Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාසල් බෑගයේ බර අඩු කළ යුත්තේ ඇයි?

අධි බරැති පාසල් බෑග ඔසවාගෙන මහමඟ, පොදු ප්‍රවාහන සේවයේ  ගමන් කරන කුඩා පාසල් දරුවන් බොහෝ අවස්ථාවල දී  අප දැක තිබෙනවා. ඒවාගේ බර කොපමණ වැඩි ද යන්න පවසනවා නම් පයින් ගමන් කරන ඇතැම් දරුවන් ටික දුරක් ඇවිද ගොස් ඒවා බිම තබා විඩා හරිනු ද දකින්නට පුළුවන්.

ලෝකයේ බොහෝ දියුණු රටවල රජයයන් පාසල් බෑගයේ බර හා ප්‍රමිතිය පිළිබඳ ව දැඩි ව අවධානය යොමු කර එම බර අඩු කිරීම හා ප්‍රමිතිය වැඩි කිරීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කර තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ පැවතුණු රජයයන් වරින් වර මේ ගැන අවධානය යොමු කර තිබුණ ද ඒ වෙනුවෙන් සාධනීය ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගෙන නෑ. 

සියලුම පාසල්වලට වෛද්‍ය නිර්දේශානුකූල පොත් බෑගයක් හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතුයි – theirworld.org

පාසල් දරුවන්ට වෛද්‍ය නිර්දේශානුකූල පොත් බෑගයක්

සාමාන්‍යයෙන් පාසල් යන්නේ වයස අවුරුදු 6ට වඩා වැඩි දරුවන්. එවැනි දරුවකුට  ඉසිලිය හැකි බර ප්‍රමාණය ලෙස වෛද්‍ය විද්‍යාවේ නිර්දේශ කර තිබෙන්නේ දරුවාගේ සිරුරේ බර ප්‍රමාණයෙන් 10% කට වඩා අඩු ප්‍රමාණයක් ලෙස යි. ඊට වඩා වැඩි බරක් පාසල් දරුවන් දිගු කාලයක් තිස්සේ උසුලා ගෙන යන්නේ නම් ඔවුන්ට කොඳු ඇට පෙළ කුදුගැසීම සහ කශේරුකා ආශ්‍රිත සෞඛ්‍ය ගැටලුවලට මෙන් ම විවිධ ආකාරයේ මානසික ගැටලුවලට ද මුහුණ දීමට සිදුවන බව පර්යේෂණ මඟින් ඔප්පු වී තිබෙනවා. 

මේ අර්බුදය සම්බන්ධයෙන් ළමා රෝග විශේෂඥ කමල් හත්ලහවත්ත මෙසේ ප්‍රකාශ කරනවා. 

“බලංගොඩ මූලික රෝහලේ ළමා රෝග විශේෂඥවරයා විදිහට වැඩ කරද්දී මට පෙනී ගිය දෙයක්‌ තමයි කොන්දේ අමාරුවට බෙහෙත් ගන්න එන කුඩා දරුවන් සංඛ්‍යාව වැඩි වී ඇති බව. මීට දශක දෙක තුනකට එහා තත්ත්ව හා සසඳද්දී එම වෙනස හොඳින් පෙනෙනවා. දරුවන් මේ රෝගවලට ගොදුරු වන්නේ දරා ගන්නට බැරි තරම් බර ඇති බෑග ඔවුන් ඔසොවා ගෙන යැම නිසයි. කොන්දෙ කැක්‌කුම, තුනටිය කැක්‌කුම ලෙස දරුවන් පැමිණිලි කරන්නට බොහෝ අවස්‌ථාවල මේ බෑගවල බර බලපා තිබෙන බව පෙනෙනවා. සමහර විට දරුවන් පපුවේ අමාරුව කියා පැමිණිලි කරන්නේත් මේ බෑගවලින් දැනෙන පීඩනය යි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පෙළපොත්වල බර අඩු කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරනවා (srilankafoundation)

ඕනෑ ම දියුණු රටක වයසට සාපේක්‍ෂ ව දරුවන්ගේ පාසල් බෑගයේ අන්තර්ගතයේ බරට අදාළ ව නිර්ණායක තිබෙනවා. අපේ රටේ එහෙම නැහැ. මෙය කනගාටුවට කරුණක්‌. ඉස්‌සර පෙළ පොත් කුඩාවට, කාණ්‌ඩ ලෙස මුද්‍රණය කළා. ඒ වෙනුවට දැන් එහෙම නැහැ. පාසල්වල ඉන්න ගුරුවරුන් ලොකු පීඩනයක්‌ දෙනවා ලොකු පොත් ම ගේන්න කියලා. දියුණු රටවල නම් පාසල්වල ළමයින්ට වෙන් වූ ලොකර් තියෙනවා. එම ලොකර්වල, බර පොත් සුරක්‍ෂිත ව තැබිය හැකියි. එවිට දිනපතා පොත් ගොඩක්‌ ඔසවා ගෙන ඒමේ අවශ්‍යතාවක්‌ නැහැ. කවුරුන් හරි කියනවා නම් මේ ලොකර් හදන්න සල්ලි නැහැ කියලා එය වැරැදි කතාවක්‌. අනවශ්‍ය දේට වියදම් නො කොට මේ වගේ වැදගත් වැඩකට වියදම් කළ යුතුයි.

මෙලෙස බර බෑග ගෙන යැමෙන් දරුවන්ට කෙටි කාලීන ආබාධ මෙන් ම දිගු කාලීන ආබාධත් ඇති විය හැකි යි. ඊට අමතර ව පූර්ණ කාලීන ආබාධවලට පවා දරුවන් ගොදුරු විය හැකි යි.

