විද්‍යාව සහ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ අද පුළුල්ව අවධානයට ලක් වෙන ව්‍යාපෘති අතර අඟහරු ජනාවාසකරණයට විශේෂ ස්ථානයක් ලැබී තිබෙනවා. ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු වූ ස්ටීවන් හෝකින්ග් සහ SpaceX ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක්ට අනුව, වෙනත් ග්‍රහලොවක මිනිස් ජනාවාස ඇති කිරීමෙන් අනාගතයේ දවසක පෘථිවිය මුහුණ දෙන මහා විනාශයක් හමුවේ මිනිස් වර්ගයා නෂ්ට වීමේ අවදානම මඟහරවා ගත හැකි වෙනවා. මෙම කාරණය සම්බන්ධයෙන් ඊලෝන් මස්ක් වරෙක මෙලෙසින් තම අදහස ප්‍රකාශ කළා.
“මිනිස් වර්ගයාගේ අනාගතය මූලික වශයෙන් දිශා දෙකකට විහිදෙනවා. අපට මෙයින් එක් දිශාවක් ඔස්සේ ගමන් කිරීමට සිදු වෙනවා. එක්කෝ අපි ග්‍රහලෝක කිහිපයක පැතිරුණු විශේෂයක් විය යුතු යි. නැත්නම් අපේ මව් ග්‍රහලොව තුළම සිරවී මිනිස් වර්ගයා වඳව යෑමේ සිදුවීමක් එළඹෙන තුරු බලා සිටිය යුතු යි”.
පෘථිවියේ සොබාදහමට වැඩියෙන්ම අහිතකර බලපෑම් එල්ල කරන සත්ත්වයා මිනිසා බව අවිවාදිත යි. ඒ අනුව මිනිසාගේ නෂ්ට වීම මිනිසා විසින්ම සිදුකර ගැනීමේ අවදානමක් තිබෙනවා. මිනිසා සොබාදහමට අනුකූලව ජීවත් වුවත්, මෙලොවින් වඳ වී යෑමේ අවදානම පහව යන්නේ නැහැ. මීට වසර මිලියන 65කට පෙර ඩයිනසෝරයන් වඳව යෑමට හේතු වුණායැ යි සැලකෙන ග්‍රහක ගැටුම වැනි ස්වභාවික ආපදාවකට මිනිසා ඉදිරියේ දී මුහුණ නොදේවී කියා කිව හැක්කේ කාට ද? මේ නිසා අඟහරු ජනාවාසකරණය මානව අවශ්‍යතාවයක් බවට පත්වීමේ ඉඩක් දැන් නිර්මාණය වී තිබෙනවා.
නමුත්, අඟහරු ජනාවාසකරණය ආශ්‍රය කරගෙන පැන නැඟුණු තවත් විද්‍යාත්මක මතයන් තිබෙනවා. අඟහරුගේ පරිසරය නිසා අලුත් මිනිස් විශේෂයක් බිහි වීමට ඇති හැකියාවත් එවැනි මතයක්.
අඟහරු, අලුත් මිනිස් විශේෂයක් බිහි කරයි ද?
මිනිසුන් අඟහරු මත ඉදි කළ ජනාවාසවල පදිංචි වීමෙන් පසු දිගුකාලීන හුදෙකලාවීමකට ලක් වෙනවා. පෘථිවියට වඩා දුර්වල ගුරුත්වයක් සහ සූර්යයාලෝකයක් මෙන්ම, පෘථිවියට වඩා ප්‍රබල, ජීවීන්ගේ විකෘතිවලට හේතුවන විකිරණ සහිත පරිසරයක් තමයි අඟහරු තුළ පවතින්නේ. මේ පාරිසරික තත්ත්වයන් යටතේ ජීවත් වන අනාගත අඟහරුවාසී මිනිසුන්ගේ සිරුරු යම් වෙනස්වීමකට ලක්විය හැකි බව විද්‍යාඥයින් සැක පළ කරනවා. ඒ අනුව කාලයත් සමග ඔවුන් අලුත් මිනිස් විශේෂයක් දක්වා පරිණාමය වීමේ හැකියාවක් පවතිනවා.
