cop යන්නෙන් අදහස් වෙන්නේ “Conference of the Parties” හෙවත් “පාර්ශවකරුවන්ගේ සම්මේලනය” යන්න යි. එය සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව ලෙස යි. ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ලෝකයේ සියලු රටවල් කැමති කරවා ගැනීම සඳහා සෑම වසරක ම එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව පවත්වනවා. එය මෙවර 27 වන වරටයි පැවැත්වුණේ.
27 යන්න එවිට දේශගුණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ 27 වැනි වාර්ෂික සමුළුව ලෙස හඳුන්වා දිය හැකි යි. මෙවර COP 27 නොවැම්බර් මස 6 වැනිදා සිට 18 දින දක්වා ඊජිප්තුවේ ෂාම් එල් ෂෙයික්හි දී (Sharm El Sheikh) මුළු දුන්නා. රාජ්‍ය නායකයන් 92කට අධික සංඛ්‍යාවක් හා රටවල් 190ක නියෝජිතයන් 35,000ක් පමණ එයට සහභාගී වූ බව සඳහන්. 2016 වසරෙන් පසු අප්‍රිකාවේ පැවති පළමු දේශගුණ සමුළුව ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. විද්‍යාඥයන්ගේ මතය අනුව මේ වන විට දේශගුණික විපර්යාසවලින් වැඩිම බලපෑමක් එල්ලවන මහාද්වීපය වන්නේත් අප්‍රිකා මහද්විපය යි.
හරිතාගාර වායු විමෝචනය අවම කිරීම, දේශගුණික විපර්යාස සමඟ කටයුතු කිරීමට අන්‍යොන්‍ය වශයෙන් උපකාර කරගැනීම මෙන් ම දේශගුණ විපර්යාසවලින් මිදීමට හා ඉන් ඇති වන අහිතකර ප්‍රතිඵලවලින් ආරක්ෂාවීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට අවශ්‍ය සහාය ලබා දීම එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවේ ප්‍රධාන අරමුණු තුන ලෙස දක්වන්නට පුළුවන්. එම අරමුණු ප්‍රමුඛ කර ගනිමින් දේශගුණික විපර්යාස හා බැඳුණු අභියෝග සඳහා මුහුණ දීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ ව මෙම සමුළුවේ දී සාකච්ජාවට ගැනෙනවා.
cop හි ඉතිහාසය
ගෝලීය උණුසුම ඉහළ යාම හා දේශගුණික විපර්යාස පිළිබඳ ව අතීතයේ දී මිනිස් අවධානයක් යොමු නොවූ තරම්. ගෝලීය උණුසුම ඉතා විශාල ලෙස ඉහළ යමින් පවතින බව මිනිසා අවබෝධ කර ගෙන දැනට ගත වී ඇත්තේ වසර කිහිපයක් පමණ යි. 90 දශකය ආරම්භවීමත් සමඟ හරිතාගාර ආචරණය ඉහළ යාම සමඟ ම ක්‍රමක්‍රමයෙන් ගෝලීය උණුසුම හා දේශගුණික විපර්යාස ඉහළ යාම ද සිද්ධ වෙනවා.
දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් මිනිස් අවධානය යොමු වන්නේ ඉන් පසුව යි. මේ වන විටත් ප්‍රමාණවත් තරම් ලෝකය දැනුම්වත් වී නොමැති වුව ද මිනිස් වර්ගයා පොදුවේ මුහුණ දෙමින් සිටින බරපතළ ම අභියෝගය වන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑම යි. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන්ගේ ප්‍රථම දේශගුණික විපර්යාස සමුළුව 1995 දී ජර්මනියේ බර්ලිනයේ දී ආරම්භ වූවා.
මේ වන විටත් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.1කින් ඉහළ ගොස් ඇති බවත් එය සෙල්සියස් අංශක 1.5 දක්වා තවදුරටත් ඉහළ යමින් තිබෙන බවත් විද්‍යාඥයන් අනාවරණය කරගෙන අතිබෙනවා. එසේ ගෝලීය උණුසුම ඉහළ යාමෙන් මිනිසා ඇතුළු ජීවය පෘථිවියෙන් තුරන් වී යා හැකි බවටත් අනතුරු අගවා තිබෙනවා. එසේ ගෝලීය උණුසුම ඉහළ යාම වැලැක්වීම සඳහා දේශගුණ විපර්යාස සමුළුව මැදිහත් ව විවිධ වර්ෂවල විවිධ ගිවිසුම් අත්සන් තබා තිබෙනවා.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කර ගනිමින් සංවර්ධිත රාජ්‍ය හා අනෙකුත් පාර්ශව සිය හරිතාගාර වායු විමෝචනය 1990 වසරේ පැවති මට්ටමේ සිට 5%කින් 2008 – 2012 අතර කාලය ඇතුළත අඩු කර ගැනීමට අරමුණු කර ගනිමින් 1997 වසරේ දී ජපානයේ කියෝතෝ හි අත්සන් තැබූ කියතෝ සම්මුතිය මෙන් ම දේශගුණික විපර්යාස අවම කොට ඒවායේ බලපෑම්වලට මුහුණ දීම අරමුණ කර ගෙන ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ට අඩු මට්ටමක පවත්වා ගැනීමට අමෙරිකාව ඇතුළු රටවල් 194ක් 2015 වසරේ ඇති කර ගත් පැරිස් සම්මුතිය දේශගුණ සමුළුවේ ප්‍රධාන ප්‍රතිඵල ලෙස නම් කරන්නට පුළුවන්.
