඔවුන්ගේ වාසස්ථාන විනාශ නොකරන තාක් කල්, ඒ ‘ඥාති සහෝදරයන්’ අප සමග ම රැඳෙනු ඇත.