පෘථිවියේ හුදෙකලා දූපත්වල ජීවත් වන සතුන් සහ ශාකවල විශේෂ ලක්ෂණ දැකගන්න අපට පුළුවන්. ජීවීන් ප්‍රජනනය අතින් එම දූපත්වල හුදෙකලා වන නිසා තමයි ඔවුන්ගෙන් අලුත් විශේෂ පරිණාමය වනු පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ. එය වසර දහස් ගණනක් ගත වන ක්‍රියාවලියක් වන නමුත්, අඟගරු මත දී ජාන විකෘති ඇතිවීමට ඇති ඉහළ හැකියාව, සහ පෘථිවියට සාපේක්ෂව අඟහරුගේ පවතින තියුණු වෙනස නිසා අලුත් මිනිස් විශේෂයක් ඇති වීමේ ක්‍රියාවලිය වේගවත් වනු ඇතැ යි අනුමාන කරනවා. කෙසේ නමුත්, අඟහරු මත අලුත් මිනිස් විශේෂයක් ඇතිවීමේ ඉඩකඩ විවාදයට තුඩු දුන් කාරණාවක් බව මෙහිලා සඳහන් කළ යුතු යි. එම මතයට එකඟව මෙන්ම එකඟ නොවන ලෙසත් කරුණු දක්වන විද්වතුන් සිටිනවා.
මිනිසුන්ට පෘථිවියේ මෙන් සාමාන්‍ය පරිදි අඟහරු මත ජීවත් විය නොහැකි බව අප දන්නා කරුණක්. ජීවයට අවශ්‍ය සාධක කැටි වූ කෘත්‍රිම පරිසර අඟහරු තුළ ඇති කරන්නට සිදු වෙනවා. නමුත් මේ කෘත්‍රිම පරිසරය පෘථිවියට හැම අතින්ම සමාන ලෙස සැකසීම කොතරම් දුරට ප්‍රායෝගික ද යන්න ගැටලුවක්. අඟහරුගේ ස්වභාවික පරිසරය මිනිසාට සුදුසු අන්දමින් සැකසීම ගැනත් මේ වන විට විද්‍යාඥයින් සලකා බලනවා. උදාහරණයක් ලෙස මෑතක දී අඟහරු මත ගොඩබට ප(ර්)සිවියරන්ස් රෝවරය අඟහරුගේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ්වලින් යම් ප්‍රමාණයක් ඔක්සිජන්වලට පරිවර්තනය කිරීමට සමත් වුණා. මේ කෘත්‍රිම පරිසරයත් ඔවුන්ගේ ශාරීරික වෙනස්කම්වලට බලපාන්න පුළුවන්.
කෙසේ නමුත්, අලුත් මිනිස් විශේෂයක් බිහි වුණත් නොවුණත්, පෘථිවියේ මිනිසාගෙන් අනාගත අඟහරු මිනිසා වෙනස්වීම වැළැක්විය නොහැකි වීමට හේතු කිහිපයක් තිබෙනවා. ඒවා අනුව අඟහරු මිනිසා වෙනස් වන ආකාරය අපි දැන් සලකා බලමු.
ක්ෂුද්‍ර ජීවීන් නොමැති පරිසරයක්
දැනට ලැබී ඇති සාක්ෂ්‍යවලට අනුව අඟහරු ග්‍රහයා සම්පූර්ණයෙන්ම ජීවයෙන් තොර විය හැකි අතර, එය ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු අනෙකුත් සියලු ක්ෂුද්‍ර ජීවීන් සඳහාත් පොදු වෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ, ක්ෂුද්‍ර ජීවී ආසාදනවලට එරෙහි විය හැකි ප්‍රතිශක්තීකරණ පද්ධතියක් අනාගත අඟහරු මිනිසුන්ට අහිමි වීම යි. එවිට, ක්ෂුද්‍ර ජීවීන් සමග ජීවත් වෙන, ඔවුන්ට එරෙහි ප්‍රතිශක්තීකරණ පද්ධතියක් ඇති පෘථිවි වැසියන් සමග සබඳතා පැවැත්වීම (ලිංගික සබඳතා ඇතුළුව) අඟහරුවාසීන්ට අනතුරුදායක විය හැකි යි. මේ නිසා පෘථිවියෙන් අඟහරු වෙතට හෝ අඟහරුගෙන් පෘථිවිය වෙතට තම මිනිස් මිතුරන් හමුවීමට යෑම, අනාගතයේ දවසක අඟහරු මිනිසුන්ට හානිදායක වෙන්න පුළුවන්. අඟහරුවලටම විශේෂිත වූ මිනිස් වර්ගයක් බිහිවීමේ ක්‍රියාවලිය මේ ඈත්වීම නිසා වේගවත් වේවි.
අස්ථි පද්ධතියේ වෙනස්කම්
අඟහරු මත ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බලය පෘථිවියේ ගුරුත්වයෙන් 38%ක් පමණ යි. මිනිසෙකුගේ අස්ථි පද්ධතියේ ශක්තිය ගුරුත්ව බලයට එරෙහිව ක්‍රියාකිරීමේ හැකියාව මතත් රඳා පවතිනවා. ඒ අනුව සාපේක්ෂව අඩු ගුරුත්වයක් සහිත අඟහරු මත දී මිනිස් අස්ථි පද්ධතියේ ඇති විය හැකි වෙනස්කම් මොනවා ද? එමඟින් අඟහරු මිනිසුන්ගේ බාහිර ස්වරූපය කෙබඳු වේවි ද?