සමහරුන් මේ සඳහා යෝජනා කළා බිම දිගේ ඇදගෙන යන බෑග් සුදුසුයි කියා. දියුණු රටවලට එය සුදුසු වූවාට අපේ රටට ගැළපෙන්නේ නැහැ. ලංකාවේ මෙවැනි බෑග් පාර දිගේ ඇදගෙන යන්න යටිතල පහසුකම් සැකසී නැහැ. මට මේ ප්‍රශ්නය ගැන හොඳ අවබෝධයක්‌ තියෙනවා. මොකද මගේ දරුවත් මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා.” (උපුටා ගැනීම: විදුසර පුවත්පත – 2018/03/07)

වෛද්‍ය කපිල ජයරත්න – who.int

මහාචාර්ය දුලිතා ප්‍රනාන්දු හා වෛද්‍ය කපිල ජයරත්නගේ පාසල් බෑගයේ බර සම්බන්ධ පර්යේෂණය 

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පාසල් පනස්‌ පහක 6, 7, 8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් 1,607 දෙනෙක් මහාචාර්ය දුලිතා ප්‍රනාන්දු හා වෛද්‍ය කපිල ජයරත්නගේ පාසල් බෑගයේ බර සම්බන්ධ පර්යේෂණය සඳහා සහභාගී කරගෙන තිබෙනවා. මෙහිදී මේ දරුවන්ගෙන් 80%ක්‌ පිටේ දෙවුරෙන් එල්ලාගෙන යන ( Back Pack ) බෑග් මාදිලිය භාවිත කරන බව හෙළිවෙනවා. එහෙත් ඉන පටියක්‌ පාවිච්චි කර තිබුණේ ඉතා අඩු ප්‍රතිශතයක්. එනම් ඒ අතරින් 30%ක්‌ පමණයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව දරුවා ගේ බරෙන් සියයට 10% නො ඉක්‌මවන බරක්‌ බෑගයේ බර විය යුතු වෙනවා. නමුත් 58%ක්ම ඒ ප්‍රමිතිය ඉක්මවා ගොස් තිබෙනවා. බෑගයේ ඇතුළත බරෙන් පෙළපොත් හා ලියන පොත්වල එකතුව 67% ඉක්මවා යනවා. දරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී දරුවන් අතරින් 70%ක්‌ ම මීට පෙර කවුරුන් සමඟ හෝ මේ මාංශපේශි වේදනා ගැන කියා තිබෙනවා. 35%කට මේ වේදනා දිගින් දිගට ම දැනී තිබෙනවා.

“බෑග්වලට අදාළ බර වගේ ම සෞඛ්‍ය සම්පන්න නො වන බෑග් භාවිතය අද වන විට විශාල ගැටලුවක්‌ බවට පත් වෙලා. ළමයින් මේ ගැටලුව නිසා කායික හෝ මානසික හෝ රෝගවලට ගොදුරු විය හැකි යි. ඒ නිසා අප මේ ගැන විශාල අවධානයක්‌ යොමු කළ යුතුයි. විශේෂයෙන් ම දරුවන්ට මාංශපේශි හා සැකිලි ආබාධ ඇති වීම කෙරෙහි මෙය බලපානවා. කොඳු ඇට පෙළ පැත්තකට ඇද වීමට තුඩු දෙන Scoliosis වැනි රෝග කෙරෙහි මේ බෑග්වල බර වැඩි වීම හා සෞඛ්‍ය සම්පන්න නො වන ආකාරයට බෑග් ඔසොවාගෙන යැම හේතු වෙනවා.” පර්යේෂණයෙන් පසුව එලෙස අදහස් දක්වන්නේ විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න යි.

 

පාසල් බෑග්වල ප්‍රමිතිය පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි – bbci.co.uk

පාසල් බෑග්වල ප්‍රමිතිය හා බර සම්බන්ධව රජයේ අවධානය 

පාසල් පොත් බෑගයේ බර වැඩි වීමට අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පෙළ පොත්වල බලපෑම ගැන සිදු කළ ගවේෂණාත්මක විමර්ශන වාර්තාවේ නිර්දේශ අනුව රජය පසුගිය කාලයේ දී පිටු 120 ට අඩු පෙළ පොත් එක පෙළ පොතක් වශයෙන් ද, පිටු 121 – 240 අතර පොත් කොටස් දෙකක් ලෙස ද පිටු 240 ට වැඩි පොත් කොටස් තුනකින් ද මුද්‍රණය කිරීමට තීරණය කරනවා. 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පෙළ පොත්වල බර අඩු කිරීමට පියවර ගෙන ඇති බවත් 2023  වසරේ සිට එය ක්‍රියාත්මක බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මෑතක දී ප්‍රකාශ කරනවා. ඒ අනුව ලබන වසරේ සිට පාසල් බෑගයේ බර තුනෙන් දෙකකින් අඩු වන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරනවා. බර සම්බන්ධ ව අවධානය යොමු කර ඇති නමුත් පාසල් බෑගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් නම් රජය මේ වන තුරු කිසිදු පියවරක් ගෙන නෑ.

කවරයේ ඡායාරූපය: දරුවන්ගෙන් 80%ක්‌ පිටේ දෙවුරෙන් එල්ලාගෙන යන (Back Pack) බෑග් මාදිලිය භාවිත කරනවා - CHRISTOPHE SIMON/AFP via Getty Images
මූලාශ්‍ර:
www.vidusara.com
cabinetoffice.gov.lk
news.lk

Related Articles