කෙසේ නමුත් මේ වන විට ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ අර්බුදය ආපසු හැරීමට නොහැකි තැනකට පත් ව තිබෙනවා. දේශගුණික විපර්යාස මැඬ පැවැත්වීමට වගකිව යුත්තන්ට දේශපාලනික වුවමානවක් කැමැත්තක් නැති බව හා හරිතාගාර වායු විමෝචනය වැඩි වශයෙන් කරන රටවල්, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නොදක්වන බව ද මේ වන විට එල්ල වෙන චෝදනා යි.
මෙවර සමුළුවේ අවධානයට යොමු වූ කරුණු
නවතම IPCC (Intergovernmental Panel on Climate Change – දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුව) වාර්තාව පිළිබඳ ව මෙහිදී අවධානය යොමු වන අතර එම වාර්තාවේ පෙන්වා දී තිබෙන්නේ මේ වන විටත් දේශගුණ විපර්යාස මිනිස් පාලනයෙන් ගිලිහීමට අතිශය ආසන්න බව හා ඒ වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම තවත්විටත් ප්‍රමාද බව යි.
මෙවර සමුළුවේ දී වඩාත් අවධානය යොමු වූ තවත් කරුණක් වන්නේ 2023 වර්ෂය වන විට සංවර්ධනය වෙමින් පවතින සාමජික රටවලට වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් බිලියන 100ක් ලබා දීමට තීරණය කිරීම යි. ඒ ඔස්සේ දියුණු වෙමින් පවතින රටවලට දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුණ දීමට සිදුවන ආපදා හොඳින් නිරාකරණය කරගැනීමට හැකියාව ලැබෙනවා.එය පසුගිය වසරවලට සාපේක්ෂ ව ගත් කල ඉහළ මුදලක්.
ඛනිජ තෙල්, ගල් අගුරු හා ස්වභාවික වායු වැනි පොසිල ඉන්ධන දහනය කිරීම අවම කිරීමත්, විකල්ප බලශක්ති ප්‍රභේද පිළිබඳව දැඩි අවධානය යොමු කිරීම පිළිබඳවත් එහිදී සාකච්ජාවට ගැනෙනවා. පොසිල ඉන්ධන දහනය අවම කිරීම සඳහා වර්තමානයේ වැඩිම කාබන්ඩයොක්සයිඩ් විමෝචකයන් වන චීනයේ, අමෙරිකා එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ සහයෝගය පිළිබඳ ව අවධානය යොමු කරනවා.
ඊට අමතර ව භාණ්ඩ හා සේවා හේතුවෙන් ඇතිවන කාබන් පා සටහනත් එය ගණනය කිරීම සඳහා ගෝලීය කාබන් වෙළෙඳපොළක් පිහිටුවීම පිළිබඳවත් සමුළුවේ අවධානය යොමු වෙනවා. යුරේන රුසියා ගැටුම හා ඒ සමඟ මුහුණ දීමට සිදුවන ලෝක බලශක්ති අර්බුදය, ලෝක තිරිගු නිෂ්පාදනය, ආහාර අර්බුදය හා ජනගහනයේ ඉහළ යාම වැනි කරුණු ද සමුළුවේ සාකච්ජාවට ගෙන තිබෙන අනෙක් මාතෘකා යි.
cop ඇතුළු පාරිසරික සමුළු සඳහා එල්ලවන විවේචන
cop ඇතුළු පොදුවේ එක්සත් ජාතීන්ගේ දේශගුණ හා පාරිසරික සමුළු සඳහා පරිසරවේදීන් හා පරිසර සංවිධාන පොදු චෝදනාවක් එල්ල කරනවා. ඒ, එම සමුළු හා සාකච්ජා හුදෙක් කතා සාප්පුවකට පමණක් සිමා වෙන බවත් ඒ ඔස්සේ අනාගත ලෝකයට වැඩදායක ප්‍රතිඵලයක් අත්නොවන බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. එම චෝදනාවේ යම්කිසි සත්‍යතාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ වර්තමාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ද මෑතක දී ප්‍රකාශ කර තිබෙනවා.