හූස්ටන් නගරයේ, රයිස් විශ්වවිද්‍යාලයයට අනුබද්ධව සේවය කරන මහාචාර්ය ස්කොට් සොලමන්ට අනුව අඩු ගුරුත්ව පරිසරය හමුවේ අඟහරු මිනිසුන්ට හැඩිදැඩි පෙනුමක් ලැබෙනු ඇතැ යි අනුමාන කරනවා. එය බොහෝ කලකට පෙර වඳවී ගිය Paranthropus robustus වැනි මානව පූර්වජයන්ගේ ස්වරූපයට යන්තමින් සමාන විය හැකි යි. මුල දී පෘථිවියේ මිනිසුන්ට සමාන අස්ථි පද්ධතියක් සහිතව අඟහරු මිනිසුන් ජීවිතය ආරම්භ කළත්, කාලයත් සමග අඩු ගුරුත්වය හමුවේ ඝනත්වය අඩුවූ අස්ථි සහිත මිනිසුන් ඉපදේවි. කෙසේ නමුත්, අපගේ අස්ථි පද්ධතියේ පවතින ඇතැම් විශාල අස්ථීන් දරුණු කැඩුම් බිඳුම්වලින් ශරීරය ආරක්ෂාකර ගැනීම සඳහා ප්‍රමාණවත් ශක්තියකින් යුතුව දිගටම පවතීවි කියලත් අනුමාන කරනවා. එවිට සමහර විශාල අස්ථි ප්‍රමුඛ වූ සැකිල්ලකට අනුව අඟහරු මිනිසුන්ගේ පෙනුමත් තීරණය වේවි.
දරු ප්‍රසූතියේ දී ශ්‍රෝණි අස්ථි බිඳී යෑමේ අවධානම සැලකිල්ලට ගෙන ඉදිරියේ දී අඟහරු මත ජීවත් වෙන කාන්තා ජනපදිකයින් ස්වභාවික දරු උපතකට වඩා සිසේරියන් සැත්කමක් මඟින් දරු උපත් සිදුකර ගැනීම වඩාත් උචිත බව ආචාර්ය සොලමන් පවසනවා. ස්වභාවික දරු උපත්වලින් සම්පූර්ණයෙන් ඈත් වූ පසු මිනිස් හිසෙහි ප්‍රමාණය උපත සඳහා බලනොපාන හෙයින්, අඟහරු ජනපදිකයන්ගේ හිස් කබල පෘථිවියේ මිනිසුන්ට වඩා විශාල වීමේ ඉඩකඩ තිබෙනවා.
විශාල ඇස්
පෘථිවියට සාපේක්ෂව අඟහරුට ලැබෙන්නේ අඩු සූර්යාලෝකයක්. මේ නිසා අඟහරුගේ පැහැබර දවසක ආලෝක තත්ත්වය, පෘථිවියේ වළාකුළුවලින් බර වූ දවසක ආලෝක තත්ත්වය හා සමාන වෙනවා. අඩු ආලෝක තත්ත්වය යටතේ දෘෂ්ටි විතානය මත වැඩි ආලෝකයක් රැස්කර ගැනීම සඳහා අඟහරු ජනපදිකයන්ට තම දෘෂ්ටි පද්ධතියේ සහ මොළයේ යම් යම් අනුවර්තන අවශ්‍ය වෙන්න පුළුවන්. නැතහොත්, නව දෘෂ්ටි විතානයක් හෝ විශාල ඇස් ඇති මිනිසුන් බවට ඔවුන් පරිණාමය විය හැකි යි. විශාල ඇස් රැක ගැනීම සඳහා ඔවුන්ගේ හිස් කබලත් ඒ අනුව හැඩ ගැසේවි.
හමේ වර්ණයත් වෙනස් වේවි
අඟහරුගේ වායුගෝලය පෘථිවියට වඩා තුනී වන අතර, ආරක්ෂිත චුම්බක ක්ෂේත්‍රයක් අඟහරු මත ක්‍රියාත්මක වන්නේත් නැහැ. මේ නිසා අහිතකර විකිරණ අඟහරු මතුපිටට පැමිණෙනවා. අඟහරු ජනපදිකයන් ජීවිතයේ වැඩි කාලයක් ආරක්ෂිත ගොඩනැඟිලිවල ගත කළත්, ඉහළ පිළිකා අවදානමක් සහිත විකිරණවලින් සහමුලින්ම ගැලවී සිටීමේ හැකියාව අවම යි. මේ නිසා කාලයත් සමග ඔවුන්ගේ සමේ වර්ණක වැඩි වීමේ හැකියාවක් තිබෙන බව විද්වතුන් අනුමාන කරනවා. සමෙහි වර්ණක අඳුරු වන තරමට විකිරණවලට එරෙහිව ගොඩනැගෙන ආරක්ෂාවත් වැඩි යි. එනිසා ඔවුන් වෙනත් කිසිම පෘථිවිවාසී මිනිසෙකුට වඩා අඳුරු පැහැ සමක් ඇති මිනිසුන් බවට පත් වෙන්න පුළුවන්. මිනිසුන්ගේ සමේ ඇති සාමාන්‍ය වර්ණකය වන මෙලනීන්වලට වඩා, කැරටිනොයිඩ් වර්ණකය අඟහරු මත ජීවත්වීම සඳහා වඩාත් සුදුසු බව කියවෙනවා. ඒ අනුව අනාගත අඟහරු ජනපදිකයින් සමේ වර්ණකය ලෙස කැරටිනොයිඩ් භාවිත කිරීමේ ක්‍රමවේදයක් සොයා ගතහොත්, ඔවුන්ගේ සම දීප්තිමත් තැඹිලි පැහැයකට හැරේවි.
සංස්කෘතික සහ තාක්ෂණික වෙනස්කම්
ශාරීරික වෙනස්කම්වලින් පමණක් නොව සංස්කෘතික සහ තාක්ෂණික අතිනුත් අනාගත අඟහරු මිනිසා බොහෝ සෙයින් වෙනස්විය හැකි යි. ඔවුන් බොහෝ විට ජාන ඉංජිනේරු විද්‍යාව, ශරීර අවයව වැඩි දියුණු කිරීම සහ ප්‍රතිස්ථාපනය කිරීම වැනි තාක්ෂණික කරුණු දෙස වැඩි අවධානයක් යොමු කරනු ඇති. තාක්ෂණය මත පදනම් වූ සමාජයක්වන ඔවුන් ක්‍රමයෙන් සාමාන්‍ය පෘථිවි සමාජයට වඩා හාත්පසින්ම වෙනස් වූ මඟක් අනුගමනය කරන්න පුළුවන්. අඟහරු මත ජීවත්වීමෙන් ඇතිවන මානසික බලපෑම් ගැන අනාවැකි කීම තවමත් දුෂ්කර බව විද්වතුන්ගේ අදහස යි.
පෘථිවියේ මිනිස් සමාජයෙන් ඈත්වෙත්ම, ඔවුන් තමාගේම සංස්කෘතික සම්මතයන් සහ උපභාෂාවන් වර්ධනය කර ගනීවි. ඉතා පැහැදිලි, පශ්චාත් මනුෂ්‍ය සමාජයක් ලෙස ඔවුන්ට තමන් ගැන හැඟෙන සමයක් එළැඹි විට, අඟහරු ජනපදිකයන් ස්වාධීන ජාතියක් ලෙස නැඟී සිටීමේ ඉඩකුත් තිබෙනවා. එවිට පිටසක්වල ජීවීන් කොටසක් මිනිසා තුළින්ම අනාගතයේ දවසක බිහි වේවි.
The space between us
මෙතෙක් මෙම ලිපියේ දැක්වූ කරුණු යම්තාක් දුරකට කැටිවූ සිනමා නිර්මාණයක් 2017 වර්ෂයේ දී අප හමුවට පැමිණියා. එම චිත්‍රපටයේ නම The space between us (ද ස්පේස් බිට්වීන් අස්). මෙහි කතා නායකයා, ගාඩ්නර් එලියට් (ඒසා බටර්ෆීල්ඩ් විසින් රඟ දැක්වෙයි), අඟහරු මත පිහිට වූ මිනිස් ජනපදය තුළ ඉපදුණු පළමු මනුෂ්‍යයා යි. පසුව ඔහු යම් අරමුණක් සඳහා පෘථිවියට පැමිණෙන අතර, තමාට මුළුමනින්ම ආගන්තුක වූ පෘථිවි පරිසරයේ අභියෝගවලට මුහුණ දෙමින් තම අරමුණ කරා යන අයුරු චිත්‍රපටයෙන් දිග හැරෙනවා. අඟහරු මව් ග්‍රහයා වූ මනුෂ්‍යයෙකු පෘථිවියට පැමිණියහොත් ඔහුට ඇතිවන ශාරීරික සහ මානසික අභියෝගයන් ගැන සෑහෙන දුරට විද්‍යාත්මකව පුරෝකථනය කළ චිත්‍රපටයක් ලෙස The space between us හඳුන්වන්න පුළුවන්.